ඩ‍්‍රෑස් කැරැල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Druze revolt) (1925-27). සිරියාවේ ජෙබෙල්-ඩ‍්‍රෑස් පළාතේ ස්ථාපිත ව පැවති සම්ප‍්‍රදායයන් සහ ගෝත‍්‍ර ධුරාවලිය විපර්යාස කිරීමට ප‍්‍රයත්න දැරූ ප‍්‍රංස භාරකාර පාලනයේ නිලධාරීන්ට විරුද්ධ ව සිරියාවේ සහ ලෙබනනයේ ප‍්‍රදේශයක වාසය කළ ඩ‍්‍රෑස් ගෝත‍්‍රිකයින් මෙහෙයැවූ අරගලය මෙනම් ගනී. සිරියානු විප්ලවය නොහොත් සිරියාවේ ජාතික-විමුක්ති අරගලය යනුවෙන් ද හැඳින්වේ.

පළමු ලෝක මහා සංග‍්‍රාමයේ නිමාවෙන් පසු ඉතාලියේ සැන්රේමෝහි 1920 අප්‍රේල්හි දී පැවති ඔන්ටන්ට් (Entente) යුද හවුලට අයත් වූ රාජ්‍ය විසින් ඔටෝමන් අධිරාජ්‍යයට අයත් ව තිබූ භූමි බෙදා වෙන් කර ගැනීමට තීරණය කරනු ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1920 දෙසැම්බර් 01 දා සිට සිරියාව ප‍්‍රංසයේ භාරකාර භූමි ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි. සිරියානු ආණ්ඩුව විසින් මෙම සම්මේලනයේ තීරණ පිළිගනු නොලැබුණි. එනිසා ඇතිවූ කෙටි කාලීන ප‍්‍රංස-සිරියානු යුද්ධයෙන් අරාබි හමුදා පරාජයට පත්විය. එනයින් සිරියානු අරාබි රාජාණ්ඩුව අහෝසි කරනු ලැබිණි. ප‍්‍රංස ජාතිකයින් විසින් සිරියාව, ඩමස්කස්, අලෙප්පෝ, මහා ලෙබනනය, ඇලොවීට් නිකායිකන්ගේ ප‍්‍රදේශය සහ ජෙබෙල්-ඩ‍්‍රෑස් යනු වශයෙන් ස්වයං පාලන ප‍්‍රදේශ කිහිපයකට බෙදනු ලැබූ නමුත් ඒවා සත්‍ය වශයෙන් පැවතියේ ප‍්‍රංශ ජාතිකයින්ගේ පාලනය යටතේ ය. සිරියාවේ සිටි ප‍්‍රංස ජාතිකයින් කල්පනා කෙළේ ස්වයං පාලන ව්‍යුහයක් සංවිධානය කර ගැන්මට සිරියානුවන් අසමත් බවයි. එනිසා ඔවුහු යුරෝපීයයන්ගෙන් සමන්විත ප‍්‍රදේශීය පරිපාලනයක් ස්ථාපිත කිරීමට පටන්ගත්හ. ඔවුන්ගේ අදහස වූයේ, යුරෝපීය ජාතිකයින් විසින් සිරියානු සගයින්ට පරිපාලන කලාව උගන්වනු ඇති බවයි. එමඟින් සිරියානු සමාජ සැකැස්ම පදනම් වී තිබූ ගෝත‍්‍ර නායකත්ව පදනමත් වංශවතුන්ගේ ව්‍යුහයත් පෙළපත් ක‍්‍රමයත්, පරිපාලන ව්‍යුහයට සම්බන්ධ කර නොගැනීමෙන් සිරියානු සමාජයේ ප‍්‍රංස පරිපාලනය කෙරේ අප‍්‍රසාදයක් ඇති වීම මෙම කැරැල්ලට එක් හේතුවක් ලෙස සැලකේ. එය මෙම කැරැල්ල ඇතිවීමට බලපෑ මූලික හේතු ලෙස දැක්වේ.

කැරැල්ල මතුවීමට බලපෑ ආසන්න හේතුව වූයේ ජෙබෙල්-ඩ‍්‍රෑස් පළාතේ ස්වදේශික ජනයා ප‍්‍රංස පාලනයේ අත්තනෝමතිකත්වයට සහ හිංසනිකත්වයට යටත් කිරීමයි. එම ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා වූ ප‍්‍රංස ජාතික කපිතාන් කාබිලේ (Carbillet) මාරු කරන ලෙස ඉල්ලීම් කරමින් සිරියාවේ ප‍්‍රංස පාලනයේ උත්තරීතර කොමසාරිස්වරයා කරා 1925 අපේ‍්‍රල් මාසයේ දී පැමිණි ඩ‍්‍රෑස් දූත පිරිස බලහත්කාරයෙන් ආපසු ජෙබෙල්-ඩ‍්‍රෑස් කරා හරවා එවනු ලැබුණු අතර එක් නියෝජිතයකු අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ හේතුවෙන් එස්. අල්-අත‍්‍රාෂ් නමැති ඩ‍්‍රෑස් ඉඩම්හිමි ශෙයික්වරයාගේ නායකත්වයෙන් 1925 ජූලි 18 දා ජෙබෙල්-ඩ‍්‍රෑස්හි කැරැල්ලක් ඇති විය. 1920 ජූලි 20 දා සල්හාද් නගරය ද ඊට පසු දින එල් කෆීර් නගරය ද 28 දා එස්-සුවේයිදා නගරයට පිවිස ප‍්‍රංස බල කණ්ඩයක් රඳවා සිටි එහි බළකොටුව වටකිරීමට ද කැරලිකාර හමුදා සමත් වූහ. 1925 අගෝස්තු 2 සහ 3 දිනයන්හි හාරදහසක ප‍්‍රංස හමුදාවක් පරාජයට පත් කර සන්නද්ධ රථ 5ක්, කාලතුවක්කු 10ක්, බැර ගිනි අවි 40ක්, තුවක්කු 2000ක්, ෂෙල් වෙඩි 25,000ක්, පතුරම් මිලියනයක් තමන් සන්තක කර ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. එම සටනේ දී ප‍්‍රංස සෙබළුන් 1,600ක් මියගිය බව සඳහන් වේ. 1925 අගෝස්තු 20 දා ප‍්‍රංස හමුදා නායකත්වය සමඟ සාකච්ඡුා අත්හැර දැමූ අල්-අත‍්‍රාෂ් 1925 අගෝස්තු 23 දා ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියට පත් කරමින් අවි අතට ගෙන ප‍්‍රංස පාලනය විරුද්ධව සටනට බසින ලෙස සිරියානු ජනයාගෙන් ඉල්ලා සිටි අතර සිරියාවට පූර්ණ නිදහස ලබා දෙන ලෙසත් ජනතා ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙසත් ප‍්‍රංස හමුදා ඉවත් කර ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. 1925 සැප්තැම්බර් 21 දා ජෙනරාල් ගමෙලේන්ගේ හමුදා කැරලිකරුවන් විසින් පරාජයට පත් කරනු ලැබිණි. 1925 ඔක්තෝබර් 4-6 පැවති හාමා නගරයේ පැවති ප‍්‍රංස විරෝධී කැරැල්ල ප‍්‍රංස හමුදා විසින් මැඬපවත්වනු ලැබිණි. මේ අතර 1925 ඔක්තෝබර් 12 වන දින සිරියාවේ සහ මොරොක්කෝවේ ප‍්‍රංසය විසින් ක‍්‍රියාත්මක කෙරෙන සංග‍්‍රාමයට එරෙහි 900,000කගේ සහභාගිත්වයෙන් මහා වැඩ වර්ජනයක් පවත්වනු ලැබිණ. 12-14 දිනයන්හි ගූතා ක්ෂේම භූමියේ සිදු කළ මෙහෙයුමේදී මියගිය ඩ‍්‍රෑස් කැරලිකරුවන් 24 දෙනකුගේ මෘතදේහ ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම නිසා ප‍්‍රංස විරෝධී වැඩවර්ජනයක් ඇති විය. 16 දා අල්-අත‍්‍රාෂ්ගේ හමුදා ඩැමස්කස් නගරය අල්ලා ගැනීම පිණිස සටන් ආරම්භ කළ නමුත් 18 දා ජනරාල් සරයිල්‍යාගේ ප‍්‍රංස හමුදා ගුවන් යානා සහ යුද ටැංකි බලය උපයෝගී කොටගෙන නගරයේ උතුරු පෙදෙසින් සිරියානුවන් පළවා හැරීමට සමත් වූහ. 19 දා ඔහුගේ අණදීම යටතේ ප‍්‍රංස හමුදා ඩමස්කස් නගරය දැවැන්ත කාළතුවක්කු ප‍්‍රහාරයකට ලක් කළ අතර එයින් නගරවාසීහු 25,000ක් මිය ගියහ. ඊට පසු දින අල්-අත‍්‍රාෂ්ගේ හමුදා නගරයෙන් පසු බැස්සාහ. ඉන් පසු නොයක් තැන ප‍්‍රංස විරෝධී කැරලි ඇති වූ අතර අරගලය දිගටම සිදු කෙරීගෙන ගියේය. 1926 අපේ‍්‍රල් 22 දා 80,000ක ප‍්‍රංස හමුදාවක් විසින් සිදු කරන ලද දැඩි ප‍්‍රහාර මඟින් එස්-සුවේයිදා නගරය ප‍්‍රංස හමුදා යටතට පත්විය. ඉන්පසු අල්-අත‍්‍රාෂ්ගේ හමුදා විසින් ලෙබනනයේ ද ප‍්‍රංස විරෝධී මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට ගොස් බාල්බෙක් නගරය අත්පත් කර ගනු ලැබිණි. මේ අතර ජූලි මාසයේ දී කිහිප වරක් සිරියානු කැරලිකරුවෝ ඩමස්කස් නුවර අත්පත් කර ගැනීමට ප‍්‍රහාර එල්ල කළ ද ඒවා අසාර්ථක විය. එහි දී කැරලිකරුවන් 1,500ක් ජීවිතක්ෂයට පත්වූ අතර 400ක් අත්අඩංගුවට පත්වූහ. එනයින් 1926 ග‍්‍රීෂ්ම සමයේ සිට ප‍්‍රංස හමුදා විසින් කැරලිකරුවන්ට එරෙහිව දැඩි ක‍්‍රියාන්විතයක් දියත් කළ අතර ඩැමස්කස් නගරය වට කර ප‍්‍රහාර එල්ල කරනු ලැබිණි. 1926 ශරත් සමයේ දී ප‍්‍රධාන කැරලි මර්මස්ථාන මර්දනය කිරීමට ප‍්‍රංස හමුදා සමත්වූහ. 1927 මාර්තු මාසයේ දී දින දහයක සටනකින් පසු එල්-ලෙජා ප‍්‍රදේශයේ බලය අල්ලා ගැනීමට ප‍්‍රංස හමුදා සමත් වූහ. මැයි මාසයේ දී ගූතා ක්ෂේම භූමිය අත්පත් කර ගත් ප‍්‍රංස හමුදා, ජෙබෙල්-ඩ‍්‍රෑස් පළාතේ පැන නැඟි ප‍්‍රංස විරොධී අවසන් සුළු කැරලි ද මැඬපවත්වා 1927 ජූනි මාසයේ දී ජෙබෙල්-ඩ‍්‍රෑස් ප‍්‍රදේශයේ යළ තම පාලනය ස්ථාපිත කිරීමට ප‍්‍රංස හමුදා සමත්වූහ. කැරලි නායක අල්-අත‍්‍රාෂ්, 600ක භට පිරිසක් සමඟ බ්‍රිතාන්‍යයට අයත්ව තිබූ ට‍්‍රාන්ස්ජෝර්දානයට පසු බැස ගියේ ය.

ඩ‍්‍රෑස් කැරැල්ල පරාජයට පත්වුවත් එය සිරියාවේ ඉදිරි වර්ධනයන්ට බලපෑවේ ය. 1928 අප්‍රේල් මාසයේ දී සිරියාවේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වීමට ප‍්‍රංස පාලකයින්ට සිදුවිය. ජූනි 09 දා ප‍්‍රංස පරිපාලනයේ මෙහෙයැවීමෙන් කැඳවුණු ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාව විවෘත කෙරිණි. 1930 දී සිරියාව ජනරජයක් ලෙස ප‍්‍රකාශයට පත්කෙරුණු අතර 1943 දී ප‍්‍රංස භාරකාර පාලනය විසුරුවා හරිනු ලැබිණ.

කර්තෘවරු: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ සහ හොසේයින් මොහන්නද්

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩ‍්‍රෑස්_කැරැල්ල&oldid=3847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි