දස සංයෝජන
බුදුසමයෙහි සඳහන් වන සත්ත්වයා සසරෙහි බැඳ තබන, නිවනට බාධා පිණිස පවතින, සසරෙහි දුක් විපාක විඳීමට හේතුවන බන්ධන දහයකි. එම දස සංයෝජන (Ten Fetters) නම්,
1. සක්කාදිට්ඨි
2. විචිකිච්ඡා
3. සීලබ්බතපරාමාස
4. කාමච්ඡන්ද (කාමරාග)
5. ව්‍යාපාද
6. රූපරාග
7. අරූපරාග
8. මාන
9. උද්ධච්ච
10. අවිජ්ජා ය.
(අං.නි. සඩල 32 පිට, දී.නි. සසසල 396 පිට)
මේ අතුරින් මුල් පහ ඕරම්භාගී (යට කොටසට අයත් හෙවත් කාමලෝකවල ඉපදීමට හේතුවන) වශයෙනුත් (සං.නි. 5(i)ල 136 පිට), ඉතිරි පහ උද්ධම්භාගිය (උඩ කොටසට අයත් හෙවත් ඉහළ භවයන් වන බ්‍රහ්මලෝකවල ඉපදීමට හේතුවන) වශයෙනුත් (සං.නි. 5(i)ල 138 පිට) හැඳින්වේ.
සක්කායදිට්ඨි යනු සත්ත්වයා නිර්මාණය වී ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය ‘මම, මගේ, මගේ ආත්මය’ ආදී වශයෙන් විසි ආකාරයකින් පවත්නා වැරදි දැක්මයි. සක්කාය දිට්ඨිය උපදින්නේ පඤ්චුපාදානස්කන්ධය ඇසුරු කොට ඒවා ප්‍රත්‍ය කොට ගෙන ය (සං.නි. :සසස 330 පිට). විචිකිච්ඡා යනු බුදුන්, දහම්, සඟුන්, අතීත, වර්තමාන, අනාගත යනාදිය පිළිබඳ සැක කිරීමයි. සීලබ්බත පරාමාස යනු සංසාර විමුක්තිය අපෙක්ෂාවෙන් බුදුදහමින් පරිබාහිර අජව්‍රත, ගෝව්‍රත, සුනඛව්‍රත ආදී සීලව්‍රතයන්හි නියැළීමයි. මෙම මුල් සංයෝජන තුන ප්‍රහීණ වන්නේ සෝතාපත්ති මාර්ගඥානයෙනි. ඒ සඳහා හේතුඵල දහම පිළිබඳවත්, දුක පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතු ය. තව ද සත්පුරුෂ සංසේවනය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන සොතාපත්ති අංග සම්පූර්ණ කිරීම ද අවශ්‍ය කෙරේ. (සං.නි. 5(ii) 146 පිට,) මෙම අංග සපුරා සෝතාපන්න වූ තැනැත්තා කළ පවත්නා ලක්ෂණ හතරකි. එනම්, බුදුන් දහම් සඟුන් පිළිබඳ නොසැලෙන ප්‍රසාදය හා ආර්යකාන්ත සීලයයෙන් යුක්ත බවයි. (සං.නි. 5(i)ල 144 පිට) සෝතාපත්ති ඵලයට පත් තැනැත්තා සීලය සම්පූර්ණ කළ, සමාධි හා ප්‍රඥා ප්‍රමාණවත් පරිදි වඩන්නකු වන අතර නියත සම්බෝධි පරායාණ වූවෙකි (අං.නි. සල 410 පිට). ත්‍රිවිධ සංයෝජනා ප්‍රහීණ කළ සෝතාපන්නයා දර්ශන සම්පත්තියෙන් යුතු සතර අපායට නොවැටෙන්නෙකි. ඔහු වෙතින් පංචානන්තරිය පාපකර්ම හා නියති මිථ්‍යාදෘෂ්ටි ගැනීම යන කරුණු හය සිදුවීම අභව්‍ය ය (ඛු.නි. සල 12 පිට). භව හතක් ඇතුළත සසර ගමන සම්පූර්ණ කරන ඔහු කිසිසේත් අටවන භවයක ප්‍රතිසන්ධි නොලබයි (න තෙ භවං අට්ඨමං ආදියන්ති, අතර සුත්ත).
ත්‍රිවිධ සංයෝජන ප්‍රහීණ කළ තැනැත්තා සසර උපදින ආත්මභාව සංඛ්‍යාව අනුව ත්‍රිවිධාකාර ය. එනම්, සත්තක්ඛත්තුපරම, කෝලංකෝල හා ඒකබීජ වශයෙනි. සත්තක්ඛත්තු පරම යනු සෝතාපන්න වීමෙන් අනතුරුව භව හතක් ම ඉපිද සෙසු සංයෝජන ප්‍රහීණ කොට නිර්වාණාවබෝධය ලබා පිරිනිවන්පාන්නා ය. භව දෙකේ සිට හය තෙක් සසර සැරිසරන්නා කෝලංකෝල නමි. ඒකබීජ යනු තව එක් භවයක පමණක් උපත ලබා අර්හත්වය සාක්ෂාත් කොට සසර ගමන නිම කරන්නා ය (අං.නි. සල 414 පිට).
සුභ අරමුණෙහි ඇලීම් වශයෙන් කාමවස්තුන්හි පවත්නා ආශාව කාමච්ඡන්ද (කාමරාග) නම් වේ. අසුභ අරමුණෙහි ගැටෙන ස්වභාවය පටිඝයයි. මෙම සංයෝජන දෙක එකට ගමන් කෙරේ. එකම කාසියේ දෙපැත්ත මෙනි. කාමරාග ඇති පමණට පටිඝය ද පවතී. කාමරාග ප්‍රහීණ වන පමණට පටිඝය ද දුරු වේ. සකදාගාමී වීමේ දී මෙම සංයෝජන සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රහීණ වේ. මුල් සංයෝජන තුන ප්‍රහීණ කල කාමරාග හා පටිඝ දුර්වල (තාන) කළ සකදාගාමී තැනැත්තා යළි කාමලෝකයට එන්නේ උපරිම වශයෙන් එක් වරක් පමණි (අං.නි. ස 440 පිට). මොහු සීලය සම්පූර්ණ කළ සමාධිය හා ප්‍රඥාව පමණට භාවිතා කරන්නෙකි. තවදුරටත් ධර්ම මාර්ගය වැඩීම තුළින් සකදාගාමී තැනැත්තා කාමරාග, පටිඝ සපුරා ප්‍රහීණ කොට අනාගාමී ඵලයට පැමිණේ. ඒ සමඟ ම ඕරම්භාගිය නම් වූ මුල් සංයෝජන පහ මුළුමනින් ම දුරු කොට යළි කාමලෝකයට නොපැමිණෙන තත්ත්වයට පත් වේ. මේ තත්ත්වය වන විට සීලය හා සමාධිය සම්පූර්ණ කොට ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස වඩන්නකු ව සිටින අනාගාමී ඵලයට පත් තැනැත්තා ඇතැම් විටෙක ගිහිගෙයි වාසය කළ ද කාමභෝගී ජීවිතයෙන් සපුරා දුරු ව වෙසෙයි. මෙලොව දී ම සෙසු සංයෝජන ප්‍රහීණ කිරීමට අවකාශ නොලද හොත් ඔහු සුද්ධාවාස නම් බඹලොව ඉපිද සෙසු සංයෝජන ප්‍රහීණ කොට පිරිනිවන්පායි. ඕරම්භාගිය නම් වූ මෙම සංයෝජන පහ දුරුකිරීම සඳහා විවේක - විරාග - නිරෝධ නිශ්‍රිත නිවනට යොමු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු බව බුදුදහමෙහි සඳහන් වේ. (සං.නි. 5(i)ල 136 පිට) මෙලෙස මුල් සංයෝජන පහ ක්ෂය කළ අනාගාමී තැනැත්තාගේ පරිනිර්වාණය සිදුවන ආකාර 4 ක් පිළිබඳ ව සඳහන් ව ඇත. එනම් සසංඛාරපරිනිබ්බායී, අසංඛාරපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අන්තරාපරිනිබ්බායී වශයෙනි (අං.නි. ස 414 පිට).
රූපරාග යනු රූපාවචර බ්‍රහ්මලෝකයන්හි ඉපදීමට ඇති ආශාවයි. අරූපරාග යනු අරූපාචර බ්‍රහ්මලෝක පිළිබඳ ඇල්මයි. මාන යනු හීන - සදිස - සෙය්‍ය (පහත් - සමාන - උසස්) වශයෙන් තමා හා අනුන් සැසඳීමයි. උද්ධච්ච යනු සිතෙහි විසිරුණු ස්වභාවයයි. අවිජ්ජා යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. රූපාදී ස්කන්ධ පංචකයේ ඉපදීම වැනසීම පිළිබඳ අනබෝධය ද අවිජ්ජා නමින් හැඳින්වේ (සං.නි.සසසල 302 පිට). අතිදීර්ඝ කාලයක් සත්ත්වයා සසරෙහි ඉමහත් දුක් විඳිමින් සැරිසරන්නේ මෙම අවිද්‍යාව නිසයි. උද්ධම්භාගිය නම් වූ මෙම සංයෝජන පහ ප්‍රහීණ වන්නේ අර්හත් මාර්ගඥානයේ දී ය. ඒ සමඟ ම සියලු සංයෝජනවලින් නිදහස් වූ බව පිළිබඳ ඥානය හෙවත් ආශ්‍රවක්ෂය ඥානය සාක්ෂාත් වේ. මෙය බුද්ධශ්‍රාවකයකුගේ පරම නිෂ්ටාවයි.
සංයෝග හටගන්නේ අයෝනිසෝමනසිකාරයෙන් යුතු ව ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ඉන්ද්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර අරමුණු හා සම්බන්ධ වීමෙනි. එසේ වුව ද ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රිය හෝ රූප, ශබ්දාදී අරමුණු හෝ සංයෝජන නොවේ. ලොව පවත්නා විසිතුරු දෑ කාම හෝ සංයෝජන හෝ නොවේ (න තෙ කාම යානි චිත්‍රානි ලොකෙ). ඉන්ද්‍රිය බාහිර අරමුණු හා ගැටීමේ දී ඇති වන ඡන්දරාගය සංයෝජන වශයෙන් බුදුදහමෙහි දැක්වේ. මීට නිදසුනක් ලෙස සුදු ගොනෙක් කළු ගොනක් හා යොතකින් බැඳ ඇති විට සුදුගොනාට කළු ගොනා හෝ කළු ගොනාට සුදු ගොනා හෝ බැඳීම නොවේ. මෙහි දී බැඳීම වන්නේ ගොනුන් දෙදෙනා බැඳ ඇති යොතයි. එසේ ම පුද්ගලයා සම්බන්ධ ඉන්ද්‍රිය හෝ අරමුණු හෝ සංයෝජන නොවන බවත් සංයෝජන වන්නේ ඉන්ද්‍රිය, අරමුණු හා ගැටීමේදී ඇතිවන ඡන්දරාගය බවත් සඳහන් වේ (සං.නි. (iv) 522 පිට).
සක්කායදිට්ඨි ආදි කොට ඇති මෙම සංයෝජන දහය ප්‍රහීණ කිරීම සඳහා සතර සතිපට්ඨාන (සං.නි. 5(i) 433 පිට), පංච ඉන්ද්‍රිය (සං.නි. 5(i) 412 පිට), සත්තබෝජ්ඣංග (සං.නි. 5 (i)ල 178 පිට), අරිය අට්ඨංගමග්ග (සං.නි. 5(i)ල 136 - 138 පිට) යනාදී බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ අවශ්‍යතාව බුදුදහමින් අවධාරණය කර ඇත. ඒ අතර ආනාපානසති භාවනාව ද දස සංයෝජන ප්‍රහීණ කිරීමට හේතුවන අයුරු දක්වා තිබේ (සං.නි.(ii) 136 පිට).
සත්ත්ව සන්තානගත බන්ධන නම් වු මෙම සංයෝංජන දහය සංගීති සූත්‍රයේ සී සංයෝජන හතක් යටතේ දැක්වේ. එනම් අනුනය, පටිඝ, දිට්ඨි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිජ්ජා (දී.නි. සසසල 432 පිට) වශයෙනි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ (දී.නි. සසස 396 පිට) වශයෙන් ද ලෝභ, දෝස, මෝහ යන ත්‍රිවිධ අකුසල (අං.නි. ස 358 පිට) වශයෙන් ද දක්වා ඇත්තේ මෙකී සංයෝජන දසය ම ය. අර්හත් මාර්ග ඥානයෙන් දස සංයෝජන ප්‍රහීණ වීමත් සමඟ සියලු කෙළෙස් ඉතිරි නැති ව දුරුවන අතර ඒ සමඟ ම සීල, සමාධි, පඤ්ඤා, විමුත්ති, විමුත්තිඤාණ යන අංග සම්පූර්ණත්වයට පත් වේ (අං.නි. ස 290 පිට).
(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි)
(සංස්කරණය නොකළ)