දළදා සිරිත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දළදා වහන්සේගේ ඉතිහාසය හා දළදා වහන්සේ කෙරෙහි පැවැත්විය යුතු පුද සිරිත් ඇතුළත් කොට තැනූ හෙයින් මේ පොත දළදා සිරිත නම් විය.

කුරුණෑගල් නුවර රජ කළ සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු නරේන්ද්‍රයා තුළ දළදා වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් මතු රජුන් ලවාත් පුද සිරිත් පැවැත්වීම සඳහා පැවැති ඉමහත් ශ්‍රද්ධාව දළදා සිරිත ලියවීමට කරුණු විය.

දළදා සිරිත පැරකුම්බා රජතුමාගේ කැමැත්ත පරිදි දෙව්රද දම් පසඟිනාවන් විසින් කරන ලද බව එම ග්‍රන්ථාවසානයෙහි සඳහන් වේ. දෙව්රද දම්පසඟිනාවන් කවුරුන් ද යනු ඉඳුරා සලකා ගැන්මට නුපුළුවන. “දෙව්රද” යනු සංඥා නාමය ද “දම්පසඟනාවන්” යනු තනතුරු නාමය ද විය හැකි ය. දම්පසඟිනා යන වචනයෙහි අර්ථය හා නිරුක්තිය විවිධ මතවලට යොමු වී තිබේ.

1. දළදා පූජාවලිය, කඳවුරු සිරිත, ගඩලාදෙණිය ගිරි ලිපිය, නිකාය සංග්‍රහය වැනි කෘතිවල ද මේ පදවිය සඳහන් වේ.

2. දහම් පසස්නා යනුවෙන් ද මේ කෘතිවල සඳහන් වන බව පෙනේ. මේ තනතුර කුමක් දැ යි පැහැදිලි නැතත් බුද්ධාගම පිළිබඳ වගකීමක් ඇති රාජකීය නිලධාරීන් අතර ප්‍රධාන තැනක් ම එයින් හැඟෙතැයි සැලකිය හැකි ය.

දළදා සිරිත කුරුණෑගල යුගයට අයත් පොතකි. ඒ යුගය දඹදෙණි හෝ පූර්‍ව යුග මෙන් සමෘද්ධිමත් යුගයක් නොවේ. පන්සිය පනස් ජාතක පොත එකලට අයත් ය. විලගම්මුළමාහිමියන් වැනි කීර්තිධර උගත්හු එකල වූහ. අවුරුදු හතරක් පමණ වූ කුරුණෑගල යුගයෙහි සිටි ප්‍රතාපවත් පාලකයා සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ය. එතුමා ජනප්‍රිය විය. එ මෙන් ම වියතෙක් විය. පණ්ඩිතයන්ට ප්‍රිය කළ ඔවුන්ට අනුග්‍රහ දැක්වූ මේ නරේන්ද්‍රයා ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙකි. දළදා වහන්සේ කෙරෙහි පෙර පටන් පැවත ආ චාරිත්‍ර විධි රැක ගන්නට උත්සාහවත් වූවෙකි. දෙව්රද දම්පසඟිනාවන් සිටියේ මොහු දවස ය.

1. දළදා සිරිත: රාජශේඛර: උපන්‍යාසය, දළදා සිරිත: වජිරා රත්නසූරිය, ප්‍රස්තාවනාව, දළදා සිරිත: වැලිවිටියේ සොරත, ප්‍රස්තාවනාව, සාහිත්‍ය කථා: කොටහේනේ පඤ්ඤාකිත්ති, 50-52 පිට.

2. දළදා පූජාවලිය, සුගතපාල: 49: පී, නිකාය සංග්‍රහ: ආණ්ඩුවේ මුද්‍රණුය, 1922: 12 පි: කඳවුරු සිරිත: විශුද්ධි මාර්ග සන්නය 2, කඹුරුපිටියේ ධම්මරතනශෝධනය: 41 පි: ගඩලාදෙණිගිරි ලිපිය 102.

දළදා සිරිතෙහි පරිච්ඡේද හතකි. පළමුවන පරිච්ඡේදයෙහි සුමෙධ බෝධිසත්ව අවස්ථාවේ පටන් ගෞතම සම්‍යක් සම්බුද්ධ ධම්සක් පැවැත්ම තෙක් තොරතුරු පළ වේ.

දෙවන පරිච්ඡේදයෙහි පන්සාලිස්වසක් ලෝවැඩ බුදුන් පිරිනිවීම, ආදාහන පූජා, ධාතු බෙදීම හා චිත්‍රයානු රජුගේ පැහැදීම තෙක් දළදා පුවත් විස්තර වේ.

තුන්වන පරිච්ඡේදයෙහි පඬිරජහු දළදා වහන්සේ සර්‍වඥධාතූන් වහන්සේ නමක් දැ යි විමසීමේ උත්සාහය එළි වේ.

සතරවන පරිච්ඡේදයෙහි කලිඟුරට ගුහසීව රජු දළදා වහන්සේ පුද රැකගැන්ම ද දන්ත කුමරුට හා හේමමාලා කුමරියට දළදා භාරදීම ද ඔවුන් ඛීරධාරා රජු දළදා ගන්නට රට ආක්‍රමණය කළ විට දළදා වහන්සේ රැගෙන ලංකාවට පලා ඊමට ද පිළිබඳ කථා විස්තර වේ.

පස්වන පරිච්ඡේදයෙහි අනුරාධපුරයෙහි මෙඝගිරි විහාරවාසී සිංහල මහතෙර කෙනෙකුන්ගේ උදව්වෙන් කීර්ති ශ්‍රී මේඝවර්‍ණ රජු දැන හැඳින දන්ත කුමාරයා හා හේමමාලා කුමරිය දළදා වහන්සේ භාරදීමේ ද දළදා පූජා හා පෙරහැර කිරීමේ ද පෙළහර පෑමේ ද කථා පළ වේ.

සත් වන පරිච්ඡේදයෙහි සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු නරේන්ද්‍රයා දළදා පූජා සඳහා කළ ව්‍යවස්ථා ගැන කමනීය විස්තර පළ වේ.

කුරුණෑගල යුගය ඉතා ම ශ්‍රේෂ්ඨ යුගයක් නුවූවත් දළදා වහන්සේ විෂයෙහි පුද පූජා පවත්වන සැදැහැවතුන්ගේ කන් නළවා සිත් පෙබයා භක්තිය උද්දීපනය කළ හැකි රචනා විලාසයක් මොහු තෝරා ගත්තේ ඒ නිසා ය. ඒ නිසා ම ය වෘත්ත ගන්ධි නම් පද්‍ය රචනාවට හුරු රචනා විලාසයක් ම මෙහි ආශ්‍රය වූයේ. වෘත්තගන්ධි ගහ රීතිය ශබ්දාචම්බරය ගරු කරන්නන්ගේ ම රචනා ක්‍රමයක් නොවේ. සිතේ පහළ ශොක ප්‍රීති භක්ති ආදි ආවේග සිතුවම් කිරීමට අය ඉතා උපකාරවන රීතියකි. පද්‍ය රචනාවට යෝග්‍ය රීතියක් ගද්‍ය රචනා කිරීම අපහසු ය. එහෙත් දම්පසඟිනාවන් සිංහල භාෂාවෙහි ලත් ප්‍රවීණත්වය නිසා දළදා සිරිත ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස පිළිගත හැකි ය. අනුප්‍රාස බහුලව දීර්ඝ සමාස පද සහිත දිග් වාක්‍ය යොදාලීම පැරණි සෙල්ලිපිවල මෙන් ම ඇතැම් ගද්‍ය කෘතිවල ද පිළිවෙළයි. දළදා සිරිතෙහි ද ඒ ලකුණු පෙනේ. එහෙත් මේ ලක්ෂණ විශේෂයෙන් ප්‍රකට වන අයුරු තැනූ සිංහල පොත් අතර දළදා සිරිත මුල් වේ. කුවේණි අස්න, දඹදෙණි අස්න, අනුශාසන අස්න, දොරකඩ අස්න ආදී කෘතීන් දළදා සිරිත අනුගමනය කොට කළ බව පෙනෙතත් මෙතරම් කලා ප්‍රවීණත්වයක් ඒ කතුවරයන් තුළ නැතැයි සිතේ.

දළදා සිරිතෙහි රචනා විලාසය

1. බුදු වූ අටවැනි වස වෙසඟ පුනු පොහෝ දින කෙලෙසුන් පසුන් ඉසුන් පන්සියයක් පිරිවරා මුනිවරා නුබ අරා දිනකරා ලෙසිනවුත් මිණිකිරණ ගනගිහිණි කලණ ගුණ සිරි පැමිණි කැළණි පුර පැමිණි සඳ - 14 පිට,

2. පැනසරින් සුරගුරා - රුසිරින් මල්සරා - තෙදගුණෙන් දිවයුරා - සොමි ගුණෙන් නිසයුරා - රුදු ගුණෙන් මෙහෙසුරා - ගැඹුරු ගුණ සමුදුරා - නිසල ගුණ රන්මෙරා - 53 පිට. යනාදී පාඨ සසඳා බැලීමෙන් ” සලකා ගත හැකි ය.

විශේෂයෙන් ම: සුරත් පලු දෙලෙන් හා -

සුපුල් මල් කැනින් හා -

විපුල් තුරු පෙළින් හා -

බිඟුන් මත් සනින් හා -

කෙවිල් කූල් රැවින් හා -

සුවඳ මල් රොනින් හා -

(16 පිට) වැනි වාක්‍ය ප්‍රදේශ දළදා සිරිතෙහි රචනා මාර්‍ගය වටහා ගැන්මට උපකාර වේ.

දළදා සිරිත ලිවීමේ දී කීර්ති ශ්‍රී මෙඝවර්‍ණ රජු දවස ලියූ සිංහල දළදා වංශය ද එහි ම පාලි පරිවර්තනයක් වූ දෘඨාවංශය ද ආශ්‍රිත ය. මෙහි පෙනෙන දළදා ව්‍යස්ථා පෙළ පුරාණ භාෂා ස්වරූපයක් උසුලන්නේ පුරාණ වෙනත් දළදා ප්‍රවෘත්ති ද ඇසුරෙන් දළදා සිරිත කළ නිසා විය යුතු ය.

මේ පොතේ ඉසා: අපි ච-ද :, උපෙයි: අපෙක්ෂා:, පිරිසේ: පරිච්ඡේද:, වවස්: ව්‍යවස්ථා: ආදී වචන කුරුණෑගල යුගයෙහි බහුල ප්‍රචාර වී යයි නොසිතේ. විශේෂයෙන් ව්‍යවස්ථාපෙළ පැරණි ලිපියකින් සංග්‍රහ කළ බව එහි ‘ඉසා’ යන ශිලා ලිපිවලට ආවේණික වූ ප්‍රයෝග යෙදීමෙන් පෙනේ. දළදා සිරිත පිළිබඳ කරන ලද සංස්කරණ කීපයකි.

දළදා සිරිත - රාජශෙඛර

දළදා සිරිත - වජිරා රත්නසූරිය

දළදා සිරිත - වැලිවිටියේ සොරත

දළදා වහන්සේගේ ඉතිහාසය මහනුවර දළදා මැදුර හා දළදා සිරිතෙහි සඳහන් පුද පූජා පිළිබඳ විස්තරයක් ඒ.ඇම්. හෝකාට් මහතුන් විසින් සම්පාදිත මහනුවර දළදා මැදුර නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයෙහි දැක් වේ.

(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දළදා_සිරිත&oldid=5361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි