තාවෝ සුවාං
(Tao-hsüan) (596-667). ලූ-සං (Lu-tsung) නමැති චීන විනය නිකායේ ආරම්භයා ලෙස සැලකෙන බෞද්ධ පඬිවරයාණෝ ය.
සුයි (Sui) රාජවංශ සමයේ දී (581-617) ගිනිකොනදිග චීනයේ උපනි. දෙමාපියන් පිළිබඳ තොරතුරු නැතත් උසස් ධනවත් පවුලක දරුවකු බව පැහැදිලි ය. එම පෙලැන්තියේ වරප‍්‍රසාදයක් වූ කොන්ෆියුසියස් දහමින් පෝෂණය වූ සම්භාව්‍ය අධ්‍යාපනයක් ලද හෙයිනි. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ චීනයේ පැතිරෙමින් පැවති බුදුසමය කෙරේ නැඹුරු ව සිව්සියවසක දේශපාලන භේද මැඬ පිහිටවූ එක්සත් චීන රාජ්‍යයේ චාන්ගාන් (Chang-an) අගනුවර ප‍්‍රකට භික්ෂුවකගේ උපාධ්‍යායත්වය යටතේ අවු.15 සිට සම්භාව්‍ය බෞද්ධ ග‍්‍රන්ථ හදාරන්නට වන. වසරක ඇවෑමෙන් ආරාමික දිවියට පිළිපන් හේ සිව් වසරකින් ඉක්බිති ප‍්‍රවෘජ්‍යා භූමියට පිවිසියේ ය.
ආරාමික විනය නීති පිළිබඳ දේශනාවක් වූ 'චතුරාංග විනය' (Ssu-fen-lü) වදාළ බෞද්ධාචාර්යවරයකු යටතේ ඉගෙනුම ලැබූ මුන්වහන්සේ එකී බෞද්ධ නිකායේ ඉගැන්වීම් සංග‍්‍රහ කරමින් බුදුසමය පිළිබඳ සිය රචනා ආරම්භ කළහ. උපාධ්‍යායයන් වහන්සේලාගේ අපවත්වීමෙන් (635 සහ 637 අතර) ඉක්බිති වඩාත් ස්වාධීන ආස්ථානයක් ගනිමින් තමන්ගේ ම වූ අදහස් සූත‍්‍රගත කිරීම ඇරඹූහ. මුන්වහන්සේ වැඩවාසය කළ ආරාමයේ ස්ථානීය පිහිටීම අනුයමින් දකුණුදිග කඳුබඩ විනය නිකාය (Nan-shan Lü-hsüeh) යනුවෙන් මෙතුමන්ගේ ගුරුකුලය ප‍්‍රසිද්ධියට පත්විය. විනය නීති නොපිරිහෙලා පිළිපැදීම එහි පදනමයි. ඉනික්බිති සුවිශාල ශාස්ත‍්‍රීය වැඩකොටසක් කළ මුන්වහන්සේගේ ජනප‍්‍රිය ම කෘතියක් බවට පත්වූයේ වෙළුම් 30කින් සමන්විත 'උත්තම බෞද්ධ භික්ෂූන්ගේ ජීවිත දිගුව' (Continuation of the Lives of Eminent Monks - Hsü kao-seng chuan)යි. එය චීන බෞද්ධයනට ආශ්වාදය කුළුගන්වන වැදගත් මූලාශ‍්‍රයයෙක් ද නූතන පර්යේෂකයින්ට වටිනා තොරතුරු ගබඩාවෙක් ද වෙයි. එනයින් මුන්වහන්සේ ආදිත ම චීන බෞද්ධ ඉතිහාසඥයෙක් ද ජීවන චරිත කර්තෘවරයෙක් ද වෙති. බෝධිධර්ම (බ.) හිමියන්ගේ පළමු චරිතාපදානය එහි 16 වන වෙළුමයි. 645 දී හ්‍යුන්-සාන් (Hsüantsang) (බ.) ඉන්දියාවෙන් ගෙනා බෞද්ධ ග‍්‍රන්ථ පරිවර්තනයට දායකවූහ. ඔවුන් දෙදෙනා අතර ශාස්ත‍්‍රීය ආගමික සමාගමය පැවති වසර ගණනාවක කාලයේ දී මෙතුමන්ගේ කීර්තිය ශීඝ‍්‍රයෙන් පතළ ව ගියේ ය.
658 වන විට අගනුවර සුවිසල් බෞද්ධාරාමයක අධිපති ව වැඩවාසය කළ මුන්වහන්සේ අදිරද මන්දිරයේ දී බෞද්ධයින් විසින් පිළිපැදිය යුතු ආචාරධාර්මික චාරිත‍්‍ර විධි පිළිබඳ වාදයනට අවස්ථා කිහිපයක දී සම්බන්ධ වූහ. එය ලෞකික පාලන බලය සහ බුද්ධ ඇදහිල්ල අතර සම්බන්ධතාව ගොඩනැඟෙන ආකාරය පිළිබඳ වැදගත් කථිකාවෙක් විය. බුද්ධාගමේ ප‍්‍රබල ආරක්ෂකයකු වූ මෙතුමෝ දේශපාලන ක‍්‍රියාකාරිත්වයට වඩා ආගමික කටයුතුවලට ප‍්‍රමුඛත්වය දුන්හ.
664 දී චන්ග්නාන් (Chungnan) කඳුකරයේ පිහිටි ආරාමයට ආපසු වැඩම කළ මෙතුමෝ සිය පැසුණු වියේ දී ආරාමික විනය පිළිබඳ කාරණා විශේෂ වශයෙන් ගෙන බෞද්ධාගමේ සැබෑ භාවිතාව කෙරේ අවධානය යොමු කළහ. විනය සහ පූජා කර්ම පිළිබඳ මෙතුමන් සැකසූ රීති මාලාව ඔහුගේ නිකායික භික්ෂූන් විසින් ප‍්‍රායෝගික භාවිතාවේ යොදවනු ලැබෙනු පිණිස උපසම්පදා පීඨිකාව තැන්පත් කරනු වස් විශේෂ ගොඩනැඟිල්ලක් පවා ඉදිකරනු ලැබිණ.
බුදුදහම පිළිබඳ තම අර්ථකථන දෙවියන් විසින් තමන් වහන්සේට දේශිත යැයි ද එනිසා ම එහි සාවද්‍යතා ගැබ් නොවන්නේ යැයි ද සහතික කළ මුන්වහන්සේගේ ඉගැන්වීම් කුඩා ගෝල පිරිසක් විසින් ඉදිරියට ගෙන යනු ලැබිණ. චියෙන් චෙන් (ගන්ජින්) හිමියන් විසින් 754 දී මෙතුමන්ගේ ඉගැන්වීම් ජපානයට රැගෙන යෑමෙන් රිට්සු නිකායයට පදනම වැටුණි.
කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)