තිවා ජනරජය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Republic of Tyva). බුර්යාතියාව (බ.), කාල්මිකියාව, චිතා සහ ඉර්කුත්ස්ක් යන ප‍්‍රදේශ සමඟ එකතුව, බෞද්ධ ජනයා බහුතරයක් සාම්ප‍්‍රදායික ව වෙසෙන රුසියානු ෆෙඩරේෂණයට අයත් පරිපාලන ප‍්‍රදේශ පහ නිර්මාණය කරන එරටේ එක් පළාත් පාලන ඒකකයකි. තුවා යන නාමයෙන් ද හැඳින්වේ. දකුණින් සහ නැගෙනහිරින් මොංගෝලියාවට ද බටහිරින් රුසියාවට අයත් අල්තායි සහ හකාසියා ජනරජයන්ට ද උතුරින් ක‍්‍රස්නයාර්ස්ක් පළාතට ද ඊසාන දිගින් ඉර්කූත්ස්ක් පළාතට සහ බුර්යාතියා ජනරජයට ද මායිම් ව රුසියාවේ ආසියානු කොටසෙහි පිහිටියේ ය. රුසියාවේ සයිබීරියානු ෆෙඩරල් පළාතට ඇතුළත් වේ. භූමි ප‍්‍රදේශය ව.කිමී.168,600කි. ජනගහනය 313,800 (2015)කි. අගනුවර නාමය කිසිල් ය. මෙම ජනරජය පරිපාලනමය වශයෙන් දිස්ත‍්‍රික්ක 9කින් ද ඒවායෙහි පාලනයට යටත් නොවන නගර සභා පහකින් ද නාගරික පන්නයේ ජනාවාසයකින් ද සමන්විත වේ.

පාලන ව්‍යූහය

2001 සම්මත කර ගැනුණු තිවා ජනරජයේත් රුසියානු රාජ්‍යයේත් මූලික නීතියේ පැනෙන ව්‍යවස්ථාවන්ට අනුව ජනතා පරමාපත්‍ය බලය ක‍්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන ව්‍යූහය නිර්මාණය වී තිබේ. තිවා ජනරජයේ නායකයා, උත්තරීතර පාර්ලිමේන්තුව සහ එහි ආණ්ඩුව විසින් රාජ්‍ය බලය ක‍්‍රියාත්මක කෙරෙනු ලැබේ. වසර 5ක කාලයක් සඳහා සර්වජන ඡුන්ද බලය භාවිත කරමින් රහස් ඡුන්දයෙන් තෝරාපත් කර ගැනෙන මහජන නියෝජිතයින් 32ගෙන් සමන්විත තිවා ජනරජයේ පවතින එකම නීති සම්පාදන ආයතනය වන්නේ එහි උත්තරීතර හුරාලය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුවයි. මන්ත‍්‍රීවරුන් 16 දෙනකු සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ ද ඉතිරි 16 දෙනා කේවල ඡුන්ද කොට්ඨාස ක‍්‍රමය යටතේ තෝරාපත් කර ගනු ලැබෙති. උත්තරීතර විධායක බලය හිමි ආයතනය වන්නේ ආණ්ඩුවයි. තිවා ජනරජයේ භූමි ප‍්‍රදේශයේ වාසය කරන රුසියානු ෆෙඩරේෂණයේ රටවැසියන් විසින් ආණ්ඩු ප‍්‍රධානියා වන මෙහි නායකයා සර්වජන ඡුන්දයෙන් තෝරාපත් කර ගනු ලැබෙයි. 2012 සම්මත කර ගැනුණු රුසියාවට ම පොදු ෆෙඩරල් නීතිය ම`ගින් මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදුසුකම් සහ මැතිවරණ පැවැත්වීමේ ක‍්‍රියාපටිපාටිය නිර්ණය කෙරී තිබේ.

භූගෝලිය පරිසරය

සයිබීරියාවේ දකුණු දිග කෙළවරෙහි යෙනිසේයි (බ.) නදියේ ඉහත්තාවෙහි පිහිටියේ ය. මෙම ජනරජයේ භූමි ප‍්‍රදේශයෙන් 82%ක් වසා පිහිටියේ කඳු ය. එයිනුදු 17%ක් උස් කඳු සේ ගැණෙන අතර 18%ක භූමිය ද්‍රෝණි ය. තිවාහි වැඩි භූමි ප‍්‍රමාණයක් මී.1200-1800 ප‍්‍රමාණයේ මධ්‍ය ප‍්‍රමාණයේ උසින් යුත් කඳුවලින් වැසී ඇත. උතුරු ප‍්‍රදේශයේ බටහිර සයියාන් කඳු පන්තියත් (මී.2491ක් දක්වා උස අලාශ් සානුව, කුර්තුශිබීන්ස්ක් කඳු පන්තියත්, මී.2504ක් දක්වා උස එර්ගාක්-තර්ගාක්-ටයිගා කඳු පන්තියත් ඇතුළත්) නැගෙනහිර සයියාන් කඳු පන්තියත් (මී.2875ක් දක්වා උස උදින්ස්ක් කඳු පන්තිය ඇතුළත්) බටහිරින් අල්තායි කඳු පන්තියත් (මී.3608ක් දක්වා උසැති ශප්සාල්ස්ක් කඳු පන්තිය) දකුණින් මොන්ගූන්-ටයිගා කඳු පන්තියත් (තිවාහි උසම ස්ථානය වන මී.3970ක් දක්වා උසැති මොන්ගූන්-ටයිගා කන්ද ද ඇතුළත්) සගාන්-ශිබෙතු (මී.3383) කඳු පන්තියත් තන්නු- ඕලා (මී.3056) සහ සින්ගිලෙන් (මී.3276) කඳුත් පිහිටියේ ය. දකුණු දිග තිවාහි පිහිටි කඳු, උත්තර ධ‍්‍රැවාශ‍්‍රිත සාගරයට ගලාබසින ගංගාවන්හි ද අභ්‍යන්තර ආසියාවේ ස්වභාවික ජලවහන පද්ධති නොමැති ප‍්‍රදේශයනට ජලය රැුගෙන යන ගංගාවන්හි ද ද්‍රෝණි අතර පිහිටි ලෝක දියබෙත්මේ කොටසක් වෙයි. තිවාහි නැගෙනහිර ප‍්‍රදේශයෙහි ඇකඩමීෂියන් ඕබ්රුචෙෆ් (මී.2895) නමින් නාමිත කඳුගැටයෙන් යුත් නැගෙනහිර තුවා කඳුපන්තිය පිහිටියේ ය. එය තජීන්ස්ක් ද්‍රෝණියෙන් මායිම් වේ. තුවා ද්‍රෝණිය පිහිටියේ මධ්‍යම කොටසේ ය. බටහිර හිම්චීක්ස්ක් ද්‍රෝණියත් උතුරේ තුරාන-උයූක්ස්ක් ද්‍රෝණියත් දකුණුදිග කෙළවරේ උබ්සුනූර්ස්ක් ද්‍රෝණියේ කොටසකුත් පිහිටියේ ය. භූ කම්පනවලට බඳුන්වන භූමියකි. මෙහි මැග්නිටියුඞ් 6-6.6ත් අතර භූ කම්පන වාර්තා වේ.

භූ ගර්භ සම්පත්

රත්රන්, ගල් අඟුරු, ඊයම්, සින්ක්, දුර්ලභ ලෝහ වර්ග, කොබෝල්ට්, ඇස්බැස්ටෝස්, තඹ, රසදිය, නෙෆිලීන් සයනයිට්, භූගත ලුණු, ජේඞ්, භූගත පානීය ජලය සහ ලවණිත ජලය ආදී භෞමික සම්පත් තිවා ජනරජ භූ ගර්භයේ තැන්පත් ව තිබේ.

දේශගුණය

මෙහි තියුණු මහාද්වීපික දේශගුණයක් බලපවත්වයි. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා බලපවත්වන දීර්ඝ කාලීන කඨොර ශීත කාලයක් මෙහි පවතී. එහෙත් හිරු එළිය පතනය වන දින ගණන වැඩි ය. ද්‍රෝණි ප‍්‍රදේශයන්හි ජනවාරි මාසයේ මධ්‍ය උෂ්ණත්වය සෙ.අ. ඍණ 28-34.9ත් අතර වේ. ද්‍රෝණිවල සෙමී.10-15 අතර උසින් යුත් හිම තට්ටුවක් ඇති වන විට කඳුවල එම ස්ථරයේ උස සෙමී. 50-80ත් අතර හෝ ඊට වැඩි හෝ වේ. විශේෂයෙන් දකූණුදිග කඳුවල ප‍්‍රතිලෝමානුකූල උෂ්ණත්ව වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. ද්‍රෝණිවල අධික උණුසුම් සහ වියලි ග‍්‍රීෂ්ම සමයන් බලපවත්වන අතර කඳුවල උෂ්ණත්වය ඊට වඩා අඩු ය. ජූලි මාසයේ මධ්‍ය උෂ්ණත්වය සෙ.අ.16-18ත් අතර වේ. එය සෙ.අ.39ක් දක්වා වර්ධනය විය හැකි ය. කඳු පෙදෙස්වල වර්ෂාපතනය වසරකට මිමී.600 සිට ඉහළට වර්ධනය වේ. එය ද්‍රෝණිවල මිමී.138කි. එයින් වැඩි ප‍්‍රමාණය ලැබෙනුයේ ග‍්‍රීෂ්ම සමයේ දී ය. කෘෂි වගාවෙහි නියැලිය හැකි කාල පරිච්ඡේදය වසරකට දින 150-160ත් අතර වේ. බහු වාර්ෂික හිම මිදීම් ඊසානදිග සහ ගිනිකොණදිග තිවාහි පැතිර පවතී. එහි ගනකම මී.200කට අධික වෙතැයි සඳහන් වේ. ස්ථානීය වශයෙන් සහ කඩින්කඩ හිම මිදෙන ස්ථානයන්හි එය මී.10-30ත් අතර උසකින් යුක්ත වේ.

අභ්‍යන්තර ජල මූලාශ‍්‍ර

තිවාහි කිමී.10ට වැඩි දිගින් යුත් ගංගා 15,000කට අධික සංඛ්‍යාවක් තිබේ. එහි සමස්ත දුර කිමී.72,000කට අධික ය. එයින් බහුතරය යෙනිසේයි ගංගා නිම්නයට ඇතුළත් වේ. වඩා විශාල ගංගා වන්නේ බී-හෙම් නමින් හැඳින්වෙන මහා යෙනිසේයි ගංගාව, කා-හෙම් ලෙස හැඳින්වෙන චූල යෙනිසේයි ගංගාව, උලූග්-හෙම් නමින් නාමිත උත්තර යෙනිසේයි, හෙම්චික් ලෙස හැඳින්වෙන යෙනිසේයි ගංගාවේ වම් අතු ගංගාව වේ. තිවාහි විල් 6,720ක් වෙයි. ඒවායේ සමස්ත වර්ගඵලය ව.කිමී.1,084කි. තෙස්-හෙම්, තොර්ගාලීක්, සමගල්තායි යන ගංගා උබ්සුනූර් විලට වැටේ. ඒවා පෝෂණය වනුයේ වැසි ජලයෙන් ද හිම දියවීමෙන් ද භූගත ජල මූලාශ‍්‍රවලින් ද ය. තිවා ද්‍රෝණියේ චගිතායි නමින් යුතු බීමට සුදුසු ජලය සහිත විලකි. චේදෙර්, හාදින්, දූස්-හොල් නමැති ලවණිත ජලය ඇති විල් ය. ඒවායෙහි ජලයත් මඩත් රෝග නිවාරණ ප‍්‍රතිකාර සඳහා භාවිත කෙරේ. සයියාන්-ශූසෙන්ස්ක් වැවේ දක්ෂිණදිග කොටස පිහිටියේ මෙහි ය. ගංගා බොහොමයක් ආරම්භ වනුයේ කඳුකරයෙනි. ඒවා බහුජල සහිත වේ, තැනෙක දිය ඇලි නිර්මාණය කරයි, තැනෙක ඉතා නොගැඹුරු ය.

පස, ශාක සහ සත්ත්ව ප‍්‍රභේද

ක‍්‍රි.පූ. 7-8 සහශ‍්‍රකයන්හි නිර්මාණය වූ සයිබීරියාවේ බෝරියල් ප‍්‍රදේශ සහ මොංගෝලියාවේ අර්ධ කාන්තාරමය ප‍්‍රදේශ අතර අතරමැදි ස්ථානයක පිහිටියෙන් පස් ස්ථරයේ සහ ශාක ගහනයේ විවිධත්වය නිර්ණය කෙරී තිබේ. ශාක විශේෂ 1,792ක් මෙහි ස්වභාවිකව වර්ධනය වන අතර එයින් 10%ක් ඒකදේශීය ශාක වන අතර ඖෂධීය ගුණ සහිත ශාක විශේෂ 230ක් වෙයි. දකුණු පළාතේ අර්ධ කාන්තාර ප‍්‍රදේශයන්හි දුඹරු පස් (Brown earth) ද කැස්ටානො (Kastanozem) පස් ද ඇති ප‍්‍රදේශ පැතිර තිබේ. මධ්‍යම ප‍්‍රදේශයන්හි කළු සහ තද දුඹුරු පසින් යුත් ස්ටෙප් භූමි වෙයි. එයින් වැඩි කොටස වගාව මෙන් ම සත්ත්ව පාලනය සඳහා ද යොදා ගැනේ. මී.1,300-1,500 උසේ දී ස්ටෙප් තෘණ සහ වන ගහනයක් සහිත ස්ටෙප් භූමි තුරන් ව ගොස් කඳුකර කොළ සහිත දේවදාර කැලෑ ආරම්භ වේ. එහි තැනෙක ස්ප‍්‍රෑස්, බර්ච්, ඇප්සන් වැනි ශාක ද දැකිය හැකි ය. තිවාහි මුළු භූමි ප‍්‍රදේශයෙන් 64.5%ක් වන ගහනයෙන් වැසී පවතී. මී.2,000න් ඉහළ ප‍්‍රදේශයන්හි තුන්ද්‍රා (බ.) වනාන්තරවලින් වැසී ඇත. මොන්ගූන්-ටයිගා සහ සින්ගිලෙන් කඳුවල මී.2,500ට ඉහළින් සුවිශේෂිත තුන්ද්‍රා ස්ටෙප් භූමි පිහිටියේ ය.

ක්ෂීරපායි සත්ත්ව විශේෂ 72ක් ද පක්ෂි විශේෂ 232ක් ද තිවා වාසභූමි කොටගෙන වෙසෙති. ඒ අතර වලසා, වෘකයා, නරියා, ලේනා වැනි සත්තු ද ආර්ථික වටිනාමක් ඇති මූස්, ගෝනා, සියබීරියානු මස්ක් මුවා, රතු ගෝනා, සයිබීරියානු රෝ මුවා වැනි සත්තු ද වෙති. ගංගාවන්හි මත්ස්‍යයෝ බහුලව වෙසෙති. තිවා වාස භූමි කොට ගත් සත්ත්ව විශේෂ 50ක් ද පක්ෂි විශේෂ 40ක් ද ශාක විශේෂ 90ක් ද රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.

ජනගහනය

තිවාහි ජනහගනයෙන් 82%ක් තුවාන් ජාතිකයෝ වෙත්. එයින් 0.6%ක් තොජින්වරු ය. මෙහි වෙසෙන රුසියානු ජනගහනය 16.3%කි. හකාස්, කිර්ගීස්, බුර්යාත් ආදී ජනවර්ගයෝ ද වෙසෙති. 1990 දශකයේ දී ජනගහන වර්ධන වේගය අඩපන වුවත් 1995-2014 අතර කාලයේ ජනගහනය දෙගුණයකින් වර්ධනය විය. රුසියානු ෆෙඩරේෂණයේ උපත් දර්ශකය අනුව ඉහළින් ම සිටින්නේ තිවා ප‍්‍රදේශයයි. මරණ අනුපාතය ද සාපේක්ෂ වශයෙන් අඩු අගයක් ගනී. එය පුද්ගලියන් 1000කට 10.9කි. එහෙත් ළදරු මරණ අනුපාතය 1000කට 15.4කි. 1990 ගණන්වල ආරම්භයේ සිට මෙහි සිට ජන සංක‍්‍රමණයක් සිදු වෙයි. ඒ මූලික වශයෙන් වාර්ගික රුසියානුවෝ ය. 2010 ආරම්භයේ දී එම අගය තිවා වැසියන් 10,000කට 100කට අධික සංඛ්‍යාවක් ගත්තේ ය. ස්ත‍්‍රී ජනගහනය 52.3%කි. ශ‍්‍රම හමුදාවට අයත් නොවන තරුණ ජනගහනය (වයස අවු.16ට අඩු) 33.5%කි. ශ‍්‍රම හමුදාවට අයත් නොවන වැඩිහිටි ජනගහනය 10.6%කි. අපේක්ෂිත මධ්‍ය ආයු කාලය අවු.61.8කි (පිරිමි 56.6 සහ ස්ත‍්‍රීන් 67.2ක් වශයෙනි.) ගන ගනත්වය ව.කිමී.1ට පුද්ගලයින් 1.9කි (2015). ජනගහනයෙන් 30%කට වැඩි ප‍්‍රමාණයක් වාසය කරනුයේ කිසිල් අගනුවර ය. 30%ක් ජනගහනය වාසය කරනුයේ තිවාහි බටහිර කොටසේ ය. නාගරික ජනගහනය 53.9%කි. 2015 සංඛ්‍යා ලේඛනවලට අනුව කිසිල් (112,200), අක්-දොවුරාක් (13,700) සහ ශගොනාර් (10,900) යනු වැඩි ම ජනගහනය ඇති නගර වේ.

ආගම්

තිවාහි ප‍්‍රධාන ආගම් වනුයේ බෞද්ධාගම, ග‍්‍රීක ඔර්තඩොක්ස් කිතුනු නිකාය සහ සාම්ප‍්‍රදායික ආථර්වන (shamanism) ඇදහිලි ය. 2015 දෙසැම්බර් වන විට, කම්බා-ලාමා හෙවත් තිවාහි බෞද්ධ මහා නායක පදවි පරිපාලනායතනය ඇතුළු බෞද්ධාගමික සංවිධාන 24ක් ද රුසියානු ග‍්‍රීක ඔර්තඩොක්ස් සභාවේ කිසිල් දියෝකීසියට අයත් ආගමික සංවිධාන 15ක් ද ප්‍රොතෙස්තන්ත සංවිධාන 9ක් ද සාම්ප‍්‍රදායික ආථර්වන ආගමික සංවිධාන 7ක් ද රුසියානු ඔර්තඩොක්ස් නිකායෙන් බිඳුණු පැරණි ඇදහිලිකාරයින්ගේ සහ යෙහෝවාගේ සාක්ෂිකාරයින්ගේ එක් සංවිධානයක් ද බැගින් තිවාහි ලියාපදිංචිය ලබා ඇත.

ඉතිහාසය

පහළ පුරාශිලා යුගයේ අශේලියානු (Acheulean) සංස්කෘතික ලක්ෂණ සහිත ශෛලමය මෙවලම් තොර්ගලීක්හි සොයා ගෙක තිබේ. ඒවා තිවාහි හමුවන ඉපැරණි ම මානවකෘත පුරාවිද්‍යාත්මක සාධක වේ. මධ්‍යම තිවාවලින් ද හෙම්චීක් නදී නිම්නයෙන් ද සොයා ගැනුණු ඉහළ පැලියෝලිතික යුගයට අයත් මෙවලම් වසර 20,000-18,000ත් අතරට කාල නිර්ණය කෙරී තිබේ. තිවාහි මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය අධ්‍යයනය කර තිබෙනුයේ දුර්වල මට්ටමිනි. නව ශිලා යුගයේ මෑත යුගයට අයත් පනා ආකාර රටාවෙන් යුක්ත මැටි භාණ්ඩ සොයාගෙන තිබේ. දකුණු සයිබීරියාවේ ස්ටෙප් භූමිවල පැතිර පැවති පුරා ලෝහ යුගයේ පළමු අවධියට අයත් අෆනාසිවෝ සංස්කෘතිය (ක‍්‍රි.පූ.3,300-2,500) සමඟ තිවාහි ලෝහ තාක්ෂණයත් සත්ත්ව පාලනයත් බැඳී පවතී. සයියාන් ගැඹුරු දොරුවෙහි සටහන්ව ඇති, ගැඹුරට කෙටීමේ තාක්ෂණයෙන් නිර්මිත පර්වත චිත‍්‍ර (petroglyph) සහ යමලීක්හි පර්වත චිත‍්‍ර පහළ වනුයේ ලෝකඩ යුගයේ සිට ය. දකුණු සයිබීරියාවේ සහ කසක්ස්ථානයේ බලපැවැත්වූ කරසුක් (Karasuk) සංස්කෘතිය (ක‍්‍රි.පූ.2,000 අග-ක‍්‍රි.පූ.1,000 මුල) ලෝකඩ යුගයේ පශ්චාත් සමයේ දී බලපැවැත්වී ය. මුල්කාලීන යකඩ යුගය අර්ජාන් (Arzhan) සංකීර්ණයෙන් ද සිතියානු-සයිබීරියානු ලෝකයට අයත් උයුක් (Uyuk) (ක‍්‍රි.පූ.9-3 සියවස්) සංස්කෘතියෙන් ද නිරූපණය වේ.

ක‍්‍රි.පූ.201 දී පමණ තිවා භූමි සංක‍්‍රමණික ෂියොන්ග්නු (Xiongnu) ජනයාගේ පාලන බලයට යටත් වේ. ක‍්‍රි.පූ.2-1- ක‍්‍රි.ව.6 සියවස්වලට දින නිර්ණ කෙරී ඇති පුරාවිද්‍යා ස්මාරක ශූර්මාන් (කොකේල් හෙවත් උයූක්) සංස්කෘතියට (ක‍්‍රි.පූ.9-3 සියවස්) අයත් යැයි සැලකේ. ඒ කාලාය් චික් (ක‍්‍රි.ව.6 සියවසේ සිට ලිඛිත සාක්ෂ්‍ය ලැබේ) සහ ආස් (ක‍්‍රි.ව.8 සියවසේ සිට ලිඛිත සාක්ෂ්‍ය ලැබේ) යන තුර්කි ජනවර්ග සම්භව වූහයි සැලකේ. ක‍්‍රි.ව.555-745 දී මෙම ප‍්‍රදේශය වරින්වර තුර්කි අධිරාජ්‍යයේ (ඛගනේටයේ) (Turkic Khaganate) ද ක‍්‍රි.ව.750-751 දී උයිඝූර් අධිරාජ්‍යයේ (Uyghur Khaganate) ද පාලන බල ප‍්‍රදේශයට ඇතුළත් විය. උයිඝූර් අධිරාජ්‍යය, කඳුවල ඉදිකළ බලකොටු 17කින් ද හෙම්චීක් සහ යෙනිසේයි නදී නිම්න ඔස්සේ ඉදිකළ කිමී.230ක් දිග ප‍්‍රාකාරයකින් ද ආරක්ෂා විය. යෙනිසේයි නදීබඩ කිර්ගීසියානුවන් සහ උයිඝූර් ජනයා අතර 820 දී ඇති වූ සංග‍්‍රාමයේ ප‍්‍රතිඵලය වූයේ 840 දී තිවා භූමි ප‍්‍රදේශ කිර්ගීසියානු අධිරාජ්‍යයට ඇතුළත් වීමයි. 1207-18 කාලයේ දී මෙම ප‍්‍රදේශ මොංගෝලියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත්විය. එනයින් මොංගෝලියානු නගර ඉදිකිරීම ආරම්භ විය. 1264 දී තිවා භූමි ඛුබ්ලායි ඛාන්ගේ (Kublai Khan) පාලනයට නතු විය. 1273-93 කාලයේ ඇති වූ මොංගෝලියානු විරෝධී කැරැල්ලේ ප‍්‍රතිඵලයක් වූයේ ස්වදේශික ජනයාගෙන් පිරිසක් වෙනත් ප‍්‍රදේශයනට පිටුවහල් කොට යැවීමයි. එනයින් මොංගෝලියානු සංක‍්‍රමණිකයෝ ද චීන ජානපදිකයෝ ද මෙහි පදිංචියට පැමිණෙන අතර මධ්‍ය ආසියාතික වෙළෙඳ මධ්‍යස්ථාන බිහිවේ. මෙකල බෞද්ධාගම ශීඝ‍්‍රයෙන් පැතිර ගියේ ය. ඛුබ්ලායි ඛාන්ගේ ඇවෑමෙන් චීනයේ පාලන බලය උරුම වූ යුවාන් පෙලපත (Yuan dynasty) 14 වන සියවසේ මැද දී ඇදවැටීමෙන් පසු ඒ හා සම්බන්ධ ආර්ථික සහ පරිපාලන ව්‍යූහයන් බිඳවැටීම සහ මොංගෝලියානුවන් පෙරදිග සහ බටහිර වශයෙන් බෙදීයෑම නිසා තිවා භූමි බටහිර මොංගෝලියානුවන් හෙවත් ඔයිරාත්වරුන් (Oirats) අත පත්විය. ඔවුන්ගේ බලපරාක‍්‍රමය උච්චස්ථානයට නැංගේ 15 වන සියවසේ මැද දී ය. 16 වන සියවස අග දී සහ 17 වන සියවසේ දෙවන අඩභාගයේ අල්තාන් ඛාන්වරුන්ගේ (Altan Khan) රාජ්‍යයට මේ ප‍්‍රදේශය ඇතුළත් විය. එකල ලාමා බෞද්ධ ඇදහිල්ල හෙවත් ටිබෙට් බුද්ධාගම ව්‍යාප්ත ව ගොස් මෙහි ප‍්‍රදේශීය වංශවතුන්ගේ නිල ආගම බවට පත්විය. එහෙත් සාමාන්‍ය ජනයාගේ ආගම ලෙස පෙර පරිදිම පැවතුනේ ආථර්වන ඇදහිලි ය. 17 වන සියවසේ අග දී ජුන්ගාර් ඛාන්වරුන්ගේ රාජ්‍යයේ (Dzungar Khanate) කොටසක් ව පැවති තිවා භූමි 1755 දී චීන කින් පෙලපතේ (Qing dynasty) හමුදා විසින් අත්පත් කර ගන්නා ලද්දෙන් එය චීනයේ තන්නු-උරියන්හායි ප‍්‍රාන්තය බවට පත්විය.

18 වන සියවසේ අග දී මෙම ප‍්‍රදේශයේ ජනගහනය 40,000-50,000 අතර විය. සියලූ එ‍ඬේර බිම් සහ තණබිම් රදළයින් සන්තකයේ පැවති දේපළක් විය. සාමාන්‍ය ජනයාගෙන් බදු අය කර ගත් ඔවුහු තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඔවුන්ගේ ශ‍්‍රමය උපයෝගී කර ගත්හ. බෞද්ධ ආරාම මෙන් ම චීන නිලධාරීන් විසින් ද බදු අය කර ගන්නට යෙදුණි. 18 වන සහ 19 වන සියවසේ පළමු අඩභාගයේ දී එක් පාර්ශ්වයකින් තුවා ජාතිකයින් ද අනෙක් පාර්ශ්වයෙන් රුසියානු කොසැකයින් සහ ගොවියන් ද අතර භාණ්ඩ හුවමාරුව මත පදනම් වූ ගනුදෙනු ක‍්‍රමයක් ස්ථාපිත විය. 1838-39 දී තිවා භූමි ප‍්‍රදේශයෙහි රුසියානුවන් විසින් රන් ආකර දෙකක් පිහිටුවන ලදි. 1860 දී රුසියානු සහ කින් අධිරාජ්‍ය අතර අත්සන් තැබුණු පීකිං සම්මුතියට අනුව (Convention of Peking) වත්මන් තිවා භූමි ප‍්‍රදේශයන්හි බදු ගෙවීමකින් තොරව වෙළෙඳාම් කිරීමේ බලය රුසියානුවනට ලැබුණි. 1863 සිට වෙළෙඳ තවලම් නිරන්තරයෙන් යැවෙන්නට විය. 1870-80 ගණන්වල සිට රුසියානු වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැ‍ඟෙන්නට විය. 1880 ගණන්වල මැද සිට නිත්‍ය රුසියානු ජනාවාස බිහිවිය. චීන-මැන්චූරියානු රදලයින්ගේ පිළිවෙත් නිසා අසතුටට පත්ව සිටි තුවා ජනයා නොයෙක් විට අසංවිධානාත්මක ව නැඟී සිටියහ. 1876-78 නැඟී සිටීමත් 1883-85 දී යෝධයින් 60 දෙනාගේ යැයි ප‍්‍රකට වූ කැරැල්ලත් මේ අතරින් කැපී පෙනෙයි. තිවාහි බුද්ධාගම ස්ථාපිත වූයේ ද මේ කාලයේ දී ම ය. තිවාහි බුදුසමයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ස්වදේශික ආථර්වන විශ්වාස සහ ඇදහිලි පද්ධතිය අන්තර්ග‍්‍රහණය කර ගැනීමයි.

20 වන සියවසේ ආරම්භයේ සිට රුසියානු ගොවියන් විසින් මෙම ප‍්‍රදේශය ජනාවාසකරණය කරනු ලැබිණ. මෙම ප‍්‍රදේශයට ඇතුළුවීම සහ බිම් කොටසක් ලබා ගැනීම සඳහා චීන පරිපාලනයෙන් අවසර ලබා ගත යුතු වීම නිසා එකී ක‍්‍රියාදාමය අඩපණ කරනු ලැබිණ. 1911-12 චීන විප්ලවයෙන් පසු මෙම ප‍්‍රදේශයේ රුසියානු අධිරාජ්‍යය සිය බලය උත්සන්න කිරීමට වන්නේ ය. 1911 දී කරත්ත පාරක් ඉදිකිරිම ආරම්භ විය. 1912 සිට රුසියානු සංක‍්‍රමණිකයින්ගේ පැමිණීම ව්‍යාප්ත විය. මෙම ප‍්‍රදේශය පාලනය කළ කින් අධිරාජ්‍යයේ ප‍්‍රතිරාජයා ද ඇතුළු නිලධාරීන් බාහිර මොංගෝලියාවෙන් (වර්තමාන මොංගෝලියානු රාජ්‍යය) පළවා හැරීමත් චීන වෙළෙන්ඳන්ට විරුද්ධ ව සාමාන්‍ය ජනයා ආරම්භ කළ අරගල රුසියාවට පක්ෂපාත අදහස් ඉස්මතුවීමට බලපෑවේ ය. 1912 පෙබරවාරි 15 (28) වෙනි දින පළාත් ප‍්‍රධානීන් සහ නිලධාරීන් කිහිප දෙනකු විසින් සම්මේලනයක් පවත්වා රුසියානු අධිරාජයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ආයාචනයක් සකස් කරනු ලැබිණි. එහි රුසියාවේ රැකවරණය යටතේ මෙම ප‍්‍රදේශයේ ස්වාධීනත්වය ප‍්‍රකාශයට පත් කර තිබුණි. නිල වශයෙන් මෙම ප‍්‍රදේශය රුසියාවේ රැුකවරණය යටතට පත්වූයේ දෙවන නිකොලායි අධිරාජයා විසින් 1914 අපේ‍්‍රල් 4 (17) වන දා රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්.ඞී. සසෝනෆ් වෙත මෙම ප‍්‍රදේශයේ පළාත් පහක ජනයා රුසියාවේ රැුකවරණය යටතට ගන්නා ලෙස දන්වා යොමු කරන ලද වාර්තා සටහන් පත‍්‍රයෙනි. මෙම ප‍්‍රදේශයේ දේශපාලන සහ විදේශ කටයුතු මෙහෙයැවීම ඉර්කූත්ස්ක් අග‍්‍රාණ්ඩුකාරවරයා වෙත පැවරිණ. එම වසරේ දී ම මෙහි පරිපාලන නගරය බෙලට්සාර්ස්ක් (ධවල සාර් රජු) නමින් ඉදිකිරීම ආරම්භ විය. (ක‍්‍රාස්නි (රතු) නමින් (1920-25) ද කිසිල් නමින් (තුවියානු බසින් රතු හෝ තද රතු) 1925 සිට ද හැඳින්වෙනුයේ මෙම නගරයයි.) 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු මෙම ප‍්‍රදේශය රුසියාවේ රැුකවරණය යටතේ පවතින්නක් ලෙස සනාථ කරනු ලැබිණ. 1918 මාර්තු මාසයේ දී මෙම ප‍්‍රදේශයේ සෝවියට. බලය ස්ථාපිත කෙරිණ. 1918 ජූනි 18 වන දා පැවති තුවා ජාතිකයින්ගේ සහ රුසියානුවන්ගේ ඒකාබද්ධ සම්මේලනයේ දී තිවාහි ස්වයංනිර්ණය සහ රුසියානු සහ තුවා ජාතිකයින් අතර මිත‍්‍රත්ත්වය සහ අන්‍යෝන්‍ය උපකාරය පිළිබඳ ගිවිසුම සම්මත කර ගනු ලැබිණි. 1918 මැද සිට 1919 මැද දක්වා ප‍්‍රතිවිප්ලවීය ධවල හමුදාවේ පාලනයට නතු ව තිබූ මෙම ප‍්‍රදේශයේ කොටසක් 1919 සැප්තැම්බර් දක්වා විප්ලවකාරී රතු ගරිල්ලා හමුදාවට නතු ව තිබිණ. ඉනික්බිති මොංගෝලියානු සහ චීන ආක‍්‍රමණිකයින්ගේත් ඉතිරිව සිටි ධවල හමුදා කණ්ඩවලත් පාලනයට පත්ව තිබිණ. 1920 දී තුරානයේ පැවති රුසියානු ජනතා නියෝජිතයින්ගේ 10 වන සම්මේලනයේ දී අප‍්‍රමාද ව සෝවියට් බලය පිහිටුවීම පිළිබඳ තීන්දුවක් ගනු ලැබිණ. 1921 දී තිවා සම්පූර්ණයෙන් කම්කරු-ගොවි රතු හමුදාවේ පාලන බලයට යටත් විය. 1921 අගෝස්තු 14 වන දා සමස්ත තිවා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් තන්තු-තුවා උලූස් මහජන සමූහාණ්ඩුව ප‍්‍රකාශයට පත් කරනු ලැබිණ. 1926-44 දී මෙහි නිල නාමය තුවා මහජන සමූහාණ්ඩුව විය. 1921 දී රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජය ද 1926 දී මොංගෝලියානු මහජන සමූහාණුඩව ද විසින් තිවාහි ස්වාධීනත්වය පිළිගනු ලැබිණ. 1921, 1924, 1926, 1930 සහ 1941 යන වසරවලදී සම්මත කර ගැනුණු ව්‍යවස්ථා මඟින් තිවාහි රාජ්‍ය ව්‍යූහය නිර්ණය කෙරී තිබිණ. මේ කාලයේ දී තුවා ජනතා විප්ලවකාරී හමුදාව නිර්මාණය කෙරිණ. සෝවියට් දේශය විසින් ආර්ථික සහ සංස්කෘතික ආධාර සපයනු ලැබිණ. සෝවියට්-තුවා බද්ධ ව්‍යාපාර මෙරටේ ආර්ථිකයෙහි වැදගත් තැනක් ගත්තේ ය. 1921-32 කාලයේ මෙහි සිටි, නමුත් මෙරටේ නොව රුසියානු ෆෙඩරල් සමූහාණ්ඩුවේ ව්‍යාවස්ථාව යටතේ ජීවත්වීමට අවසර ලබා දී තිබූ ස්වයංපාලිත රුසියානු ශ‍්‍රම ජනපදය පදනම් කර ගනිමින් සෝවියට් පාලනය තිවාහි තම බලපෑම ශක්තිමත් කර ගත්තේ ය. 1926-29 දී සෝවියට් දේශයේ විද්‍යා ඇකඩමියේ භූගර්භ විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් විසින් ගවේෂණ කරන ලද අතර 1930-31 දී පෙරදිග ශ‍්‍රමිකයින්ගේ කොමියුනිස්ට් විශ්වවිද්‍යාලයේ ජාතික සහ යටත්විජිත ප‍්‍රශ්නය අධ්‍යයන කිරීමේ සංගමය ද විද්‍යා පර්යයේෂණ, අධ්‍යාපන සහ සංස්කෘතික ආයතන කිිහිපයක් ස්ථාපිත කළ සංස්කෘතික-වාග්විද්‍යා කණ්ඩායම ද විසින් සංහත පර්යේෂණයක් පවත්වන ලදි. 1929 දී සමාජවාදී සමාජ ක‍්‍රමයක් ගොඩනැඟීම අරමුණු කර ගත් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබිණ. එහිදී රදල වංශවතුන්ටත් බෞද්ධ ලාමා භික්ෂු සංඝයාටත් එරෙහිව මර්ධනය ක‍්‍රියාත්මක විය. මෙහිලා ක‍්‍රියාත්මක කරන ලද සමූහ ගොවිපල් නිර්මාණය කිරීමේ කඩිනම් ක‍්‍රමවේදය අසාර්ථක වූයෙන් නව දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සිදු විය. ඒ අනුව, ක‍්‍රමානුකූල ව ගොවි ආර්ථික ඒකක සමුපකාරගත කෙරුණු අතර සත්ත්ව පාලනයේ සහ පස සකස් කිරීමේ ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් හවුල් ව්‍යාපාර තුළට ඒවා ඒකාබද්ධ කරනු ලැබිණ. 1936 දී මූල්‍ය ප‍්‍රතිසංස්කරණයක් සිදු කෙරුණු අතර අක්ෂා නමැති ජාතික මූල්‍ය ඒකකය හඳුන්ව දෙනු ලැබිණි. ඒ.ඒ. පාල්ම්බාහ් විසින් 1930 දී තුවා භාෂාවට හෝඩියක් නිර්මාණය කිරීම සුවිශාල වැදගත්කමින් යුත් කටයුත්තක් විය. ඉනික්බිති සාහිත්‍ය නිර්මාණ ද වෘත්තීයමය නාට්‍ය කලාවක් ද මුද්‍රිත ප‍්‍රකාශන ද එළි දකින්නට විය.

දෙවන ලෝක සංග‍්‍රාම සමයේ දී ජර්මනියට එරෙහි ව යුද්ධ ප‍්‍රකාශ කරමින්, නාසිවාදී ජර්මනියට විරුද්ධ ව සෝවියට් දේශය ගෙන ගිය සටනේ දී එරටේ පළමු නිල යුද හවුල්කරුවා බවට පත් වූ රාජ්‍යයයි. එසමයේ තිවා රාජ්‍යය සෝවියට් සංගමයට විවිධාකාරයෙන් සහාය දැක්වී ය. තිවාහි මුළු රන් සංචිතය ම සෝවියට් දේශයට පිරිනැමුණි. සෝවියට් රතු හමුදාවේ ප‍්‍රයෝජනය පිණිස රූබල මිලි.35ක වටිනාකමින් යුත් බඩුභාණ්ඩ තොගයක් ද යුද කටයුතු සඳහා යෝග්‍ය අසුන් 50,000ක්, හිමෙහි ලිස්සා යාම සඳහා භාවිත කරන පාපුවරු 52,000ක්, උඩුකය වැසෙන හිම කබා 10,000ක්, හිම සපත්තු 16,000කට අධික ප‍්‍රමාණයක්, අත්වැසුම් යුගල 19,000ක් ආදිය ද ඊට අතිරේක වශයෙන් ලබා දෙනු ලැබිණි. මස්, කිරි, පිටි වර්ග, මී පැණි, ටින් කැන ලද මත්ස්‍ය ආහාර, ස්වේඡුාවෙන් පැමිණි තිවා ජාතිකයෝ රතු හමුදාවට බැඳී සෝවියට් දේශය වෙනුවෙන් යුද්ධ කළහ. තිවා මහජන සමූහාණ්ඩුවේ කුඩා මහජන නියෝජිත මණ්ඩලයේ 7 වන සභා වාරය විසින් 1944 අගෝස්තු 17 වන දා තිවා ජනරජය සෝවියට් සංගමයට ඇතුළත් කර ගැනීමේ ප‍්‍රකාශනය සභා සම්මත කොට රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ ස්වයං පාලන ප‍්‍රදේශයක් වශයෙන් සෝවියට් සංගමයට ඇතුළත් කර ගන්නා ලෙස එහි උත්තරීතර සෝවියට් සභාවෙන් ඉල්ලීමක් කෙළේ ය. එම වසරේ ඔක්තෝබර් මස 11 වන දින එකී ඉල්ලීම පිළිගනු ලැබුණු අතර ඉන් දෙදිනකට පසු එය නිල වශයෙන් ක‍්‍රියාත්මක කරනු ලැබිණි. සෝවියට් සංගමය විසින් මෙරට බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද්දේ යැයි තැනෙක දැක්වේ. 1961 ඔක්තෝබර් 10 වන දින සෝවියට් සංගමයේ උත්තරීතර සෝවියට් සභාවේ සභාපති මණ්ඩලයේ තීරණයෙන් ස්වයං පාලන ප‍්‍රදේශයක තත්ත්වයේ සිට ස්වයං පාලන සෝවියට් සමාජවාදී ජනරජයක තත්ත්වයට පත් කරනු ලැබිණ.

1960-70 දී තිවාහි ඛනිජ නිධි කැණීම් ආම්භ කෙරිණ. එනයින් ආකර කර්මාන්තය දියුණුවට පත් වීම ආරම්භ විය. විදුලි බලාගාර කිහිපයක් සහ වෙනත් කර්මාන්ත ව්‍යාපෘති කිහිපයක් විවෘත කෙරිණ. 1980-90 අතර කාලයේ පැනනැ`ගුණු සමාජ නොසන්සුන්තාව, ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින් අන්තර් වාර්ගික ගැටුම් උත්සන්න කෙරිණ. 1990 දී රුසියානු විරෝධී සටන් පාඨ යටතේ තිවාහි මහා පරිමාණයේ කලබල ඇති විය. එය රුසියානු භාෂාව වහරන ජනයා ගම්වලින් නගරවලටත් මේ ජනරජයෙන් පිට ප‍්‍රදේශවලටත් යෑමට හේතු විය.

1990 දෙසැම්බර් 12 වන දා තිවාහි ස්වංය පාලන ජනරජයේ උත්තරීතර සෝවියට් සභාවේ 4 වන සැසිවාරයේ දී තිවාහි ස්වාධිපත්‍යය බලය පිළිබඳ ප‍්‍රකාශනය සම්මත කර ගනු ලැබිණි. නාමය ද තුවා සෝවියට් ජනරජය ලෙස වෙනස් කරනු ලැබිණ. 1992 රුසියානු ෆෙඩරේෂණ ව්‍යවස්ථාවෙන් එම නාමය තහවුරු කරනු ලැබුව ද 1994 දී පවත්වනු ලැබූ ජනමත විචාරණයේ දී තිවා ජනරජය ලෙස මෙහි නව නාමය තහවරු කෙරිණ. 1991 දී ජනාධිපති ධුරය හඳුන්වා දෙනු ලැබුව ද 2001 දී මෙම ධුරය අහෝසි කරනු ලැබිණ. එහෙත් 2001 දී සම්මත කර ගනු ලැබූ ව්‍යාවස්ථාවේ පැනෙන පරිදි තිවා සහ තුවා ජනරජය නමැති නාම දෙක ම එක ම බලයක් ඇති සමාන බලයක් ඇති නාම දෙකක් වන බව තහවුරු කෙරිණ. තවද රුසියානු සහ තුවා භාෂා දෙකම සමාන අයිතීන් ඇති භාෂා දෙකක් වශයෙන් පිළිගනු ලැබිණි. 2010 පැවති ජනවත විචාරණයෙන් තුවා රටවැසිභාවය අහෝසි කෙරුණු අතර ද්වි මණ්ඩල පාර්ලිමේතුව වෙනුවට ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරනු ලැබිණ.

තිවාහි බුදුසමයේ ඉතිහාසය

මෙම ප‍්‍රදේශයේ සංක‍්‍රමණික දිවි පෙවෙතක් ගත කළ ජනයා හා බුද්ධාගම සම`ග පළමු සම්පර්කය ඇති වූයේ ක‍්‍රි.පූ.දෙවන සියවසේ යැයි ජනප‍්‍රවාදානුගත සඳහනකි. දෙවන වරට මෙම ජනයා බෞද්ධ බලපෑමට නතු වූයේ ක‍්‍රි.ව.6-8 සියවස්හි දී යැයි පළවේ. එහෙත් මූලාශ‍්‍රගත සාහිත්‍යයේ පැනෙන තොරතුරුවලට අනුව, 13-14 සියවස්හි දී තුවාන් ජාතිකයින් වාසය කළ භූමි ප‍්‍රදේශ මොංගෝලියානු අධිරාජ්‍යය විසින් යටත් කරගෙන සිටි සමයෙහි බුද්ධ දේශනාව පිළිබඳ පැහැදිලි වැටහීමක් ඔවුන් තුළ ඇති වන්නට ඇති බවත්, 18 වන සියවසේ දී මෙම ජනයා අතර බුද්ධාගම වේගයෙන් මුල්බැසගන්නට ඇති බවත් පෙනී යයි. 18 වන සියවසේ තෙවන දශකයේ දී හුරේ නමින් හැඳින්වෙන පළමු සංචරණ බෞද්ධාරාම බිහිවූ බවට සාක්ෂ්‍ය තිබේ. 1753 දී පැවති තිවාහි සියලූ ගෝත‍්‍ර නායකයින්ගේ සහ ජ්‍යෙෂ්ඨයින්ගේ සම්මේලනයේ දී ආථර්වන ඇදහිලි හා සමගාමී ව බුද්ධාගම ද තිවාහි රාජ්‍ය ආගමක් ලෙස පිළිගනු ලැබිණි. පර්යේෂකයින් රාශියක් විසින් පෙන්වා දී ඇති පරිදි, මැන්චූරියාව විසින් තිවා ප‍්‍රදේශ ආක‍්‍රමණය කිරීමට සැරසෙමින් සිටිය දී බුද්ධාගම නිල ආගම වශයෙන් පිළිගැනීම නිසා තුවාන් ජාතිකයින්ගේ ජනවාර්ගික අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වූයෙන් ඔවුන් මැන්චූරියානු චීන ජාතිකයින් සම`ග ඒකීය වාර්ගික අනන්‍යතාවක් ගොඩන`ගා ගැනීමෙන් වලක්වනු ලැබිණ. එහෙත් පොදු ජනයා අතර බුද්ධාගම පු`එල් ලෙස පැතිර ගියේ 18 වන සියවසේ දෙවන අඩ භාගයේ දී ය. ඒ, ජුන්ඝාර් ඛාන්වරුන්ගේ බලය මැන්චූරියානු කිං පෙළපතේ හමුදා විසින් බිඳ හෙළා තිවාහි ජනයා චීනයේ යටත්භාවයට පත් කොට සිටි අවධිය විය. එසමයේ දී ටිබෙටයේ සහ මොංගෝලියාවේ බෞද්ධ මධ්‍යස්ථාන සමඟ මොවුන්ගේ තිබූ සම්බන්ධය වඩාත් ශක්තිමත් විය. මොංගෝලියානු ඛාන්වරුන්ගේ අනුග‍්‍රාහකත්වයෙන් මොංගෝලියානු ලාමා භික්ෂූහු මෙකල තුවාන් ජනයා අතර සක‍්‍රීය ව ධර්ම ප‍්‍රචාරක කටයුතු මෙහෙයැවූහ. එනයින් ටිබෙට් සහ මොංගෝලියානු බුදුසමයේ විශේෂතා තිවා බුුදුසමය විසින් ද ආසක්ත කර ගනු ලැබිණ. ටිබෙට් බුදුසමයේ ප‍්‍රධාන ගුරුකුලයක් වන 'කසා ශිරස්කය' යනරුතැති ගෙලූග් (Gelug) නිකාය තිවාහි වැඩි වශයෙන් ව්‍යාප්ත ව ගියේ ය. එසේම 'පැරණි පරිවර්තන නිකාය' යන අරුතැති නියින්මා (Nyingma) නිකාය ද මෙහි යම් පමණකින් ව්‍යාප්ත ව තිබේ. 1772 දී එර්සින් ද වසරකින් ඉක්බිති සමගල්තායි ද වශයෙන් 18 වන සියවසේ 8 වන දශකයේ දී උතුරු මොංගෝලියාවට යාව ස්ථාවර බෞද්ධ සංඝාරාම බිහිවිය. 19 වන සියවසේ දී තවත් විහාරස්ථාන බිහි වූ අතර එකී ආරාම හුදෙක් ආගමික සිද්ධස්ථාන පමණක් නොව විශාල ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ද විය. 19 වන සියවසේ මැද සිට මොංගෝලියාවේ සිට පැමිණි ලාමා භික්ෂූහු තුවාන් සාමනේර හිමිවරුනට මොංගෝල සහ තිබ්බත භාෂා ද කියැවීම සහ ලිවිීම ද ගණිතය ද බෞද්ධ දර්ශනයේ මූලිකාංග සහ ජ්‍යොතිශ්ශාස්ත‍්‍රය ද ඉගැන්වූහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා එම හිමිවරු මොංගෝලියාවට හෝ තිබ්බතයට යෑම සම්ප‍්‍රදාය විය.

තිවාහි ප‍්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් බිහි නොවී ය. එනයින් සියලූ විහාරස්ථාන මොංගෝලියානු විහාර පරිපාලනයට යටත් ව තිබිණ. තිවාහි මහ නායක හිමියන් ලෙස සැලකෙනුයේ චදාන් විහාරාධිපති හිමියෝ ය. මොංගෝලියාවේ මහ නායක බොග්දො-ගෙගේන් පදවිය දරන හිමියන්ට යටත් වන කම්බු-ලාමා පදවිය දරනුයේ එහිමියන් විසිනි. මොංගෝලියාවේ මහ නායක හිමිවරුන් වැඳපුදා ගැනීම පිණිස උර්ගා හෙවත් උලාන්බාතර් (Ulaanbaatar) (බ.) බලා වන්දනාවේ යෑම තුවාන් ජාතිකයින් අතර මුල්බැසගෙන තිබූ චාරිත‍්‍රයකි. එහෙත් මෙහි උසස් භික්ෂු නිලතල සියල්ල ම පාහේ දරන ලද්දේ මොංගෝලියානු සහ තිබ්බත භික්ෂූන් වහන්සේ විසිනි. 1914 දී තිවා ප‍්‍රදේශය රුසියාවේ රැුකවරණය යටතට පත් වන අවස්ථාවේ දී බහුතර භික්ෂූන් වහන්සේ ඊට පක්ෂ වූහයි කියැවේ. ඒ වන විට බෞද්ධ සංඝාරාම 22ක් පැවති අතර එහි විවිධ තරාතිරමේ භික්ෂූන් වහන්සේ 4000ක් වූහ. එය තිවාහි පිරිමි ජනගහනයෙන් 10%ක් පමණ විය. එයින් අඩක් පමණ සිය කුටුම්භ නඩත්තු කරමින් පවුල් පවත්වා ගනිමින් ගම් පාලනයට හවුල් වෙමින් ගණින්නාන්සේලා මෙන් ජීවත් වූ අය වූහ. 20 වන සියවසේ මුල දී තිවාහි තිබූ ප‍්‍රධාන බෞද්ධ සංඝාරාම වූයේ එර්සින්, සමගල්තායි, ඉහළ චදාන්, පහළ චදාන්, හෙන්දෙර්ගේයි, ඉහළ චා-හෝල්ස්ක් ය. රුසියාවේ රැුකවරණය යටතට පත් වූ පසු තිවාහි ආගමික සහ අභ්‍යන්තර පාලන කටයුතුවලට ඇ`ගිලි ගැසීමෙන් රුසියානු ආණ්ඩුව හැකි තාක් දුරට වැලකී සිටියේ ය. එහි බෞද්ධ ආරාම ඉදිකිරිම් රුසියානු ශිල්පීන්ගේත් සහාය ඇති ව තවදුරටත් කෙරීගෙන ගියේ ය. 1916 අවසානය වන විට තිවාහි භික්ෂූන් වහන්සේ 10,000ක් වැඩවාසය කළහ. සෝවියට් පාලනය යටතේ 1930 ගණන් අග දී මෙහි සියලූ විහාරස්ථාන වසා දැමිණි. නොබෝ කලකට පසු ඒවා කඩාබිඳ දමන ලදි. සියලූ ම පාහේ ලාමා භික්ෂූන් වහන්සේ මර්දනයට ලක් කෙරුණාහ. දිවි බේරා ගැනීමට හැකි වූ භික්ෂූන් වහන්සේ කිහිප නමක් 1950 ගණන් අග දී තැන් කිහිපයක රැුඳෙමින් රහසිගත ව බෞද්ධ බැතිමතුන් උදෙසා වත්පිළිවෙත් පැවැත්වූහයි සඳහන් වේ. 1990 සිට තිවාහි බෞද්ධ පුනර්ජීවනයක් සිදුවෙමින් පවතී. 1992 සැප්තැම්බර් මාසයේ දී 14 වන දලයි ලාමාතුමා තිවාහි තෙදින නිල සංචාරයක නිරත වීම මෙහිලා වැදගත් අවස්ථාවක් විය.


ආර්ථිකය

තිවා ජනරජය රුසියාවේ නැගෙනහිර සයිබීරියානු ආර්ථික කලාපයට ඇතුළත් වේ. කාර්මික සහ කෘෂි ආර්ථිකයක් ඇති ප‍්‍රදේශයක් ලෙස මෙය වර්ගීකරණය කෙරේ. 2014 සංඛ්‍යා ලේඛන අනුව කාර්මික නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනය මෙන් 1.5 ගුණයකින් වැඩි ය. 2013 සංඛ්‍යා ලේඛනවලට අනුව, රාජ්‍ය පාලනය සහ ආරක්ෂාව, අනිවාර්ය සමාජ සුබසාධනය සඳහා 24%ක් ද සෞඛ්‍යය සහ සමාජ සේවා සඳහා 13.4%ක් ද අධ්‍යාපනය සඳහා 12.7%ක් ද තොග හා සිල්ලර වෙළෙඳාම, විවිධ ගෙදරදොර සේවා සඳහා 11.1%ක් ද ඉදිකිරීම් සඳහා 7.8%ක් ද ප‍්‍රවාහන සහ සම්බන්ධන සඳහා 7.1%ක් ද කෘෂි සහ වන කර්මාන්තය සඳහා 6%ක් ද නිෂ්චල දේපළ ගනුදෙනු, බදු සහ සේවා සඳහා 5.5%ක් ද ඛනිජ නිධි කැණීම සඳහා 4.6%ක් ද විදුලි බලය, ගෑස් සහ ජලය ජනනය කිරීම සහ බෙදා හැරීම සඳහා 2.8%ක් ද පිරිසැකසුම් නිෂ්පාදන සඳහා 1.7%ක් ද සෙසු ක්ෂේත‍්‍ර සඳහා 3.3%ක් ද වශයෙන් දළ ප‍්‍රදේශීය නිෂ්පාදිතය ව්‍යූහගත වී තිබේ. 2014 නිෂ්පාදන ආයතන සංඛ්‍යාව අනුව 49.5%ක් පෞද්ගලික අයිතිය යටතේ ද 27.5%ක් නගර සභා ද 13.5%ක් රජයේ ද 7.6%ක් සමාජ සහ ආගමික සංවිධාන ද 1.9%ක් වෙනත් ආයතන ද යටතේ ඇත. ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ජනගහනය 125,000කි. එයින් සැබෑ ලෙස ආර්ථික ක‍්‍රියාවලියට දායක වන පිරිස 81%කට (2014* ආසන්න වේ. රැුකියා වියුක්තිය 19.1%කි. ඒක පුද්ගල මූල්‍ය ආදායම මසකට රූබල 14,100කි. එය රුසියාවේ 82 වන ස්ථානයයි. එය එරටේ මධ්‍ය ආදායමෙන් 51.9%කි. 34.7%ක ජනයා අවම ජීවන මට්ටමට වඩා පහළ ආදායමක් ලබයි.


කර්මාන්ත

කාර්මික නිෂ්පාදිතයේ වටිනාකම රූබල බිලි.8.8කි (2014). එයින් 52.2%ක් ලැබෙනුයේ ආකර කර්මාන්තයෙනි. 40.8%ක් විදුලි බලය, ගෑස් සහ ජලය නිෂ්පදනයෙන් සහ බෙදාහැරීමෙන් ලැබේ. පිරිසැකසුම් (ආහාර, ඉදිකිරිම් ද්‍රව්‍ය, දැව, කඩදාසි, ලෝහ* සැහැල්ලූ (ලෝම, බුමුතුරුණු, නිමි ඇඳුම්* කර්මාන්තවලින් ලැබෙනුයේ 7%ක් පමණි. රුසියාවේ තිබෙන ඛනිජ සම්පත් ගවේෂණය නොකළ ප‍්‍රදේශයක් සේ තිවා සැලකෙයි. ආහාර ද්‍රව්‍ය අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙනුයේ අසල්වැසි ප‍්‍රදේශවලින් ආනයනය කිරීමෙනි. එක ගමක්-එක නිෂ්පාදිතයක් යන තේමාව යටතේ කිරි සහ මාංශ ආහාරත් පාන වර්ග සහ එළව`එත් තිවාහි ම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් 21 සියවස ආරම්භයේ සිට ක‍්‍රියාත්මක කෙරේ. ඇ.ඩො.මි. 0.4ක් ද ඇතුළු ව විදේශ වෙළෙඳ පිරිවැටුම ඇ.ඩො.මි.11.1කි (2014). වැඩිපුර ආනයනය කරනු ලබනුයේ යන්ත‍්‍රසූත‍්‍ර වන අතර කෘෂිකාර්මික අමුද්‍රව්‍ය බහුල ව අපනයනය කෙරේ.

කෘෂිකර්මාන්තය

කෘෂි නිෂ්පාදිතයේ වටිනාකම රූබල බිලි.5.8කි (2014). එයින් 80%කට අධික ප‍්‍රමාණයක් ලැබෙනුයේ සත්ත්ව පාලනයෙනි. යක් ගවයින් ද ඇතුළු ව මස් සහ කිරි සඳහා ගව පාලනය, මස් සහ ලෝම සඳහා බැටළු පාලනය සහ අශ්ව පාලනය ප‍්‍රධාන වන අතර එළු සහ මුව පවුලේ සතුන් පාලනය ද කුරුලූ පාලනය ද වැදගත් ස්ථානයක් දරයි. එහෙත් මෙම නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්හි කැපීපෙනෙන පහත වැටීමක් දිස්වේ. ධාන්‍ය, අර්තාපල් සහ එළවළු නිෂ්පාදනය තිවාහි ආර්ථිකයේ වැදගත් ශීර්ෂ වන නමුත් එම ක්ෂේත‍්‍රයන්හි ශීඝ‍්‍ර පහත වැටීමක් පෙන්නුම් කෙරේ.

සේවා

සංස්කෘතික-අධ්‍යාපනික, ජනවාර්ගික, පාරිසරික, විනෝදාත්මක, ක‍්‍රීඩා සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම පිණිස මහත් විභවයක් පවතී. ඒ සඳහා පදනම් කර ගත හැකි සංස්කෘතික සහ ඓතිහාසික ස්මාරක රාශියක් ද අභය භූමි කිහිපයක් ද සුඛාගාර, හිම ක‍්‍රීඩා සඳහා යෝග්‍ය ස්ථාන මෙන් ම දඩයම් භූමි ද (තිවාහි මුළු භූමියෙන් 60%ක්) සංචාරක ව්‍යාපාරය සඳහා පාදක කර ගත හැකි ය.

ප‍්‍රවාහනය

ක‍්‍රස්නයාර්ස්ක් නුවර සිට මොංගෝලියානු දේශසීමා දක්වා දිවෙන මධ්‍ය ආණ්ඩුවට අයත් මහා මාර්ගය තිවාහි අගනුවර ඔස්සේ වැටී ඇත. එහි ගුවන්තොටක් ද වෙයි. මෙහි සිට ක‍්‍රස්නයාර්ස්ක්හි කුරගිනෝ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම 2010 දී ඇරඹිණ.

සෞඛ්‍යය

ජනගහනයෙන් 10,000කට රෝහල් ඇඳන් 114.6ක් ද වෛද්‍යවරු 44.8ක් වෙති (2014). වැඩි ව්‍යාප්තියක් ඇති රෝග අතර රුධිර සංසරණ පද්ධතියේ රෝග, ශ්වසන රෝග, කැඩුම් බිඳුම්, හදිසි අණතුරු සහ විෂ ශරීරගතවීම්, වසංගත රෝග සහ පිළිකා වෙයි. 100,000කට ක්ෂය රෝගීන් 172.4ක් වාර්තා වේ. තිවාහි විල්වල ස්වාභාවික ලවණිත ජලයෙන් මෙන් ම මඩ ප‍්‍රතිකාර සහ අශ්ව කිරිවලින් ප‍්‍රතිකාර කිරීම ද සිදු කෙරේ.

අධ්‍යාපනය

පෙර පාසල්, පාසල් සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට අමතර ව උසස් අධ්‍යාපන ආයතන හතරක් ද පුස්තකාල 173ක් ද කෞතුකාගාර 11ක් ද තිවාහි ක‍්‍රියාත්මක වේ.

ජනමාධ්‍ය

රුසියානු සහ තුවාන් භාෂාවලින් පළවන ප‍්‍රධාන සතිඅන්ත පුවත්පත් කිහිපයකි. 1936 සිට ගුවන්විදුලිය ද 1966 සිට රූපවාහිනිය ද ක‍්‍රියාත්මක වේ.

සාහිත්‍යය

තිවාහි සාහිත්‍යය ප‍්‍රධාන වශයෙන් රචනා වනුයේ තුර්කි භාෂා පවුලට අයත් තුවාන් බසිනි. පොහොසත් ජන සාහිත්‍ය සම්ප‍්‍රදායය පාදක කොට ගනිමින් දියුණුවට පත්විය. කාව්‍ය නිර්මාණ එකී සම්ප‍්‍රදාය ප‍්‍රශ්න කරමින් නිර්මාණකරණයේ යෙදුණු අතර ගද්‍ය සාහිත්‍යයේ සහ නාටකයන්හි සමාජ-මනෝවිද්‍යාත්මක තේමා මුලට එයි. 1960 ගණන්වල අග සිට නවකතාව වර්ධනය වේ. එසේම තිවාහි රුසියානු භාෂා සාහිත්‍යයක් ද වේ.

වාස්තුවිද්‍යාව

යකඩ යුගයේ මුල් කාලයට දින නිර්ණය කෙරී ඇති සංකීර්ණ දාරුමය ගොඩනැඟිලි කර්මාන්ත අර්ෂාන්හි ගොඩැලිවලින් සොයාගෙන තිබේ. 750-820 කාලයේ උයිඝූර් අධිරාජ්‍යයේ බලකොටු පද්ධතියක් ඉදිවුණෙන් ගඩො`එ සහ මැටි ප‍්‍රාකාර මෙන් ම ආරක්ෂක ස්ථම්භ ද මැටි උළු යෙදූ පියැසි සහිත ගොඩනැඟිලි ද ඉදි කෙරිණ. එහිලා මධ්‍ය ආසියාවේ සහ චීනයේ වාස්තුවිද්‍යා නිර්මාණයන්හි බලපෑම කැපී පෙනේ. 13-14 සියවස්හි මොංගෝලියානු අධිරාජ්‍යයට නතුව සිටි සමයෙහි බෞද්ධ නාගරික සහ නගරාසන්න ප‍්‍රදේශයන්හි පර්වත ආරාම ඇතුළු බෞද්ධ විහාරස්ථාන ඉදි විය. මුල් කාලයේ එ‍ඬේරුන් සමඟ යමින් සංක‍්‍රමණික ජීවිතයක් ගත කළ හෙයින් බහුල වශයෙන් ආරාම බිහි නොවුණු නමුත් 1917 ඔක්තෝබර් විප්ලවය සිදු වන විට භික්ෂූන් වහන්සේ තුන් දහසක් වැඩවාසය කළ බෞද්ධ සංඝාරාම සහ විහාරස්ථාන 19ක් තිවාහි පැවතිණ. 1770-1910 දී මොංගෝලියානු වාස්තුවිද්‍යා නිර්මාණ කලාව අනුයමින් තිබ්බත සහ චීන ලක්ෂණ ද මුසු කර ගත් බෞද්ධ සංඝාරාම ඉදිකෙරිණ. එර්සින් (1772), සමගල්තායි (1773), උත්තර චදාන් (1905-07) ඒ අතර කැපී පෙනෙයි. උත්තර චදාන් විහාරය 1937 දී විනාශ පත් කරන ලද්දෙන් 2008-12 දී යළි ඉදිකෙරිණ.

19 සියවස අගදී සහ 20 වන සියවස මුද දී රුසියානු සංක‍්‍රමණිකයින් විසින් දාරුමය දේවස්ථාන ඉදි කරනු ලැබිණි. 1940-1950 ගණන්වල දී සෝවියට් නව සම්භාව්‍යවාදී වාස්තුවිද්‍යා ශෛලියෙන් ඉදිකිරීම් කරනු ලැබිණ. 1990 සිට බෞද්ධ විහාරස්ථාන සහ ස්ථූප මෙන් ම ග‍්‍රීක ඔර්තඩොක්සි නිකායික දේවස්ථාන ද ඉදි කෙරෙමින් තිබේ.

සංගීතය

බෞද්ධාගමික සහ ආථර්වන ඇදහිලි පදනම් කර ගත් සංගීත සම්ප‍්‍රදායයකට තුවා ජාතිකයෝ උරුමකම් කියති. උගුරෙන් නැගෙන ගැඹුරු හඬින් කෙරෙන උපරිතානමය ගායනා (Overtone singing) ශෛලිය මහත් සමාජ පිළිගැනීමට ලක් ව තිබේ. මෙවැනි ජාතික සම්ප‍්‍රදායයන් 1990 සිට රාජ්‍ය මට්ටමින් සුරක්ෂා කෙරේ. මධ්‍ය ආසියාතික සංස්කෘතික උරුමය සුරැුකීමේ තේමාව යටතේ සංගීත උත්සව සහ තරග කිහිපයක් ම විටන් විට සංවිධානය කෙරේ.

නාට්‍ය

1935 දී තිවා මහජන නියෝජිතයින් විසින් ගනු ලැබූ තීරණයට අනුව, මෙහි පළමු ජාතික වේදිකා රංග පීඨය ආරම්භ කරන ලද්දේ 1936 දී ය. රූකඩ රංග ශාලාවක් ඇතුළු තවත් වේදිකා නාට්‍ය ශාලා කිහිපයක් තිවාහි වෙයි.

පාරිසරික තත්ත්වය

වාර්ෂික ව තිවාහි වායුගෝලයට මුදා හැරෙන පරිසර දූෂක අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටො.35,600කි (2014). කිසිල් අගනුවර වායුගෝලය නොයෙක් දූෂක නිසා විශාල වශයෙන් අපවිත‍්‍ර වී තිබේ. ඉතා ඉහළ දුහුවිලි රාශිභූත වීමක් ශීත කාලයේ දී නිරීක්ෂණය වේ. අපජලය ගලා ඒම නිසා ජනාවාසික ප‍්‍රදේශ අසල ඇති ජලාශ අපවිත‍්‍ර වී තිබේ. දේවදාරු වනයන්හි අනවසර කැලෑ කැපීම් සහ ලැව් ගිනි හේතුවෙන් වන ගහනයේ සංයුතියට බරපතල හානි සිදු වී තිබේ. එය වැඩි ආර්ථික ඵලදායකත්වයක් ඇති වන වගා විශේෂ විනාශ වී යෑමට හේතු වී තිබේ. වගාබිම්වල සුළං ම`ගින් සිදුවන පාංශු ඛාදනය උත්සන්න වී තිබේ. එනයින් පසේ හියුමස් ස්ථරයේ පෝෂණගුණය පහළ වැටීමට හේතු වී තිබේ. තිවාහි මු`එ භූමියෙන් 8.7%ක් ස්වාභාවික රක්ෂිත භූමි ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙහි ඇති මුළු දැව ප‍්‍රමාණය ඝන මී.ට්‍රිලියන එකකට අධික යැයි ගණන් බලා තිබේ.

උත්සව

බෞද්ධ චන්ද්‍ර මාස ක‍්‍රමයට අනුව 'ශාගා' නමින් අලූත් අවුරුදු උත්සවය පැවැත්වේ. එය පැවැත්වෙන දිනය නිර්ණය කෙරෙනුයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසිනි. ඊට අමතර ව රාජ්‍ය උත්සව වශයෙන් ව්‍යවස්ථා සම්පාදක දිනය සහ ජනරජ දිනය සැමරේ.

ක‍්‍රීඩා

හුරේෂ් නමින් හැඳින්වෙන ජාතික ක‍්‍රීඩාව ද නිදහස් ආරේ සටන් ක‍්‍රීඩා ද ඊතලයෙන් විදීම ද තිවාහි අතිශයින් ජනප‍්‍රිය ජාතික ක‍්‍රීඩා වේ. ඊට අමතර ව බොක්සිං, පාපන්දු, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක‍්‍රීඩා ද ජනප‍්‍රිය ය. 'ක‍්‍රීඩාව නිවස අද්දරට ම' නමැති වැඩසටහන යටතේ ක‍්‍රීඩා ප‍්‍රචලිත කිරීමත් ව්‍යාප්ත කිරීමත් අරමුණු කොටගත් රාජ්‍ය ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කෙරේ. තුවා ජාතිකයින් අතර වත්මන් රුසියාවේ ආරක්ෂ අමාත්‍ය, රුසියාවේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා සිටින ජනරාල් සෙර්ගේයි ශොයිගු විශේෂයෙන් කැපී පෙනෙයි.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=තිවා_ජනරජය&oldid=3751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි