තවුෆික් පාෂා
(Tawfīq Pasha) (30.04.1852-07.01.1892). මිසරයේ සහ සුඩානයේ දෙවන ඛිදිව්වරයා හෙවත් පාලකයා ය. පළමු මිසර ඛිදිව්වර ඉස්මයිල් පාෂාගේ වැඩිමහල් පුත‍්‍රයා සහ කිරීටය හිිමි කුමරා ය. මුහමඞ් අලි පෙළපතේ හවන පාලකයා ය. මුහමඞ් ටවුෆික් පාෂා ඉබ්න් ඉස්මයිල් ඉබ්න් ඉබ‍්‍රාහිම් ඉබ්න් මුහම්මඞ් අලි යන සම්පූර්ණ නම හිමි, බ්‍රිතාන්‍යය විසින් මිසරය ආක‍්‍රමණය කර සිටි යුගයේ පළමු අවධියේ (1879-92) මිසරයේ පාලකයා ය.
ඉස්මයිල් පාෂාගේ සහ ශෆීක්-නූර් කුමරියගේ වැඩිමහල් පුත‍්‍රයා ව කයිරෝහි දී උපතලත් මොහු තම බාල සහෝදරයින් මෙන් අධ්‍යාපනය කටයුතු සඳහා යුරෝපයට නොගොස් සිය රටෙහි ම රැඳුණේ ය. ප‍්‍රිවි කවුන්සිලයේ ප‍්‍රධානී ව සිටි මොහු 1878 දී නුබාර්-පාෂා ධුරයෙන් පහ කළ පසු ඊජිප්තුවේ අගමැති ලෙස පත්කරන ලද්දෙන් මාස කිහිපයක් එම ධුරය දැරී ය. 1879 ජූනි මාසයේ දී යුරෝපා රටවල් විසින් කිරුල හැරදමා රටෙන් පිටව යෑමට මොහුගේ පියා වූ ඉස්මයිල්-පාෂාට බලපෑම් කරන ලද්දෙන් ඔටෝමන් අධිරාජ්‍යයේ සුල්තාන්වරයාගේ මැදිහත්වීමෙන් මොහු ඛිදිව් පදවියට පත්විය. 1876 මිසර රජය මූල්‍ය වශයෙන් බංකොලොත්භාවයට පත්වූයෙන් එංගලන්තය කේන්ද්‍රකොටගත් ණය ලබාදුන් රටවල මූල්‍ය පාලනය යටතේ ඊජිප්තුව පැවති අතිදුෂ්කර කාලයේ දී ඊජිප්තුව පාලනය කිරීමට එනයින් මොහුට සිදුවිය.
ණයබරින් රට මුදවා ගැනීමට ඔහු සතු ව තිබුණේ විකල්ප දෙකකි: ණය දුන් රටවල කොන්දේසි පිළිගැනීම හෝ එම රටවලට එරෙහි ව යුද්ධ ප‍්‍රකාශ කිරීම හෝ ය. එයින් පළමු විසඳුම තෝරාගත් මෙතෙමේ යුරෝපා රටවල සියලු උපදෙස් කීකරු ව පිළිපැද්දේ ය. ඒ අනුව, ඊජිප්තු හමුදාව 18,000ක් දක්වා අඩු කෙරිණ. ඊජිප්තු ආණ්ඩුවේ අයිතිවාසිකම් විශාල ලෙස කප්පාදු කෙරිණ. එනයින් මිසරයේ සැබෑ පාලකයින් බවට පත් වූයේ විදේශික පරිපාලකයෝ සහ 'ඛිදිව් ණය කොමිසමේ' සාමාජිකයෝ ය. ඔවුන්ගේ බලකිරීම මත 1880 දී ඉඩම් බද්ද ඉහළ නංවන ලද අතර දියලුණු ඒකාධිකාරයක් ඇති කරන ලදි. රාජ්‍ය ආදායමෙන් 60%ක් ඊජිප්තු ආණ්ඩුවේ පාලනයෙන් ඉවත් කර ණය සහ පොලී ගෙවීම සඳහා යොදවන ලදි. ජනප‍්‍රියවාදී නොවන මෙම පියවර හේතුවෙන් ඊජිප්තු සමාජයේ සෑම තරාතිරමක ම ආණ්ඩු වීරෝධී මනෝභාවයන් උත්සන්න විය. දේශපාලන කව සහ රහස් සංවිධාන හැම තැන බිහිවිය. මෙහි දී ජාතිකවාදින්ගේ බලකොටුව බවට පත් වූයේ ඊජිප්තු හමුදාවයි. එහි කර්නල් අහ්මද් අරාබි පාෂාගේ (අරාබි පාෂා බ.) නායකත්වය යටතේ දේශප්‍රේමීන්ගේ ව්‍යාපාරයක් ගොඩනැඟී තිබිණ. 'ඊජිප්තුව ඊජිප්තු ජාතිකයින් උදෙසා ය' යන සටන් පාඨය පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ ඊජිප්තු හමුදා නිලධාරීන් විසිනි. හමුදා සෙබළුන් අතර නොසතුට වර්ධනය වන බව දැන සිටි මොහු 1881 සැප්තැම්බර් මාසයේ දී අගනුවර හමුදා බල සේනාංකය යටතේ තිබූ රෙජිමේන්තු තුනක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ස්ථානගත කරන ලෙස නියෝග කෙළේ ය. ඉන් එක් රෙජිමේන්තුවක අණදෙන්නා වූ අහ්මද් අරාබි පාෂා එම නියෝගය ඉටුකිරීම ප‍්‍රතික්ෂේප කොට ඛිදිව්වරයාගේ මන්දිරය කරා සොල්දාදුවන් මෙහෙයැවී ය. එහිදී අවි භාවිත වෙනු ඇතැයි තැතිගත්තෙන් මොහු සිය නියෝගය අවලංගු කෙළේ ය. එනයින් අරාබි පාෂාගේ ජනප‍්‍රියත්වය මහත් සේ ඉහළ ගියේ ය. ඉක්බිති 1882 පෙබරවාරියේ දී අරාබි පාෂා, සාමි අල්-බරූදිගේ කැබිනට් මණ්ඩලයේ යුද අමාත්‍ය ධුරයට පත් කෙරිණ. ඊජිප්තුවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තිබූ විදේශික පාලනය අවලංගු කර දැමූ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පනත් කෙටුම්පත් කිරීමට වන්නේ ය. ඛිදීව්වරයා බලයෙන් පහකොට ජනරජයක් ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පවා යෝජනා ඉදිරිපත් කෙරිණ. සන්නද්ධ හමුදා උත්කර්ෂයෙන් ඇලලී ගොස් සිටියහ. අරාබි පාෂා විසින් අනුමත නොකෙළේ නම් ඛිදීව්වරයාගේ එකදු නියෝගයක් හෝ ක‍්‍රියාත්මක නොවිණි. තම අතින් බලය ගිලිහෙන බව වටහාගත් මොහු 1882 ජූනි මාසයේ දී කයිරෝ නුවරින් ඇලෙක්සැන්ඩ්‍රියාවට පලාගොස් එංගලන්ත නාවික බලඝනයක ආරක්ෂාව යටතට පත්විය. ඉනික්බිති රටේ පාලන බලය මුළුමනින් ම අරාබි පාෂා සහ ඔහුගේ සෙබලුන් යටතට පත්විය. නමුත් ඊජිප්තුවේ දෙවන වැදගත් ම නගරය වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිය බලය ව්‍යාප්ත කිරීමට අරාබි පාෂා අසමත් විය. එහි රඳවා සිටි හමුදා බලඇණි අරාබි පාෂා කෙරේ සිය පක්ෂපාතිත්වය පළ කළ ද එංගලන්ත නාවික හමුදාවේ ෂෙල් වෙඩි ප‍්‍රහාර හමුවේ ඔවුනට නගරයෙන් පිටව යෑමට සිදු විය. 1882 ජූනි 18 වන දා එංගලන්ත හමුදා ඇලෙක්සැන්ඩ්‍රියාව අල්ලා ගත්හ. ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ක‍්‍රියාකාරකම්වලට අනුග‍්‍රහය දැක්වූ මොහුගේ විරුද්ධත්වය ද නොතකා යුද අමාත්‍ය අහ්මද් අරාබි පාෂා විසින් ඊජිප්තුව සහ එංගලන්තය යුද තත්ත්වයක පසුවන බව ප‍්‍රකාශයට පත් කරන ලදි. එම ප‍්‍රකාශයෙන් ඊජිප්තුව ආක‍්‍රමණය කිරීමට එංගලන්තයට අවස්ථාව විවෘත කර දෙනු ලැබිණි. 1882 අගෝස්තු මාසයේ දී එංගලන්ත හමුදා ඛණ්ඩ සූවස් සහ පෝර්ට්-සේඩ්හි ගොඩබැස්සාහ. සැප්තැම්බර් 13 වන දා ඔවුහු ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තෙල් අල්-කෙබීර්හි දී ඊජිප්තියානුවන් පරාජයට පත් කර සැප්තැම්බර් 14 වන දා අගනුවරට ඇතුළුවූහ. අහ්මද් අරාබි පාෂා යුද සිරකරුවකු ලෙස යටත් වී භාර විය. එනයින් විරෝධතා දැක්වීම් නැවතිණ. සැප්තැම්බර් 24 දා මොහු ආපසු කයිරෝවට පැමිණියේ ය. 'ඊජිප්තු ජාතික හමුදාව' විසුරුවා හරිනු ලැබිණ. ඒ වෙනුවට එංගලන්ත ආක‍්‍රමණික හමුදාව ක‍්‍රියාත්මක විය. ඉක්බිති ඊජිප්තුවේ උත්තරීතර පාලන බලය බ්‍රිතාන්‍ය කොන්සුල් ජනරාල්වරයා අත කේන්ද්‍රගත විය. ඉනික්බිති නීති පද්ධතිය ප‍්‍රතිසංවිධානය කිරීම, මහජන මන්ත‍්‍රණ සභාවක් (General Assembly) සහ ව්‍යවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටුවීම, අධ්‍යාපන වැනි ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙළඹුණු මෙතෙමේ කෘෂි සහ වාරිකාර්මික ව්‍යාපෘති කිහිපයක් ද ක‍්‍රියාත්මක කෙළේ ය. සිය පියාගේ අන්තඃපුරය වසා දැමූ මෙතෙමේ ඔහුගේ සියලූ වහල් කාන්තාවන් ද වහල් වෙළෙඳපොලවල් ද විකුණා දැමූ බැව් පළවේ.
හදිසියේ රෝගාතුර වූ මෙතෙමේ 39 හැවිරිදි වියේ පසුවෙද්දී හල්වන්හි (Ḥulwān)දී මියගියෙන් ඔහුගේ වැඩිමහල් පුත‍්‍රයා දෙවන අබ්බාස් හිල්මි නමින් ඛිදීව්වරයා ව මිසරය පාලනය කෙළේ ය. 1873 ජනවාරියේ දී එමීනා ඉල්හැමි කුමරිය හා විවාහප‍්‍රාප්ත ව සිටි මොහුට දරුවෝ පස්දෙනෙක් වූහ.
තර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)