දසමහයෝධයෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137) රජුගේ හමුදාවේ සිටි සෙන්පතියන් දසදෙනෙකි. නන්දිමිත්‍ර, සුරනිමල, මහාසොණ, ගොඨයිම්බර, ථෙරපුත්තාභය, භරණ, වේළුසුමන, ඛඤ්චදේව, ඵුස්සදේව හා ලභිය්‍යවසභ යනු ඔවුන්ගේ නම් විය. ඉතා ම ශක්තිමත්, එමෙන් ම අතිමානුෂ වීර ක්‍රියා කිරීමෙහි සමත් අය ලෙස මහාවංශය, ථුපවංශය ආදී වංශ කථාවන්හි විස්තර වන මොවුන් අතුරින් කීප දෙනෙකු පිළිබඳ ව සෙල්ලිපිවල ද සඳහන් වේ. ලංකාවෙන් ද්‍රවිඩයන් පලවා හැරීම සඳහා දුටුගැමුණු රජ කළ සටන්වල දී දසමහා යෝධයන්ගෙන් මහත් සේවයක් ඉටු විණි. මේ එක් එක් අයකු පිළිබඳ විස්තර පහත දැක්වේ.

නන්දිමිත්‍ර

මොහු පිළිබඳ ව වංශකථාවලත් මාගම්පත්තුවේ සිතුල්පව්වේ ලෙන් ලිපියකත් සඳහන් වේ. සෙල්ලිපියෙහි මොහු හැඳින්වෙන්නේ ‘මිත’ යන නමිනි. වංශකථාවන්හි දැක්වෙන ආකාරයට නන්දිමිත්‍ර, එළාර රජුගේ මිත්‍ර නම් සෙන්පතිගේ සහෝදරියකගේ පුතෙකි. අනුරාධපුරයට නැගෙනහිර පිහිටි කඩරොද නම් ගමෙහි උපන් ඔහුට තම මාමාගේ නම වූ මිත්‍ර යන නාමය තබන ලදි. ඔහු කුඩා කල දණගාගෙන ඉතා ඈතට යන හෙයින් ඔහුගේ මව්පියෝ සමින් ඇඹරූ ලනුවක් ගෙන ඔහුගේ ඉනෙහි බැඳ එහි අනෙක් කොන ඇඹරුම් ගලෙහි බැන්දෝ ය. එහෙත් ඔහු ගලත් ඇදගෙන ගියෙන් එය එලිපත්තේ හැපී නතර වී වරපට කැඩී ගියේ ය. එහෙයින් හේ නන්දිමිත්‍ර යන නමින් ප්‍රසිද්ධ විය. ඉතාමත් ශක්තිමත් පුද්ගලයකු වූ හේ තරුණ වියට පත් වූ පසු අනුරාධපුරයට ගොස් තම මයිලණුවන් වෙත සේවයට බැඳුනේ ය.

එහි දී විහාර මලු අපවිත්‍ර කරන දෙමළුන් දැක කෝප වී ඔවුන් අල්ලා දෙකට ඉරා දැමී ය. දෙමළුන් අඩුවන බව දුටු රජු ඒ ගැන සෙවීමට රැකවලුන් පත් කළ ද මළකඳන් දේවානුභාවයෙන් අතුරුදහන් වූ හෙයින් නන්දිමිත්‍ර අල්ලා ගත නොහැකි විය.

එහෙත් මෙසේ දෙමළුන් මැරීමෙන් ශාසනයේ දියුණුවක් ඇති නොවන බව තේරුම්ගත් නන්දිමිත්‍ර මාගමට පැමිණ ගැමුණු කුමාරයන් හමු වී ඔහු වෙත සේවයට බැඳුණේ ය.

දුටුගැමුණු රජු විජිතපුර සටනට පෙර තම යෝධයන්ගේ ශක්තිය බැලීමට සිතා කඩොලැතුට රා පොවා කිපෙන්නට සලස්වා නන්දිමිත්‍ර යෝධයා ඉදිරියට යැවීය.

නන්දිමිත්‍ර, තමාට පහර දෙන්නට පැමිණි ඇතු දෙදලින් අල්ලා උක්කුථ්‍රිකයෙන් හිඳවීය. ඔහු ඇතු සමඟ පොර බැදූ ස්ථානය හත්ථිපොර නමින් ප්‍රසිද්ධ විය.

කණ්ඩුල ඇතා විජිතපුරයේ යදොර බින්ද අවස්ථාවේ දී දොරටුවට ඉහළින් බිත්තියෙහි තිබූ ගඩොල් ආදිය ඇතුපිට වැටෙන්නට එන බව දුටු නන්දිමිත්‍ර ඒවා තම බාහුවෙන් ඉවතට තල්ලුකර ඇතා බේරා ගත්තේ ය. ඇතා විවර කළ දොරටුවෙන් කොටුව තුළට නොගිය නන්දිමිත්‍ර තම බාහුවෙන් කොටු බැම්මට පහර දී පවුර බිඳ කොටුව තුළට වන්නේ ය.

නන්දිමිත්‍ර, මහත් කායබල ඇතිව ඉපදීමට හේතු වූ පින්කම් ද වංශ කථාවල දැක්වේ. ඒ අනුව මොහු කෝනාගමන බුදුන් සමයෙහි ධනවත් කුලගෙයක ඉපදී සිත පහදවාගෙන එක් රහතන් වහන්සේ කෙනෙකුට දන් දී ඒ පිණින් දෙව්ලොව ඉපදී සැප වින්දේ ය. අනතුරුව කාශ්‍යප බුදුන් සමයෙහි මනුෂ්‍ය ලෝකයෙහි ඉපදී සංඝයාට දන් දී ඒ පිණින් නැවතත් දෙව්ලොව උපත ලද්දේ ය.

සුරනිමල

කොටවායේ කඩවිටි නම් ගමේ සංඝ නම් පුද්ගලයකුගේ බාලම පුත්‍රයා ය. එවකට රැකීමෙහි යෙදුණු දීඝාභය කුමාරයා, සෑම අධිපති කුලයකින් ම කුමරකු බැගින් තමා වෙතට කැඳවූයෙන් නිමිලගේ වැඩිමහලු සහෝදරයෝ ඔහු යවන ලෙස දෙමාපියන්ට කියා සිටියහ. එය දැනගත් නිමිල සහෝදරයන් හා කෝප වී අලුයම නිවසින් පිටත් ව යොදුන් තුනක් මඟ ගෙවා ඉර පායන විට දීඝාභව කුමාරයන් වෙතට ගියේ ය. කුමරා ද ඔහු සෝදිසි කරනු පිණිස සෑගිරිගල අසල දොරමඬලා ගමට ගොස් එහි සිටින කුන්ඩල නම් බමුණාගෙන් කපුරු, සඳුන් හා තවත් බඩු රැසක් ඉල්ලාගෙන එන ලෙස ඔහුට නියම කළේ ය. නිමිල යොදුන් නවයක් මඟ ගෙවා උදෑසන ම බමුණා හමුවට ගොස්, අනතුරුව තිසා වැවෙන් ජලස්නානය කොට අනුරාධපුර නගරයේ ඇවිද, උපුල් කෙතින් මල් නෙලාගෙන බමුණා වෙත ගියේ ය.

ඔහුගේ දක්ෂතම දුටු බමුණා මොහු සුදුසු වන්නේ කාවන්තිස්ස රජුට බව සිතා ලිපියක ඒ බව ලියා පඬුරු රැසක් සමඟ කසාගලට පිටත් කළේ ය. දීඝාභය කුමරු ඔහු දැක සතුටුව, බොහෝ වස්තුව දුන්නේ ය. නිමිල මේවා රැගෙන තම නිවසට ගොස් ඒවා මව්පියන්ට දී ආපසු ආයේ ය.

කුමරු ඔහුට තවත් තෑගි දී රජු වෙතට යැවී ය. අතිශයින් දක්ෂ වූ හෙයින් සුරනිමල යන නමින් ප්‍රසිද්ධ වූ හෙතෙම ගැමුණු කුමරුන්ගේ හමුදාවට බඳවා ගන්නා ලදි.

අනුරාධපුරය අල්ලා ගැනීම සඳහා කළ සටනේ දී සිංහල සේනාව විසින් තනවන ලද බලකොටු බිඳිමින් ආ දීඝජන්තු ගැමුණු කුමරු සිටි බලකොටුවට යාමට සූදානම් වන විට සුරනිමල ඔහු වලක්වා තමන් හා සටනට කැඳවූයේ ය. දීඝජන්තු පහර දෙත් ම සුරනිමල පලිහ අත්හලෙන් දීඝජන්තු පලිහත් සමඟ බිමට වැටුණේ ය. එවිට සුරනිමල ඔහුට පහර දී මරුමුවට පත් කළේ ය.

සුරනිමල මේ අයුරින් බලවත් ව ඉපදීමට හේතු වූයේ කාශ්‍යප බුදුන් සමයේ, කිරිබත් පලස් පූජා කිරීම ආදී බලවඩන පින්කම් කිරීමයි. ඒ පින් බලෙන් දිව්‍ය සැප වින්ද ඔහු මේ ආත්මයෙහි ද ඉතා ශක්තිමත් ව උපන්නේ ය.

මහාසෝණ

මල්වතු මඩුල්ලෙහි උතුරු කරවිට නම් ගමේ, තිස්ස නැමැත්තකුගේ අටවැනි පුත්‍රයා ය. ඔහු වයස අවුරුදු හතේ දී කුඩා තල්ගස් ඉදිරී ය. වයස දහයේ දී විශාල තල්ගස් ඉදිරී ය. ඔහුට ඇතුන් දහදෙනකුගේ බලයට සමාන ශක්තියක් විය. රජතුමා මොහුගේ දක්ෂකම් ගැන අසා මොහු ගෙන්වාගෙන ගැමුණු කුමරුට භාර දුන්නේ ය. විජිතපුර සටනේ දී මහත් දස්කම් පෑ මහාසෝණ පවුර බිඳ කොටුව තුළට වැද තල් ගසක් ගෙන දෙමළුන්ට පහර දුන්නේ ය.

ගෝඨයිම්බර

ගිරි ජනපදයේ නියෙල්විට් නම් ගමේ මහානාග නැමැත්තකුගේ පුතෙකි. මිටි හෙයින් ගොඪක නම් වූ ඇතුන් දස දෙනෙකුට සමාන කාය ශක්තියෙන් යුක්ත විය. ඔහුගේ වැඩිමහලු සහෝදරයන් සයදෙනා දින ගණනක් මහන්සි වී වනය කොටා සකස් කළ බිම් ප්‍රමාණයට සමාන බිම් ප්‍රමාණයක් ටික වේලාවකින් සකස් කිරීමට ඔහුට හැකි විය. බිම සකස් කිරීමේ දී ඉඹුරු ගස් ඉතා පහසුවෙන් උදුරා දැමූ හෙයින් හේ ගෝඨයිම්බර නම් විය. ඔහුගේ දස්කම් ඇසූ කාවන්තිස්ස රජු ඔහු ද ගෙන්වාගෙන ගැමුණු කුමරුට භාර දුන්නේ ය.

විජිතපුර සටනේ දී නන්දිමිත්‍ර හා සුරනිමල කඩොලැතු සමඟ දකුණු දොරටුවෙහි සටන් කළ අතර ගොඨයිම්බර මහාසෝණ හා ථෙරපුත්තාභය ඉතිරි දොරටු තුනෙහි සටන් කළහ. කඩොල් ඇතු යදොර බිඳීමට පැමිණි අවස්ථාවේ දී ද්‍රවිඩයෝ ගිනියම් කළ ලෝහ සහ කැකෑරවූ මැලියම් උගේ පිටට වත් කළහ. ඇතා වේදනාවෙන් ගොස් දියේ ගිලුන විට ඌ ධෛර්‍ය්‍යමත් කර දොරටුව බිඳීමට මෙහෙයවූයේ ය. ඇතා පවුර බින්ද විට සෙසු යෝධයන් මෙන් ගෝඨයිම්බර ද පවුර බිඳ නගරයට වැදී පොල්ගසක් ගෙන දෙමළුන්ට පහර දුන්නේ ය.

ථෙරපුත්තාභය

කොටගල අසල කිත්ත නම් ගමේ අධිපති රෝහණ නම් ගෘහපතියාගේ පුතෙකි. ගෝඨාභය රජුගේ නමින් ඔහුට අබා යන නම තබන ලදි. ඉතා ශක්තිසම්පන්න වූ ඔහුට වයස දහය, දොළහ පමණ වන විට පුද්ගලයන් හතරපස් දෙනකු විසිනුත් එසවිය නොහැකි ගල් පහසුවෙන් එසවිය හැකි විය. ඔහු තම පියා විසින් තනවා දෙන ලද, දහසය රියනක් දික් වූ අඟල් තිස් අටක වට ප්‍රමාණයක් ඇති යගදාවෙන් ගසා තල්ගස් හා පොල්ගස් පෙරලී ය. එහෙයින් ඔහු ගෝඨාභයය නම් විය. ඔහුගේ පියා මහාසුම්ම තෙරුන්ගෙන් බණ අසා සෝවාන් ව මහණ වූ බැවින් ඔහු ථෙරපුත්තාභය යන නමින් ප්‍රසිද්ධ විය.

විජිතපුර සටනේ දී ථෙරපුත්තාභය යගදාවක් ගෙන නගරයේ ඒ ඒ වීථිවලට වැද දෙමළුන්ට පහර දුන්නේ ය. යුද්ධයට සහභාගී වූ යෝධයෝ රජතුමා දුන් තනතුරු නොපිළිගත්තෝ ය. කෙලෙස් සතුරන් පැරදීවම සඳහා රජුගෙන් අවසර ඉල්ලාගත් හෙතෙම මහණ වී විදර්ශනා වඩා රහත් ව, පන්සියයක් රහතුන් පිරිවරාගෙන රුහුණු දනව්වෙහි ගුත්තල අංජලිපව්ව විහාරයේ වාසය කළේ ය.

දුටුගැමුණු රජුගේ අවසන් මොහොතේ දී රජතුමා වැදහොත් ස්ථානයට වැඩි තෙරණුවෝ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කොට, රජතුමා කර ඇති නොයෙක් පින්කම් සිහිකර ගන්නා ලෙස අවවාද කළහ.

මහාභරණ

කප්කදුරු නම් ගමේ කුමාර නැමැත්තකුගේ පුතෙකි. ඉතා ශක්තිමත් අයෙකු වූ මොහු වයස දහයේ දී වනයට ගොස් පයින් ගසා හාවුන් මැරුවේ ය. දහසය වන විට වල් ඌරන්ට හා ගෝණුන්ට පයින් ගසා බිම දැමීමට ඔහුට හැකි විය. මොහුගේ කාය ශක්තිය ගැන දැනගන්නට ලැබුණු රජු ඔහු තමා වෙතට ගෙන්වා ගත්තේ ය.

වේළුසුමන

ගිරිනිල් දනව්වෙහි කුටුම්බියඞගන නම් ගමේ වසභ නම් පුද්ගලයාගේ පුතෙකි. වසභගේ වේළ හා සුමන යන මිත්‍රයන්ගේ නමින් ඔහුට වේළුසුමන යයි නම් තබන ලදි. වේළුසුමන, සුමන වෙත වැඩුණේ ය. කිසිවකුට තමා පිට නැගීමට ඉඩ නොදෙන අශ්වයෙක් සුමනට විය. වේළුසුමන දුටු එම අශ්වයා තමා පිට නැගීමට ඔහු සුදුසු බව දැනි සතුටින් හේෂාරවය කළේ ය. වේළුසුමන අසුපිට නැගී වේගයෙන් අසු එලවී ය. අසු කෙතරම් වේගයෙන් දිව්වේ ද යත්, මණ්ඩපය වටා අසුන වලල්ලක් දුවන්නාක් මෙන් පෙනුණි. ගිරි ජනපදයේ අධිපති තෙමේ මොහු රජුට සුදුසු බව දැන ඔහු රජු වෙත යැවී ය.

එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ හිස කැපූ කඩුව සේදූ ජලය, එම හිස මත හිඳ පානය කිරීමටත්, අනුරාධපුරයේ උපුල් කෙතින් ගෙනා නොමැලවුනු මල් පළදින්නටත් විහාරමහා දේවිය තුළ ඇතිවුණ දොළදුක සංසිඳවීම කාවන්තිස්ස රජු වේළුසුමනට පැවරී ය. ඔහු අනුරාධපුරයට ගොස් එළාර රජුගේ මඟුල් අසුගේ අස්ගොව්වා සමඟ මිත්‍ර වී ඔහුට සේවය කරමින් සිට ඔහුගේ විශ්වාසය දිනාගෙන, දිනක් උපුල් මල් හා කඩුව ගෙන අසුපිට නැගී අවුත්, තමා වේළුසුමන බව හඬගා කියා හැකිතරම් වේගයෙන් අසු එලවාගෙන ගියේ ය. එළාර රජුගේ නියමය පරිදි ඔහුගේ ප්‍රධාන යෝධයා අසකු පිට නැඟී වේළුසුමන ලුහුබැන්දේ ය. එවිට වේළුසුමන අකුලක් පිටුපසට වී වේගයෙන් එන යෝධයා ඉදිරියට කඩුව දික්කළෙන් ඔහුගේ හිස සිඳී වැටුණේ ය. ඔහු අසුන් දෙදෙනා ද හිස ද ගෙන රජවෙතට ගියේ ය. විජිතපුර සටනේ දී වේළුසුමන අසුපිට නැගී දහස් ගණන් දෙමළුන් මරා මහත් සේවයක් කළේ ය.

ඵුස්සදේව

මොහු පිළිබඳව වංශ කථාවල මෙන්ම බදුලු දිස්ත්‍රිකක්යේ දොඩම්ගහවෙල අසල වැලඑල්ලුගොඩ පිහිටි සෙල්ලිපියක ද සඳහන් වේ. මොහු සිතුල්පව්වේ කපිඪ ගමේ උත්පල නැමැත්තාගේ පුතෙකි. ඔහු කුඩාකාලයේ දී තම යහළුවන් සමඟ විහාරයට ගොස් බෝධියට පුදන ලද හක් ගෙඩියක් දැක එය අතට ගෙන පිම්බේ ය. හෙණ හඬක් බඳු වූ එම හඬ ඇසූ සෙස්සෝ බියට පත් ව උමතු වූවන් සේ ඒ මේ අත දිවූයෙන් හේ උම්මාද ඵුස්සදේව යන නමින් ප්‍රකට විය.

ඵුස්සදේවගේ පියා ස්වකීය වංශයෙන් පැවත ආ ධනු ශිල්පය ඔහුට ඉගැන්වී ය. ශබ්ද අනුසාරයෙන් හා විදුලි එළියෙන් විදීමට ද ලෝම විදීමට ද හෙතෙම ඉතා දක්ෂයෙක් විය. ගොඩින් අට ඉස්බෙක් හා දියෙන් ඉස්බෙක් දුර විදීමට හේ සමත් විය. කාවන්තිස්ස රජු ඔහුගේ දස්කම් අසා ඔහු ගෙන්වා ගෙන ගැමුණු කුමරුට භාර කළේ ය.

දුටුගැමුණු රජු භල්ලුක සෙනෙවියා මැරූ අවස්ථාවේ දී ඵුස්සදේව මහත් හඬින් හක් ගෙඩිය පිම්බෙන් දෙමල සේනාව හිස් ලූ ලූ අත පලා ගියහ.

දුටුගැමුණු රජ භල්ලුක හා කළ සටනේ දී ඵුස්සදේව ආයුධ සන්නද්ධ ව ඇතුපිට නැගී රජුට පිටුපසින් ආසනයක හිඳගෙන සිටියේ ය. තමන් යැවූ හී සැරය දුටුගැමුණු රජුට වැදුනේ යයි සිතා භල්ලුක ජයනාද කරන්නට කට ඇරි විට ඵුස්සදේව ඔහුගේ කටට ඊතලයක් යැවී ය. එය වැදී භල්ලුක රජු දෙසට පය ලා වැටෙන්නට යන විට ඵුස්සදේව ඔහුගේ දණහිසට තවත් ඊතලයක් යවා, රජතුමා දෙසට හිස ලා වැටෙන්නට සැලැස්වී ය.

ඵුස්සදේවගේ ඊතලයක් රජුගේ මිණි කොඩොලෙහි වැදුනෙන්, ඔහු පසුව තම කන්පෙත්ත ඉරා ලේ පතක් ගෙන රජුට දැක්වී ය. ඔහු විසින් අපරාධයක් නොකරන ලද බව පැවසූ රජු රජකමට පත් වූ පසු ඵුස්සදේව විසින් විදින ලද ඊතලය ගෙන්වා කෙළින් සිටුවා, එය සම්පූර්ණයෙන් වැසී යන සේ කහවණු තබා, ඒ සියල්ල ඵුස්සදේවට තෑගි කළේ ය.

ලභිය්‍යවසභ

තුලාධාර පර්වතය සමීපයෙහි වෙහෙරවැ ගමේ මිත්ත නැමැත්තාගේ පුතෙකි. ඉතා රූමත් වූයෙන් ලභිය්‍යවසභ නම් විය. ඉතා ශක්තිමත් වූ හේ තරුණ වියේ දී වැවක් සෑදීමට අදහස් කොට මිනිසුන් කීපදෙනෙකු කැඳවාගෙන වැවේ වැඩ පටන් ගත්තේ ය. එහි දී දහදොළොස් දෙනෙකුට වත් එකතු වී ඉසිලිය නොහැකි තරම් පස් ගොඩවල් තනිව එසවීමට තරම් හේ ශක්තිමත් විය. රජු ඔහු ගෙන්වා ගැමුණු කුමරුට ගැමුණු කුමරුට භාර කළේ ය. ඔහු විසින් කරවන ලද කෙත වසභ අමුණ යැයි ප්‍රසිද්ධ විය.

ඛඤ්චදේව

අඤ්චනිපව්ව සමීපයෙහි මීදෙණි නම් ගමේ අභය නැමැත්තාගේ පුතෙකි. ඔහුගේ නම දේව විය. මඳක් කොර වූ හෙයින් ඛඤ්චදේව යන නමින් ප්‍රකට විය. ඔහු ගම්වැසියන් සමඟ මුව දඩයමට ගොස් ලොකු මීමුන් අල්ලා හිස වටා කරකවා පොලවේ ගසා උන්ගේ ඇට කුඩු කළේ ය. මේ නිසා ප්‍රසිද්ධ වූ ඔහු ගැමුණු රජුගේ හමුදාවට බඳවා ගන්නා ලදි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1993)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දසමහයෝධයෝ&oldid=5387" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි