තම්බිමුත්තු, මෙයරි ජේම්ස් තුරෙයිරාජා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Thambimuttu.jpg
(Meary James Thurairajah Tambimuttu) (15.08.1915-22.06.1983). ලංකාවේ ජන්මලාභී වූ ඉංග‍්‍රීසි කවියෙකි, කෘතහස්ත සඟරා සකසුවෙකි, සාහිත්‍ය විචාරකයෙකි, ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකි. 1955 දී 'නිව් යෝර්ක් ටයිම්ස්' (The New York Times) පුවත්පත විසින් "බොහෝ විට වඩාත් ම ප‍්‍රකට සමකාලීන ඉන්දියානු කවියා" ලෙස හැඳින්වූ තැනැත්තා ය. එංගලන්තයේ පළ වූ ජනප‍්‍රිය ම කවි සඟරාව වූ 'ලන්ඩන් කවි' (Poetry London ) සඟරාවේ ආරම්භකයා සහ සංස්කාරකවරයා ය. 1940 ගණන්වල ලන්ඩන් නුවර ඉංග‍්‍රීසි කාව්‍යයේ නියෝජිතයෙකි. ඉංග‍්‍රීසි භාෂක කවියන් සහ සාහිත්‍යකරුවන් අතර තම්බිමුත්තු නමින් ද මිතුරන් අතර 'තම්බි' යන නමින් ද ප‍්‍රකට ව සිටි පුද්ගලයා ය.

යාපනයේ අච්චුවේලිහි දී කීර්තිමක්, උගත්, ධනවත් ඉංග‍්‍රීසි භාෂණ වංශවත් රෝමානු කතෝලික පවුලක උපත ලැබී ය. එස්.යූ.ජේ. තම්බිමුත්තුපිල්ලේ නමැති ඔහුගේ සීයා යාපනය රාජධානිය පාලනය කළ දෙමළ රජවරුන්ගෙන් පැවතෙන්නෙක් විය. මොහුගේ පියා හෙන්රි තම්බිතුරේ තම්බිමුත්තු වූ අතර මව මේරි පොන්නම්මා සන්තියාපිල්ලේ වූවා ය. දරුවන් හත් දෙනකුගෙන් යුත් එම පවුලේ දෙවැන්නා ව උපන් මොහුගේ වැඩිමල් සහෝදරයා පූජ්‍ය ෆ‍්‍රැන්සිස් පියතුමා ය. තෙවැන්නා පෝලිනස් නම් විය. මොහු ආනන්ද කුමාරස්වාමිගේ ඥාති පුත‍්‍රයෙකි.

මොහු ත‍්‍රිකුණාමලයේ ශාන්ත ජෝසෆ් විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ඉංග‍්‍රීසි භාෂාවෙන් ලැබී ය. පසුව කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයයට ඇතුළත් වූ මොහු ඉක්බිති උද්භිද විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබ ලංකා විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළත් විය. නමුත් ඔහු එම පාඨමාලාව අවසන් නොකෙළේ ය. කොළඹ රැකියාවක් සොයා ගැනීමට කෙටි කාලයක් උත්සාහ දැරූ මෙතෙමේ 1938 දී ලන්ඩනයට සංක‍්‍රමණය විය. ඒ වන විට ඔහු කාව්‍ය සංග‍්‍රහ තුනක් ලංකාවේ දී එළිදක්වා තිබිණ. එයින් Songs of Youth ('යොවුන් ගී') (1932), කොළඹ කොම්පඤ්ඤවීදියේ Slave Island Printing Works ප‍්‍රකාශකයින් විසින් එළිදක්වන ලද Tone Patterns ('නාද රටා') (1936) කෘතිද්වය ඒ අතරින් ප‍්‍රකට ය. "දිව්‍යස්මිතයෙන් ද දිගු ලිහිල් සේදමය කේෂ කලාපයෙන් ද" සුසැදි පුද්ගලයකු වශයෙන් ලන්ඩනයේ දී මෙතෙමේ හඳුන්වනු ලැබී ය. ලන්ඩන් නුවර සුප‍්‍රකට කවියන් සහ සාහිත්‍යධරයින් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගෙන ඔවුන්ගේ කුළුපග මිතුරකු බවට පත් මෙතෙමේ, ලේඛකයකු සහ කවියකු වූ ඇන්ටනි ඩිකන්ස් (Anthony Dickins ) සමඟ එකතුව 1939 දී 'කවි' නමින් සංස්කරණය අරඹන ලද ඔහුගේ ජනප‍්‍රිය සාහිත්‍ය සඟරාව නොබෝ කලෙකින් 'ලන්ඩන් කවි' (1939-51) නමින් ප‍්‍රකට විය. දීපක චිත‍්‍ර යොදා අලංකරණය කළ මෙම සඟරාවට සාහිත්‍යධරයින් පෙළකගේ ම දායකත්වය සඵලදායී ව ලබා ගැනීමට මෙතෙමේ සමත් විය. ටී.එස්. එලියට් සහ තවත් අයගේ සහාය ඔහුට ලැබිණ. දෙවන ලෝක මහා සංග‍්‍රාමය ද නොතකා වසර 10කට අධික කාලයක් පුරා මොහු ඉතා සාර්ථක ව මෙම සඟරාව කරගෙන ගියේ ය. මොහු මහා කිවියකු ලෙස සම්භාවනාවට පාත‍්‍ර නොවූ නමුත් සෙසු අංකුර ලේඛයින්ගේ කාව්‍ය නිර්මාණ කරලියට ගෙන ආවේ ය. ඒ අතරින් ලෝරන්ස් ඩරල්, කැත්ලීන් රෙයින්, ස්ටීවන් ස්පෙන්ඩර්, එඩිත් සිට්වෙල්, ඬේවිඞ් ගැස්කොයින්, හෙන්රි මුවර්, ග‍්‍රැහැම් සදර්ලන්ඞ්, ලූෂන් ෆ්‍රොයිඞ්, ඩබ්.එච්. ඕඩන්, ගාවින් ඊවට්, ජැක් කැරොවැක්, ගෙග‍්‍රරි කෝර්සෝ, ඇලන් ගින්ස්බර්ග්, රෝයි කෑම්ප්බෙල්, රොබින් ස්කෙල්ටන්, කේයිත් ඩග්ලස්, ඩිලන් තෝමස්, ඩබ්.බී. ඉයේට්ස් සහ එවැනි කැපී පෙනුණු තවත් ලේඛකයින් මහත් රාශියකගේ නිර්මාණ මොහුගේ සංස්කරණයෙන් එළිදුටුවේ ය. ඇන්ටනි ඩිකන්ස්ගේ සංස්කරණ දායකත්වය සඟරාව ආරම්භයේ දී ම ඌණනය වී ගියෙන් මෙම සඟරාවේ පළමු වෙළුම් 14 සහ පොත් කිහිපයක් සංස්කරණය කිරීමට සිදුවූයේ මොහුට තනි ව ම ය. ඒ සමඟ ම තෙමේ ම කවි ප‍්‍රබන්ධ කිරීමෙහි ද නිරත විය. 1943 ජූලි මාසයේ දී ටී.එස්. එලියට්ගේ නිර්දේශය මත, නිකල්සන් සහ වොට්සන් ප‍්‍රකාශකයින්ගේ සහාය ඇතිව 'ලන්ඩන් කවි සංස්කරණ' (Editions Poetry London) නමින් ප‍්‍රකාශනායතනයක් මෙතෙමේ ආරම්භ කෙළේ ය. එම ප‍්‍රකාශනායතනය විසින් සමකාලීන ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යය මෙන් ම චිත‍්‍ර කලා පොත් ද ඝන කවර යොදා මුද්‍රණය කරනු ලැබිණ. වෙළුම් පහකින් යුත් ග‍්‍රන්ථයක් සේ 'ලන්ඩන් කවි' සඟරාව පසු කලෙක පුනර්මුද්‍රණය කරනු ලැබිණ.

එලිසබෙත් ස්මාර්ට්, ඬේවිඞ් ගැස්කොයින්, ලෝරන්ස් ඩරල්, හෙන්රි මිලර්, ව්ලඩිමීර් නබෝකොව්, කේයිත් ඩග්ලස්, ක්ලීන්ත් බ‍්‍රෑක්ස් වැනි ලේඛකයින්ගේ කෘති ද මොහුගේ ප‍්‍රකාශනායතනයෙන් එළි දුටුවේ ය. ඒ සමඟ ම, මුල්ක් රාජ් ආනන්ද්, වෝල්ටර් ඩෙ ලා මරේ, අහ්මඩ් අලි, ඉන්දිරා දේවි, ටී.එස්. එලියට්, නාරායන මෙනන්, හෙන්රි මුවර්, ග්‍රෙගරි කොර්සෝ, ඩබ්.එච්. ඕඩන්, ජෝජ් බාකර්, ඉසෙඩ්. ඒ. බොඛාරි, ෂියවෝ චියෙන්, වෙනූ චිතාලේ, ඇලෙක්ස් කම්ෆර්ට්, ජී.වී. දේසානි, කේයිත් ඩග්ලස්, සෙඩි‍ක් ඩෝවර්, ලෝරන්ස් ඩරල්, විලියම් එම්ප්සන්, ගාවින් ඒවර්ට්, ඊ.එම්. ෆෝස්ටර්, ජී.එස්. ෆ්‍රේසර්, ඩයනා ගාඩ්නර්, මයිකල් හැම්බර්ගර්, බාර්බරා හෙප්වර්ත්, ඔගස්ටස් ජෝන්, ෆ්‍රෙඞීන් කැබ‍්‍රජී, ඇලන් ලෙවිස්, වින්ඩම් ලෙවිස්, ලූවී මැක්නීස්, රිචඩ් මාස්, යූනා මාර්සන්, හෙන්රි මිල්ලර්, හෙන්රි මූර්, අනායි නීන්, ජෝර්ජ් ඕවල්, මර්වින් පීක්, පෝල් පොට්ස්, කැත්ලීන් රේන්, බාලචන්ද්‍ර රාජන්, හර්බට් රීඩ්, කේයිඩ්‍රිච් රීස්, ෆ‍්‍රැන්සිස් ස්කාෆ්, එලිසබෙත් ස්මාට්, ස්ටීවි ස්මිත්, මේරි ස්ටොප්ස්, අලගු සුබ‍්‍රමනියම් වැනි කිවියන් සහ ලේඛකයින් සමඟ ඔහු සාහිත්‍ය නිර්මාණාත්මක සබඳතා පවත්වා ගත්තේ ය. මෙම නාමාවලියෙන් මොහුගේ සාහිත්‍ය සම්බන්ධතාවේ පුළුල් පරාසය විශද කරවයි.

දෙවන ලෝක සංග‍්‍රාම සමයේ ලන්ඩන් නුවර 'බීබීසී' ආයතනය විසින් සංවිධානය කරන ලද 'ඉන්දියාවට කතාකිරීම' නම් ගුවන්විදුලි වැඩසටහන් මාලාවට මොහු නිරන්තරයෙන් සම්බන්ධ කරගනු ලැබිණ. Out of this War (London: The Fortune Press, 1941) ('මේ යුද්ධයෙන් නිපන්'), Natarajah: A Poem for Mr T. S. Eliot (London: Editions Poetry London, 1948) ('නටරාජා: ටී. එස්. එලියට් මහත්මා වෙනුවෙන් විරචිත කාව්‍යය') වැනි කාව්‍ය කෘති රචනා කළ මොහු, නිර්මාණාත්මක ක්ෂාන්තිවාදයේ (creative pacifism) සාර සංග‍්‍රහයක් ලෙස සැලකෙන Poetry in Wartime (London: Faber, 1942) ('යුද සමයේ කවි'), සංවේදන බද්ධ, අනිජ, ආමෝදිත පාඨන කෘතියක් ලෙස 'ටයිම්ස්' පුවත්පත හැඳින්වූ Indian Love Poems (New York: Peter Pauper Press, 1954) ('ඉන්දියානු පෙම් කවි'), Poems from Bangla Desh: The Voice of a New Nation (London: The Lyrebird Press, 1972) ('බංග්ලාදේශයෙන් ඇසෙන කවි. නව ජාතියක හඬ'), T. S. Eliot: A Symposium compiled by Richard March and Tambimuttu (1948), Editions Poetry London ('ටී.එස්. එලියට්: රිචර්ඞ් මාර්ච් සහ තම්බිමුත්තු විසින් සංගෘහිත සම්භාෂණයක්'. 1948) වැනි කෘති එළිදුටුවේ මොහුගේ සංස්කාරකත්වයෙනි. ඊට අමතර ව Asian Horizon ('ආසියානු ක්ෂිතිජය'), Horizon ('ආසියානු ක්ෂිතිජය') Harpers & Queen ('බුහුතත් වාදකයා සහ රැජින'), New Statesman ('නව රාජ්‍යතාන්ත‍්‍රිකයා'), Poetry London ('ලන්ඩන් කවි') යන සඟරාවනට ඔහු තම නිර්මාණාත්මක දායකත්වය ලබාදුණි.

1949 දී 'ලන්ඩන් කවි' සඟරාවට අනුග‍්‍රාහකත්වය ලබාදුන් භවතුන් සමඟ ඇති වූ මතභේදයක් මත ඔහු එම සඟරාවේ සංස්කාරක ධුරයෙන් පහ කරන ලදි. ඉන්පසු ආපසු ලංකාවට පැමිණි මෙතෙමේ 1952 දී ඇ.එ.ජ.යේ නිව් යොර්ක් බලා සංක‍්‍රමණය විය. 'ලන්ඩන්-නිව් යෝර්ක් කවි' (1956-60) නමින් එහි දී ඔහු නව කවි සඟරාවක් ආරම්භ කෙළේ ය. එහි පළ කළ හැකි වූයේ සඟරා පහක් පමණි. ඇ.එ.ජ.යේ දී ඔහු ස්වයං චරිතාපදානමය කෙටි ගද්‍ය නිර්මාණ සහ කවි ප‍්‍රකාශයට පත් කෙළේ ය. තව ද 'කවි කේන්ද්‍රයේ' සහ නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වී ය. එහෙත් එරට ඔහුගේ සුපුරුදු නවාතැන නොවී ය. එහෙයින් 1968 දී ආපසු ලන්ඩනයට පැමිණ සිය හවුල්කාරිය වූ කැතරින් ෆැනී බෙනට් සමඟ එකතුව 'ලයර්බර්ඞ් ප්‍රෙස්' (Lyrebird Press) ප‍්‍රකාශනායතනය 1969 දී පිහිටුවා 'ලන්ඩන් කවි/ඇපල් සඟරාව' නමින් නව ප‍්‍රකාශනයක් ආරම්භ කෙළේ ය. 'ඇපල්' වනාහි ඊට කලකට පෙර මොහු විසින් සඟරාවක් සඳහා සැකසූ සැලසුමකි. එහෙත් පළ කළ හැකි වූයේ එම සඟරාවේ කලාප දෙකක් පමණි. කවි පළ කිරීමට අමතර ව යෝග සහ දර්ශනය පිළිබඳ කෘති ද ඔහු එම ආයතනය මඟින් ප‍්‍රකාශයට පැමිණවී ය. තවද 1982 දී ඔහු සිය දියනිය සමඟ ඉන්දියාවේ සිදු කළ දීර්ඝ සංචාරයෙන් පසු 'ලන්ඩනයේ ඉන්දියානු කලා කවුන්සිලය' පිහිටුවී ය. එහි අරමුණ වූයේ ඉන්දියානු සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ ප‍්‍රකාශයට පත් කිරීමත් සාම්ප‍්‍රදායික ඉන්දියානු කලා සහ සංස්කෘතිය ප‍්‍රචලිත කිරීමත් ය. එය පෙරදිග සහ බටහිර අතර අන්‍යෝන්‍යාවබෝධය සහ අන්‍යෝන්‍ය බලපෑම පුළුල් කිරීම අරමුණු කර ගත්තක් විය. තව ද ඇපල් සඟරාවේ තුන්වන කලාපය ඔහු මිය යන අවස්ථාව වන විට සම්පාදනය කෙරෙමින් තිබිණ. එහි පළ කිරීමට අපේක්ෂාවෙන් සිටියේ යට කී ඉන්දියානු සංචාරයේ දී තෙමේ ම විසින් අනාවරණය කර ගත් කවීන්ගේ ද ඇතුළු ඉන්දියානු කාව්‍ය නිර්මාණ ය.

මොහු විවාහ කිහිපයක් කරගෙන සිටියේ ය. ජැකොලින් ස්ටැන්ලි (Jacqueline Stanley) (1940-41), සැෆියා ටියෑබ්ජී (Safia Tyabjee) (1950-83), එස්ටා ස්මිත් (Esta Smith) (1960-65) ඔහුගේ බිරින්ඳෑවරු වෙති. ආකර්ෂණීය පුද්ගලයකු වූ මොහු සතුව මිතුරෝ බොහෝ වූහ. මොහුගේ මිත‍්‍ර සම්භාෂණය සහ ජීවන රටාව බොහිමියානු ප‍්‍රතිසම්මතික ආරක් ගත්තේ ය. එය සෝහෝහි (Soho) සමාජ ශාලා සමඟ බැඳී තිබිණ. වත්මනෙහි මධ්‍යම ලන්ඩනයේ ෆිට්ස්රෝවියා (Fitzrovia) නමින් හැඳින්වෙන දිස්ත‍්‍රික්කයේ චාලට් (Charlotte) වීදියේ පිහිටි ෆිට්ස්රෝයි මධු ශාලාව (Fitzroy Tavern) පාදක කොට ගෙන Fitzrovia යන වචනය මොහු විසින් නිර්මාණය කළහයි මතයෙක් පවතී.

මොහු 67 වන වියේ දී ලන්ඩන් නුවර සිය කාර්යාලයේ ඇද වැටීමෙන් ලත් තුවාල හේතුවෙන් රෝහල් ගත කරන ලදුව හෘදයාබාධයකින් මිය ගිය බව සඳහන් වේ. මෙම කවියා පිළිබඳ මතකය ස්මරණය කිරීම නිමිත්තෙන් 1984 දී ප‍්‍රසංගයක් පවත්වනු ලැබිණ. කවියෝ, මිත‍්‍රයෝ, ඥාතීහු හා රසිකයෝ ඊට සහභාගී වූහ. මැසචුසෙට්ස්හි වෙසෙන මොහුගේ දියනිය ශකුන්තලා තම්බිමුත්තු-බුෂි විසින් පියාගේ ප‍්‍රියතම ගීතයක් ගායනා කිරීමෙන් එම ප‍්‍රසංගය අවසන් කෙරිණ. වසර 13ක් මොහු වාසය කළ ෆිට්ස්රෝවියාහි මොහු ස්මරණය කරනු පිණිස රෝපණය කරන ලද අනුස්මරණ ශාකය අසල මොහුගේ ලෝකඩ උඩුකය පිළිමයක් ස්ථාපිත කර තිබේ.

මොහු ගැන ලියූ පොත් අතර Beckett, Chris, ‘Tambimuttu and the Poetry London Papers at the British Library: Reputation and Evidence’, Electronic British Library Journal (2009): http://www.bl.uk/eblj/2009articles/article9.html (ක‍්‍රිස් බෙකට්. තම්බිමුත්තු සහ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තැන්පත් ලන්ඩන් කවි ලියැවිලි: කීර්තිනාමය සහ සාක්ෂ්‍යය. බ්‍රිතාන්‍ය පුස්තකාල විද්‍යුත් සඟරාව. 2009), Maclaren-Ross, J., Memoirs of the Forties (London: Alan Ross Ltd, 1965) (ජේ. මැක්ලරේන්-රොස්. හතළිස් ගණන්වල ස්මරණ. 1965), Poologasingham, P., Poet Tambimuttu: A Profile (Colombo: P. Tambimuttu, 1993) (පී. පූලෝගසිංහම්. කිවියර තම්බිමුත්තු. පුද්ගල පැතිකඩක්. 1993), Ranasinha, Ruvani, South Asian Writers in Twentieth-Century Britain: Culture in Translation (Oxford: Oxford University Press, 2007) (රුවනි රණසිංහ. විසි වන සියවසේ බ්‍රිතාන්‍යයේ විසූ දකුණු ආසියාවේ ලේඛකයෝ: පරිවර්තන සාහිත්‍යයේ සංස්කෘතිය. 2007), Williams, Jane (ed.), Tambimuttu: Bridge Between Two Worlds (London: Peter Owen, 1989) (ජේන් විලියම්ස්. තම්බිමුත්තු: දෙළොවක් අතර පාළමක්. 1989) යනාදිය කැපී පෙනේ. පීටර් ඕවන් විසින් පළ කෙරුණු මෙහි අවසානයේ සඳහන් කෘතිය මොහු පිළිබඳ සැට දෙනකුගේ ස්මෘති සටහන් ඇතුළත් සංග‍්‍රහයකි.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)