දාරා ශුකෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dara Shukoh/Shikoh). විශ්මය දනවන විශ්ව නිර්මාණ අතරින් එකක් වූ ඉන්දියාවේ ටජ් මහල්හි නිර්මාතෘ ෂා ජහාන් අධිරාජයාගේ හා එම නිර්මාණයට පාදක වූ මුම්ටාස් මහාල්ගේ වැඩිමහල් පුත්‍රයා දාරා ශුකෝ විය. සියලු කලාවන් සහ සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දැක්වූවා වූ ද ඒවා පෝෂණයට සියලු ආකාරයෙන් දායක වූවා වූ ද සමකාලීන දිල්ලි වැසියන්ගේ හද සසල කර වූ ඉරණමකට මුහුණ පෑවා වූ ද මේ මිනිසාට ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි විය යුතුය.

1614 වසරේ දාරා උපත ලබන සමයේ ඔහුගේ පියා ප්‍රදේශීය පාලකයකු ව සිටියේ ය. ෂූජා අවුරංග්සෙබ්, මුරාද්, ජහනාරා හා රෝෂනාරා මොහු හා එක කුස ඔත් සොහොයුරු සොහොයුරියෝ වූහ. සහජයෙන් ම නිවුණ වූ ගති ඇති මොහු සිය පියාගේ වැඩි ආදරය දිනා ගැනීමට සමත් වූ අතර 1631 වසරේ මොවුන්ගේ මව මිය ගිය පසු සිය නෙත් මානයෙන් මොහු ඉවත් කිරීමට ෂා ජහාන් අකමැති විය. පියාගේ දැඩි ආදරය නිසා නිතර ම රජ වාසල රැඳී සිටීමට සිදු වූ හෙයින් එදා පාලකයකුට අවශ්‍ය වූ යුද පුහුණුවක් ලැබීමට අවකාශයක් නොලදින් ඔහු හොඳ යුද භටයෙක් හෝ සෙන්පතියකු හෝ නොවී ය.

සිය මුත්තණුවන් වූ අක්බාර් සේ ම දැනුම සොයා ගිය ඔහු ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්වතෙක් විය. අරාබි, පර්සියානු, සංස්කෘත භාෂා පිළිබඳ හසල දැනුමක් ඔහු සතු විය. උපනිෂද්, භගවත් ගීතාව, යෝග වශිෂ්ධි, රාමායණය ඔහුගේ අතින් පර්සියානු බසට පෙරලිණ. සුෆි දර්ශනය පිළිබඳ ලැයිස්තුවක් ඔහුගේ අනුග්‍රහයෙන් පිළියෙල විය. මේ කෘතිවලන් සමහරක් පර්සියානු සාහිත්‍යයේ අග්‍ර ඵල සේ විචාරකයෝ හඳුන්වති.

ලොව උතුම් වූ සාරවත් දෙය ම අගය කළ නිදහස් මතධාරී මිනිසකු වූ ඔහු ආගමට සම්බන්ධ වේදාන්ත, ක්‍රිස්තියානි දහමට සම්බන්ධ වේදාන්ත, ක්‍රිස්තියානි දහමට සම්බන්ධ අලුත් තෙස්තමේන්තුව, යුදෙව් ආගමේ මූලික නීති සංග්‍රහය අඩංගු තාල්මුද් ග්‍රන්ථය, සුෆි නිකායික ලේඛකයන්ගේ ලේඛන ද හැදෑරුවේ ය. බ්‍රාහ්මණ, කිතුණු, මුස්ලිම් උගතුන් හා ශාස්ත්‍රිය සංවාදයන්හි යෙදුණේ ය. මෙයින් බහු ආගමික රටක් වූ ඉන්දියාවේ විවිධ ආගමිකයන් අතර සුහදතාවත්, සහජීවනයත් ඇති කිරීමට අපේක්ෂා කළ අතර එකිනෙක ආගම් පිළිබඳ දැනීමක් ලබා ගැනීමට මේ උගතුන්ට හැකි විය. ඔහු ආගමික පිස්සකු නොවූ අතර ඉස්ලාම් ආගම අත්හැරියේ ද නැත. ලෝක ප්‍රකට ඉංග්‍රීසි කවියකු කීවේ ලොව ආගම් අතර ආගමික සබඳතාව ඇති කිරීමට හොඳ ම මාර්ගය දාරා ගත් මඟෙහි ගමන් කිරීම බවයි. පසු කාලීන බොහෝ ඉතිහාසඥයින් ප්‍රකාශ කරන්නේ නිරන්තර ආගමික ගැටුම් පවතින ඉන්දියාවේ සාමය ඇති කිරීමට නම් දාරා ශුකෝ නැවතුණු තැන සිට නැවත පටන් ගත යුතු බවයි. නූතන ඉංග්‍රීසි විද්වතකු වන සර් විලියම් ස්ලීමන් ප්‍රකාශ කරන්නේ යම් හෙයකින් එදා දාරා ඉන්දියාවේ පාලකයා වන්නට වරම් ලැබී නම් එය ඉන්දියානු අධ්‍යාපනයේ, කලාවේ වාසනාවක් වන්නට තිබුණු බවයි. සිය ආගමේ නීතියෙන් ම බිරින්දන් කීප දෙනකු පාවා ගන්නට අවසර තිබුණ ද ඔහු සිය එක ම බිරිඳට ආදරණීය සැමියා විය. ඉන්දීය කාර්යාල කටුගෙහි ඔහුගේ ම අත් අකුරින් ලියැවුණු වැකිය සහිත ඇල්බමය ඔහුගේ දයාබර බව පිළිබඳ නිදසුනක් වැන්න. “මේ ඇල්බමය සිය දයාබර ම සමීපතම හිතවතාට පිරිනැමේ. නදීරා බේගම් ආර්යාවට ෂා ජහාන් අධිරාජයාගේ පුත් මුහම්මද් දාරා ශුකෝ කුමාරයාගෙන් වසර 1051 දී ය.” (ක්‍රි.ව. 1641-42) යනුවෙන් එහි ලියැවී තිබේ.

එහෙත් ඔහු ජීවත් වූ යුගයේ රටක පාලනයක් භාර ගැනීමට උරුමය තිබූ අයකුට අවශ්‍ය වූයේ මේ දක්ෂතාවන් නොවේ. තමා පවුලේ වැඩිමලා හෙයින් පිය උරුමයෙන් පාලනය තමාට භාර විය යුතුය'යි ඔහු විශ්වාස කළ අතර ෂා ජහාන් රජුගේ අභිලාෂය ද එය ම විය. එසේ වුව ද බාල සොහොයුරු අවුරන්ග්සෙබ් එසේ කල්පනා නොකළේ ය. පිය රජු විසින් තරුණ වියේ දී ම ඩෙකෑනයේ උපරජු ලෙස යවනු ලැබූ ඔහුට දාරා ශුකෝගේ විරුද්ධවාදීකම් නිසා එය අත්හැරීමට සිදු විය. ඔහු රාජ සභාවට පැමිණිය ද මේ විරුද්ධවාදීකම් නිසා නැවත ඔහුට ඩෙකෑනයට යෑමට සිදු විය. අවුරන්ග්සෙබ් ගොල්කොණ්ඩා ප්‍රදේශයට පහර දී එය ඈදා ගැනීමට තැත් කළ අවස්ථාවේ දාරාගේ බලපෑම නිසා පිය රජු එයට ද අවසර නුදුන්නේ ය. මෙසේ සොයුරන් දෙදෙන අතර තරුණ වියේ සිට ම එදිරිවාදිකම් ඇති වී තිබිණ. අහංකාර ගති ඇති දාරා කිසිවකුගේ අවවාද පිළිගැනීමට අකමැති වූ අතර පහසු පර්‍වතයටත් නිදහසටත් ප්‍රිය කළ බව කියැවේ.

1657 වසරේ ෂා ජහාන් රෝගී වන විට අග්‍රාහි ඔහු සමීපයේ සිටියේ මොහු පමණි. පියාගේ රෝගී තත්ත්වය පිළිබඳ සිය සොහොයුරන්ට දන්වා යවන ලදින් ඔවුන් සිතුවේ සිය පියා මිය ගොස් ඇති බවත් දාරා එය සඟවා බලයට පැමිණ එය ස්ථාවර කර ගන්නා අදහසින් ක්‍රියා කරන බවත් ය. රාජ උරුම සටන් එතැන් සිට ඇරඹිණ.

දාරාගේ වැඩිමහල් ම බාල සොයුරු ෂුජා රාජ්මහාල්හි සිට අධිරාජත්වය ප්‍රකාශ කොට අග්‍රා වෙත බල සෙනඟ ගෙන පැමිණිය ද දාරාගේ පුත් සුලයිමාන් විසින් පරදවන ලදි. බාල සොයුරන් වූ මුරාද් හා අවුරන්ග්සෙබ්ගේ ඒකාබද්ධ සේනා හමුදාවන්ට දාරා 50,000ක සේනාවක් ගෙන සමුගා වෙත ගියේ ය. රාජ්පුත්වරුන්ගේ සහාය ද මෙයට ලැබී තිබුණත් පුහුණුවක් හෝ පලපුරුද්දක් නැති, විවිධ ජාතීන්ගෙන් සෑදුණු මේ සේනාව ගණනින් පමණකි, විශාල වූයේ. දැඩි සටන් අතරේ දාරාගේ ඊයක් වැදී තුවාල වූයෙන් ඔහු ඇතු පිටින් බැස අශ්වයකු මතට නැඟ ගත් අතර දාරාගේ ඇතුගේ හිස් හව්ඩාව දුටු සේනාව තම නායකයා විනාශ වී යයි හිසු ලූ ලූ අත දුවන්නට වූහ. දාරා ද අග්‍රා වෙත පලා ගිය අතර අවි ආයුධ සතුරන් අතට පත් විය. අග්‍රා වෙත ආ අවුරන්ග්සෙබ් දාරාට පක්ෂපාතී සිය පියා ද සිරභාරයට ගෙන දාරා ලුහු බඳින්නට විය. ධර්මාන්, සමුගාර් ආදී ස්ථානවල දී වූ සටන්වලින් දාරා පරාජය වූ අතර ඔහු පුත් සුලයිමාන් සතුරන් අතට පත් වූයේ ටික ටික වස දී මරා දමනු ලැබී ය. රැකවරණය පතා දිල්ලිය, ලාහෝරය, මුල්තානය හා ගුජරාටය දක්වා ගිය දාරාට ගුජරාටයේ නව ආණ්ඩුකාර ෂා නවාස් ඛාන්ගෙන් මුදලින් ආධාර ලැබිණ. නැවත රාජ්පුත් ආධාර ඇතිව සටන් ඇරඹීමට ඔහු අදහස් කළ ද පැතූ ආධාර නොලැබිණ. අජ්මර් සිට දියෝරායි වෙත ගිය දාරා හා අවුරන්සෙබ් අතර දින තුනක සටන් පැවතිණ. 1659 වසරේ අප්‍රේල් මස 12-14 අතර වූ මේ සටනින් පරාජය ලැබූ දාරා සිය ජීවිත ආරක්ෂාව පතා රාජපුතානා, කුචි, සින්ද් හරහා ද බෝලාන් දුර්ගය හරහා දාදුර්ගි ඇෆ්ගන් නායකයකු වෙත ද ගියේ ය. මොහු වසර ගණනාවකට පෙර ෂා ජහාන් විසින් මරණයට නියම කොට සිටි, දාරාගේ මැදිහත් වීමෙන් දිවි ගලවා ගත් අයෙක් විය. මේ අතර දාරාගේ ආදරණීය බිරිඳ නදීරා රෝගී වී මිය යාම දාරාට උසුලාගත නොහැකි දුකක් විය. කළ ගුණ අමතක කළ ඇෆ්ගන් නායකයා දාරා අල්ලා අවුරන්ග්සෙබ්ගේ මිත්‍රයකුට භාර දුන්නෙන් දාරාගේ පලා යාම එතැනින් අවසන් විය.

1659 අගෝස්තු 23 වැනි දින දිල්ලියට ගෙන එනු ලැබූ දාරා නගරය පුරා ප්‍රදර්ශනය කරමින් ගෙන යන ලදී. කළ හැකි ඉහළ ම නින්දාවට භාජනය කරනු වස් කිලිටි ඇතින්නක් මත පැනවූ ආවරණයක් නැති හව්ඩාවක හිඳුවා දැඩි අව්වේ සියලු වීදි දිගේ ඔහු ගෙන ගිය අයුරු සමකාලීන ඉතිහාසඥයෝ විස්තර කරති. වට පිට නොබැලූ දාරා මැලවුනු දල්ලක් සේ හිස නමාගෙන ගිය අයුරු දුටු දිල්ලි වැසියෝ එළිපිට ම මහා හඬින් විලාප කීවෝලු. මේ අතර දාරාට පක්ෂ වැසියන් දාරා අල්ලා දුන් මලික් ජිවාන්ට විරුද්ධ ව කැරැල්ලක් ඇති කිරීම දාරාගේ අවසන් ගමන ඉක්මන් කිරීමට සමත් විය. දාරා වෙත සිටි බාල පුත් සිෆීර් ඔහුගෙන් ඉවත් කොට දාරාගේ හිස ගසා දමන ලදී. ඉන් පසු දිල්ලි වැසියන්ගේ ආදරය දිනූ නායකයා අවසන් ගමන් ගිය බව දැක්වීමට ඔහුගේ සිරුර නගරය පුරා ප්‍රදර්ශනය කරවමින් ගෙන යන ලදි. අවසානයේ දාරගේ සිරුර හුමායන්ගේ සොහොනෙහි පැත්තක මිහිදන් කරන ලදි.

තමාට පාලනය කළ නොහැකි විවිධ බලවේගයන් හමුවේ හතලිස් පස් වසරකට සීමා වූ ඔහුගේ මෙලොව දිවිය මෙසේ අවසන් වුව ද ඔහුගෙන් කලාවට හා සාහිත්‍යයට වූ සේවය තවත් බොහෝ කල් පවතිනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

AN ADVANCED HISTORY OF INDIA MAJUMDAR RAYCHAUDRI DATTA

CAMEBREIDGE HISTIRY OF INDIA - VOL IV

(කර්තෘ: සුමනා ඇල්ලේපොල)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දාරා_ශුකෝ&oldid=5429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි