දන්තිදුර්ග

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ ඩෙකාන් රාජ්‍ය පාලනය කළ හින්දු රජකු වූ දන්තිදුර්ග රජතුමා රාෂ්ඨකූට වංශික නරපතියෙකි. මෙතුමාගේ මුල් ආරම්භක පෙදෙස් ලෙස සැලකෙන්නේ ලාටලුර (Latalura) ප්‍රදේශය ය. එය පිහිටියේ ඔස්මානාබාද් (Osmanabad) දිස්ත්‍රික්කයේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ය. මෙම රාජකීය පවුල මෙහි පැමිණ ඇත්තේ ක්‍රි.ව. 625 දී බෙරාර්හි පිහිටි එල්මිපූර් (Ellichpur)හි සිට ය. මේ කාලයේ දී මොවුන් චාලුක්‍ය රාජවංශය යටතේ පරම්පරා කිහිපයක් ප්‍රවේනී පාලකයන් ලෙස කටයුතු කර ඇත. දන්තිදුර්ගගේ පියා වූ I ඉන්‍ද්‍රගේ කාලයේ දී රාෂ්ඨකූට වංශයේ භාග්‍ය උදාවුවා ලෙස සැලකෙන්න් ඔහු චාලුක්‍ය වංශයේ කුමරියක් හා විවාහ ගිවිස ගැනීම නිසා ය. මෙයින් ආරම්භ වූ විශිෂ්ඨත්‍වය දන්තිදුර්ගයේ යුද්ධමය දක්‍ෂතාවය නිසා බලය තවත් තීව්ර කර ගත හැකි විය.

දන්තිදුර්ග රජතුමා ඇතැම් තැනක දන්තිවර්මන් යනුවෙන් ද හඳුන්වා ඇත. මොහු ක්‍රි.ව. 733 දී සිහසුනට පත් වී ඇත. මොහු ධෛර්යමත් මෙන්ම අධිෂ්ඨානශීලී පුද්ගලයකු වූ අතර වසර 15කට වඩා වැඩි කාලයක් ඩෙකානයේ පාලකයා ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබී ඇත.

දන්තිදුර්ග රජතුමා පිළිබඳ තොරතුරු ලබාගත හැකි ප්‍රධාන වාර්තා දෙකක් වේ. එනම් ක්‍රි.ව. 754 අයත් සමන්ගාඩ් තහඩු ලිපිය (Samangad) හා දින රහිත එල්ලෝරාවේ පිහිටි දසවතාර (Dasavatara) ගුහා ලිපියයි. මේ මූලාශ්‍ර අනුව මොහු කාංචි, කාලිංග, කෝසල, මහානදී, මාල්වා, ලාට, ශ්‍රී සෙයිල (Sri-saila) සහ තංකා (Tanka) යන ප්‍රදේශ ජයග්‍රහනය කොට ඇත. තවද උජ්ජේනී රාජ්‍යය සමඟ තෑගිභෝග යවා මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. ගුර්ජරයින් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගත ඇත. මේ යුගයේ බලවත් පාලකයකු ව සිටි කර්ණාටයේ පාලකයා ව ද පරාජය කිරීමට සමත් විය. ඔහුගේ යුද මෙහෙය චාලුක්‍යයන් වෙත ද එල්ල වී චාලුක්‍යයන් ද පරාජය කළ අතර හිමාලය දක්වා සිටි ප්‍රචණ්ඩ පාලකයින් බොහෝමයක් අවනත කර ගත් බව සමකාලීන වාර්තාවල සඳහන් වන්නේ ය.

ඉහත සඳහන් කරුණු අනුව සලකා බැලීමේ දී රාෂ්ඨකූට වංශයේ ආරම්භක වැදගත් රජකු ලෙස දන්තිදුර්ග හැඳින්විය හැකි ය. කෙසේ වුව ද මොහුගේ ඇතැම් ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ චාලුක්‍යයන් යටත් ප්‍රදේශීය පාලකයකු ව සිටි යුගයේ දී ය. ඒ අනුව ඔහුගේ ජයග්‍රහණ හා ඔහුගේ ඓතිහාසික වැදගත්කම පහත සඳහන් අයුරෙන් සකස් කිරීම නිවැරදි වේ.

මොහුගේ ප්‍රථම දිග්විජය ආරම්භ වන්නේ ප්‍රදේශීය පාලකයකු වශයෙන් කටයුතු කරද්දී II විකම්දිත්‍ය රජුට ආධාර පිණිස හා ගූර්ජර පාලකයා වූ පුලකේෂීන්ට ආධාර පිණිස ය. එනම් ක්‍රි.ව. 738 ඇති වූ මුස්ලිම් ආක්‍රමණයන්ට විරුද්ධ ව ය. මේ ජයග්‍රහණවල ප්‍රතිඵලයන් වශයෙන් දන්තිදුර්ගට චාලුක්‍ය රජුගෙන් රාජ්‍ය සම්මාන මෙන් ම නිල් ලාංජන ද ලැබුණේ ය. මේ අනුව දන්තිදුර්ග චාලුක්‍ය වංශික රජ වූ II වික්‍රමාදිත්‍ය රජුගේ ප්‍රදේශීය පාලකයකු වශයෙන් සෑහෙන කාලයක් සේවය කොට ඇති බව පෙනේ. තවද මොහු කාංචි හා පල්ලවයන් පරාජය කිරීමේ දී ක්‍රි.ව. 743 දී චාලුක්‍ය ආධිපත්‍යය යටතේ චාලුක්‍ය ආධාර ද ඇතිව සටන් කළ බව පෙනේ. මේ සටනේ දී දන්තිදුර්ග විශිෂ්ට ජයක් අත්කර ගත්තේ ය.

මෙතෙක් තමන් ලද ජයග්‍රහණ සහ අත්දැකීම් තමන්ට වාසි වන අයුරෙන් සකස් කර ගැනීමට තීරණය කළ දන්තිදුර්ග ක්‍රි.ව. 747 දී II වික්‍රමාදිත්‍යගේ අභාවයත් සමගම ස්වාධීන පාලකයකු ලෙස ක්‍රියා කිරීමට කටයුතු කළේ ය. ඒ අනුව ගුජරාටය අල්වාගෙන එහි පාලකයා වශයෙන් තම ඥාතියෙකු වූ කර්කව (Karkka) පත් කළේ ය. ඉන්පසු මාල්වා රාජ්‍යයත් නැගෙනහිර මධ්‍ය ප්‍රදේශයටත් තම අණසක පතුරා හැරියේ ය. මේ අනුව ක්‍රි.ව. 750 වන විට දී මධ්‍යම හා දකුණු ගුජරාටයටත් මුළු මධ්‍ය ප්‍රදේශයත් බෙරාර් ජනපදයේත් අසහාය පාලකයා බවට පත් වීමට දන්තිදුර්ගට හැකි විය.

මේ අන්දමින් බලය වර්‍ධනය කරමින් සිටි දන්තිදුර්ග කෙරෙහි චාලුක්‍ය අධිරාජයා වූ II කීර්තිවර්මන් උදහසට පත් විය. තම බලයට තර්ජනයක් ලෙසින් ඩෙකානයේ වැඩුණ දන්තිදුර්ගගේ ශක්තිය මැඩ පැවැත්වීමට හෙතෙම ඔහු හා සටන් වැදිණ. කාන්දේශ්හි (Khandesh) සිදුවුණ මෙම සටනින් අවසානයේ දන්තිදුර්ග ජයග්‍රහනය කළේ ය. මේ සටනේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව. 753 වන විට දී මුන් මහාරාෂ්ට්‍රයේ ම අසහාය බලවතා වීමට දන්තිදුර්ගට හැකි විය. මින්පසු ඔහු අධිරාජ්‍යවාදී විරුදාවලියක් වූ “මහාරාජාධිරාජ පරමේෂ්වර පරම භට්ටරක” යන්න භාවිතා කළේ ය. මේ අනුව ජයග්‍රහණ රාශියක් ලබාගෙන ක්‍රියා කළ ද වැඩි කලක් මොහුට රාජ්‍ය පාලන විචාලීමට හැකියාවක් නොලැබිණි. හෙතෙම ක්‍රි.ව. 758 දී හෙතෙම කාලක්‍රියා කළේ ය.

(කර්තෘ: ජී.එච්. ආරියසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දන්තිදුර්ග&oldid=5155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි