දහාර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවස මුල් භාගයේ ඉන්දියාවේ සින්ද් ප්‍රදේශය පාලනය කළ හින්දු පාලකයෙකි. මොහු දහීර් යන නමින් ද හැඳින්වේ. සින්ද් ප්‍රදේශය පාලනය කරමින් සිටි බ්‍රාහ්මණ වංශික පරපුරක් පලවා හැර එහි බලය ලබා ගත් චච් නම් ශුද්‍ර වංශිකයකුගේ පුත්‍රයා විය. (ඇතැම් අය ප්‍රකාශ කරන්නේ මොවුන් හින්දු ආගමික බ්‍රාහ්මණ වංශිකයන් බවයි.)

ක්‍රි.ව. 711-712 කාලයේ ලංකාවේ රජු අරාබියේ අල්-හජ්ජාජ් වෙත යවන ලද නැවක් සින්ද් ප්‍රදේශයේ දී මංකොල්ලකරුවන් විසින් කොල්ලකන ලදි. සින්ද් පාලක දහාර් වෙත පණිවිඩයක් එවූ අල්-හජ්ජාජ් එම කොල්ලකෑමට සම්බන්ධ වූ අය අල්ලා දෙන ලෙසත් පැහැර ගත් භාණ්ඩ ආපසු ලබා දෙන ලෙසත් දැන්වී ය. සෑහෙන ස්ථාවර පාලනයක් ගෙන ගිය දහාර් පිළිතුරු දෙමින් කියා සිටියේ කොල්ලකරුවන් තම යටත් වැසියන් නොවන බවයි. සින්ද් ප්‍රදේශය ආක්‍රමණය කිරීමට අවස්ථාවක් සොයමින් සිටි අල්-හජ්ජාජ් මෙය එයට සුදුසු හේතුවක් කර ගත්තේ කාල්නිවරයාගේ ද අනුමැතිව ඇතිව දහසක පාබල හා තුන් සියයක අශ්වාරෝහක භටයන් ද සහිත සේනාවක් සින්ද් වෙත එවී ය. දක්ෂ සෙනෙවියකු වූ දහාර් හා කළ සටනින් එම හමුදා ප්‍රධානියා මිය ගියේ, අන්ත පරාජයකට පත් විය. බුදයිල් නම් සෙනෙවියා යටතේ දහාර් හා යුදයට එවන ලද දෙවැනි භට සේනාවට ද අත් වූයේ එම ඉරණම මයි. තෙවන වර අල්හ-ජ්ජාජ්ගේ බෑනා වූ දහ හත් හැවිරිසි කාසීම් යටතේ විශාල හමුදාවක් එවන ලදි.

කාසිම් සින්ද් වෙත ළඟා වන විට දහාර් එහි නොසිටියේ ය. එහෙයින් දෙබාල් ප්‍රදේශයේ දී කළ සටනින් කාසිම් ජයග්‍රහණය කළේ ය. ජයග්‍රාහී කාසිම් දහාර් සොයා ඊළඟට නිරුන් වෙත ද ඉන් පසු බ්‍රහ්මණාබාද් වෙත ද ගමන් කළේ ය. මේ අවස්ථාවේ හින්දු ආගමික දහාර්ට විරුද්ධ ව එහි සිටි බෞද්ධයන් කුමන්ත්‍රණය කළ බැවින් ද දහාර් අනුගමනය කළ සටන් උපක්‍රම අසාර්ථක වූ හෙයින් ද ඊ පහරක් වැදී දහාර් මිය ගියේ ය. දක්ෂ යුද භටයකු වූ දහාර්ගේ මරණයෙන් එම පෙදෙස මුස්ලිමුන් අතට පත්විය.

දහාර්ගේ බිරිඳ වූයේ රාණි බායි නමැති කුල කතකි. තම සැමියා සමඟ යුද බිමට වන් ඇය දහාර්ගේ මරණයෙන් පසු විසිරී තිබූ සේනා රැස් කොට සටන් කළ අතර සටනින් පැරදිණ. තමා සතුරන්ට හසු වීමේ නින්දාවෙන් බේරෙනු වස් ඇය සිය දිවි නසා ගත්තා ය.

දහාර්-රාණි බායි යුවලට සිටි දරුවන් සතර දෙනකු පිළිබඳ සටහන් තිබේ. පුතුන් දෙදෙනෙක් සහ දූවරුන් දෙදෙනෙකි. වැඩිමහල් පුත් ජායි සිං බ්‍රාහ්මණාබාද්හි දී කාසිම් හා අප්‍රතිහත ධෛර්යයෙන් සටන් කළ ද පැරදී රහස් මඟකින් චිත්රූප් වෙත පැන ගියේ ය. තවත් පුතකු සින්ද්හි ප්‍රදේශීය අගනුවරක් වූ අලෝර්හි පාලනය කරමින් සිටියේ, කාසිම් හා සටන් වැදුණ ද පැරදිණ.

712 දී දහාර් මිය ගිය විට ඔහුගේ දියණියන් දෙදෙනකු වූ සූරිය දේවි හා පර්මාල් දේවි කාසිම්ගේ ග්‍රහණයට අසුවූහ. ඔවුන් දෙදෙනා කාලින්වරයා වෙත යවනු ලැබූහ. කාසිම් තමන් දෙදෙනාට අතවර කළ බවට කාලිෆ්වරයාට දන්වන ලදින් කාසිම් වදයට භාජනය කොට මරා දමන ලදි. තමා කළ චෝදනාව අසත්‍යයක් බව ඉන් පසු ඔවුන් ප්‍රකාශ කළ හෙයින් ඔවුන් දෙදෙනා ද එම වදයට ම ලක් කොට මරා දැමිණ. දහාර්ගේ පරපුර පිළිබඳ ව ඉන් පසු කිසි සඳහනක් නොවේ.

ආශ්‍රිත ග්‍රන්ථ

දිල්ලි සුල්තාන් රාජ්‍යය - කරුණාරත්න විජේතුංග

AN ADVANCED HISTORY OF INDIA - MAJCIMDAR RAYCHAUDRI DATTA

THE ARAB INVASION OF INDIA - R. C. MAJCIMDAR

(කර්තෘ: සුමනා ඇල්ලේපොල)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දහාර්&oldid=5486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි