ඩෝර්ට්මන්ඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dortmund) බටහිර ජර්මනියේ උතුරු රයින් වෙස්ට්ෆෝලියා ජනපදයේ (Land) නගරයකි. රූර් (Ruhr) කාර්මික ප‍්‍රදේශය උතුරු මුහුද සමඟ සම්බන්ධ කරන ඩෝර්ට්මන්ඞ්-එම්ස් ඇලේ දකුණු පර්යන්තයෙහි පිහිටි මෙම නගරයෙහි පුළුල් ව ව්‍යාප්තිත වරාය ස්ථාපනයයෝ වෙති. 885 දී ත්‍රොට්මන්නි (Throtmanni) යන නාමයෙන් පළමුවරට මෙම නගරය පිළිබඳ ව සඳහන් වේ. 1220 දී ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජයාගේ විෂය පථයට පමණක් යටත් නිදහස් අදිරද නුවරක් බවට පත් විය. ඉක්බිති 13-15 සියවස්හි උතුරු යුරෝපයේ වෙළෙඳ ආධිලත්‍යය තයමුරු කරගෙන සිටි, විදේශයන්හි සිටි ජර්මානු වෙළෙන්ඳන් සහ උතුරු ජර්මනියේ නගර අතර අන්‍යෝන්‍ය වෙළෙඳ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිණිස ඇතිකර ගැනුණු හන්සා ලීගයට (Hanseatic League) මෙම නගරය ඇතුළත් විය. ඈත ප‍්‍රදේශ සමඟ පැවැත්වූ වෙළෙඳ සම්බන්ධතා නිසා 14 වන සියවසේ දී මේ නගරය කොතරම් සශ‍්‍රීකත්වයක් අත්කර ගෙන තිබුණේ ද යත් කිහිප වරක් සිය වෙළෙන්ඳන්ට අවශ්‍ය ණය ලබා ගැනීම පිණිස එංගලන්ත රජතුමා පොරොන්දු විය. 1618-48 දී පැවති තිස් අවුරුදු යුද්ධයෙන් (තිස් අවුරුදු යුද්ධය බ.) ඉක්බිති මෙහි සශ‍්‍රීකත්වය පිරිහී ගියේ ය. 1803 දී අදිරද තත්ත්වය අහිමි වන අවස්ථාව වන විට මෙහි ජනගහනය 4,000ක් විය. 19 වන සියවසේ දී ගල් අඟුරු සහ යපස් කර්මාන්ත සංවර්ධනය වීමත් 1899 දී ඇල කැණ නිමාවට පත්වීමත් නිසා මෙහි ශීඝ‍්‍ර සංවර්ධනයක් ඇති විය. එනයින් අද රූර් ප‍්‍රදේශයේ ප‍්‍රධාන ප‍්‍රවාහන සහ කාර්මික මධ්‍යස්ථානයකි. යකඩ, යන්ත‍්‍රසූත‍්‍ර, විදුලි උපකරණ, මෝටර් රථ, ගල්අඟුරු, සහ බීර වනාහි මෙහි ප‍්‍රධාන නිෂ්පාදනයෝ වෙත්. සේවා අංශය මත නගරයේ ආර්ථිකය වැඩි වැඩියෙන් රඳා පවතී. මෙය විශාල පළතුරු සහ එළවළු තොග වෙළෙඳපොළකි. දෙවන ලෝක යුද සමයේ දී විශාල වශයෙන් විනාශයට පත්විය. එය නූතන ශෛලියෙන් ප‍්‍රතිසංස්කරණය කෙරිණ. මධ්‍යකාලීන යුගයට අයත් දේවස්ථාන හතරක් ප‍්‍රතිසංස්කරණය කෙරිණ. සිව්දිගින් දිය අගලින් සැදි මන්දිර ද සැක්සෝනියානු සහ කැරොලින්ජියානු බලකොටුවල නටබුන් ද මෙහි සුරක්ෂිත කොට තිබේ. නූතන වාස්තුවිද්‍යා ස්මාරක අතර 1956 ඉදිකළ සිනගෝගයත් 1952 ඉදිකළ වෙස්ට්ෆෝලියා ශාලාවත් කැපී පෙනේ. මෙම ශාලාව යුරෝපයේ පිහිටි විශාලතම ශාලාවක් වන අතර සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන සහ ක‍්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනේ. 1980 ගණන්වල දී කැසිනෝ සහ නගර ශාලා ඉදිකරනු ලැබිණ. 1968 විවෘත කරන ලද ඩෝර්ට්මන්ඞ් විශ්වවිද්‍යාලයය ද අණුක කායිකවිද්‍යා (molecular physiology) සහ වර්ණාවලි විශ්ලේෂණ විද්‍යා (spectroanalysis) අධ්‍යයනායතන ද මන්ස්ටර් (Münster) විශ්වවිද්‍යාලයයේ සමාජ පර්යේෂණායතනය ද සමාජ අධ්‍යයනය ද සංහතිකමාධ්‍ය අධ්‍යයන, කඳුතරණ, පතල් කැණීම්, ගුරු අභ්‍යාස සහ වැඩිහිටි අධ්‍යයන ආයතන සහ විද්‍යාලය මෙහි පිහිටියේ ය. මෙහි කෞතුකාගාර කිහිපයක් ම වේ. කලා සහ සංස්කෘතික කෞතුකාගාරයේ ඩෝර්ට්මන්ඞ්හි නිධානය ලෙස හැඳින්වෙන රන් කාසි 400කට අධික සංඛ්‍යාවක් තැන්පත් කර ඇත. ඕස්ට්වෝල් (Ostwall) කෞතුකාගාරයෙහි 20 වන සියවසේ චිත‍්‍ර, මූර්ති සහ ග‍්‍රැෆික් චිත‍්‍ර ප‍්‍රදර්ශනය කෙරේ. මෙහි ස්වභාව විද්‍යා කෞතුකාගාරයක් ද ඇත. පරිපාලන දිස්ත‍්‍රික්ක 12කින් සමන්විත මෙහි ජනගහනය 589,661 (2003)කි.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෝර්ට්මන්ඩ්&oldid=3735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි