තාකු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Taku). කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවෙන් ආරම්භ වී උතුරු ඇමෙරිකාවේ වයඹ දිග ප‍්‍රදේශය දක්වා ගලාගොස් ඇලස්කාවේ ජූනෝහි දී සාගරයට වැටෙන සැමන් වර්ගයේ මසුන් බහුල ගංගාවකි. ගිනිකොනදිග ඇලස්කාවේත් බටහිර කැනඩාවේත් වාසය කරන ටිලිංගිට් (Tlingit) ජනයා වහරන නා-ඩෙනේ (Na-Dene) භාෂා පවුලට අයත් ටිලිංගිට් බසින් සැමන් යන්න හැඳින්වෙන තාකු යන වදනින් මෙම නදියේ නාමය සම්භව වූහයි පිළිගැනේ. වැඩි වශයෙන් වන ගහනයෙන් ගැවසීගත් මෙහි නදී ද්‍රෝණිය ව.කිමී. 27,500කි.

සත්ත්ව සම් සහ ලෝම වෙළෙඳාමට ප‍්‍රසිද්ධියක් ඉසිලූ කැනඩාවට අයත් හඩ්සන් බේ සමාගම (Hudson's Bay Company) විසින් 1840 ගණන්වල දී එකල රුසියාවට අයත් ව තිබූ ඇමෙරිකානු භූමි ප‍්‍රදේශයන්හි පිහිටුවූ වෙළෙඳ මධ්‍යස්ථාන තුනෙන් එකක් ඩර්හැම් බලකොටුව නමින් මෙම ගං මෝයේ ඉදිකරනු ලැබිණ. තාකු බලකොටුව ලෙස ප‍්‍රකට වූ මෙහි අරමුණ වූයේ මෙම නදිය ඔස්සේ වැටී තිබූ ස්වාභාවික වෙළෙඳ මාර්ගයෙන් වාසි ලබා ගැනීමයි. එහෙත් 18 වන සියවසේ දීත් 19 වන සියවසේ මුල දීත් තාකු ජනයා ලෙස හැඳින්වෙන ඇලස්කාවේ ආදිවාසිකයින් විසින් මෙම නදිය ඔස්සේ වැටී තිබූ වෙළෙඳ මාර්ග පාලනය කෙරුණු හෙයින් අලූතින් පදිංචි වූ සුදු ජානපදිකයින් සමඟ ඍජු වෙළෙඳ ගනුදෙනු පවත්වා ගැනීමට බාධා පැනනැඟිණ. එහෙයින් 1843 දී පාඩුපිට මෙම මධ්‍යස්ථානය අත්හැර දමන ලදි. එකල වෙළෙඳ මැදිහත්කරුවන් වශයෙන් ක‍්‍රියා කිරීමට සිදුවූයේ මෙම නදී තීරුවෙහි අභ්‍යන්තර ප‍්‍රදේශයන්හි වාසය කළ ආදිවාසිකයින්ට ය.

මෙහි අතු ගංගා ඉන්ක්ලින් (Inklin), නැකීනා (Nakina) සහ තල්සිකා (Tulsequah) නම් ගනී.

වාණිජ ධීවර කර්මාන්තය මෙන් ම මාළු බෑමේ ක‍්‍රීඩාව සහ පෞද්ගලික ප‍්‍රයෝජනය උදෙසා මාළු බෑම යන අංශයන්ගෙන් ගිනිකොනදිග ඇලස්කාවේ සහ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ආර්ථිකයනට වැදගත් දායකත්වයක් ලැබේ. ධීවර කටයුතු හා සම්බන්ධ නොවන ප‍්‍රධාන ආදායම් ශීර්ෂය වන්නේ වාණිජමය අරමුණු උදෙසා මෙම නදී ද්‍රෝණියේ ගුවන පාවිච්චි කිරීමයි. ඒ වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව ය. මාර්ගෝපදේශකයින්ගේ මඟ පෙන්වීම යටතේ නදී යාත‍්‍රාවන්හි නැඟී ගංගාවේ සංචාරයේ නිරතවීම, දඩයම සහ දේපළ බදු ආදියෙන් ප‍්‍රදේශීය ආර්ථිකයට අතිරේක ආදායමක් ලැබේ. ඇලස්කාවේ මත්ස්‍ය සහ ක‍්‍රීඩා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ස්වාභාවික ව වර්ධනය වන සැමන් වර්ගයේ මත්ස්‍යයින් මිලි දෙකකට ආසන්න ප‍්‍රමාණයක් වාර්ෂික ව මෙම ගඟට ආපසු පැමිණේ. ශාන්තිකර ප‍්‍රදේශයේ සැමන් වර්ග අතරින් විශාලතමයා වන චිනූක් (Chinook) හෙවත් රාජ සැමන් (Oncorhynchus tshawytscha) සොකී (Sockeye) හෙවත් රතු සැමන් (Oncorhynchus nerka) කෝහො (Coho) හෙවත් රිදී සැමන් (Oncorhynchus kisutch) චුම් (Chum) හෙවත් සුනඛ සැමන් (Oncorhynchus keta) රෝස (Pink) හෙවත් හම්ප්බැක් (humpback) සැමන් (Oncorhynchus gorbuscha) මෙහිලා ප‍්‍රධාන ය ට‍්‍රවුට් (trout) පවුලේ මත්ස්‍යයින් ද ඇතුළු තවත් මත්ස්‍ය විශේෂ අටකට මෙම නදිය වාසභූමි වෙයි 'ගෙලකැපුණු ට‍්‍රවුට්ටා' (cutthroat trout) යනුවෙන් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයේ අග්නිදිග ඇලස්කාවේ විශාලතම ගහනය හමුවනුයේ මෙම නදියෙනි මෙම ගං මෝයේ සහ ඒ ආසන්නයේ කකුළුවන් ඉස්සන් හැලිබට් (halibut) සහ යුලචොන් (Eulachon) මත්ස්‍යයින් වගා කරනු ලැබේ.

කලින් කල තාකු ගඟ පිටාර ගැලීමේ මට්ටමට ළඟාවන අවස්ථාවන්හි දී තල්සික්වා (Tulsequah) විල පිරී යෑමෙන් හදිසි ජලගැලීම් ඇති කරමින් එහි ඇති ග්ලැසියර පාවීමට හෝ කුඩා කොටස්වලට බිඳී යෑමට හේතු වෙයි.

මෙම නදී ද්‍රෝණියේ ඇති භූ ගර්භ සම්පත් ප‍්‍රයෝජනයට ගැනීමෙන් මෙහි ස්වාභාවික ශාක හා සත්ත්ව ජීවිතයේ පැවැත්මට ඇති වී තිබෙන තර්ජන අවම කිරීමේ අරමුණින් සමාජ සංවිධාන සහ රාජ්‍ය ආයතන ගණනාවක් ඒකාබද්ධ ව සහයෝගීතාවක් පවත්වා ගනිමින් කටයුතු කරමින් සිටී.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=තාකු&oldid=3774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි