දසරා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නව රාත්‍රී උත්සවයේ උච්චස්ථාව මෙනමින් හැඳින්වේ. හින්දු ආගමිකයන්ගේ ඉතා වැදගත් ප්‍රධානතම ආගමික උත්සවයක් වූ නවරාත්‍රී ආරම්භ වන්නේ අස්වින් (සැප්-ඔක්) මාසයේ ප්‍රථම රාත්‍රියෙනි. රාත්‍රී නවයක් තිස්සේ ඒ පැවැත්වේ. ඉන් සෑම රාත්‍රියක් ම (දවල් කාලය ද සමඟ) දුර්ගා දේවියගේ එක් මූර්තියක් වෙනුවෙන් කැපවේ. දුර්ගා දේවි කන්‍යාවකගේ ස්වරූපයෙන් වැඳුම් පිඳුම් ලබයි. දුර්ගා දේවි නියෝජනය කරන කන්‍යාව “නීරෝගී, පියකරු හා වන බිබිලි ආදියෙන් තොර අයකු විය යුතු ය. වන්දනා මාන දක්වන්නන්ගේ කුලයට ම අයත් වූවකු ද විය යුතු ය. රාත්‍රී නමය පුරා ම එක කන්‍යාවක් හෝ එක් රාත්‍රියක කන්‍යාවන් නවයක් ද පිදිය හැකි ය. එක් රාත්‍රියක කන්‍යාවන් නව දෙනෙකු වඳින්නේ නම් එය පස්වැනි දින රාත්‍රියේ විය යුතු ය. දුර්ගා දේවියට ඉතා වැදගත් වූ එදින ලලිතා පංඩම් නමින් හැඳින්වේ.

නවරාත්‍රි කාලය තුළ භක්තිකයන් පූර්ණ උපවාසයේ යෙදීම හෝ දිනකට එක් වේලක් පමණක් අනුභව කරනු ඇත. උපවාසය අනුගමනය කළ නොහැක්කන් හා අල්ප භක්තියක් ඇත්තන් දින හතක්, පහක් හෝ තුනක් උපවාස කිරීම සිරිත ය. මෙම උත්සව කාලය තුළ අනුගමනය කෙරෙන වෙනත් පිළිවෙත් ද වේ. පූජකයන්ගේ දේශනා හා ගැයීම්, බ්‍රාහ්මණයන්ට කැම්බීම් හා ඇඳුම් පැලඳුම් හා මුදල් ද දන් දේ. දුර්ගා දේවි නමින් කෙරෙන පිළිවෙත් නිසා දුර්ගා ප්‍රශ්න හෝ දුර්ගෝත්සව නමින් ද හැඳින්වේ.

නව රාත්‍රී උපවාසය රාම විසින් ලංකා යුද්ධය කෙරෙන අවස්ථාවේ දුර්ගා දේවිගේ පිහිට පතා කරන ලද උපවාසය සැමරීම් වස් කෙරෙතැ'යි ඇදහේ. අටවැනි රාත්‍රියෙහි රාම රාවන මැරීලු. නව වැනි දින ස්තූති පූජා පැවැත් වූ රාම දසවැනි දින අයෝධ්‍යා බලා ගමන් ඇරඹීලු. දසර උත්සවය මේ සිද්ධිය උදෙසා කරගෙන එන්නකි.

මහරාජවරුන් විසින් අති ගරු ගාම්භීර අන්දමින් පවත්වන මෙම උත්සව දිනය යුද කටයුතු ආරම්භ කිරීම සඳහා අත්පොත් තැබීමට ද ඉතා ශුභ දිනයක් සේ සැලකේ. පොත්වලට වැඳීම ද කෙරෙන්නේ එහෙයිනි.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: 1993)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දසරා&oldid=5388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි