දාවිත් ද සරම් මුදලි
ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසීන්ට නතුව පැවැති කාලයේ රාජකීය අනුග්‍රහය නොලැබ පිරිහෙමින් පැවැති සිංහල සාහිත්‍යයට නව පණක් ලබා දීමට සමත් වූ සව් සත් දම් වාදයට මුල් වූ ගංගා රෝහණ පින්කම් මාලාව කරවන ලද්දේ දාවිත් ද සරම් මුදලි විසිනි.
තමන්කඩු දිසාපති පරපුරට අයත් ව සිටි දුමිංගු ද සරම් විජේසේකර අබයරත්න ගාර්දියේ මුහන්දිරම්ගේ පුතකු වූ දාවිත් ද සරම් විජේසේකර තිලකරත්න නම් ලත් මොහු උපන් වර්ෂය දැන ගන්නට නැතත් ඔහු 18 වන සියවස අග භාගයේ ජන්ම ලාභය ලැබූවෙකු බව පෙනේ. මාතර වැලිවේරිය ගමේ උපන් මොහු ජීවත් ව සිටි වලව්වට අයත් භූමියේ අද මාතර රාහුල විද්‍යාලය පිහිටා තිබේ. එකල පන්සල් ආශ්‍රයෙහි අධ්‍යාපනය ලත් මොහු සිංහල, පාලි හා සංස්කෘත පමණක් නොව වෛද්‍ය ශාස්ත්‍රය, ගණිතය, ජ්‍යොතිශය, ඡන්දස් ආදී විවිධ ශාස්ත්‍රයන් උගත්තේ ය.
පාලකයන්ගේ සිත් දිනාගෙන රාජකාරී කළ සිය පරපුරේ පැරැන්නන් මෙන් ම මොහු ද මුලින් කඩ වීදියේ මුහන්දිරම් තනතුර දැරී ය. මේ බව නිසා පසුව මොරවක් කෝරළය, කන්ද උඩ පත්තුව, වැලිගම් කෝරළේ, මාතර ගඟ බඩ පත්තුවේ සහ බත්ගම්හි මුදලි ධුරය මොහුට පවරන ලදි. මේ තානාන්තර දැරීමෙන් ද විශාල ධනයක් උපයා ගන්නට මොහුට හැකි විය. සිය දෙමව්පියන්ගෙන් ද විශාල ධනයක් මොහුට උරුම විය. සිය වස්තුව ස්වාර්ථය පතා ම රැස් නොකළ මොහු ප්‍රදේශයේ දිළින්දගේ ජීවන තත්වය නැංවීමට සිය ධනයෙන් කොටසක් කැප කළේ ය.
මහා කණහ ජාතකය අළලා කෘතියක් කළ මොහු තමා කළ සියලු පින්කම් සටහන් කර පින් පොතක් ලිවී ය. මෙය සමකාලීන සමාජ තත්ත්වය විදහාලන කැඩපතක් වැන්න. සිය මිනිබිරියකට අවවාද වශයෙන් කෙටි කාව්‍ය සංදේශයක් ද ලිවී ය.
1806 දී ඔහු කළ ගංගා රෝහණ පූජාව අසදෘශ එකක් සේ සැලකේ. නිල්වලා ගඟේ ගොඩපිටියේ සිට මාතර දක්වා බණ මඩු සාදවා ඉතා විචිත්‍ර අන්දමින් විසිතුරු කොට, මල්කම්, ලියකම්, තොරණ ආදියෙන් අලංකාර කොට පාරුවල සංඝයා වහන්සේලා ලවා දහම් දේශනා කරවන ලදි. නිල්වලා ගඟෙහි දිය මතුපිට තුන් මහල් ධාතු මන්දිරයක් කරවා සර්වඥ ධාතු වඩම්වා විවිධ පුද පූජා හා පින්කම් කරවන ලදී. රාත්‍රී පහන් වනතුරු පහන් පූජා හා ගිණි කෙළි ද පවත්වනු ලැබී ය. මෙවැනි පූජාවන් පහක් කළ අතර විශාල ජන සංඛ්‍යාවක් ගඟ දෙපස රැස් වී මේ පූජාවන් නැරඹූහ. මේ පින්කම වර්ණනා කොට තෝමස් සමරසේකර දිසානායක කවියා ගංගා රෝහණ වර්‍ණනා නම් කාව්‍යයක් සංග්‍රහ කළේ ය. සතුටට පත් සරම් මුදලි තුමා මේ කාව්‍යයේ කිසියම් වරදක් ඇතොත් දක්වන්නැයි පවසමින් සිය උගත් මිත්‍රයන්ට මෙහි පිටපත් යැව්වේ ය. කිසිවකු කාව්‍යයේ වරදක් නොදුටුව ද මෙහි “සසර සරණ සව් සත් දම් අමාවෙන් සතොස්වා” යන කවියෙන් කියැවෙන්නේ ‘සරම්’ යන නම නොව ‘සරදම්’ යන්නය'යි මීරිපැන්නේ හිමි දන්වා එවී ය. මෙයින් පසු කලක ‘සව් සත් දම් වාදය’ ඇතිවිය. දෙපක්ෂය ගෙන ලියන ලද කාව්‍යමය තර්ක විතර්කවලින් සාහිත්‍යයේ නව පිබිදීමක් ඇති විය.
දාවිත් ද සරම් මුදලි තුමා සිය ධනයෙන් කොටසක් ප්‍රදේශයේ බොදු වෙහෙර විහාරවල උන්නතිය සඳහා වැය කළේ ය. මාතර හිත්තටිය රජ මහා විහාරයටත් තිහගොඩ පෙතංගොඩ විහාරයත් ඉඩකඩම් පූජා කළේ ය. සිය දිග කෙස්වැටිය කපා, රන් නූලකින් බැඳ දූවිලි පිස්නාවක් සඳහා ගොඩපිටිය රජ මහා විහාරයට පූජා කළේ ය. එය අද දක්වාත් එහි සුරැකිව තිබේ.
ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා නාදුගල වේල්ල එක දවසින් ම තනවා නිම කරවී ය.
එකල මාතර විසූ දොන් ආබ්‍රහම් ඉලංගකෝන් මුදලිගේ දියණියක හා විවාහ වී සිටියේ ය.
ආශ්‍රිත ග්‍රන්ථ
මාතර පුරා විද්‍යාත්මක ඉතිහාසය - කඹුරුපිටියේ වනරතන හිමි
පින්පොත - රසවාහිනී සඟරාව - ජස්ටින් පී. විජයවර්ධන
ගංගා රෝහණ වර්‍ණනා කාව්‍යය - ඩී.එෆ්. අබේවික්‍රම
සිංහල සාහිත්‍යය - සී.ඊ. ගොඩකුඹුර
සිංහල ලේඛන පරපුර - කේ.ඩී.පී. විතාරණ
(කර්තෘ: සුමනා ඇල්ලේපොල?)
(සංස්කරණය නොකළ)