දැනුමැති මාලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පියකු විසින් දියණියට දෙන ලද අවවාද ඇතුළත් උපදේශ පද්‍ය හැට අටකින් යුත් කාව්‍යයකි. මැණික් හා සමාන අවවාද සහිත දැනුමැතිකමට අම්මා කෙනක් දෙන අවවාද සහිත යෙදුම්වලින් මෙම ග්‍රන්ථ කර ඇත. සරල කවි සංකල්පනා මෙන් ම පුළුල් වූ ගාම්භීර අර්ථයන් ද දැක්වෙන පද්‍ය මෙහි බහුල ය. කාව්‍ය රචනයේ දී ජනවහර යොදා ගෙන ප්‍රබල ලෙසත් ව්‍යක්ත ලෙසත් අදහස් ප්‍රකාශ කර ඇත.

වතුර ලෙස සැපත සිදු වෙයි මඳක්වත්

යතුර මෙනි ගෙදර මේ පොත උගත්තොත්


වතුර ගලා එන්නාක් මෙන් සැපත උදා වීමත්, යතුර සම්බන්ධ උපමාවෙන් ආරක්ෂාව, වටිනාකම, අවශ්‍යතාව පිළිබඳ හැඟීම් රාශියක් ද ධ්වනිත ය.


රෝස වෙලා හිමි ගෙදරට ආ කලට

දෝස පිරුළු බස් නොකියන් ඉදිරිපිට

සවස කන්ට පිසදී බෝජන සොදට

එ දවස දුටු වරද කියනු තුටු කොට


පවුල් ජීවිතය සාමයෙන් සොම්නසින් ගත කිරීමට උවමනා උපදේශයන්ගෙන් පිරිපුන් මෙම පද්‍ය සංග්‍රහය උපදේශ සහ සාහිත්‍ය රසය නොමදව ලබා දීමෙහි සමත් ය.


වහල තෙමෙනදා අතූ නොවියන්න ගෙට

ලීල වෙලා හිටපන් කරපු වරදට

- 29 පද්‍යය


ගෝරු මඩේ පය තදකර යන්ඩ එපා

පාරු පදින සයුරේ පීනන්න එපා

- 66 පද්‍යය


මෙලෙස ඉතාම අර්ථවත් අදහස් රසවත්ව ශබ්දාර්ථයන්ගේ සුසංයෝජනයෙන් ද සිත් කාවදින ආකාරයෙන් ද නිර්මාණයෙහි කවියා සමත් ය. යහපත් සමාජ චාරිත්‍ර, ගුණ ධර්ම සාරධර්ම රැක ගනිමින් පවුල් ජීවිතය, පොදු ජන ජීවිතය නිරවුල් ව සාමකාමී ව ගත කරන්නට අවශ්‍ය ඉතා වටිනා අවවාද මාලාවකින් පරිපූර්ණ මෙය පද්‍ය සංග්‍රහයකි. උපදේශක කාව්‍යයක් වශයෙන් ද වැදගත් වේ.

(කර්තෘ: චන්ද්‍රා කරුණාරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දැනුමැති_මාලය&oldid=5157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි