ඩොල්ෆින්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dolfin). මුහුදේ වෙසෙන ක්ෂීරපායීන් අතුරින් හෙවත් මුල්ලා මත්ස්‍යයෙකුගේ ටෝපිඩෝ බදු අනාකූල ස්වරූපය (Shape) ගෙන යළිත් ජලචර ජීවිතයකට ඇබ්බැහි වූ සතෙකි. (පරිණාමය හා කෛනෝසීක යුගය බලන්න) තල්මස් පවුලට අයත් මොහු තල්මසාට වඩා ඉතාමත් කුඩා කඩිසර එමෙන් අන්සතුනට වඩා වැටහෙන සුළු නුවණක් ඇති ක්ෂීරපායියෙකි. ඩොල්ෆින් පිළිබඳ චමත්කාරජනක ප්‍රවාදයන් හා මිත්‍යාකතා මෙයට වසර දෙදහකට පමණ පෙර සිට පවා පැවතීමෙන් මොහුගේ විශේෂත්වය අති පැරණි කාලයේදී මිනිසා විසින් වටහා ගෙන සිටි බව පෙනී යයි.

අඩි 4 සිට 12 පමණ දිගැති ඩොල්ෆින් වර්ග සිටිති. මොවුහු විශාල ශරීරයක් ඇති සත්තු වෙති. එවුනට කුඩා තනි පෘෂ්ඨීය වරලක් හා උදරීය වරල් යුගලක් ඇති අතර කොරපොතු හෝ ලෝම රහිත සම ඉතා සිනිදුය. උදරීය වරල් ඇත්තෙන්ම නෂ්ඨ වී ගිය ගාත්‍රාවන්ය. මේවා අන් ඕනෑම ක්ෂීරපායි සතෙකුට පොදු වූ අයුරින් පංචාංගුලික ගාත්‍රා ආකාරයට ඇත. හිස්කබල (Cranium) ඉතාම විශේෂිතයි. මොළයක් දැරීම් වස් උචිත ලෙස සැකසුනු හිස් කබලේ සමහර අවස්ථාවන්හිදී දිග හොම්බක් ඇත. හිසේ පෘෂ්ඨිය පැත්තෙහි අඩසඳ ආකාර වූ සිදුරකි. මේ නාස් පුඩුවයි.

ඩොල්ෆින්ගේ කොදු ඇට පෙළෙහි අන් සෑම ක්ෂීරපායි සතෙකුගේ මෙන්ම ග්‍රෛවි (Cervical) කශේරුකා හතකි. එසේ වුවද හිසත් කඳත් වෙන් කොට පෙන්වන ගෙලක් නොමැත. ඊළඟට ඇති උරස් කුහරය තුළ විශාල වශයෙන් පිම්බීමට (Inflate) හැකි, රුධිර වාහිනී සැපයීමෙන් ඉතා පොහොසත් පෙනහලු යුගලයි. මේ පෙනහලුවලට වායුගෝලීය වාතය ආශ්වාශ කරගන්නේ මුහුදේ ගැඹුරේ සිට මතුපිටට ඒමෙනි. මෙසේ ආශ්වාස කර ගන්නා වාතයෙන් මොහුට සාමාන්‍යයෙන් මිනිත්තු 45ක පමණ කාලයක් ජලයේ ගතකිරීමට හැකිවේ. ප්‍රාශ්වාස කිරීමේ දී ද ඩොල්ෆින් මතුපිටට පැමිණෙයි. මොහුගේ පෙනහලු තුළ උණුසුමට තිබුණු වාතය පිට කිරීමේ දී හදිසියේ වායුගෝලීය උෂ්ණත්වයට සිසිල් වීමෙන් එහි අඩංගු ජලවාෂ්ප ඝන වීමෙන් මීදුම් ආකාරය ගැනීම නිසා මුහුදේ මොවුන් සිටින තැන්වල නාස්පුඩුවලට ඉහළින් ජලයේ වතුර මලක ආකාරයක් පෙනේ. අඩි 100ක පමණ ගැඹුරට ජලයේ කිමිදීමේ හැකියාවක් ඩොල්ෆින්ට ඇත.

ඩොල්ෆින්ගේ ශ්‍රෝණි මේඛලාව ඉතාම ක්ෂීණ වූ ආකාරයකින් ඇත. මොහුගේ ගුදය මදක් ඉදිරියෙන් මධ්‍ය රේඛාව දෙපස තනපුඩු දෙකකි. පිරිමි සතාගේ ශිශ්නය (Penis) ‍‍හැකිලී දඟර වී සැඟවුණ ලෙසකින් ඇති අතර වෘෂණ කෝෂයන් අලින්ගේ හා තල්මසුන්ගේ මෙන් උදර කුහරය තුළ ම ඇත. ස්ත්‍රී ඩොල්ෆින්ගේ ජනනෙන්ද්‍රිය සිදුරු දික් අතට වූ පැලුමක් මෙන් පසුපස වරල් යුගලට මැදින් මධ්‍ය රේඛාවේ පිහිටයි.

ඩොල්ෆින්ගේ ඇට සැකිල්ල ක්ෂීරපායි සතකුගේ ඇට සැකිල්ලේ මූලික ආකාරයට මිස මාලුවකුගේ 'කටු'වලට සමානතාවයක් නොදරයි. මොහුගේ කශේරුකා හැකිළිය හැකි (Telescoping) ස්වභාවයක් පෙන්වයි. දෙබල වූ හිසකින් යුත් පර්ශු යුගල හතක් හෝ අටක් මිරිදිය ඩොල්ෆින්ට ඇති අතර ඩොල්පිනිඩේ පවුලේ සාමාජිකයනට මේ යුගල හතරක් හෝ පහක් තිබේ. හබල් මෙන් ක්‍රියාකරන වරල්, නියපොතු රහිත පංචාංගුලික ගාත්‍රයන්ගේ මූලික ලක්ෂණ දරයි.

අචලතාපී සෙටාසෙයාවෙකු වන ඩොල්ෆින්ගේ හමට යටින් ඝනකම තෙල්මන්දක් තිබීම රුධිරයේ උෂ්ණත්වය රැක ගැනීම වස් පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි. මේ හැර එය ඉතා හොඳ ශක්ති ගබඩාවක් (Fat Depot) ද වන්නේය. ශීත ඍතුවලදීත් පැටවුනට කිරිදෙන (Suckling) කාලවල දීත් මේ තෙල්මන්ද ඝනකමින් වැඩිවෙයි.

ඩොල්ෆින්ගේ සම ඉතාමත් සංවේදී ය. පේෂිවල අධික හිමොග්ලොබින් ප්‍රමණයක් අඩංගු ය. මෙයට හේතුව වරක් ජලතලය මතුපිටට විත් ආශ්වාස කරගන්නා වායුගෝලීය වාතය උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට මොහු හැඩ ගැසී තිබීමයි. මොහුගේ කඩිසර, දක්ෂ (Smart) ක්‍රීඩාලෝලී ස්වභාවයට එක හේතුවක් ද මේ අධික හිමොග්ලොබින් ප්‍රමාණය විය හැකි ය. ඩොල්ෆිනයෙකු මැරූ විට ඔහුගේ මස් රතුවන්ව පෙනෙන්නේත් එබැවිනි.

ඩොල්ෆින් පිළිබඳව වඩාත් කුතුහලයට භාජනය වී ඇත්තේ ඔහුගේ මොළයයි. ඉතා සංකීර්ණ ලෙස සංවලිත (Convoluted) මස්තිෂ්ක අර්ධ ගෝල දෙකකි. එමෙන්ම මොහුගේ ශ්‍රවණය සම්බන්ධ මොළයේ කොටස (Temporal lobe) ද අතිශයෙන් දියුණු තත්වයකින් ඇත.

ඩොල්ෆින් වර්ග රාශියක් සිටිති. සමහරෙක් ධ්‍රැවාසන්න මුහුදුවල ද තවත් වර්ග නිවර්තනික මුහුදුවල ද ජීවත් වන අතර ලංකාව අවට මුහුදේ සෑම තැනක ම පාහේ ඩොල්ෆින් ජීවත් වේ. එසේ වුව ද මොවුන් සුලභ වන්නේ ලංකාවේ නැගෙනහිර මුහුදේ ය.

ඒ ඒ විශේෂයට (Species) විශේෂිත වූ අයුරින් මොවුහු තනිතනිව හෝ ජෝඩු වශයෙන් එසේත් නැතිනම් රංචු වශයෙන් හැසිරෙති. මේ රංචුවක් හතර පස් දෙනෙකු හෝ තිහ හතළිහකින් සමන්විත වේ. මාංශ භක්ෂක සතෙකු වන ඩොල්ෆින් ආහාරයට ගන්නේ විශාල දැල්ලන් හා මෝරුන් ය. මෝරුන් දඩයම් කිරීමෙහි දී ඩොල්ෆින් දක්ෂ ලෙස උපායශීලී වේ.

ඩොල්ෆින් මව් පැටවුනට ඉතා ම අධික දරු සෙනෙහසක් දක්වන්නී ය. ගංගාවක වේල්ලක් බැදීමේ දී ඩොල්ෆිනයෙකු සිය පැටවාගෙන් වෙන්කරනු ලැබුවහොත් මව් වේල්ල අසලින් ඉවත් නොවී එතැන ම සිටී. ඇමුණුම් බිලියකින් (Harpoon) තුවාල කරනු ලැබූ පැටවෙකු සිටින විට ඩොල්ෆින් මව සිය ජීවිතය කොතරම් අවධානමක තිබුණත් පැටවා සිටින තැන ම නොඉවසිලිමත් ලෙස වැළපෙමින් ගත කරන්නේ ය.

ඩොල්ෆින් යුවළක් එක් වීමේ දී ඔවුන් අතර ඇති වන සම්බන්ධයෙන් ස්ත්‍රී ඩොල්ෆින්ගේ ගර්භාෂය තුළ පැටවකු පිළිසිඳ ගනී. පැටවුන් දෙදෙනෙකු පිළිසිඳින අවස්ථා ද සමහර විට ඇත. ගැබ් දැරීමේ කාලය නියත කාලයකි. එය ඒ ඒ විශේෂයට අනුව මාස 9 සිට 12 දක්වා වෙයි. ගර්භනී කාලයේ දී මව් ඩොල්ෆින් ප්‍රසූතිය පහසු කර ගැනීමේ පෙරහුරුවකට මෙන් පිනුම් හා කරනම් ගැසීම සිදුකරන්නී ය. ගර්භනී කාලයේ දී මොහුගේ තෙල්මන් ද ඝනකම් වෙයි. උපන් අලුත ඩොල්ෆින් පැටවා මවුගෙන් කිරි උරා බොයි. මේ කාලයේ දී මව්ගේ තනපුඩු පැහැදිලි ව පෙනෙයි. මව් (හා පියා) පැටවා ඉතා ආදරයෙන් රැකබලා ගනිති. ගර්භනී ඩොල්ෆිනයෙකුගේ ප්‍රසූති අවස්ථාවේ 'නැන්දා' (Aunt) ලෙස හැඳින්වෙන තවත් ගැහැනු සතෙකුගේ උදව්ව ද බොහෝ විට ලැබේ. ඉන්පසුව මව්පියන් සමඟ මේ 'නැන්දා' ද පැටවා රැකගැනීමට අනුකූල වේ.

මිරිදිය ඩොල්ෆින් අතුරින් ඇමේසන් ගංගා නදිය හා ඉරවඩ් නදීවල වෙසෙනවුන් ප්‍රසිද්ධ ය. මොවුන් අතුරින් ගංගා නදියේ වෙසෙන සුසු (susu) නමැති ඩොල්ෆින් ඇස් නොපෙනෙන සතෙකි. කොයි ඩොල්ෆිනයාගේත් දෘෂ්ඨිය එතරම් දියුණු වූ තත්වයකින් නොමැත. එසේ වුව ද යාර 50ක් ඈත සිට අතවැනූ විට ඔහුට අය හැඳිනිය හැකි තරම් ය. මේ හැරෙන්නට මොවුනට ප්‍රබල ශ්‍රවණ ශක්තියක් ඇති හෙයින් තමන් සිටින ස්ථානය හා ඒ ඒ වස්තූන්ට ඇති දුර පිළිබඳ නිශ්චිත අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාවක් ඇත. ඩොල්ෆින්ගේ කනට ඇසෙන ධ්වනි තරංගවල පරාසය බෙහෙවින් අධික වේ. අතිධ්වනි තරංග (Ultra Sonic Frequency) පහත් සංඛ්‍යාත තරංග (Low Frequency) හා ඉහළ සංඛ්‍යාත තරංග (High Frequency) යන ධ්වනි තරංග මොහුගේ කනට දැනේ.

එමෙන්ම ඩොල්ෆිනයෝ ඔවුනොවුන් සමඟ කතාකරන බවට ද අද සමුද්‍ර ජීවී විද්‍යාඥයෝ සැක කරති. මේ අදහස් හුවමාරු කරන භාෂාව මනුෂ්‍යාහට ද උගත හැකි බවට අනාවැකි පළ කොට ඇත. ගංගා නදියේ වෙසෙන ඩොල්ෆින් සුසු නමින් හැඳින්වෙන්නේ ඔහු කතා කරන භාෂාව අනුකරණයෙනි. මනුෂ්‍යාගේ ශරීරයත් මොළයත් ගැන සැළකීමේදී (බර අනුව) ශරීර කොටස් හතක් මොළයේ එක් කොටසකට අඩංගු වේ. මනුෂ්‍යා හට කිට්ටුම ඥාති වානරයා වන චිම්පන්සියාගේ මේ අනුපාතය 8.5කට එකක් වන අතර ඩොල්ෆින්ගේ මෙම අනුපාතය 8.1කි. අන් සතුනට වඩා උසස් බුද්ධි මට්ටමක් ඇති ඩොල්ෆින් බොහෝ වර්ග ප්‍රිය කරන්නේ වෙරළාසන්න මුහුදයි. සමහර විට ඒ මොහු මිනිසා කෙරෙහි පෙන්වන අපූරු ලැදියාව නිසා විය හැකි ය.

ඩොල්ෆින් මිනිසාට ආදරය දක්වන ක්‍රීඩාශීලි වූත් උදව් කිරීමේ උනන්දුවක් දක්වන්නා වූත් සතෙකි. ඉතා අතීතයේ සිට මිථ්‍යාකතාවල, ජනප්‍රවාදවල හා සුරංගනාකතාවල සඳහන් වන දියකිඳුරා (Mermaids) සමහර විට ඩොල්ෆින් හා මුහුදු ඌරා (Porpoise) විය හැකි ය.

දියේ ගිලෙන්නට ආසන්න මිනිසුන් හා දරුවන් වෙරළට තල්ලු කරගෙන ඒමත්, වෙරළේ දරුවන් හා සමඟ ක්‍රීඩා කිරීමට පෙළඹීමත් ඩොල්ෆින්ගේ ඉතාම සුවිශේෂ ගතිගුණ ය.

මේ හැරෙන්නට අදත් බුරුමයේ ඉරවඩි ගඟේ නිම්නයන්හි ඇති ධීවර ගම්මානවල සෑම ගමකට ම අයත් ගඟේ අඩවියේ ඩොල්ෆිනයෙකු සිටින බවත්, දැල් එලීමේ දී මොහු මාලුන් දැළ තුළට රොක් කිරීමට ක්‍රියා කරන බව හා හදිසියකින් ළමයෙකු ගඟේ ගිලෙන්නට යන අවස්ථාවේ දී ඒ අඩවිය මුර කරන ඩොල්ෆිනයා ඔහු බේරා ගැනීමට උත්සාහ කරන බව ද ප්‍රසිද්ධ කරුණකි. මුහුදේ ගිලෙන්නට යන නැව්වල මගීන් ඒ වටා එකතු වන ඩොල්ෆින් රංචු මගින් මෝරුන්ගෙන් (Sharks) ආරක්ෂා කරගන්නා බවට ඇති ප්‍රවාදයන් ද නිබොරු විය හැක්කේ මෝරා ඩොල්ෆින්ගේ ආහාරය වන හෙයින් මෝරුන් ඩොල්ෆින්ගෙන් පලා යන හෙයිනි. ළමයෙකු හා ඩොල්ෆිනයන් අතර ඇති මිත්‍ර ධර්මයකුත් පිළිබඳවත් මේ ළමයාගෙන් වෙන් වූ පසු සිය මිතුරා (Play mate) ඩොල්ෆින් "අධික ශෝකයෙන් පරිපීඩිත වීම නිසා මිය ගිය" බවත් ප්ලූටාක් විසින් ලියන ලද 'On Intelligence Of Animals' නමැති පොතේ සඳහන් වේ. ඩොල්ෆින් හැසිරීම නිරීක්ෂණය කරන විද්‍යාඥයෝ, මිනිසුන් හා ඩොල්ෆින් අතර ඇති ලෙන්ගතු බව අතිශයෝක්තියෙන් ගහන වුවත්, නිකම්ම නාවිකයන් බීමත්කමින් කියන කතන්දර ලෙසින් ඉවත් කළ නොහෙන බව පවසති. සත්ව උද්‍යානයෙහි විසූ ඩොල්ෆින් යුවළකින් ගැහැණු සතා මළ පසු පිරිමි සතා ආහාර නොගෙන (Starvation) මිය යාම ප්ලූටාගේ කතාව බොරුවක් ලෙස සැලකීමට බාධාවක් බව සිතනු ලැබේ.

ඩොල්ෆින් පිළිබඳ පැරණිතම සඳහන වන්නේ මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි පැරණි රෝමානු ජනපදික නගරයක් වන (Colonial Towan) හිපෝ (Hippo) නගරයේ මෙයට වර්ෂ දෙදහසකට පමණ පෙර පැවති පන්සලක ය. සිරැකියුස්හි දී හමුවූ ක්‍රි.ව.480ක් පමණ පැරණි කාසියක ඩොල්ෆින් මුද්‍රාව දැකිය හැකි වේ.

කෙසේ වුවද අතීතයේ ඇත. (Ivory), තෙල්මන්ද (Blubber) හා සම් (Hide) ලබා ගැනීම් වස් දඩයම් කරන ලද මුහුදු සතුන් අතර ඩොල්ෆින්ද වීය. තෙල්මන්දෙන් හා සමින් ධ්‍රැවාසන්න වාසීන්ගේ එදිනෙදා ප්‍රයෝජනයට (දැවීම, ආහාර හා ඇදුම් සෑදීම) ගනු ලැබූ අතර ඇට නොයෙකුත් කැටයම් වැඩ හා කාන්තා ආභරණ සෑදීමට යෙදවිණි. අදද ලංකාවේ මුල්ලා නමින් විකිණෙන 'මාලුවා' ඩොල්ෆින් හා මුහුදු ඌරා ය. ලංකාවේ මෙය ආහාර සඳහා විකුණනු ලබයි. කාන්තා ආභරණ සඳහා මේ සතුන් මැරීමේ අමානුෂික බව පිළිබඳව කලකට පෙර ලොව හැම රටක ම පාහේ ඇති වුණු උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දැන් මෙය තරමක් අඩු වී තිබුණත්, ලංකාවේ වඳ වී යන සතෙකු ලෙසින් මුල්ලා හඳුන්වනු ලදුව මොහු මැරීම තහනම් වී තිබුණත් (අභයභූමි බලන්න) මරා විකිණීම ප්‍රසිද්ධියේ සිදු කෙරේ.

ඩොල්ෆින් වර්ගීකරණය

ගෝත්‍රය - සෙටාසෙයා

උපගෝත්‍රය - ඔඩෙන්ටෝසෙටි

උපරි - (Super Family) ඩොල්ෆිනොයිඩෙයා

පවුල - (Family) ඩොල්ෆිනිඩේ

(Sub Families) හතරකි.

1. ඔර්සිනේ

විශාල ඩොල්ෆිනයෝ මොවුහූ කුඩා තල්මසුන් ලෙස විවහාරයේදී සැලකේ.

(Killer Whale) (False Killer Whale) හා පයිලට් තල්මසා මොවුන්ගෙන් සමහරෙකි.

2. ලිසෝඩෙල්පිනේ

මොවුන්ගෙන් වැඩිදෙනෙක් මිරිදිය වාසිහු වෙති.

3. කෙපැරයිකිනේ

දක්ෂිණ ධ්‍රැවාසන්න මුහුදු වල දුර්ලභ වර්ගයේ ඩොල්ෆින් වර්ගයෙකි.

4. ඩෙල්පිනිනේ

සාමාන්‍යයෙන් සෑම තැනකම පාහේ පැතිරුනු ඩොල්පින් () ඩොල්ෆින් ය.

මධ්‍යධරණී මුහුදුබඩ රටවල ක්‍රිස්තු භක්තිකයන් අතර ප්‍රේමය, සහයෝගය හා කාර්යක්ෂමභාවය සංකේතවත් කිරිමේ සළකුණක් ලෙස ඩොල්ෆින් ලාංඡනය යෙදවෙයි.

ලොව ඇති සෑම මුහුදකමත්, දකුණු ඇමරිකාවේ, දකුණු අප්‍රිකාවේ හා ඉන්දියාවේ ඇති සමහර ගංගාවගත් විවිධාකාරයේ ඩොල්ෆින් ව්‍යාප්ත වී සිටී. ඩොල්ෆින්ගේ ව්‍යාප්තිය බහුල පෙදෙස් අතරේ ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර ඇති මුහුද ද ගැනේ.

(කර්තෘ: මාධවී සේනාරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩොල්ෆින්&oldid=4722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි