තයිෂාන්
(Tai Shan Mt./Mount Tai). නැගෙනහිර චීනයේ ශන්දූන් පළාතේ තයියාන් නම් කඳුකර ප‍්‍රදේශයේ පිහිටි කන්දකි. නාමයෙහි වාච්‍යාර්ථය වනාහි සූර්‍ය්‍යෝද්‍යා කූඨයයි. චීන සංස්කෘතියෙහි එය උත්පත්තියේ, නව ජීවනයේ සහ ස්ථාවරත්වයේ සංකේතයක් ලෙස ද තහවුරු ව තිබේ. මී.1,524ක් වන මෙහි උස ම කූඨය ජේඞ් අධිරාජයාගේ මුදුනත යැයි නාමිත ය.
සුවිශිෂ්ට භූ දර්ශනයකින් හෙබි මෙහි භූමියෙන් 80%ක් රාජ්‍ය ආරක්ෂාව යටතේ පවතින වන ගහනයෙන් වැසී පවතී. හන් (Han) (බ.) රාජාවලියේ වූ (Wu) අධිරාජයා (ක‍්‍රි.පූ. 157-87) විසින් රෝපිත සයිප‍්‍රස් (cupressus) ශාකය ද ටැංග් (Tang) අදිරද යුගයේ සිටි විද්‍යාඥයින් විසින් මීට වසර 1,300කට පමණ ඉහත දී රෝපිත ශාකය ද 500 වස් වියැති 'අමුත්තන් පිළිගන්නා' යැයි හැඳින්වෙන පයින් ගස ද ඇතුළත් ශාක විශේෂ 989ක් මෙහි වැඩෙන අතර ඉන් අඩක් පමණ ඖෂධීය ගුණයෙන් යුක්ත ය. ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමයේ (International Union for Conservation of Nature-IUCN) රතු දත්ත පොතට ඇතුළත් විශේෂ ද සමඟ පක්ෂි විශේෂ 122කටත් ක්ෂීරපායි සත්ත්ව විශේෂ 11කටත් මෙය වාසභූමි වෙයි. මිනිස් වාසය පිළිබඳ මෙම ස්ථානයෙන් ලැබෙන සාක්ෂ්‍ය නව ශිලා යුගයට දින නිර්ණය කෙරී තිබේ.
මෙම ස්ථානය ආගමික විශ්වාස සමඟ බැඳී තිබෙනුයේ ක‍්‍රි.පූ. පළමු සහශ‍්‍රකයේ සිට ය. චීනයේ අතිශයින් ම වන්දනීය කූඨය වන මෙය තා ඕවාදීන්ගේ ශුද්ධ කඳු පහට ඇතුළති. තාඕවාදයේ පැනෙන ශුද්ධවන්තයින්ගේත් අමරණීයත්වයට පත්වුවන්ගේත් වාසභවන ලෙස සැලකේ චින් (Qin) රාජවංස සමයේ ස්ථාපිත ව.මී. 96,000ක දායි ම්‍යාවෝ (Dai Miao) සිද්ධස්ථානය මෙකඳු අධිපති දෙවියනට කැපවුවකි. එහි අදිරද මන්දිරයේ සහ ක්‍යුෆුහි (Qufu) පිහිටි කොන්ෆියුසියස් ආශ‍්‍රමයේ වාස්තු විද්‍යා ශෛලිය අනුකරණිත ය. 1008 ඉදිකළ නුබාශිර්වාද (Tian Zhu) යැයි නාමිත එහි මැද පිහිටි මන්දිරයට අමතරව විශාල ශාලා පහක් ද ඇතුළු ගොඩනැඟිලි රාශියකි. මෙකී ශිඛරාධිපතිනි ලිශාන් ලවෝමු (Lishan Laomu) දෙවඟනට කැප කළ නිල් වලා ආරාමය සහ දහසක් බුදුන්ගේ මැදුර පිහිටි ශුද්ධශිඛරාරාමය මෙහි ඇති තවත් ආරාම දෙකකි. නිල් වලා ආරාමය නිදුක් නිරෝගී සුවයත් දරුඵලත් පහසුවෙන් විළිබරින් නිදහස් වීමත් පතා පැමිණෙන වනිතාවන් අතර ප‍්‍රකට ය.
තමන් වෙත පාලන බලයේ වගකීම පැවරීම වෙනුවෙන් අධිරාජයා විසින් අහස් ගැබට පිදවිලි ඔප්පු කිරීමේ සහ යාතිකා පැවැත්වීමේ ශාන්තිකර්මය දායි ම්‍යාවෝහි දී සිදු කෙරිණ. එය ෆෙන් නමි. දායාදිත අස්වැන්න වෙනුවෙන් පොළෝ තලයට තුති පිදීමේ උත්සවය පැවැත්වුණේ කඳු පාමුල ය. එය ශාන් නමින් නාමිත ය. එක්සත් චීනයේ පළමු අධිරාජයා ව සැලකෙන චින් ෂි හුවාං (Qin Shi Huang) (චීනය බ.) වසර දෙසියයක් එකනෙකා සමඟ යුද කරමින් සිටි සතුරු රාජ්‍ය මැඬපවත්වා අභ්‍යන්තර චීනය ලෙස සැලකෙන සමස්ත ප‍්‍රදේශය ම ඒකාබද්ධ කොට පළමු මධ්‍යගත චීන රාජ්‍යය පිහිටුවීම ක‍්‍රි.පූ. 219 දී උත්වශ‍්‍රීයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ද මෙකඳු මුදුනේ සිට ය.
මෙහි ආගමික සිද්ධස්ථාන 22ක් ද නටඹුන් ස්ථාන 97ක් ද ගල් පුවරු 819ක් ද මුදුනත දක්වා පිහිටි ගලෙහි කෙටූ සෝපාන 7,200ක පන්තියක් ද ද්වාර 11ක් ද ශාලා 14ක් ද වෙළෙඳ පරිශ‍්‍ර 14ක් ද මණ්ඩප 4ක් ද කල්‍යලේඛන ද ඇතුළු ශිලා ලේඛන සහ සිතුවම් 1,018ක් ද වේ.
මෙහි සංචරණය වනාහි හුදෙක් සංචාරයක් නොව වන්දනා ගමනක් ද වේ. මෙහි මුදුනට නැඟීමට මාර්ග දෙකකි. පළමුවැන්න බස්රිය, ටැක්සි සහ ස්වංක‍්‍රීය සෝපාන (කේබල කාර) ආධාරයෙනි. දෙවැන්න පා ගමනින් පැරණි මාර්ගයේ අමරණීයයන් දසදහසේ ස්ථම්භය පසු කර ගොස්, අර්හතුන්ගේ කූඨය නැඟ ඩෝමා (Doma) දේව මන්දිරය කරා පැමිණ ඉහළට නැඟීමයි. එතැනින් ඊසාන දිගට වන්නට සූත‍්‍ර කූඨ නිම්නයයි. එහි උතුරු වෙයි (Wei) රාජවංශ සමයේ කළහයි සඳහන් සෙ.මී. 50 ප‍්‍රමාණයේ අකුරින් කෙටූ වජ‍්‍ර සූත‍්‍රයයි. වන්දනාකරු මේ සියල්ල පසුකර කූඨය මුදුනට පැමිණිය යුතු වේ. කන්දේ මැද කොටසේ ඇති සුමට මතුපිටෙහි කවි සහ ආගමික පාඨ කොටා ඇත. වන්දනාකරුවන්ගේ සහ සංචාරකයින්ගේ පහසුව තකා අවශ්‍ය පහසුකම් මඟ දිගට සලස්වා තිබේ. මෙය සොබාදහමේ සහ සංස්කෘතියේ ස්මාරකයක් වශයෙන් 1987 සිට යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් ව සිටී.
කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)