දැදිගම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දැදිගම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි. කෑගලු දිස්ත්‍රික්කයේ කීරවැලි පත්තුවේ බෙලිගල් කෝරළයේ පිහිටා ඇති නෙළුන්දෙනිය මංසන්ධියේ සිට ගලපිටමඩ මාර්ගයේ සැතපුම් 2,1/2ක් පමණ දුරින් මේ ස්ථානය හමු වේ. මාර්‍ගයේ වම් පසින් පැරණි විහාරය හා පැරණි බෝධිය පිහිටා ඇත. ඒ බෝධිය අසල 6 වන බුවනෙකබා රජතුමාගේ අභයදාන ශිලා ලිපි ස්ථාම්භය ද දකුණු පසින් සූතිඝර චේතිය හා පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටා ඇත.

ප්‍රදේශයේ මධ්‍යයේ කුඹුරු යාය හා නගරය පිහිටා ඇති අතර එය වඩාත් දර්ශනීය වන්නේ බැලුංගල කන්ද, මල්දෙනිය කන්ද, මිනිවැරු කන්ද වැනි උස් බිම්වලින් වට වී ඇති නිසා ය. පුරාණ කාලයේ ප්‍රත්‍යන්ත ජනාවාස ප්‍රදේශයක් වශයෙන් පැවති දැදිගම සෙල්ලිපිවල හා සාහිත්‍ය කෘතිවල විවිධ නම්වලින් හදුන්වා ඇත. 6 වෙනි බුවනෙකබාහු රජුගේ අභයදාන ශිලා ලිපියෙහි ඥාති ග්‍රාම වශයෙන් ද පාලි වංශකථාවල පුංඛ ග්‍රාම වශයෙන් ද වෘත්තමාලාවෙහි ජංති ග්‍රාම වශයෙන් ද 14 වන සියවසට අයත් තිසර සන්දේශයෙහි දැතිගම වශයෙන් ද සඳහන්ව ඇත. මුතු කෙළිය, මාලිගා තැන්න, උයන්වත්ත, මල් මැස්ස, යගදා ගොඩැල්ල වශයෙන් ගැමියන් දැනට ද ව්‍යවහාර කරන ස්ථාන නාම සම්බන්ධයෙන් රජ පවුල් ජීවත් ව සිටි බවට ජනප්‍රවාද ගොඩ නැගී ඇත.

1954 සිට 1960 දක්වා කොටවෙහෙරෙහි කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් හා පර්යේෂණවලින් අනතුරුව දැදිගම මහත් ප්‍රසිද්ධියට පත් විය. ඊට පෙර කොටවෙහෙර ගජබා රජුගේ කෘතියක් සැලකුණු අතර එතුමාගේ යගදාව මෙහි තැන්පත් කර ඇති බවට විශ්වාසයක් තිබිණ.

1954 කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ හා කැණීම් අනුව මෙම චෛත්‍යය පරාක්‍රම රජතුමා සිය උපන් ගම වන පුංඛ ග්‍රාමයේ උපන් ස්ථානය සිහිවීමට ඉදි කරන ලද සුතිඝර චේතිය බව පිළි ගත්තේ ය. එහෙත් වංශකථාවල දැක්වෙන්නේ පුතිඝර චේතිය රියන් 120ක් උසට පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානය සිහිවීමට සදා නිම කරන ලද චෛත්‍යයක් වශයෙනි.

වංශ කථාවල එසේ දැක්වෙතත් කොඩ්රින්ටන් මහතා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පිළිගැනීමට ප්‍රථම මෙම චෛත්‍යය සුතිඝර චේතිය බව පිළිගෙන තිබිණ. එතුමා එසේ පිළිගැනීමට හේතුව වශයෙන් දැක්වූයේ චෛත්‍යයේ විශාලත්‍වය හා දක්‍ෂිණ දේශයේ පරාක්‍රම යුගයේ කරන ලද චෛත්‍යයක් මෙයට අමතරව නොමැති නිසා ය. දක්‍ෂිණ දේශයේ ඇත්තේ චෛත්‍ය දෙකකි. අනෙක රඹුක්කන දැලවල පිහිටා තිබෙන අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයකි. එකල ඉතිරි වන්නේ මෙය පමණකි.

පරණවිතාන මහතා ද මෙම චෛත්‍යය පැරකුම්බා රජු දවසට පෙර නිර්මාණය කරන ලද කෘතියක් නොවීම හා පුංඛ යන පාලි නාමය සිංහල නාමයකින් බිහි වී තිබීම යන කරුණු දෙක නිසා සුතිඝර චේතිය බව පිළිගෙන ඇත. දැති යන සිංහල අර්ථය සඳහා පාලි පුංඛ යන වචනය අර්ථය වශයෙන් දී ඇති බව සෝරත හිමියෝ ද පවසා ඇත්තාහ.

කරන ලද කැනීම්වල දී විශාල චෛත්‍යයේ එක පාර්ශවයක එයට සම්බන්ධවන කුඩා චෛත්‍යයක් මතු විය. (පිංතූරය)

පිංතූරයේ දැක්වෙන්නේ විශාල චෛත්‍යයේ කුඩා චෛත්‍යය සම්බන්ධ වන ස්ථානයයි. 3 වන පේසා වළල්ලට ආසන්නව ඇති කොටුව කුඩා චෛත්‍යයෙන් හාරා ගන්නා ලද ධාතු ගර්භය පිහිටි ස්ථානයයි. කුඩා චෛත්‍යය 3 වන පේසා වළල්ල ම මධ්‍ය උසින් පිහිටා ඇති අතර ඊට අනුරූපව චෛත්‍යයේ විශාලත්වය විහි දී ගොස් ඇත. කුඩා චෛත්‍යය නිම වූ එකක් වන අතර පරාක්‍රමබාහු රජතුමාගේ මුල් කාලයේ තමන් උපන් ස්ථානය සිහි කිරීමට නිම කළ එකක් බවත් පසුව මුළු ලක එක්සේසත් කිරීමෙන් පසුව එය ප්‍රමාණවත් නොවේය යන අදහස මත කුඩා චෛත්‍යය සුතිඝර චේතියේ එක් පාර්ශවයකට සම්බන්ධ කර සාදා ඇති බව විශ්වාසයයි. කුඩා චෛත්‍යය මහා චෛත්‍යය මැදි නොකළ පසකට සම්බන්ධ කිරීමේ හේතුව වශයෙන් පෙනෙන්නේ භූගෝලීය පිහිටීම විය හැකි ය.

පරාක්‍රමබාහු රජතුමාගේ මුල් ම රාජධානිය සංකනායකත්තලි (හක්නාගොඩ) බවත් History of Ceylom Pg. 443. Vloum Part 11 එහි දී එතුමා භාෂාව, ආගම, සාහිත්‍යය, යුද්ධ පාලනය, නාට්‍ය සංගීතය, අවි ආයුධ භාවිතය වැනි ශිල්ප ඉගෙනගත් බවක් සඳහන් වේ. ඉන් අනතුරුව පඬුවස් නුවර (පරාක්‍රම පුරය) රාජධානිය පිහිටුවා ගත් බවත් ඉන් අනතුරුව පොළොන්නරුවේ ගජබාහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ බවත් ඉතිහාසයෙන් හෙළි වේ. එම යුද්ධය දිග දුර නොගොස් සමඟි සන්ධානයට පත්වුණ බව සංගමු විහාර ශිලා ලිපියෙන් (E. Z. Vol. 4 pg. 6) හෙළි වේ. පසුව මුළු පොළොන්නරුව ම අල්ලා ගත් පසුවත් ලක එක්සේසත් කර ගැනීමට බාධකයක් ව තිබූ දළදා ධාතූන් වහන්සේ සියතට ගැනීමට සෙන්පතියෙකුගේ නායත්‍වයෙන් යුතු භට කණ්ඩායමක් සුගලා දේවිය සමඟ සටන් වැදීමට දක්‍ෂතය දේශයට යවන ලදුව ඉන් ජය ලැබීමෙන් ගජබාහුගෙන් පසුව පරාක්‍රමබාහු රජතුමා මුළු ලක එකසේසත් කරන ලද බව ඉතිහාස තොරතුරු සපයා ඇත.

රජ කිරුළ පැලඳීමත් සමඟ සතුරු ආක්‍රමණවලින් විනාශයට පත් වී තිබූ අනුරාධපුරයේ වෙහෙර විහාර රාශියක් ප්‍රතිසංස්කරණය කළේ ය. එසේ ම විශාල වැව් අමුණු වාරිමාර්‍ග කර්මාන්ත රාශියක් ද ඉදිකළේ ය. බුද්ධ ශාසනයේ දියුණුවට විශාල සේවාවන් රැසක් ම කළේ ය. ඒ සමඟ ම තමා උපන් පුංඛ ග්‍රාමයේ උත්පත්ති ස්ථානය සිහි කිරීමට මුල දී කරන ලද කුඩා චෛත්‍යය ප්‍රමාණවත් නොවන නිසා එය ද සුතිඝර චේතියට සම්බන්ධ කර ගොඩන්නට ඇත. එහෙත් රජතුමාගේ අවසාන කාලය නිසා වංශ කථාවල දැක්වෙන අයුරු එම චෛත්‍යය සම්පූර්‍ණ කරන්නට නොහැකි වන්නට ඇතැයි යනු උගතුන්ගේ විශ්වාසයයි.

කැණීම්වලින් මතු වූ අගනා වස්තු අතර ඇත් පහන, කාසි වර්ග හා නිදන් බුදු පිළිම ද වැදගත් ය. මෙයින් ඇත් පහන සුවිශේෂ අග්‍රගන්‍යයේ නිර්මාණයකි. ලෝකඩවලින් සුසිර ක්‍රමයට (මැද සිදුරු) තනන ලද ඇත් පහනේ විවිධ කොටස් හා හරස්කඩ පිංතූරයෙන් දැක්වේ. මෙම ලෝකඩ මූර්තිය අගනා වස්තුවක් වන්නේ කරුණු කිහිපයක් නිසා ය. (පිංතූරය - සුප්‍රකට ඇත් පහන එහි හැඩතල) පහන පිරවීමට පොල්තෙල් පුරවන්නේ පාදයේ සිට ඇතාගේ කුසට යන ලෙස සකස් කර ඇති ක්‍රමයෙන් පාදයේ සිට කුඩා වී යන නලයකිනි. නලය සම්පූර්‍ණයෙන් මුදුනේ දී නොගෑවන ලෙස සකස් කර ඇත්තේ ඇත්කුස සම්පූර්‍ණයෙන් ම තෙල් පිරෙන නිසා ය. අඩු කොටස වාතයෙන් පිරී ඇත. පහන දැල්වෙන කල දැවෙන තෙල්වල අඩුව පිරවීමට ලිංගයේ ඇති සිදුරෙන් පහළට තෙල් වැගිරේ. තෙල් අඩු වන කල වායුව පිරීම නිසා ඇති වන පීඩනයේ ක්‍රියාකාරිත්වය අනුව උපකරණය සකස් කිරීමට තරම් විද්‍යාත්මක න්‍යායක් එදා දැන සිටි බව ඉන් පැහැදිලි ය. කුහරය සහිත වස්තූන් නිර්මාණයට තරම් දියුණු තාක්‍ෂණික දියුණුවක් (සුසිර ක්‍රමය) දැන සිටි බව ද එයින් පෙන්නුම් කරයි. එම විද්‍යාත්මක හා තාක්‍ෂණික ඥාන සේද මාර්‍ගය ඔස්සේ ලැබෙන්නට ඇතැයි ඉතිහාසඥයින්ගේ විශ්වාසයයි. මෙහි දී හමු වූ විවිධ කාසි අනුව විදේශ ගනුදෙනු සබඳතා පැවති බව ද අනාවරණය වේ.

කලාත්මක වශයෙන් බලන කල දම්වැලේ ඇති ලියකම් පහනේ ඇති කැටයම් හා හැඩය අපූර්ත්‍වයෙන් යුක්ත ය. සම්පූර්‍ණ පහන දැකීමෙන් සිතපුරා යන විස්මයක් ඇතිවීම නිරායාසයෙන් ම සිදු වේ. කලාත්මක අගය උසස් වන අතර එය තුළට විද්‍යාත්මක හා තාක්‍ෂණික ඥානය ගැබ් වී තිබීම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට පත්වීමට හේතු වී ඇත.

වැඩිපුර කියවීමට

1. සඳකඩ පහණ හා වෙනත් ලිපි - ඩී.ටී. දේවේන්ද්‍ර

2. History of Ceylon Volume 1 part 11

3. MemoriÈ of the Archaeological survey of ceylon vol VII KOTAVEHERA AT DEDIGAMA C. E. Godakumara

4. E. Z. vol. 3

(කර්තෘ: පී.ඒ. ගුණරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දැදිගම&oldid=5140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි