දණ්ඩක
ගෝදාවරී, නර්මදා යන ගංගා දෙක අතරෙහි වූ ආරණ්‍යයෙකි. දුරාතීතයෙහි ධනයෙන් ආඩ්‍ය සමෘධි සම්පන්න රාජ්‍යයක්ව පැවති මේ ප්‍රදේශය ඍෂිවරයෙකුගේ ශාපයෙන් වනාන්තර බවට පත්වී යයි රාමායනාදී ග්‍රන්ථවලින් පැවැසේ.
අතීතයෙහි ඉක්‍ෂවාකු වංශයෙහි දණ්ඩ නමැති කනිෂ්ඨ රාජපුත්‍රයෙක් විය. විද්‍යා ඥානයෙන් තොර වූ හේ උත්පත්තියෙන් ම මුඪයෙක් ද උන්මත්තකයෙක් ද විය. තරුණ විය සැපත් වූ එකුමරු අතිශයින් ශූරයකු වුව ද ඝොර නම් වූ දෝෂයක් නිසා ඔහුට දුර පෙදෙසක පිහිටි රාජ්‍යයක් පවරන ලදි. එය වින්‍ධ්‍ය පර්වතයටත් ශෛවල පර්වතයටත් අතර ප්‍රදේශයයි. හෙතෙම වින්‍ධ්‍ය පර්වතයෙහි ශිඛර දෙක අතර මධු මත්ත (මධුමන්ත) නම් නුවරක් කෙළේ ය. අවුරුදු බොහෝ ගණනක් ඉදුරන් දමනය කර ගෙන සිටි ඒ රජ දිනක් භාර්‍ගව ඍෂිවරයාගේ ආශ්‍රමය කරා ගියේ ය. එහි දී එම ඍෂිවරයාගේ වැඩිමහලු දියණියන් අරජා දැකීමෙන් හේ කාමාතුරයකු ලෙස ක්‍රියා කරන්නට විය. අරජා තොමෝ කාමයෙන් අන්ධ වූ ඔහු අමතා “මම ඔබගේ ගුරුවරයාගේ දූ වෙමි. එබැවින් මා ලබා ගැනීම සඳහා ඔබතුමා ගුරුවරයාට අයැද ඔහුගේ කැමැත්ත ඇතුව ශාසේක්‍රාක්ත විධි අනුව පාණිග්‍රහණය කළ මැනවැ"යි කීවා ය. කාමයෙන් උමතු වූ ඒ රජ කිසිවකට අහුම්කන් නොදී ඇයට බලහත්කාරකම් කර ස්ව නගරය කරා ගොස් නැවතත් ආශ්‍රමය කරා පැමිණියේ ය. ඉන් ස්වල්ප වේලාවකට පසු ආශ්‍රමය කරා පැමිණි භාර්‍ගව ඍෂිවරයා රජුගේ නින්දිත ක්‍රියාව ගැන කෝපයෙන් දිලිහී “භට හමුදා හා කොශාදියෙන් ආඪ්‍ය වූ තොපගේ රාජ්‍යය දින සතකින් විනාශ වේවා. ඉන්ද්‍රයා තොපගේ රාජ්‍යය මත ධූලි වර්ෂා කෙරේවා"යි ශාප කෙළේ ය. ඍෂි ශාපයට අනුව රාජ්‍යය විනාශ විය. ඉන්‍ද්‍රයාගේ අණ පරිදි ධූලි වර්‍ෂණය කිරීමෙන් එය දරණ්‍යයක් විය. එතැන් පටන් එය දණ්ඩකාරණ්‍ය නමින් ප්‍රසිද්ධ විය. මෙහි මුලින් සඳහන් කළ කථා පුවත රාම කුමාරයා මෙහි පැමිණි සමයෙහි එය මනුෂ්‍යයන්ගෙන් තොරවීමට හේතු කවරේදැයි අසන ලද ප්‍රශ්ණයකට අගස්ත්‍ය දුන් පිළිතුරයි.
පෙළබසින් දණ්ඩකාරඤ්ඤය නමින් හැඳින්වෙන මේ වනය ගැන මඣ්ජිම නිකාය, මිලින්ද පඤහ යන ග්‍රන්ථවල ද අමාවතුරු ආදියෙහි එහි සිංහල පරිවර්තනය ද ඇත.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1996)
(සංස්කරණය නොකළ)