දඹුල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහනුවර-ත්‍රිකුණාමලය මහා මාර්‍ගයේ මාතලේ නගරයටත් කැකිරාව උපනගරයටත් අතර පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම ඓතිහාසික පූජනීය ස්ථානයක් වශයෙන් මෙය හැඳින්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කිරීමේ දී තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මෙහි වැඩම කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙයි. අචිර පබ්බත යනුවෙන් අතීතයේ දී මේ ස්ථානය හැඳින්වූ බව සලකනු ලැබේ. මේ විහාරය මුල්වරට ගොඩ නැඟුනේ ක්‍රි.පූ. 89 දී දෙවන වර ලංකාවේ රජ බවට පැමිණි වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා (බ.) රජු ලෙස සාමාන්‍යයෙන් පිළිගැනීමක් ඇත. මෙම විහාරය අතීතයේ සිට ම ආගමික සිද්ධස්ථානයක් ලෙස පැවතුන බව එහි ඇති ලෙන් ගුහා දෙස බලන විට අනුමාන කළ හැකි වේ. මේ ලෙන්වල පිහිටි බුදු පිළිමවල රන් ආලේප කිරීමෙන් පසු මේ සිද්ධස්ථානය රන්ගිරි දඹුල්ල යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය.

මෙම විහාරයේ ප්‍රධාන වශයෙන් ලෙන් විහාර පහකින් සමන්විතව ඇත්තේ ය. මේ ලෙන් පිහිටි පර්‍වතය අඩි 600ක් පමණ වන්නේ ය. මෙම ලෙන් විහාරයේ සර්‍වඥ ධාතු සහ වලගම්බා මහරජගේ මෙහෙසියක් වූ සෝමා දේවියගේ ආභරණ ආදිය ද නිදන්කොට ඇති බවට ජනප්‍රවාද ඇත්තේ ය.

දඹුල්ල විහාරයේ වලගම්බා රජතුමා විසින් දෙවිරජ විහාරය, මහරජ විහාරය හා පශ්චිම විහාරය යන නම්වලින් විහාර තුනක් කරවා නෙතට පෙනෙන තෙක් දුර භූමිභාගය ඒවාහි නඩත්තුව සඳහා දුන් බවත් සඳහන් වෙයි. මහා අළුත් විහාරය නම් විහාරයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ද, දෙවැනි අළුත් විහාරය නම් වූ විහාරයක් කොබ්බෑකඩුව නම් මන්ත්‍රීතුමා විසින් ද කරවා ඇත. මේ අනුව විහාර පහකින් පමණ මේ සිද්ධාස්ථානය සමන්විත ව ඇත.

කුඩා නගරයක් වශයෙන් සැලකිය හැකි දඹුල්ල වැදගත් බවට පත්වී ඇත්තේ මේ දඹුලු විහාරය හේතු කොට ගෙන ය. කුඩා කඩමන්ඩිය අසලින් ගල්තලාව ඔස්සේ ගමන් කරන කල්හී පළමුව ගලින් නිම කළ මකර තොරණක් දක්නට ලැබෙන්නේ ය. මේ තොරණ පසු කළ විට මුලින් ම දෙවිරජ විහාරය දක්නට ලැබෙන්නේ ය.

දෙවිරජ විහාරයේ රියන් 18ක් පමණ වූ බුදු පිළිමයක් ඇත්තේ ය. මේ බුදු පිළිමය සම්බන්ධ ව ජනප්‍රවාද ඇති නමුත් ඒ අනුව මේ පිළිමය ගොඩ නැගෙන්නට ඇත්තේ වලගම්බා රජුන්ගේ කාලයේ දී විය හැක.

මීළඟට මහරජ විහාරය වේ. එහි මකර තොරණක් සහිත හිඳි පිළිමයක් ද බෝධිසත්ව රූප ද වලගම්බා රජුගේ ප්‍රතිමාවක් ද වේ. කුඩා චෛත්‍යයක් ද මෙහි දක්නට ඇත. මෙහි පැරණි බිතු සිතුවම් රාශියක් වේ. ඒ සිතුවම් අතර බුද්ධ පරිනිර්වාණය, විජයාවතරණය, ලංකාවේ බුදු සසුන පිහිටුවීම වැනි චිත්‍ර වේ. මහරජුගේ රූපය ඇති හෙයින් මෙයට මහරජ විහාරය යනුවෙන් නම් කෙරේ. මේ විහාරය තුළ ජල බිංදු රූරා වැටෙන කොටසක් ඇත. එය ඓශ්චර්යමත් සිද්ධියක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

මීළඟට ඇත්තේ පශ්චිම විහාරයයි. මෙහි බුදු පිළිම 21ක් පමණ වේ. මේ විහාරය අනෙක් විහාරවලට බටහිරින් පිහිටීම නිසා මේ නම ලැබී ඇත. මෙහි සර්වඥ ධාතූන් සමඟ සෝමා දේවියගේ ආභරණ ද නිදන් කොට ඇතැයි සැලකේ. මෙහි ද බිතුසිතුවම් ඇත.

මීළඟ විහාරය අළුත් මහා විහාරයයි. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූවකි. මෙහි ද බුදු පිළිම 30ක් පමණ ඇත. මෙහි මේ රජුගේ ප්‍රතිමාවක් ද වේ.

මීළඟට අළුත් දෙවැනි විහාරය වෙයි. මෙහි ද බුදු පිළිම රාශියක් වෙයි.

ජම්බුකොල යනුවෙන් ද දඹුල්ල හඳුන්වා ඇති අතර (1055-1110) පොළොන්නරුව යුගයේ රජකළ විජයබාහු V රජ (බ.) මේ විහාර ප්‍රතිසංස්කරණය කර ඇති අතර නිස්සංකමල්ල රජ (බ.) මේ විහාරයේ පිළිමවල රන් ආලේප කරවා ඇති අතර මෙය ප්‍රතිසංස්කරණය කළ බව ද දැක්වේ. ක්‍රි.පූ. සියවස්වල සිට පැවත එන සෙල්ලිපි මෙහි දක්නට ඇත.

(කර්තෘ: ජී.එච්. ආරියසේන: 1998)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දඹුල්ල&oldid=5300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි