දහඩිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දහඩිය

(ස්වේද-Sweat) වනාහි ස්වේද ග්‍රන්ථිවලින් සම මතට වැටෙන රුධිර ප්ලාස්මාවට උපාභිසාරක (isotonic) වන අම්ලික ජලජ තරලයකි. බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ඉවත් කිරීම හා ශරීර තාපය ස්ථායිකරණය (Stabilize) යනු ඉතා අවශ්‍ය කෘත්‍ය දෙක දහඩිය පිට කිරීමේ දී ඉටු වේ.

ස්වේද ග්‍රන්ථි ක්ෂිරපායින්ට පමණක් සීමා වූ ග්‍රන්ථි විශේෂයක් වන නමුත්, මෙම ග්‍රන්ථි මඟින් දහඩිය පිටකිරීම ඔවුන් සියලු දෙනාට ම පොදු වූ ලක්ෂණයක් නොවේ. තාපය පිටවීමෙහි ලා දහඩිය දැමීම, ආටියොඩක්ටීලා (Artiodactyls) හා පෙරිසොඩක්ටිලා (Perissodactyls) ගෝත්‍රවලට අයත් ඇතැම් කුර සහිත සත්වයන්ට හා මිනිසා ද ඇතුළත් වන ප්‍රිමේට්ස් (Primates) ගෝත්‍රයට අයත් ක්ෂීරපායින්ට පමණක් සීමිත ය.

දහඩියෙහි ප්‍රධාන සංඝටකය ජලය ය. එහි අඩංගු ජල ප්‍රමාණය සියයට 99ක් පමණි. ඉතිරි 0.5% ඝන ද්‍රව්‍යයන්ගෙන් යුක්ත ය. මින් ප්‍රධාන ඝන ද්‍රව්‍ය වනුයේ සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු ය. දහඩියෙහි එහි අඩංගු ප්‍රතිශක්තිය 0.19 පමණ ය. යුරික් (Uric) අම්ලය සියයට 0.03ක් පමණ ද ලැක්ටික් අම්ලය අංශු මාත්‍ර වශයෙන් ද දහඩියෙහි මීට අමතරව දක්නට ලැබේ. රතු වර්ණකය දහඩියෙහි සංඝටකයක් විය හැකි ය.

එහෙත් දහඩියෙහි සංඝටකයන් සේ ඒකරාශී වන ද්‍රව්‍යයන් ද ඒවායේ අනුපාතයන් ද අස්ථිර ය. මෙසේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ශරීරයට ඇතුළුවූ විට ඉන් දහඩිය හා එකතු වන ප්‍රමාණය වැඩි වේ. එසේ ම ලුණු අඩුවෙන් ගැනීමෙන් හෝ ආහාර අඩුවෙන් ගැනීමෙන් හෝ දහඩියෙහි අඩංගු ලුණු සාන්ද්‍රණය අඩු වේ.

සාමාන්‍ය අවස්ථාවක දී පිටවන ලුණු ප්‍රමාණය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් අල්ඩස්ටෙරොන් (Aldosterone) හෝර්මෝනයෙනි. මින් ලැබෙන උත්තේජනයට අනුකූලව ස්වේද ග්‍රන්ථි විසින් නැවත ලුණු ප්‍රතිශෝෂණය (reabsorb) කරනු ලැබේ. එබැවින් දහඩිය සමඟ පිටවන ලුණු ප්‍රමාණය සීමිත ය. එහෙත් උත්තේජනය ක්‍රියාත්මක වන්නේ ඉතා සෙමින් ය. එබැවින් දහඩිය ශීඝ්‍රයෙන් පිටවන විට එහි අඩංගු සෝඩියස් ප්‍රමාණය වැඩි වේ. තව ද, දහඩිය වේගයෙන් පටිවන මේවැනි අවස්ථාවක දී නයිට්‍රජීන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ඊට සමාන වේගයකින් එතැනට නොලැබේ. එබැවින් මෙවිට දහඩියෙහි අඩංගු වන නයිට්‍රජන් ප්‍රමාණය අඩු වේ.

ස්වේද ග්‍රන්ථිය වනාහි ස්‍රාවි සෛල සහිත දඟර ගැසුණු නාලාකාර ඉන්ද්‍රියයකි. මිනිසාගේ සම මත මෙවැනි ග්‍රන්ථි විසි ලක්ෂයක් පමණ දක්නට ලැබේ. මෙසේ ක්ෂීරපායින්ගේ ස්තන ග්‍රන්ථි (mammary) (බ.) විකරණය වූ ස්වේද ග්‍රන්ථි වේ. ස්වේද ග්‍රන්ථිවලට ආසන්නව ඇති සෛලවල හා රුධිර කේශනාලිකාවල තරලයෙන් රුධිරයට ගලා යාමේ දී ඇතැම් ද්‍රව්‍ය ස්වේද ග්‍රන්ථි තුළට වැදේ. ස්වේද සැදෙන්නේ මෙසේ ඇතුළුවූ ද්‍රව්‍යවලිනි.

දහඩිය පිට කරන ඇපක්‍රීන් (Apocrine) හා එක්රීන් (Eccrine) යනුවෙන් හැඳින්වෙන ස්වේද ග්‍රන්ථී දෙවර්ගයකි. එක්රින් ග්‍රන්ථි වනාහි දඟර ගැසුණු සරල නාලාකාර ග්‍රන්ථීන් ය. රෝම විරල වූ හෝ සම ගොරෝසු වූ ස්ථානවල මෙවැනි ග්‍රන්ථි අධිසංඛ්‍යාවක් දක්නට ලැබේ. මින් පිටවන දහඩිය නිර්වර්ණ ය, නිර්ඝන්ධ ය.

ඇපක්‍රීන් ග්‍රන්ථි, හිස, කිහිල්ල, ප්‍රජනනේද්‍රිය, බාහිර ශ්‍රවණ නාලය (external autotuned meatus) ආදී ස්ථානවල පිහිටා ඇති රෝම හා සම්බන්ධ ය. මෙම ග්‍රන්ථිවලින් දහඩිය නිරන්තරයෙන් ම පිට නොවේ. ග්‍රන්ථි සක්‍රිය වන්නේ යෞවනභාවයට පැමිණීමත් සමඟ ය. මහලුවීමත් සමඟ මින් දහඩිය පිටවීමේ බලය ක්‍රමයෙන් හීන වේ. මේ කාල සීමාව තුළ දී පවා දහඩිය පිටවෙන්නේ අවශ්‍යතාව අනුව ය. තවද මින් දහඩිය වැගිරෙන්නේ ග්‍රන්ථි අවට ඇති පේශී සංකෝචනය වීමෙනි.

ඇපක්‍රීන් දහඩිය උකු ය, සුදු පාට ය. එක්රීන් ස්‍රාවයෙහි අඩංගු ඝන ද්‍රව්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් මෙහි ඇත. ඇපක්‍රීන් දහඩියෙහි අඩංගු වන මේද ප්‍රතික්‍රියාවීමෙන් දුර්ගන්ධ අසන්තෘප්ත (unsaturated) මේද අම්ල සෑදේ. මෙබැවින් ද බැක්ටීරියා මෙම දහඩිය හා ප්‍රතික්‍රියා කිරීමෙන් ද එකිනෙකාට විශේෂ වන දුර්ගන්ධ දහඩිය මෙම ග්‍රන්ථ හා සම්බන්ධ වේ.

දහඩිය දැමීමට ප්‍රධාන හේතූන් දෙකකි. ශරීර උෂ්ණත්වය නියත ව තබා ගැනීම උදෙසා පරිසර උෂ්ණත්වය වෙනස්වීමත් සමඟ දහඩිය පිටකිරීම මින් ප්‍රධාන හේතුව ය. මෙහිලා විශේෂයෙන් ම ක්‍රියාත්මක වන්නේ නළල, උඩු තොල, බෙල්ල, පපුව ආදී ස්ථානවල පිහිටා ඇති එක්රීන් ස්වේද ග්‍රන්ථීන් ය. මිනිසාගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය 96.20 සිට 96.50 අතර පරතරයක පවතී. මේ පරතරය සුළු වශයෙන් හෝ ඉක්මවා යාමේ දී අනුවේගී ස්නායු පද්ධතිය (sympathetic remous system) විසින් මෙම ග්‍රන්ථි උත්තේජනය කරනු ලැබේ. ග්‍රන්ථිවලින් සම මතට දහඩිය පිට වේ. ශරීර තාපය යෙදවීමෙන් දහඩියෙහි අඩංගු ජලය වාෂ්පීභවණය වේ. ශරීරය සිසිල වේ. ශරීර උෂ්ණත්වය ක්‍රමයෙන් පහත බසී.

එක්රීන් දහඩිය, මිනිසාගේ ශරීරයෙන් නිරන්තරෙයන් ම වෑහෙන නමුත් ඉන් පිටවෙන්නේ අවට පරිසර උෂ්ණත්වයට ගැලපෙන ප්‍රමාණයකි. ග්‍රන්ථි නියම වශයෙන් ක්‍රියාත්මක වන්නේ සෙ.34.50 උෂ්ණත්වයක ය. උෂ්ණත්වය වැඩිවීමත් සමඟ පිටවන දහඩිය ප්‍රමාණය වැඩි වේ. මෙසේ අධික උෂ්ණත්වයක් පවතින විට එක් පැයකට මිනිසාගේ ශරීරයෙන් දහඩිය කි.ග්රෑම් 1ක් පමණ පිටවේ. සාමාන්‍යයෙන් දිනකට පිටවන දහඩිය මුළු ප්‍රමාණයෙන් සියයට 25ක් අපර ගාත්‍රාවලින් හා තවත් 25ක් හිස හා පූර්ව ගාත්වලින් පිට වන අතර ඉතිරි 50 කඳේ පිහිටා ඇති ග්‍රන්ථිවලින් නිකුත් වේ. එක්රීන් දහඩිය පිටවීම අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙන්නේ අභ්‍යන්තර ශරීර උෂ්ණත්වයට නොව සමෙහි උෂ්ණත්වයට ය.

දහඩිය දැමීමට දෙවනි හේතුව මානසික හෝ ස්පර්ශක උත්තේජ විය හැකි ය. මෙවැනි අවස්ථාවන්හි දී දහඩිය විශේෂයෙන් ම වෑහෙන්නේ ඇපක්‍රීන් ග්‍රන්ථි හා යටි පතුලෙහි හා අත්ලෙහි පිහිටා ඇති ග්‍රන්ථිවලිනි.

දහඩිය දැමීමේ දී ජලය වාෂ්පීභවණය වන නමුත් ලුණු, යුරික අම්ලය ආදී ඝන ද්‍රව්‍ය සම මත රැඳේ. මෙම ද්‍රව්‍ය, දහඩිය දැමීමට බාධාවකි. නෑමෙන් හා ගන්ධ නාශක (deodorants) යෙදවීමෙන් මෙසේ එකතු වන බහිස්ස්‍රාවී ද්‍රවය හා දුර්ගන්ධය ඉවත් කළ හැකි ය. මීට අමතරව, අපිචර්මයෙන් ම (epidermis) දිනකට ජල වාෂ්ප ග්රූම් 500ක් පමණ පිට වේ. ශරීරයෙන් රසායනික ද්‍රව්‍යයන් අඩංගු නොවේ. මෙසේ ශරීරයෙන් ජලය පිටවීම ස්වේදනය (Insensible perspirant) සේ හැඳින්වේ. එය නොනවත්වා ම සිදුවේ. මෙය සිදුවන ක්‍රමය නියම ලෙස නොදන්නා නමුත්, එය අපිචර්ම (apodeme) සෛලවල වර්ධනයත් වයස්වීමත් හා සම්බන්ධ බව පිළිගත හැකි කරුණකි.

(කර්තෘ: ඇම්. වීරසිංහ: 1976)

(සංස්කරණය නොකළ)

ඩහදිය සහ ඩහදිය ගැලීම

අචලතාපී සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය යම් නියත සීමාවක් තුළ පවත්වා ගැනීම අතශවශ්‍ය දෙයකි. මෙහි ලා ක්‍රියාකාරීවන යන්ත්‍රයන් අතුරින් එකකි ඩහදිය ගැලීම ඩහදිය සමහර අවස්ථා වලදී අපද්‍රව්‍ය බැහැර කිරීමේ මාධ්‍යයක් වශයෙන්ද සැලකිය හැකිය. ඩහදිය ශ්‍රාවය වීම ඒ ඒ සතුන්ගේ ශරීරයේ සමහර ස්ථාන වලට සීමිත වී ඇති අතර මනුෂ්‍යයාගේ ඒ තරමටම එවැනි විශේෂණය වු ප්‍රදේශ නොමැත.

සංයුතිය

ඩහදිය, හමේ ඇති ස්වේද ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වය මඟින් පිටතට විසරණය වන ඉතාම වාෂ්පශීලී ද්‍රව්‍යයකි. සුවඳකින් හෝ වර්ණයකින් තොර වූ මේ ජලීය ද්‍රාවණයට විශේෂිත ‘ඩහදිය ගඳ’ ලැබෙන්නේ එහි ඉතා විගසින් බෝවන බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය හේතුවෙනි. ශරීරයේ සෑම තැනම පැතිර ඇති (Eccrine) ග්‍රන්ථවලින් ශ්‍රාවය වන ඩහදිය කිහිල්ලේත් තනපුඩු වටාත් බහුලව ඇති (Apocrine) ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන ඩහදියට වඩා සංයුතියෙන් තරමක් වෙනස් හෙයින් ඒවායේ වැඩෙන බැක්ටීරියා ද වෙනස් වේ.

තරමක් ආම්ලීය ද්‍රාවණයක් වූ ඩහදියෙහි ආම්ලිකතාව මෙන්ම අනෙකුත් ද්‍රව්‍යයන්ගේ සාන්ද්‍රණය ද ඇති පුළුල් සීමාවන් තුළ විචලනය වේ. කෙසේ වුව ද ඩහදිය හැමවිටම ශරීරයේ ද්‍රවයනට වඩා උපාභිසාරක ය (Hypotonic to body thins). ඩහදියෙහි සියයට 0.5ක් පමණ සහ ද්‍රව්‍ය ඇත. මින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් සාමාන්‍ය ලුණු ය. ලුණු ශරීරයේ තත්වය හා බාහිර තත්වයන් අනුව වෙනස් වෙයි. අධික වශයෙන් ලුණු ඇති ආහාර ගත් විට ඩහදිය මඟින් පිටවන ලුණු ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණ හෝ තුන්ගුණ විය හැකි ය. තරුණයන්ගේ ඩහදියෙහි ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයක පමණ ලුණු ප්‍රමාණයක් වයස අවුරුදු 50න් පසු කළ උදවියගේ ඩහදියෙහි ඇත. ආහාරයේ අඩු ලුණු ප්‍රමාණයක් ඇති විටත් අව්වේ හෝ ග්‍රීෂ්ම වාතාවරණයක ඇවිදීම පුරුද්දක් කර ගත් විටත් ඩහදියෙහි ඇති ලුණු ප්‍රමාණය ඉතා ම අඩු වෙයි. ඩහදියෙහි අඩංගු තවත් අයන වර්ග නම් කැල්සියම් සහ පොටෑසියම් ය. මෙයින් කැල්සියම් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ද පොටෑසියම් ඇත්තේ අංශුමාත්‍ර (Traces) වශයෙනි. රුධිරයේ ඇති සාන්ද්‍රත්වයෙන් ම ඩහදියේ ද යූරියා ඇත. නිරෝග වැඩි මහල්ලකුගේ මෙම ප්‍රමාණය සියයට 0.03ක් පමණ වේ. ඩහදියේ ලැක්ටේට් අයන ද ඇත. ඩහදියේ යකඩ අයන ද විචල්‍යය ප්‍රමාණවලින් ඇත.

ඩහදිය ගැලීම

ඩහදිය ගැලීම එහෙම් පිටින් ම ස්නායු මඟින් පාලනය කෙරෙන ක්‍රියාවලියකි. මිනිසාගේ ස්වේද ග්‍රන්ථීන් වර්ග දෙකකි. (Eccrine) ග්‍රන්ථි හා රෝමකූපයන්ගෙන් වර්ධනය වන (Autocrine) ග්‍රන්ථීන් යන මේ දෙවර්ගය පාලනය වන්නේ අනුවේගී වන්නේ ස්නායු මගිනි.

මනුෂ්‍යයාගේ ස්වේද ග්‍රන්ථි මුළු ශරීරයේ ම පැතිර ඇත ද බල්ලන්ගේ ඇත්තේ දිවෙහි ය. හරකුන්ගේ හොම්බේ වැඩි වශයෙන් ස්වේද ඇති අතර ඩහදිය ගැලීම ස්නායු පද්ධතියේ සෑම මට්ටමකින් ම පාලනය කෙරේ. මෂ්තිෂ්ක බාහිකය, හයිපෝතැලමසය, මිදුලුව හා සුෂුම්නාව ඒ ඒ අවස්ථාවට අනුව ඩහදිය ගැලීමේ ක්‍රියාවලිය පාලනය කරයි. (චිත්‍රයBDS)

ඩහදිය ගැලීම තුන් ආකාර වේ. ඒවා නම්,

අ) අසංවේදී ස්වේදනය (Insensible Respiration)

මෙය නිරතුරු ව ම සමින් ජලය වාෂ්ප වී යෑමයි. කෙනෙකු නොදැනුවත්ව සිදුවන මෙම ක්‍රියාවලියෙන් අඩු වැඩි කළ නොගෙන නියත වූ ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය වී යයි. කෙනෙකුගේ මූලික පරිවෘත්තීය සීඝ්‍රතාවය (Basic) මැනීම සඳහා මේ අසංවේදී ස්වේදන බෙහෙවින් උපකාරී වෙයි. ඩහදිය ගැලීමක් විශද ව නොපෙණේ.

ආ) තාපානුගත ස්වේදනය (Thermal Sweating)

ශරීරයේ නිපැදවෙන තාපය මඟින් සෛලයන්ට හානි වීම වැලැක්වීම වස් සිදුවන ජල වාෂ්පීකරණ ක්‍රියාවලි යයි. මෙය තාප නියාමක යාන්ත්‍රණයකි. එහෙයින් අසංවේදී ස්වේදනයෙහිදී පිටවන ද්‍රවයට වඩා වෙනස් සංයුතියක් මෙම ඩහදියේ ඇත. මෙහිදී ඩහදිය පිටවන වේගය හා ප්‍රමාණ්‍ය ඒ ඒ තත්වයන් අනුව වෙනස් වන අතර ශරීරය විජලීකරනය වීමේ තර්ජනයද නොතකා ඩහදිය වශයෙන් ජලය පිට කිරීම සිදු වේ. ඉතාම වැදගත් නියාමක කාර්යයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන මේ ඩහදිය ගැලීම සාමාන්‍යයෙන් ඇසට පෙනෙන ඩහදිය ගැලීමකි.

ඇ) ‘චිත්තවේගී’ ස්වේදනය (Emotional Sweating)

මෙම ඩහදිය ගැලීම හදිසි අවස්ථාවන්හි දී සිදුවන්නකි. මානසික නොඉවසිලිමත්කමක් (Anxiety) ඇති වූ විට හෝ අධික රුධිර වහනයක්, ක්ලාන්තිය, වමනය හෝ ඔක්කාරය (Nausea) ඇති වූ අවස්ථාවන්හි දී ස්නායු පද්ධතිය උත්තේජනය වීමෙන් සිදු වන අතුරු ප්‍රතිඵලයකි. ඩහදිය බිඳු පැහැදිලි ව පෙනෙන ලෙස මෙහි දී ඩහදිය ගැලීම සිදු වේ. ව්‍යායාමයන්හි දී ඩහදිය ගැලීම තාපානුගත මෙන් ම චිත්තවේගී ද වේ.

ඩහදිය ගැලීම කෙරෙහි බලපාන සාධක

ඩහදිය ගැලීම කෙරෙහි බලපාන සාධක බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාර වෙයි.

බාහිර සාධක

1. පරිසරයේ උෂ්ණත්වය

බාහිර උෂ්ණත්වය අධික වූ විට කෙනෙකුගේ ශරීරය තුළ නිපදවෙන තාපය විකිරණය හෝ සංවහනය මඟින් පිට විය නොහේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලීන් හේතුවෙන් නිපදවෙන තාපයෙන් හරි අඩක් ම පිට වන්නේ විකිරණයෙන් බව මෙහි දී සිහි කළ යුතු ය. අධික උෂ්ණත්වයක් ඇති අවස්ථාවන්හි දී විකිරණය මඟින් තාප හානි වීම අඩු වන්නේ බාහිර පරිසරයෙන් තාපය ශරීරයට ද විකිරණය වන හෙයිනි. මෙවැනි අවස්ථාවන්හි දී ශරීරයේ නිපදවෙන තාපය පිට කිරීම ඩහදිය මඟින් සිදු කෙරේ. සම මතුපිටට ආ ඩහදිය වාෂ්ප වී යාම සඳහා අවශ්‍ය ගුප්ත තාපය ලබා ගන්නේ ශරීරයේ සෛලවලිනි.

2. ආර්ද්‍රතාව

වායුගෝලයේ ආර්ද්‍රතාවය අඩු වූ විට ඩහදිය වාෂ්ප වී යාම පහසු ය. අධික ආර්ද්‍රතා ඇති අවස්ථාවන්හි දී ඩහදිය වාෂ්ප වීම සිදුවන්නේ සෙමිනි. එහෙයින් එය නොයෙකුත් ශාරීරික අපහසුතාවනට හේතු වේ.

3. වාතයේ චලනයි (Wave fronts)

ශරීරය වැසෙන තරමට වස්ත්‍ර ඇඳීම බාහිර උෂ්ණත්වයන්ගෙන් සිරුර ආරක්ෂා කරමින් තාප නියාමක කාර්යයක් ඉටු කළ ද එය ඩහදිය ගැලීමෙන් තාපය පිට කිරීමට අවස්ථාව ද අඩු කරයි. ලොව උෂ්ණ කාන්තාරවල වෙසෙන්නවුන් ශරීරය සම්පූර්ණයෙන් ම වාගේ ඇඳුමින් වසා ගෙන සිටින්නේ ඝර්ම කලාපීය වනාන්තරවල වෙසෙන්නවුන් සම්පූර්ණයෙන් වාගේ නිර්වස්ත්‍ර ව සිටින්නේත් ඩහදිය පිට කිරීමට වස්ත්‍ර බාධකයක් වන හෙයිනි. සමටත් වස්ත්‍රවලටත් අතර ‘වායුගෝලය’ එවිට අමුතු ම පරිසර තත්වයක් ඇති කිරීමෙන් පිටස්තර වායුගෝලයට වඩා මනුෂ්‍ය ශරීරයට ගැලපෙන ප්‍රශස්ත තත්වයකට ලංවන වායුගෝලීය තත්වයකට ගෙන එයි.

5. ආහාරය

ආහාරය සමඟ ගන්නා ජලය අඩු වූ විට පිට කරන ඩහදිය ප්‍රමාණය ද අඩු වේ. ද්‍රව ආහාර අධික වශයෙන් ගත් විට ඩහදිය පිට වීම වැඩි වීමක් දක්නට නොලැබුණ ද සමහර විට අසංවේදී ස්වේදනය හැරෙන්නට අන්කිසිම විදියක ස්වේද ග්‍රන්ථි ක්‍රියාකාරිත්වයක් සිදු නොවීමට ඉඩ ඇත. මේ හේතුවෙන් ශාරීරික උෂ්ණත්වය අධික වන අවස්ථා ද ඇති වේ. එසේ වුව ද හැම විට ම ජලය නැති වීම, තාපය නැති වීම හා සළකා බැලීමේ දී ශරීර යන්ත්‍රය විසින් නොසලකා හරින බව පෙනීයයි. ඩහදිය ලෙස හානි වූ ජලය ආහාර වශයෙන් ගැනීම මිස ආහාරයෙන් අඩු පාඩු වන ජලය ඩහදිය පිට කිරීම පාලනය කරමින් රක්ෂණය කිරීමක් එතරම් දුරට සිදු නොවේ. ආහාරයෙන් ජලය නොලැබෙන විට තාපය පිට කල නොහැකිව එකතු වීම ‘විජලීකරණය ජ්වරය’ (Dehydration fever) නමින් හැඳින්වේ.

අභ්‍යන්තර සාධක

අභ්‍යනතරික සාධක අතුරින් මූලික වන්නේ ස්නායු උත්තේජනයයි. මේ උත්තේජනය වන කේන්ද්‍රයන් මස්තිෂ්ක බාහිකයේ සිට පිළිවෙලින් හයිපොතැලමස මිදුලුව සුෂුම්නාව හා ස්නායු දේහයන් දක්වා ඕනෑම මට්ටමකින් විය හැකි ය.

1. හෝර්මෝන ක්‍රියාකාරීත්වය

හෝර්මෝනයන්ගේ ක්‍රියාකාරීත්වය ද අභ්‍යන්තරික සාධක අතුරින් වැදගත් එකකි. දහඩිය ගැලීම එහෙම පිටින් ම ස්නායුමය ක්‍රියාවලියක් වුව ද එම ස්නායු හෝර්මෝන මගින් ඉතා පහසුවෙන් උත්තේජනය කළ හැකි ය. තයිරොයිඩ ග්‍රන්ථියේ ශ්‍රාවයන් සහ හයිපොපිසියෙන් ශ්‍රාවය වන තයිරොයිඩ මුදාහරින සාධකය (Thyroid Releasing Factor -TRF) අධික වූ විට ද කැපී පෙනෙන රෝග ලක්ෂණයකි, අධික වශයෙන් ඩහදිය ගැලීම. එමෙන්ම ස්ථානීය හෝර්මෝනයන් වන ඇසිටයිල්කෝලීන් (Ach) හා පිලොකාපීන් ද ඩහදිය ගැලීම උත්තේජනය කරන අතර ඇට්රොපින් මගින් ස්වේද ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය නිෂ්ක්‍රීය වේ.

2. රසායනික ද්‍රව්‍ය

රුධිරයේ සහ ශරීරයේ ද්‍රවයන්හි (Body thnido) අඩංගු රසායනික ද්‍රව්‍යයන්ගේ සාන්ද්‍රත්වය ඩහදිය ගැලීම වෙනස් කිරීමට හේතු වෙයි. මෙය වැඩි වශයෙන් සිදුවන්නේ වැඩි ජලය ප්‍රමාණය හෝ වැඩි රසායන ද්‍රව්‍ය ප්‍රමාණය පිට කර රුධිරයේ ආස්‍රැති සමාන්‍ය තත්වය කරා ගෙන ඒමට විධානයන්හි යෙදවෙන වකුගඩුවල සහ අක්මාවේ ක්‍රියාකාරීත්වයන් නියම අයුරින් සිදු නොවන අවස්ථාවන්හි දී ය.

3. චිත්තවේගයන් (Emotions)

ව්‍යග්‍රතාවය හෙවත් නොඉවසිලිකම (Anxiety) ඇති වූ විට මනුෂ්‍යයෙකුගේ ඩහදිය ගැලීම සිදුවේ. මෙය ස්නායුමය කැළඹීමකින් සිදු වන අතර චිත්තවේගීය හේතූන්වල දී වැඩි වශයෙන් උත්තේජනය වන ස්වේද ග්‍රන්ථින් විශේෂයෙන් ඇත. මෙහි දී ඩහදිය බිදු පැහැදිළිව ම පෙනෙන්නේ අතුල්, පතුල් හා නළලේත්, උඩු තොලේත්, කිහිල්ලේත් ය. මෙම ඩහදිය ගැලීම චිත්තවේගී ස්වේදනය (Mental F) නමි.

4. රුධිර සංසරණයේ වෙනස්කම්

යම් හෙයකින් රුධිර සංසරණය අසමතුලිත වූ අවස්ථාවන්හි දී ඩහදිය ගැලීම ද ඒ අනුව වෙනස් වීමට ඉඩ ඇත. විශේෂයෙන් ම සමට රුධිරය සපයන කේෂ නාළිකාවන් () නිරතුරුව ප්‍රසාරණය වී පැවතීමෙන් ඩහදිය ගැලීම වැළැක්විය නොහැකි ය. සමට නියම ලෙස රුධිරය නොසැපයෙන කළ ඩහදිය ගැලීම ද අඩු වේ. යම් යම් ඖෂධ වර්ග භාවිතය හා යාන්ත්‍රික හේතුන් (උදා- නහරවල බිත්තිකාරම් බැඳීම (Althenscleroma සහ ත්‍රොම්බෝසිය) මඟින් ඇති කරනු ලබන තත්වයන් ය.

ඩහදිය ගැලීම වෙනස් වීමේ ප්‍රතිඵල

මුල දී සඳහන් කල පරිදි, ඩහදිය ගැලීම තාප නියාමක කාර්යයකි. මෙය වෙනස් වීමේ දී පළමුවෙන්ම ශරීර යන්ත්‍රය මඟින් සළකනු ලබන්නේ ශරීරය තබාගත යුතු ප්‍රශස්ථ (Optimum) උෂ්ණත්වයයි. එය අඩු හෝ වැඩි විය නොදී පවත්වා ගැනීමෙහි ලා නොයෙකුත් යාන්ත්‍රණයන් (Mechanisms) ක්‍රියාකාරී වේ.

ඩහදිය ගැලීම හා සමඟ එකම ජාලයක (Network) ක්‍රියාකාරී වන අනෙකුත් ශාරීරික ක්‍රියාවලීන් නම් මුත්‍රා පහ කිරීම, රුධිර සංසරණයේ වේගය ස්වසනයේ ශීඝ්‍රතාව, ජලය පානය කිරීම ආදියයි. මෙනයින් සළකන විට බොහෝ අන්තයකට ගිය පරිසර සාධකයන්හි දී ඩහදිය ගැලීම පරිවෘත්තීය ක්‍රියාවලීන් හා සමඟ සබැඳී පවතියි.

ඩහදිය ගැලීම අධික වූ කළ ක්‍රියාකාරී වන යාන්ත්‍රනයන් සමහරක් වෙන වෙන ම සළකා බැලීමෙහි දී මෙම නියාමක ක්‍රියාවලීන් කෙතරම් සංකීර්ණදැයි වටහා ගත හැකි ය.

අධික දහඩිය ගැලීමේ ප්‍රධාන විපාක තුනක් දැකිය හැකි ය. ඒවා නම්,

1. ප්ලාස්මා පරිමාව අඩු වීම.

2. ප්ලාස්මා ආස්‍රැතිය වැඩි වීම.

3. ප්ලාස්මා ලවණ ප්‍රමාණය අඩු වීම.

මින් පළමුවැනි විපාක දෙක ජලය පිටවීමේ ප්‍රතිඵලයක් වන අතර තුන් වැන්න ඩහදිය සමඟ සමහර ලවණ වර්ග පිටවීම නිසා සිදු වේ. මේ අතුරින් වැඩි වශයෙන් බලපාන්නේ සාමාන්‍ය ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) පිටවීම.

ප්ලස්මා පරිමාව අඩු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කැරොටිඩ් දේහයේ පරිමා ග්‍රාහකයන් උත්තේජනය වේ. මේ උත්තේජනයේ ප්‍රතිඵලයක් වශයෙන් පිපාසය ඇති වේ. පිපාසය, පුද්ගලයාට හිඟ වූ ජලය පානය කිරීමෙන් සංසිදවා ගැනීමෙන් පරිමාව යථා තත්වයට ගෙන ඒම සිදු කරයි. මේ හැරෙන්නට ප්ලාස්මා පරිමාව අඩු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවෙන අනෙක් දෙය නම් කන්තුක ප්‍රතිදානය (Cardiac output) අඩු වීමයි. කන්තුක ප්‍රතිදානයෙන් 1/4ක් වකුගඩු කරා යැවෙන හෙයින් මෙහි දී වෘක්කීය රුධිර සංසරණය අඩු වේ. මේ හේතුවෙන් වෘක්කයෙහි ප්ලාස්මාව පෙරෙණ ශීඝ්‍රතාවය () අඩු වීමෙන් මුත්‍ර නිපදවෙන ප්‍රමාණය කෙලින් ම අඩුවෙයි. මේ හැරෙන්නට කැරොටිඩ් දේහයේ සහ දකුණු හෘත් කර්ණිකාවේ ඇති පීඩන ග්‍රාහකයන් (Baroreceptor) ද අඩු වූ ප්ලාස්මා පරිමාව මඟින් අඩුවෙන් උත්තේජනය වෙයි, හෙවත් එමඟින් මස්තිෂ්කය වෙතට යැවෙන සංඛ්‍යාතය අඩුවෙයි. එහි ප්‍රතිඵලයන්ගෙන් එකක් වන්නේ පිටියුටරි දේහය වාසෝප්‍රෙසින් හෝර්මෝනය (Antidiuretic Hormone-ADH) ශ්‍රාවය අධික වීමයි. මෙහි ක්‍රියාවලිය වන්නේ වකුගඩුවලින් රුධිරය වෙතට ජලය වැඩියෙන් ප්‍රත්‍යාවශොලණය වීමයි. මේ හේතුවෙන් ද ජලය ශරීරයේ සංරක්ෂණය කොට අඩු මුත්‍රා ප්‍රමාණයක් පහ කෙරේ. මෙම සංසිද්ධිය අල්පමුත්‍රතාව (Oliguria) නමි.

තව ද කන්තුක ප්‍රතිදානය අඩුවත්ම ශරීරයේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයනට රුධිරය සැපයීම යථා තත්වයෙන් පවත්වා ගැනීම් වස් සමහර පෙදෙස්වල රුධිර සංසරණය අඩු කෙරේ. මෙහි දී වඩාත් ඉක්මනින් රුධිර සැපයීම අඩු කරන්නේ සමට ය. චර්මීය රුධිර සංසරණය අඩුවීම චර්මීය කේෂනාලිකා සංකෝචනයෙන් සිදු වේ. මින් අත් වන තවත් වාසියක් නම් ඩහදිය පිටවීම අඩු වී ජලය සංරක්ෂණය කිරීමයි. අධික ලෙස ඩහදිය පිටවීමෙහි ප්‍රතිඵලයකි, ප්ලාස්මා ආස්‍රැතිය (Osmolality) අධික වීම. ඩහදිය සමඟින් ලවණ සහ නොයෙකුත් අයන වර්ග පිට වුව ද එය ඉතාමත් ස්වල්ප වශයෙන් පිටවන නිසාත් දහදිය පිටවීම ලෙසින් වැදගත් වන්නේ ජලය පිටකිරීම නිසාත් ආස්‍රැතිය අධික වීම කැරොටිඩ් දේහයෙත් හයිපොතැලමසයෙහි පිහිටි (Supraoptic Nucleon) කේන්ද්‍රයේත් ඇති ස්නායු අග්‍ර මඟින් විචලනය වූ ප්ලාස්මා ආස්‍රැතිය අධික බැව් නිශ්චය කිරීමෙන් හයිපොපිසිය මඟින් වාසොප්‍රෙසින් (Antidiuretic Hormone) මුදා හරිනු ලැබ එමඟින් රුධිරයේ ඇති ජල ප්‍රමාණය මුත්‍රා ලෙසින් පිට වී යාම අඩු කිරීමෙන් ආස්‍රැතිය යථා තත්වයට ගෙන එනු ලැබෙයි. මෙහිදී ද විශදව පෙණෙන ප්‍රතිඵලය අල්පමුත්‍රතාවයි.

ඩහදිය අධිකව පිට වීමෙහි දී ඒ සමඟ වෛකල්පික වශයෙන් ලවණ, විශේෂයෙන් ම ශරීරයට අවශ්‍ය සාමාන්‍ය ලුණු (සෝඩියම් ක්ලෝරඩ්) පිට වී යන හෙයින් ලවණ හිඟයක් ඇති විය හැකි ය. මෙම ලවණ හිඟය පිරිමසාලීම් වස් අධිවෘක්ක ග්‍රන්ථීන්ගෙන් ඇල්ඩොස්ටෙරෝන් ශ්‍රාවය වීම අධික වෙයි. මේ හේතුවෙන් වකුගඩුවේ වෘක්කිකාවන්ගෙන් ලවණ ප්‍රත්‍යාවශෝෂණය, එනම් සෝඩියම් ක්ලෝරයිඩ් රුධිරයට ආපසු අවශෝෂණය කිරීම - වැඩියෙන් සිදුවේ. ආපසු අවශෝෂණය කරගන්නා සෝඩියම් වෙනුවට රුධිරයෙන් වෘක්කිකාවනට පොටෑසියම් මුදා හරිනු ලබයි. මෙය සිදු වන්නේ හුදෙක් අයන සමතුලිතාවයක් ඇති කිරීම සඳහා ය. ලවණ සංරක්ෂණය කිරීමේ යාන්ත්‍රණයකි ඇල්ඩොස්ටෙරෝස් ශ්‍රාවය.

ඩහදිය ගැලීම මඳ වූ විට ඉහත කී යාන්ත්‍රණයන් ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියාකාරී වීම හේතුවෙන් ශරීර උෂ්ණත්වය, ජල ප්‍රමාණය, රුධිරයේ ආස්‍රැතිය, ලවණ ප්‍රමාණය ආදිය නියම ලෙස පවත්වා ගනු ලැබේ. ඉහත කී යාන්ත්‍රණයන් නියම ආකාරයට ක්‍රියාකාරී නොවීම බොහෝ ස්නායුගත හා අන්තරාසර්ගී ආබාධයන්හි දී දැකිය හැක. සමහර විට සහජයෙන් ම ස්වේද ග්‍රන්ථි රහිත ව උපදින අය ද සිටිති. මොවුන්ගේ තාප නියාමක ප්‍රශ්වාස වාතය හා සමඟ වාෂ්ප වී යන ජල ප්‍රමාණය මඟින් සැලකිය යුතු තරමකින් කෙරෙයි.

ඩහදිය ගැලීම අධික වූ විට එය හරිහැටි නියාමය නොකෙරේ නම් කලින් දැක්වූ ප්‍රතිවිපාකයන් ම සිදුවේ.

1. ප්ලාස්මා පරිමාව අඩු වීම.

ප්ලාස්මා පරිමාව අඩු වූ විට කන්තුක ප්‍රතිදානය අඩු වේ. ඒ සමඟ ඊට අනුරූප ව වෘක්කීය සංසරණය අඩු වුව ද ප්‍රතිශෝෂණය අඩු නොවීම හේතුවෙන් සාමාන්‍ය සාන්ද්‍රත්වයෙන් ද යුතු ව මුත්‍ර පිට වෙයි. මේ හේතුව වඩ වඩාත් ප්ලාස්මා පරිමාව අඩු වීමට තුඩු දෙයි. බොහෝ විට වාසොප්‍රෙසින් (ADH) ශ්‍රාවය අඩු වූ අයගේ මෙවැනි ‘බහුමුත්‍රතාවක්’ දැකිය හැකි ය.

2. ප්ලාස්මා ආස්‍රැතිය වැඩි වීම.

ප්ලාස්මා ආස්‍රැතිය වාසොප්‍රෙසින් ශ්‍රාවය වැඩි වීමෙන් නියම තත්වයන්හි පවත්වා නොගැනීම හේතුවෙන් වඩ වඩාත් ආස්‍රැතිය අධික වේ.

3. ප්ලාස්මාවේ ලවණ ප්‍රමාණය අඩු වීම.

ඉහත දැක් වූ තත්වයන් උද්ගත වන්නේ ජලය පිට වීමෙනි. ලවණ පිට වීම හේතුවෙන් ලවණ ප්‍රමාණය අඩු වෙයි. ලවණ ප්‍රමාණය අඩු වුව ද ඒ හා සමඟ ඊට වැඩි ජල ප්‍රමාණයක් පිට වන හෙයින් ප්ලාස්මා ආස්‍රැතිය අධික වීමත් ප්ලාස්මා පරිමාව අඩු වීමත් සිදු වේ.

ලවණ ප්‍රමාණය අඩු වීම ස්නායුන්ගේ හා පේශීන්ගේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. ඩහදිය අධික වශයෙන් පිට වීමෙහි දී සුලභ ලෙස දැකිය හැකි ලක්ෂණයක් නම් කෙණ්ඩා පෙරළීමයි. ජලය අධිකව පිට වීමෙහි දී එය නිසියාකාර ව පාලනය නොකෙරේ නම් කලින් සඳහන් කළ පරිදි ‘විජලීකරණ ජ්වරය’ ඇති වේ. මෙහි දී ක්ලාන්තිය, අවිශද සිතුවිලි (Confusion), උමතුව (Insa) හා අවසානයේදී අධිමුර්ජාව ද (Coma) හට ගනී. මෙම තත්වයේ දී පිට විය හැකි ජලය අවසන් වී ඇති බැවින් ස්නායු පද්ධතිය යළි සංස්කරණය නොහෙන අයුරින් හානියට පත් වී ඇත (Irreversibly damaged). මෙවැනි අවස්ථාවක දී ශරීර උෂ්ණත්වය අධික වී ජීවී පටකයන් මැරේ. විජලීකරණ ජ්වරයේ දී වහා ම ශරීරයට ජලය ඇතුළු කළ යුතු වෙයි.

සාමාන්‍ය මිනිසෙකු සිදු කරන ඕනෑ ම ආකාරයේ කාර්යයක දී නිපදවන තාපයෙන් හතරෙන් පංගුවක් ම පිට කරනු ලබන්නේ ඩහදිය මඟිනි. මෙය වැඩි කිරීම හෝ අඩු කිරීම ස්නායු සහ හෝමෝන වැදගත් වීමෙන් කාර්යශීලි වන යාන්ත්‍රණයන් විසින් සිදු කෙරේ.

(කර්තෘ: මාධවී සේනාරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දහඩිය&oldid=6001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි