ඩෝස් කොමිසම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dawes Commission). ඇ.එ.ජ.යේ ඔක්ලහෝමාහි චැරොකී (Cherokee), චොක්ටෝ (Choctaw), චිකසෝ (Chickasaw), ක‍්‍රීක් (Creek) සහ සෙමිනෝල් (Seminole) යන, යුරෝපා සංක‍්‍රමණිකයින්ගේ සංස්කෘතියට අනුගතවීම නිසා ශිෂ්ටත්වයට පත් යැයි සැලකුණු ගෝත‍්‍රික ජන කොට්ඨාස පහේ නායකයින් සමඟ සාකච්ඡා කර, 1887 ඬේව්ස් පනත මඟින් අපේක්ෂිත අන්දමට, පොදු ගෝත‍්‍රික ඉඩම් අයිතිය අහෝසි කොට ගෝත‍්‍ර සාමාජිකයින්ට පෞද්ගලික ව ඉඩම් කොටස් ලැබෙන සේ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම උදෙසා ඇ.එ.ජ. ජනාධිපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඞ් (Grover Cleveland) විසින්, 1893 මාර්තු 03 වන දින ඉන්දියානු කාර්යාලීය අත්පත් කර ගැනීමේ පනත් කෙටුම්පතේ පරිශිෂ්ටය ප‍්‍රකාර ව පත්කර බලය පවරන ලද ත‍්‍රිපුද්ගල කොමිසමයි. මෙහි පළමු සභාපති, මැසචුසෙට්ස්හි විශ‍්‍රාමික සෙනෙට් මන්ත‍්‍රී හෙන්රි එල්. ඩෝස්ගේ නමින් නාමිත ය. මෙරිඩිත් එච්. කිඞ් සහ ආචිබෝල්ඞ් එස්. මැක්කෙනන් මෙහි සෙසු සාමාජිකයෝ වූහ. රතු ඉන්දියානුවන්ට අයත් භූමියෙහි මස්කෝගීහි මෙහි ප‍්‍රධාන කාර්යාලය පිහිටුවන ලදි. 1895 දී මෙහි සාමාජික සංඛ්‍යාව පස් දෙනකු දක්වා වැඩිකරනු ලැබිණි. 1903 දී ඬේව්ස් මිය ගියෙන් ටැම්ස් බික්ස්බි සභාපතිත්වයට පත් කරනු ලැබුණ ද කොමිසම පළමු සභාපතිවරයාගේ නමින් ම දිගට ම හැඳින්විණ.

1894 සිට 1896 දක්වා කාලයේ දී, ඉඩම් කොටස්කර බෙදාදීමේ මධ්‍යම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිගන්නා ලෙස ගෝත‍්‍රික නායකයින්ට ඒත්තු ගැන්වීමට මෙම කොමිසම අපොහොසත් විය. මේ සම්බන්ධයෙන් 1896 වන විට කොන්ග‍්‍රස් මණ්ඩලයේ ඇති වී තිබූ කලකිරීම, මෙම කොමිසමේ බලතල වැඩිකිරීම අරමුණු කර ගත් පනත් මාලාවක් සම්මත කර ගැනීමට හේතු විය. එනයින් මෙම කොමිසම රාජ්‍ය තාන්ත‍්‍රික දූත මෙහෙවරක සිට අධිකරණ විනිශ්චය සභාවක ස්වභාවයට පරිනාමනය විය. ඉකිබිති, ගෝත‍්‍රික සාමාජිකත්වය දැරීම සඳහා සුදුසුකම් ලද්දවුන් කවුරුන්ද, කුමන ඉඩම් කොටස් ඔවුනට ලැබේ ද යන වග තීන්දු කරන ලද්දේ මෙම කොමිසම විසිනි. පසු කලෙක ඇ.එ.ජ. උපජනාධිපති වූ කොන්ග‍්‍රස් මණ්ඩල සාමාජික චාල්ස් කර්ටිස් විසින් 1898 දී කෙටුම්පත් කරන ලද පනත ම`ගින් පැවරුණු බලතල ප‍්‍රකාර පුද්ගලයින් 250,000කට අධික සංඛ්‍යාවක් විසින් ලියාපදිංචිය පතා ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත‍්‍ර පරික්ෂා කර බැලූ මෙම කොමිසම එයින් ඉල්ලූම් පත් 101,000කට අධික සංඛ්‍යාවක් අනුමත කෙළේ ය. එතරම් විශාල ඉල්ලූම් පත‍්‍ර සංඛ්‍යාවක් ලැබීමට හේතු වූයේ බොහෝ අයගේ ගෝත‍්‍රික අනන්‍යතාව ගෝත‍්‍ර දෙකක් හෝ වැඩි ප‍්‍රමාණයක් සමඟ බද්ධ ව තිබීමයි. මෙම තෝරාගැනීම සිදු කරන ලද්දේ ලේ ඥාතිත්වයෙන් ගෝත‍්‍ර සාමාජිකයින් වන අය, විවාහයෙන් ගෝත‍්‍ර සාමාජිකත්වය ලත් අය, ලේ ඥාතිත්වයෙන් නගණ්‍ය ගෝත‍්‍ර සාමාජිකයින් වන අය, ලේ ඥාතිත්වයෙන් ගෝත‍්‍ර සාමාජිකයින් වන අලූත උපන් අය, ගෝත‍්‍ර සාමාජිකයින් විසින් වහල්භාවයට පත් කර සිටි ඇමෙරිකානු සිවිල් සංග‍්‍රාමයෙන් පසු නිදහස ලත් අප‍්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්, අලූත උපන් නිදහස ලද්දවුන්, නගණ්‍ය නිදහස ලත් අය යන වර්ගීකරණය යටතේ ය. අනුමත වූ නම් ශිෂ්ටත්වයට පත් ගෝත‍්‍ර පහේ අවසාන ලැයිස්තුවට ඇතුළත් විය. ඉල්ලූම්පත් සලකා බැලීම 1907 මාර්තු 4 වන දා අවසන් විය. එසේම අනුමත පුද්ගලයින් සඳහා ඉඩම් කට්ටි වෙන් කර දීම පිණිස ගෝත‍්‍රික ඉඩම් අක්කර 19,525,966ක් පරීක්ෂාවට ලක් කළ මෙම කොමිසම තක්සේරු වටිනාකම පදනම් කර ගනිමින් ඒ ඒ පුදගලයාට හිමි වන ඉඩම් කොටසේ ප‍්‍රමාණය තීරණය කොට ඔවුන් වෙනුවෙන් අක්කර 15,794,000ක් වෙන් කෙළේ ය. සමහරු තම ඉඩම් කොටස වෙනුවට මුදල් ලබාගත්හ. ලියාපදිංචි වීමත් ඉඩම් කොටස් ලබා ගැනීමත් පිළිබඳ රෙගුලාසි ඒ ඒ ගෝත‍්‍රයට ආවේණික සුවිශේෂී අන්දමකින් සකස් කෙරුණි. ඒවා 1897-1902 කාලයේ ඇති කර ගත් සම්මුතීන්හි සටහන් ව ඇත. ඒවා කොන්ග‍්‍රස් මණ්ඩලයත් ගෝත‍්‍රත් (වරිග සභාත්) යන ආයතන දෙක විසින් ම අනුමත කෙරුණි. ලියාපදිංචිය ලත් බොහෝ දෙනෙක් එකම ඉඩම් කොටස් ඉල්ලූම් කෙළෙන් එවැනි ඉඩම් කොටස් 10,952ක් ඉල්ලූම්කරුවන් අතර බෙදා වෙන් කර දීමට කටයුතු කරනු ලැබිණි. අක්කර 125,497ක් දුම්රිය මාර්ගයක්, නගර, දේවස්ථාන, පාසල් සහ සොහොන් පිට්ටනි වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කළ මෙම කොමිසම, චොක්ටෝ සහ චිකසෝ ගෝත‍්‍රයනට අයත් ව තිබූ භූමියේ ගල් අඟුරු සහ ස්වාභාවික තාර නිධි සහිත අක්කර 431,080ක් ද දැව ශාක සහිත අක්කර 1,278,753ක් ද වෙන් කෙළේ ය. මෙසේ වෙන් කරන ලද ඉඩම් රජයේ අධීක්ෂණය යටතේ බදුදෙන ලද අතර විටෙක වෙන්දේසි කරනු ලැබිණි. ඉඩම් කොටස් බෙදාදීමෙන් පසු ඉතිරි වූ අක්කර 3,174,988ක් විකුණා දමනු ලැබිණි. හඳුනාගත් නගර 308ක මිනුම් කටයුතු සිදු කළ මෙම කොමිසම එම ඉඩම් කොටස්වලට වෙන් කර වෙන්දේසි කරනු ලැබිණි. මේ සියලූ ගනුදෙනුවලට අදාල ගිණුම් වාර්තා පවත්වා ගත් මෙම කොමිසම විසින් සෑම ඉඩම් කොටසක් ම වෙනුවෙන් බලපත‍්‍ර සැකසීම, අනුමත කිරීම සහ ලියාංපදිංචි කිරීම සිදු කරනු ලැබිණි. 1914 අගෝස්තු 1 දින සම්මත කරගත් කොන්ග‍්‍රස් මණ්ඩල පනතක් මඟින් මෙම කොමිසම අහෝසි කෙරුණි. මෙම කොමිසමේ කාර්යභාරය ඔක්ලහෝමාහි මස්කෝගීහි පිහිටි 'ශිෂ්ටත්වයට පත් ගෝත‍්‍ර පහේ නියෝජිතායතනය' වෙත පවරන ලදි.

තම වර්ගයා නිල වශයෙන් ලියාපදිංචිය ලදහොත් රාජ්‍ය හිංසනයට ලක්වෙතැයි බියෙන් බොහෝ දෙනා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් නොවූයේ යැයි ද ඇමෙරිකානු සිවිල් සංග‍්‍රාමයෙන් පසු රතු ඉන්දියානුවන්ගේ වහලූන් ව සිට නිදහස ලද බොහෝ දෙනකු ඔවුන් ගෝත‍්‍ර සාමාජිකයින් වුවත් එසේ නොවන බව සලකා ලැයිස්තුවලට ඇතුළත් කෙරෙනු නොලැබුණේ යැයි ද මිශ‍්‍ර සම්භවයක් ඇති නිදහස ලද්දවුන් වෙන ම ලැයිස්තුවලට ඇතුළත් කරනු ලැබිණැයි ද ඩෝස් කොමිසමට චෝදනා එල්ල විණි. මෙම කොමිසමේ වැඩකටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස, බෙදා වෙන් කර දුන් පසු පාවිච්චියට නොගෙන තිබූ ඉඩම් කොටස් 'අතිරේක' ඒවා යැයි සලකා පවරා ගැනීමට කටයුතු කෙළෙන්, යථෝක්ත රතු ඉන්දියානු ගෝත‍්‍ර පහට ඔවුන්ගේ වාර්ගික ඉඩම් සංචිතයෙන් වැඩි කොටස අහිමි වූ බවත් එකී අතිරේක ඉඩම් යුරෝපා-ඇමෙරිකානු සංක‍්‍රමණික ජානපදිකයින්ට විකුණූ බවත් ඉන් දශක කිහිපයකට පසු සංක‍්‍රමණිකයින් විසින් රතු ඉන්දියානු ගෝත‍්‍රිකයින්ගේ ඉඩම් කොටස් මිල දී ගැනීමෙන් ගෝත‍්‍ර සාමාජිකයින්ගේ භුක්තියෙහි තිබූ භූමි ප‍්‍රමාණය සමස්තයක් ලෙස අඩු වූ බවත් සඳහන් වේ.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෝස්_කොමිසම&oldid=3739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි