ද්‍රාවිඩ භාෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dravidian Language) දකුණු ආසියාව, විශේෂයෙන් දකුණු ඉන්දියාව නිජබිම වූ ද්‍රාවිඩ භාෂා වංශයට භාෂා විසි දෙකක් පමණ ඇතුළත් බව වාග් විද්‍යාඥයන්ගේ අදහස ය. එම භාෂා අතර වඩාත් ම ප්‍රකට වන්නේ දෙමළ, තෙලිඟු, මලයාලම් හා කර්ණාට යන ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාවේ භාවිත වන භාෂා හතර ය. එහෙත් එම වංශයට අයත් අන්‍ය භාෂාවන් ද ඇතුළු කොට බලන කල්හි ද්‍රාවිඩ භාෂාවන් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 220ක් පමණ වේ. එම භාෂා අතුරෙන් විශේෂයෙන් ම ඉන්දුනීසියාව, මැලේසියාව, මාටිනීකය, මුරිසිය, මියන්මාරය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව සහ ට්‍රිනිඩෑඩය යන රටවල ද භාවිත වන බව සැලකිල්ලට ගත යුතුව ඇත. එහෙයින් ජන සංඛ්‍යාව අනුව ලෝකයේ විශාලතම භාෂා අතුරෙන් සිව් වන හෝ පස්වන ස්ථානය ද්‍රාවිඩ භාෂා වංශයට හිමි වේ. වාග් විද්‍යාත්මක ලක්ෂණ අනුව ද්‍රාවිඩ භාෂා වංශය ගණ හතරකට බෙදනු ලැබේ. එනම් බඩගා, ඉරුළා, කර්ණාට, කෝඩගු, කෝටා, මලයාලම්, දෙමළ, තෝඩා සහ තුලු යන භාෂා ඇතුළත් දක්ෂිණ ද්‍රවිඩ ගණය, ගොණ්ඩි, කොණ්ඩා, කූයි, කූවි, මණ්ඩා, පෙන්ගෝ සහ තෙලුගු ඇතුළත් වන දකුණු මැද ද්‍රාවිඩ ගණය, ගදබා කොලම්, නයිකි, පර්ජි යන භාෂා ඇතුළත් මධ්‍යම ද්‍රාවිඩ භාෂා ගණය යනුවෙනි. මීට අමතරව විසි වන සියවසේ දෙවන භාගයේ සිදු කැරුණු වාග් විද්‍යාත්මක ගවේෂණ අනුව තවත් භාෂා හා උපභාෂා ගණනාවක් මෙම භාෂා වංශයට අයත් බව පෙනී ගොස් තිබේ. උදාහරණ වශයෙන් දක්ෂිණ ද්‍රාවිඩ ගණයට බෙල්ලරි, බුර්ගුණ්ඩි, කෛකුඩ්, කොරග, කොරව, කුරුබ, ශොලෙග, යෙරව, යෙරුකුල යන භාෂා ද ඇතුළත් කොට ඇත. දකුණු මැද ගණයට ආවේ, ඉන්දු, සවර යන භාෂාවන් ඇතුළත් කර තිබේ. මේ අතර දැනට උපභාෂා ලෙස ගොණ්ඩි, කොලමි සහ කුරුක්ස් යන භාෂාවන් තුළ අන්තර්ගත කොට ඇති ඇතැම් ව්‍යවහාර ප්‍රභේදයන් වඩා සියුම් අධ්‍යයනයන්හි ප්‍රතිඵල වශයෙන් වෙනම ම භාෂා ලෙස සැලකීමට සිදුවන බවට විශ්වාසයක් පවතී.

ද්‍රාවිඩ භාෂාවන් විශේෂ වැදගත්කමක් දරන්නේ එම භාෂාවන්ගෙන් නිරූපිත සුවිශේෂ සංස්කෘතිය නිසා ය. ශෛව සිද්ධාන්ත සම්ප්‍රදාය සහ වීරශෛව භක්තිවාදය පැන නැගුණේ ද්‍රාවිඩ භාෂා මාධ්‍යයන්ගෙනි. එසේ ම ද්‍රාවිඩ භාෂකයන් අතුරෙන් පැන නැගුණු විශිෂ්ට දාර්ශනිකයන් විසින් භාරතීය සංස්කෘතිය තුළ සදානුස්මරණීය සටහන් තබා ඇත. ඒ අරභයා විශේෂයෙන් සඳහන් කළ යුත්තාහු නම් අද්වෛ දර්ශනය දේශනා කළ ශංකරාචාර්යතුමා, විශිෂ්ට අද්වෛත දර්ශනය දෙසූ රාමානුජතුමා සහ ද්වෛත දර්ශනය ඉදිරිපත් කළ මාධවාචාර්යතුමා ය. මේ අතර භාරතීය සංස්කෘතියේ සුවිශේෂ අංග වන කර්ණාට සංගීතය, භරත නාට්‍යම් සම්ප්‍රදාය හා කුචිපුඩි නෘත්ත සම්ප්‍රදාය බිහි වූයේ ද ද්‍රාවිඩ භාෂකයන් අතුරෙනි. කර්ණාටක සංගීතයේ රාග ලක්ෂණ ප්‍රකාශවන ගීත පැබැදි ඇත්තේ ප්‍රධාන වශයෙන් තෙලුගු, දෙමළ හා කර්ණාට භාෂාවන්ගෙන් වන අතර සංස්කෘතයෙන් ද එම ගීත ප්‍රබන්ධ වී ඇත. භරත නාට්‍යම් හා කුචිපුඩි නෘත්ත ස්වරූපයන්හි ගැයෙන ගීත එම ප්‍රධාන ද්‍රාවිඩ භාෂාවන්ගෙන් හා සංස්කෘතයෙන් ගයනු ලැබේ.

ඉන්දීය රාජ්‍ය ව්‍යවස්ථාවෙන් නිර්දිෂ්ට පරිදි භාෂාමය පදනම මත ප්‍රාන්ත රාජ්‍ය ස්ථාපනය කිරීමේ දී කර්ණාට භාෂාව සඳහා කර්ණාටක ප්‍රාන්තය ද, මලයාලම් භාෂාව සඳහා කේරළ ප්‍රාන්තය ද දෙමළ සඳහා තමිල්නාඩු ප්‍රාන්තය ද තෙලුගුව සඳහා ආන්ධ්‍රා ප්‍රදේශ ප්‍රාන්තය ද පිහිටුවන ලදි. එම භාෂා හතර ඉන්දියාවේ රාජ්‍ය භාෂා හතරක් ලෙස පිළිගැනී ඇත. ඒ අතර දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස ශ්‍රී ලංකාවේ ද මැලේසියාවේ හා සිංගප්පූරුවේ ද පිළිගෙන තිබේ.

වර්ෂ 1991 සංඛ්‍යා ලේඛන අනුව ද්‍රාවිඩ භාෂා අතුරෙන් බහුතර භාෂකයන් සිටින්නේ තෙලුගු භාෂාවට ය. එය මව්බස ලෙස මිලියන 55ක් දෙනා භාවිත කරන අතර දෙවන බසක් ලෙස මිලියන 14ක් දෙනා විසින් භාවිත කරනු ලැබේ. දෙමළ බස මව් බස ලෙස මිලියන 48ක් දෙනා විසින් ද දෙවන බසක් ලෙස තවත් මිලියන 18ක් දෙනා විසින් ද භාවිත වේ. කර්ණාට භාෂාව මව් බස ලෙස භාවිත කරන්නන් මිලියන 25ක් වන අතර එය දෙවන බසක් ලෙස භාවිත කරන්නන් ද ඇතුළුව මිලියන 42ක් දෙනා විසින් භාවිත කරනු ලැබේ. මලයාලම් භාෂාව ලොව පුරා මිලියන 42ක් දෙනා විසින් භාවිත කරතැයි කියනු ලැබේ. භාෂක සංඛ්‍යා අතින් විශාල අනෙක් ද්‍රාවිඩ භාෂා වන්නේ ගොණ්ඩි (මිලියන 1.9), කුරුක්ස් (මිලියන 1.2), තුලු (මිලියන 1.3) ආදිය ය. මේ අතර තෝඩ, කෝට යන භාෂා කථා කරන්නන්ගේ සංඛ්‍යාව 1,000කට අඩු ය.

ද්‍රාවිඩ භාෂා අතුරෙන් පැරණි ලේඛන සම්ප්‍රදායයන් ඇත්තේ දෙමළ, තෙලුගු, කර්ණාට හා මලයාලම් භාෂාවන්ට පමණි. අනෙක්වා පොදුවේ කථා ව්‍යවහාරයේ ම පවතී. ප්‍රථම දෙමළ ශිලා ලේඛන ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් යැයි සැලකෙන අතර ප්‍රථම කර්ණාට ශිලා ලේඛනය ක්‍රි.ව. 5 වන සියවසටත් ප්‍රථම තෙලුගු ශිලා ලේඛන ක්‍රි.ව. 7 වන සියවසටත්, ප්‍රථම මලයාලම් ශිලා ලේඛනය ක්‍රි.ව. 9 වන සියවසටත් අයත් වේ.

ද්‍රාවිඩ අක්ෂර මාලා

දෙමළ, තෙලුගු, කර්ණාට හා මලයාලම් භාෂාවන්හි එක එකකට අනන්‍ය වූ අක්ෂර මාලා තිබේ. (සටහන බලන්න.) ඒවා අශෝක අධිරාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයන්හි භාවිත වූ බ්‍රාහ්මී අක්ෂර මාලාව ප්‍රභව කොට ඇති බව පෙනේ. අන්‍ය ද්‍රාවිඩ භාෂාවන් ඇතැම් විට ලේඛනාරූඪ කිරීමේ දී සාමාන්‍යයෙන් මෙම අක්ෂර මාලා හතරෙන් එකක් භාවිත කොට ඇත. තුලු බස මලයාලම් හෝ කර්ණාට අකුරෙන් ද කොඩගුව කර්ණාට අකුරෙන් ද කොණ්ඩාව තෙලුගු අකුරෙන් ආදී වශයෙනි. ඒ අතර කුරුක්ස් බස ලිවීම සඳහා හින්දිය සඳහා භාවිතා වන දේවනාගරි අකුරු යොදා ගෙන ඇත. පාකිස්ථානයේ හා ඇෆ්ඝනිස්තානයේ භාවිතා වන ද්‍රාවිඩ භාෂාවක් වන බ්‍රාහ්මී භාෂාව ලියැවෙන්නේ උර්දු අකුරෙනි. ද්‍රාවිඩ අක්ෂර මාලා ගැන සඳහන් කරන කළ විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තක් වන්නේ ක්‍රි.ව. 5 වන සියවස සිට 8 වන සියවස යන කාලය තුළ ඉස්මතු වී පැවති පල්ලව ග්‍රන්ථාක්ෂර මාලාව ය. (සටහන බලන්න.) පල්ලවයන්ගේ යුද්ධාක්‍රමණ හා දේශපාලන මෙන්ම සංස්කෘතික බලපෑම් නිසා එම ග්‍රන්ථාක්ෂර මාලාව අග්නිදිග ආසියාවේ මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කම්පුචියාව වැනි රටවල දේශීය අක්ෂර මාලාවන් සඳහා පාදක වූ බව පෙනේ. එසේම එතෙක් ස්වාධීන පරිණාමයට පත් වෙමින් තිබූ සිංහල අක්ෂර මාලාව කෙරේ ද පල්ලව ග්‍රන්ථාක්ෂර බලපා තිබේ. වත්මත් මලයාලම් අක්ෂරමාලාව ද වත්මන් දෙමළ අක්ෂර මාලාව ද ගොඩනැගුණේ ග්‍රන්ථාක්ෂරයන්හි බලපෑම ලබමින් බව පැහැදිලි ය.

දක්ෂිණ ද්‍රාවිඩ භාෂා

දක්ෂිණ ද්‍රාවිඩ භාෂා අතර විශේෂ ස්ථානයක් දෙමළ බසට හිමි වේ. ද්‍රාවිඩ භාෂා අතර පැරණිතම ලේඛන ඇත්තේ දෙමළ බසට ය. එය සංස්කෘත භාෂාව මෙන් සම්භාව්‍ය (Classical) භාෂාවක් ලෙස සලකනු ලැබේ. ඒ දෙක අතුරෙන් දුරාන්තයේ සිට වර්තමානය තෙක් අඛණ්ඩ පැවැත්මක් සහිත වීම දෙමළ බසට පමණක් විශේෂ වූ කාරණයකි. දෙමළ බසෙහි උපභාෂා ගණනාවකි. ප්‍රධාන උපභාෂා ප්‍රභේදය ඇත්තේ ශ්‍රී ලංකා දෙමළය හා මහාද්වීපික දෙමළ උපභාෂා අතර ය. ඒ අතර චෙන්තමිළ් (පිරිසිදු දෙමළ) හා කෝටුන්තමිළ් (කටුක දෙමළ) යනුවෙන් භාෂා ද්වීරූපතාවක් ද පවතී. චෙන්තමිළ් යන 'ඉහළ' ව්‍යවහාරය දේශපාලන කථා, සාහිත්‍ය නිර්මාණ, ප්‍රවෘත්ති ප්‍රකාශන ආදිය සඳහා භාවිතා වන අතර කෝටුන්තමිළ් යනුවෙන් හැඳින්වෙන 'පහළ' ව්‍යවහාරය භාවිත වන්නේ එදිනෙදා ජීවිතයේ භාෂාමය කටයුතු සඳහා ය. දෙමළ බසෙහි ඉතිහාසය යුග තුනකට බෙදා දක්වනු ලැබේ. එනම් ක්‍රි.පූ. 300 පමණ සිට ක්‍රි.ව. 700 පමණ වන තෙක් වූ පැරණි දෙමළ යුගය, ක්‍රි.ව. 700 පමණ සිට ක්‍රි.ව. 1600 පමණ තෙක් වූ මධ්‍යතන දෙමළ යුගය සහ ක්‍රි.ව. 1600න් පසුව නූතන දෙමළ යුගය යනුවෙනි.

මලයාලම් භාෂාව ප්‍රභවයේ වූයේ ක්‍රි.ව. 800-1200 අවධියෙහි දෙමළ බසේ බටහිර උපභාෂා පදනම් කොට ගෙන යැයි සලකනු ලැබේ. බටහිර ඝාට් කඳුවැටියෙන් වෙන්ව පැවැති එම උපභාෂා තුළ ක්‍රමයෙන් ස්වාධීන ලක්ෂණ ගොඩ නැගුණේ වෙනම ම භාෂාවක් වන තරමට දෙමළයෙන් ඈත් වූ බව පෙනේ. නව වන සියවසේ මැද භාගයට අයත් වාසප්පළ්ළි ශිලා ලේඛනය මලයාලම් භාෂාවේ ප්‍රථම ලේඛනය ලෙස සැලකේ. මෙහි සුවිශේෂතාවක් වන්නේ සංස්කෘතයෙහි බලපෑම ය. මලයාලම් භාෂාව ප්‍රධාන වශයෙන් කේරළයේ භාවිත වන අතර, තමිල්නාඩුවේ හා කර්ණාටක යන ප්‍රාන්තවල ද ඇතැම් ප්‍රදේශයන්හි හා ලක්ෂද්වීප දූපත්හි ද භාවිත වේ. අන්‍ය ද්‍රාවිඩ භාෂාවන්හි මෙන් මලයාලම්හි ද ප්‍රදේශීය හා කුල උපභාෂා ගණනාවකි. ද්‍රාවිඩ භාෂා අතර වැඩිපුරම සාක්ෂරතාව ඇත්තේ මලයාලම් භාෂකයන් අතර බව පිළිගැනී ඇත. සමස්ත භාරතීය භාෂා අතර ද ඉහළ ම සාක්ෂරතාව මලයාලම් බසට හිමි වෙතැයි කියනු ලැබේ.

බටහිර ඝාට් කඳු වැටියෙන් මෙපිට තවත් දක්ෂිණ ද්‍රාවිඩ ගණයට අයත් භාෂා කීපයක් ඇත. සාහිත්‍ය සම්ප්‍රදායයන් නොමැතිව හුදු කථා ව්‍යවහාරයේ පමණක් පවතින එම භාෂා වනාහි බඩග, කෝත, ඉරුළ සහ තෝද ය. මෙම භාෂා ව්‍යවහාර වන්නේ බටහිර ඝාට් කඳු වැටියෙහි කොටසක් වූ නිල්ගිරි පර්වත ප්‍රදේශයෙහි ය. මෙම භාෂකයන් අතුරෙන් තෝද හා කෝත ජන පිරිස දහසකටත් අඩු හෙයින් එම භාෂා ක්‍රමයෙන් අභාවයට යන බව පෙනෙන්නට ඇත. එසේ වුවද මානව විද්‍යාඥයන් 19 වන සියවසේ සිට මොවුන් පිළිබඳ අධ්‍යයන සිදුකොට තිබීම විශේෂ කරුණකි. මරේ බී. එමනෝ නම් මානව විද්‍යාඥයා විසින් 1944-46 කාලයේ දී කෝත ජනයාගේ මුඛ පරම්පරාගත සාහිත්‍යය වෙළුම් හතරකින් ලේඛන ගත කොට තිබීම මෙහි ලා සඳහන් කළ යුත්තකි. ඇතැම් විට කර්ණාට භාෂාවේ උපභාෂාවක් ලෙස සැලකෙන බඩගා භාෂාව 50,000ක් පමණ භාෂක පිරිසක් ඇත්තකි. ලේඛනාරූඪ නොවූ ද්‍රාවිඩ භාෂා අතර සුවිශාලතම වචන කෝෂයක් බඩගා භාෂාවට ඇති බව 1992 දී පළ කැරුණු 'බඩගා-ඉංග්‍රීසි ශබ්දකෝෂය' (A Badaga English Dictionary by P. Hocking and Pilot Richoor, Berlin: Mouton de Gruyter) මඟින් පෙනී තිබේ.

ඉරුළ භාෂාව ව්‍යවහාර වන්නේ කේරළය හා තමිල්නාඩුව අතර පිහිටා ඇති නිල්ගිරි පර්වතයේ ගිරිශිඛර පෙදෙස්වල වාසී වූ 12,000ක් පමණ භාෂකයන් අතර ය. තුලු භාෂාව බටහිර ඝාට් කඳු වැටිය හා බටහිර කර්ණාටක ප්‍රාන්තයේ අරාබි මුහුදුබඩ පෙදෙස් අතර ද උතුරුදිග කේරළයේ ද දකුණුදිග මහාරාෂ්ට්‍රයේ ද වෙසෙන භාෂක පිරිසක් විසින් භාවිත කරනු ලැබේ. මෙය සාහිත්‍යගත භාෂාවක් නොවුණ ද එම භාෂකයන් අතර සිටින බ්‍රාහ්මණ වංශිකයෝ සංස්කෘත, කර්ණාට හා මලයාලම් උගත්තු වෙත්. එහෙයින් පසුගිය සියවස් තුන පමණ කාලයේ දී තුලු බස මලයාලම් හා කර්ණාට අක්ෂරමාලා යොදමින් ලේඛනාරූඪ වී තිබේ. අද දින තුලු බස කථා කරන පිරිස මිලියන තුනක් පමණ වන බව පෙනේ. කර්ණාටක ප්‍රාන්තයේ පිහිටා ඇති කූර්ග් දිස්ත්‍රික්කයේ 95,000ක් පමණ පිරිසක් භාවිත කරන කොදගු (කොඩවා, කූර්ග්) භාෂාව ද දක්ෂිණ ද්‍රවිඩ ගණයට අයත් වන්නකි. මෑත කාලයේ දී මෙය ද කර්ණාට අක්ෂර මාලාව යොදා ලේඛනාරූඪ වී තිබේ.

කර්ණාට (කණ්ණඩ) භාෂාවෙහි භාෂක සංඛ්‍යාව මිලියන 25ක් පමණ ය. එය කර්ණාටක ප්‍රාන්තයෙහි ද අසල පිහිටි මහාරාෂ්ට්‍ර, අන්ධ්‍රා ප්‍රදේශ හා තමිළ්නාඩු ප්‍රාන්තයන්හි ද භාවිත වේ. ක්‍රි.ව. 5 වන සියවසේ ශිලා ලේඛනගත සාධකයන්ගෙන් එහි ලිඛිත ස්වරූපය පළමුවරට දැක්ක හැකි අතර 9 වන සියවස පමණ සිට අඛණ්ඩ වූ සාහිත්‍යයක් මෙම භාෂාව සතුව තිබේ.

දකුණු මැද ද්‍රාවිඩ භාෂා

ද්‍රාවිඩ භාෂා අතර වැඩිම භාෂක සංඛ්‍යාවක් සිටින තෙලුගු භාෂාව මෙම ගණයට අයත් ය. මිලියන 64ක් පමණ වන ඔවුන් අතර ආන්ධ්‍රා ප්‍රදේශයේ උතුරු, දකුණු, නැගෙනහිර හා මධ්‍යම යනුවෙන් ප්‍රදේශීය උපභාෂා හතරක් තිබේ. ඒ අතර තෙලුගුව කර්ණාටක, ඔරිස්සා හා තමිළ්නාඩු ප්‍රාන්තවල ද දුරින් පිහිටි කේරළයේ ද භාවිත වේ. තෙලුගුව සඳහා පැහැදිළි ලිඛිත සාධක හමුවන්නේ ක්‍රි.ව. 6 වන සියවස පමණ සිට ය. (තෙලුගු භාෂාව ලිපිය බ.) සම්මත තෙලුගු ව්‍යවහාරය 19 වන සියවසේ දී විටින් විට සංශෝධනය වූ හෙයින් දෙමළ බස තුළ දක්නා ලැබෙන අන්දමේ කථා ව්‍යවහාරය හා ලේඛන ව්‍යවහාරය අතර පරතරය දක්වන භාෂා ද්විරූපතාවක් තෙලුගුවෙහි නැත. දකුණු මැද ද්‍රාවිඩ භාෂා ගණයට අයත් අන්‍ය භාෂා වන්නේ සාහිත්‍යගත නොවූ ගොණ්ඩි, කොණ්ඩා, කුයි, කුචි, පෙන්ගො සහ මණ්ඩා යන භාෂා හයයි. මේ භාෂා අන්ධ්‍රා ප්‍රදේශ, මධ්‍ය ප්‍රදේශ, මහාරාෂ්ට්‍ර සහ ඔරිස්සා යන ප්‍රාන්තවල විසිරි තිබේ.

මධ්‍යම ද්‍රාවිඩ භාෂා

මේ ගණයෙහි ලා සැලකෙනුයේ ලේඛන සම්ප්‍රදායයන් නොමැති ගදබ, කෝලමි, නයිකි සහ පර්ජි යන භාෂා හතර ය. මේවා භාවිතා වන ප්‍රදේශය වන්නේ වයඹ අන්ධ්‍රා ප්‍රදේශයේ සිට මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ බස්තාර් දිස්ත්‍රික්කය හරහා බටහිර ඔරිස්සාවට වැටී ඇති බිම්තීරුවයි. මේ භාෂා ව්‍යවහාර කරන පිරිස් ද විශාල නැත. කොලමි බසේ ස්වභාෂකයන් 90,000ක් පමණක් වීම උදාහරණයකි.

උත්තර ද්‍රාවිඩ භාෂා

මෙම ගණයට අයත් වන්නේ මිලියන දෙකක පමණ ජනයා අතර ව්‍යවහාර වන බ්‍රාහ්වි, මොල්ටෝ සහ කුරුක්ස් යන භාෂා ය. කුරුක්ස් බසට ඉන්දියාව තුළ මෙන්ම බංගලාදේශය හා නේපාලයේ ද ව්‍යවහාර වන උපභාෂා කිහිපයක් අයත් වේ. මෙම බසෙහි සහ මොල්ටෝ බසේ විශේෂතාවක් වන්නේ පිරිමි ව්‍යවහාර වන උපභාෂා කිහිපයක් අයත් වේ. මෙම බසෙහි සහ මොල්ටෝ බසේ විශේෂතාවක් වන්නේ පිරිමි ව්‍යවහාර හා ස්ත්‍රී ව්‍යවහාර අතර ප්‍රභේදයක් පැවතීම ය. මොල්ටෝ බස ව්‍යවහාර කරන ලක්ෂයක පමණ ජනයා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සිටිති. බලුකිස්තානයේ භාවිතා වන බ්‍රාහ්වි වනාහි ද්‍රාවිඩ භාෂා අතර උතුරින් ම පිහිටා ඇති භාෂාව ය. මුල ද්‍රාවිඩයෙන් ප්‍රථමයෙන් ම බිඳී ගිය බස එය යැයි සැලකේ. මෙසේ ඉන්දියාවේ උතුරුදිගින් එක් කොණක බ්‍රාහ්වි භාෂාව ද අනෙක් කොනේ කුරුක්ස් භාෂාව ද ඊසාන දිගින් මෝල්ටෝ භාෂාව ද පිහිටා තිබීමත් තවත් දුරට මධ්‍යම ඉන්දියාවේ ද විවිධ ද්‍රාවිඩ භාෂා අවශිෂ්ට ව තිබීමත් නිසා අතීතයේ එක් අවධියක සමස්ත අර්ධද්වීපය පුරා ද්‍රාවිඩ භාෂා පැතිරී පවතින්නට ඇතැයි උපකල්පනය කිරීමට හේතුවක් ව තිබේ. ඉන්දු ආර්යය භාෂා ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දැනට තැනින් තැන තනි වූ භාෂා ඒකක බවට පත්වන්නට ඇතැයි ඒ අනුව කියනු ලැබේ. මේ උපකල්පන තවත් අතකින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද්‍රාවිඩ ශිෂ්ටාචාරයක් වීය යන අදහස ස්ඵුට කිරීම පිණිස ද යොදා ගෙන ඇත. එහෙත් මෑතක දී බ්‍රාහ්වි භාෂාව පිළිබඳ අධ්‍යයනයක් කළ වාග්වේදීන්ගේ නිගමනය වී ඇත්තේ එම භාෂකයන් තම නිජබිම වූ ඔරිස්සා සහ බිහාර් ප්‍රදේශයන්හි සිට බටහිරදිගට සංක්‍රමණය වූ පිරිසක් ය යන්න ය.

ද්‍රාවිඩ භාෂා ගණය සහ ලෝකයේ අන්‍ය භාෂා ගණ අතර ඥාතිත්වයක් දැකීමට විවිධ ප්‍රයත්න දැරී තිබේ. එකක් නම් පැරණි මෙසපොතේමියාවේ පැවැති ඒලම් ශිෂ්ටාචාරය හා විශේෂයෙන් එහි භාෂාව සහ ද්‍රාවිඩ භාෂා අතර සබඳතාවක් දැකීමට දරන ලද වෑයම ය. මෙය ශාස්ත්‍රීය පදනමකින් සිදුනොවූවක් බැවින් අසාර්ථක විය. දෙවැනිව ද්‍රාවිඩ භාෂා සහ හන්ගේරියන් භාෂාව ඇතුළත් ෆිනෝ-උග්‍රික් භාෂා ගණය අතර සබඳතාවක් දැකීමට දැරූ වෑයම ය. මෙහි දී ශබ්ද විද්‍යාත්මක හෝ පද විද්‍යාත්මක පදනමකින් තොරව හුදු සාංස්ථිතික මූලධර්ම අනුව තර්ක ඉදිරිපත් වූයෙන් එය අසාර්ථක ප්‍රයත්නයක් බවට පත්වුණි. තෙවැනිව මොහෙන්ජොදාරෝ සහ හරප්පා නටබුන්වලින් පැනෙන ඉන්දු නිම්න ද්‍රාවිඩ ශිෂ්ටාචාරයක්ය යන මතය ඇතැම්හු ඉදිරිපත් කරන්නට වූහ. මෙය “අතිශය මනස්කාන්ත වූවාක් මෙන්ම ස්ඵුට කිරීමට අතිශය දුෂ්කර වූ ද උපකල්පනයකි” යනු ද්‍රාවිඩ භාෂා අධ්‍යයනයන්හි ප්‍රාමාණික විද්වතෙකු වන මහාචාර්ය සැන්ෆර්ඩ් බී. ස්ටීවර්ගේ අදහස ය. මීට ප්‍රධාන හේතුව ඉන්දු නිම්න මුද්‍රාවන්හි එන අක්ෂර තවම පිළිගත හැකි කියවීමකට භාජනය වී නොතිබීම ය. ඒ අතර ම ඉපැරණි භාෂාවක් හා අද්‍යතන ව්‍යවහාරයේ පවතින භාෂාවක් සංසන්දනය කෙරෙන විට වත්මන් බසෙහි ඉපැරණි ස්වරූපයේ උපකල්පනයන් වාග් විද්‍යාත්මකව සකසා ගෙන එම සංසන්දනය කළ යුතුව ඇත. එහෙයින් ඉහත කී එම සබඳතා සෙවීම් සාර්ථක වී නොමැති බව කිව යුතු වේ.

(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ද්‍රාවිඩ_භාෂා&oldid=5250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි