දසසඤ්ඤා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්කන්ධ පඤ්චකයෙහි ඇති යථා ස්වරූපය නුවණින් මෙනෙහි කර හඳුනා ගන්නා ආකාර දහයකි. අංගුත්තර නිකායට අයත් ගිරිමානන්ද සූත්‍රයට (අ. නි. ඪෂ 194 පිට) අනුව අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, සබ්බලෝකෝ අනභිරතසඤ්ඤා, සබ්බසංකාරේසු අනිච්චාසඤ්ඤා, ආනාපාන සති යන මෙනෙහි කිරීම් දසසඤ්ඤාවන්ට අයත් වේ. දසුත්තර සූත්‍රයෙහි (දී. නි.) ද, පඨම හා දුතිය සඤ්ඤා සූත්‍රයන්හි ද (අ. නි. ඩස) මෙයට තරමක් වෙනස් වූ ආකාරයෙන් දසසඤ්ඤා දක්වා ඇත. ඒවා මෙසේ ය, අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටිකුල සඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චේදුක්ඛසඤ්ඤා, දුක්ඛෙඅනත්තසඤ්ඤා, පහාන සඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා යනුවෙනි. මෙම දසසඤ්ඤාවන් භාවිතා කිරීමෙන් බොහෝ කොට වැඩීමෙන් මහත් ඵල මහානිසංස උදාවෙයි. නිවනට වදනාහු නිවන අවසන් කොට ඇත්තාහු බවට පත් වෙති.

දසසඤ්ඤාවන් මෙනෙහි කිරීම ලෝකෝත්තර වශයෙන් පමණක් නොව ලෞකික වශයෙන් ද මහත් ආනිසංසදායක බව ගිරිමානන්ද සූත්‍රයෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ මෙම දසසඤ්ඤාවන් දේශනා කරනුයේ ගිරිමානන්ද හිමියන් දැඩි ගිලන් බවට පත් ව දුක සේ කල් යවන බව ආනන්ද හිමියන් පැවසීමෙන් පසුව ය. ආනන්ද හිමියන් දසසඤ්ඤා බුදුරදුන්ගෙන් ඉගෙන ගොස් ගිරිමානන්ද හිමියන්ට දෙසා නිමවනවාත් සමඟම උන්වහන්සේ ආබාධ තත්වයෙන් අත් මිදුණේ ය. රෝගය එහි ම ප්‍රහීණ වූයේ විය.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ අනිත්‍ය ලෙස දැකීම අනිච්චාසඤ්ඤා නම් වේ.

චක්ඛු සෝතාදී ආධ්‍යාත්මික ආයතනයන්හි ද ඒවාට අනුරූප වූ රූප ශබ්දාදී බාහිර ආයතනයන්හි ද “මම ය”, “මාගේ ය” කියා ගත හැකි ආත්ම පදාර්ථයක් නැතැයි මෙනෙහි කිරීම අනන්තසඤ්ඤා ලෙස ද කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා සම සීමා කොට ඇති කය සෑදී පවත්නා දෙතිස් කුණප කොට්ඨාසයන් පිළිබඳ අසුභය මෙනෙහි කිරීම අසුභසඤ්ඤා ලෙස ද හැඳින්වේ.

කයෙහි හට ගන්නා වූ විවිධ ආබාධයන් පිළිබඳ මෙනෙහි කිරීම ආදීනවසඤ්ඤා නම් වේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නොඉවසා විනෝද නොවී අභාවයට යවයි ද උපනූපන් අකුසල් දහම් නොඉවසා දුරු කරයි ද මෙය පහානසඤ්ඤා නමින් හඳුන්වනු ලැබේ.

සියලු සංස්කාර ධර්මයන්ගේ යම් නිවී යාමක්, සියලු උපධීන්ගේ දුරු වීමක් තෘෂ්ණා ක්ෂය වීමක් ඇති යම් නිර්වාණ පදයක් වේ ද එය ශාන්ත ය. ප්‍රණීත ය ආදී ලෙසින් මෙනෙහි කිරිම විරාග සංඥා වෙයි.

සියලු සංස්කාරයන්ගේ නිවීමක්, සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වීමක්, විරාගයක්, නිරෝධයක්, නිවනක් වේ නම් එය ශාන්ත ය, ප්‍රණීතය ආදී ලෙසින් මෙනෙහි කිරීම නිරෝධ සඤ්ඤා නම් වෙයි. තණ්හා, මාන, දිට්ඨි ආදිහු ද කාමාදි උපාදානයෝ ද දුරු කරමින් දැඩිව ගැනීම් වශයෙන් යම් ඇලීමක් බැඳීමක් ඇති කරන යම් ක්ලේශයක් වෙයි ද එය දුරලමින් නොඇලෙමින් කටයුතු කරයි ද මෙය සම්මලෝකේ අනභිරතසඤ්ඤා නම් වෙයි.

සියලු සංස්කාර ධර්මයෙන් හි පීඩාවට පත් වෙයිද පිළිකුල් කෙරේ ද ලජ්ජා වෙයි ද මෙය සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා නම් වෙයි. සිහි ඇතිව ම ආශ්වාස ප්‍රශ්වාස කෙරේ ද මෙය ආනාපානසති නම් වෙයි.

(කර්තෘ: දුනුකේදෙණියේ කුසලධම්ම හිමි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දසසඤ්ඤා&oldid=5389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි