දැව කර්මාන්තය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Timber lumbering). දැව යනු ගස්වල කඳන් ය. ගසක් විසින් මුල් මඟින් උරා ගන්නා ජලය සහ ලවණ කොටස් කොළ කරා ගෙන යාම කඳන්වලත් අතුවලත් ප්‍රධාන කාර්යයයි. මේ සඳහා යෙදවෙන්නේ ගස්වල පොත්ත අසල ම ඇති ලා පැහැයෙන් යුත් ඵලය නමින් හැඳින්වෙන කොටස පමණි. කඳන්වල සහ අතුවල දෙවෙනි කාර්යය කොළවල සහ අතුරිකිලිවල උසුලා සිටිමින් සමබරව බොහෝ විට ඍජුව ගසේ කරඬුව අහසේ රඳවා ගෙන සිටීමයි. මේ බර ඉසිලීම කරන්නට පාවිච්චි වන්නේ කඳක ඉරිමදය වටා ඇති පැරණි කොටසෙන් සමන්විත වන බොහෝ විට තද පාටකින් යුත් අරටුව හෙවත් හරය නමින් හැඳින්වෙන කොටසයි. සමහර ගස්වල ඵලය විසින් ද මේ කාර්යය කරනු ලැබේ. තෙල්, මැලියම්, ලාටු, ටැනින්, ටර්පන්ටයින්, ඩයි, ඇල්කලොයිඩ් ආදිය ගබඩා කර තබා ගැන්ම සඳහා අරටුව පාවිච්චි කරන ගස් වර්ග බොහෝ ඇත. කඳ මහත්වත්ම අරටුව දිරාපත් වන ගස් ද බහුල ය. දැව වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ අරටුව ය. තාල වර්ගයේ ගස්වල අරටුව පිහිටන්නේ කඳ මධ්‍යයේ නොව පොත්ත අසල ඇති පිටස්තර වට රවුමේ ය. තෘණ පවුලට අයත් ගස් වන උණවල කඳ මැද බොහෝ දුරට හිස් ය. මේ කඳන් ද දැව වශයෙන් බොහෝ සේ ප්‍රයෝජනයට ගනු ලැබේ.

ගස් වර්ග බොහෝ ඇත. ඒවායේ දැවවල ගුණාංග එකිනෙකට වෙනස් ය. විවිධ අවශ්‍යතා සඳහා සුදුසු විවිධ දැව වර්ග තෝරා ගැනීම පහසු ය. දැව අවශ්‍ය වන කටයුතු මහත් රාශියක් ඇත. ගොඩනැගිලි තැනීම සහ දර වශයෙන් පාවිච්චි කිරීම මින් ප්‍රධාන ය. ගොඩනැගිලි, බෝක්කු, පාලම්, ස්මාරක, වාහන, යාත්‍රා ආදියට යොදන ද්‍රව්‍යයක් මෙන් ම ඒවා තැනීමේ ක්‍රියාවලියට ආධාරයට ගන්නා ද්‍රව්‍යයක් වශයෙන් ද දැව අවශ්‍ය වෙයි. දුම්රිය මාර්ගවල හරස් යෙදුම්, ටෙලිග්‍රාෆ් මාර්ග, ටෙලිෆෝන් කණු, විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග, වැටවල කම්බි කණු, වැට වෙනුවට සිටුවන (කම්බි නැති) කණු ආදිය සඳහා ද මහා පරිමාණයෙන් දැව අවශ්‍ය වෙයි. ආසියාවේ සමහර තැන්හි සහ යුරෝපයේ බොහෝ තැන්හි මධ්‍යකාලීන නගරවල සියලු ගොඩනැගිලිවල ලිප සහ දුම් කවුලුවල හැර අන් සියලු කොටස් තනා තිබුණේ දැවවලිනි. වහල හෙවිල්ලුවේ ද ඇමෙරිකා මහාද්වීප දෙකේ උපනිවේශීන්ගේ ජනාවාසවල ගොඩනැගිලි පමණක් නොව එක් එක් ගොඩනැගිලිත් මුළුමහත් ජනාවාසත් ඉදි කරන ලද (තාප්පය වෙනුවට) ආරක්ෂක පවුර තනන ලද්දේ ද මුදුන් උල් කළ දැව කඳන් හෝ ඉරූ ලීවලිනි. දියලු ගොඩනැගිලිවල වහල හෙවිල්ලන ලද්දේ ද ලෑලිවලිනි. නිවර්තන රටවල පොල් අතු, තල අතු, තල් අතු, වේ අතු, තාල වර්ගයේ වෙනත් ගස් වැල්වල අතු, පිදුරු, මානා යන දේ බහුලව තිබූ නිසා ලෑලිවලින් වහල හෙවිල්ලන සිරිතක් පෙර දී නොවී ය. උෂ්ණ දේශගුණයේ දැව දිරාපත් වීම වේගවත් ය. එහෙත් නාගරික ප්‍රදේශවල දුප්පත් නේවාසික ගොඩනැගිලිවල වහලට ලෑලි ගසා ඒ මත තාර පැදුරු අතුරන සිරිතක් දැන් ඇත. ලන්ඩන් ගින්න (1666) සහ චිකාගෝ ගින්න (1871) ගොඩනැගිලිවල දැව භාවිතය අඩු කරන්නට හේතු විය. රිටවල්, හරස් පොලු, මුක්කු, පතල් ආධාරක, අවිආයුධ සහ ආවුදවල මිටවල්, ක්‍රීඩා උපකරණ, කෘෂි උපකරණ, පැන්සල්, ගෘහ භාණ්ඩ, ගෘහස්ථ නොවන ආසන සහ නොයෙකුත් ආකාරයේ පෙට්ටි වර්ග තැනීම දැවවලින් කරනු ලබන අනෙකුත් ප්‍රධාන කටයුතු අතරට ගැනේ. දැව ඉරන්නේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන සම්මත කරගත් ප්‍රමාණයන්ට අනුව ය. ඉරුම් මෝල්වලින් ඉවත් කෙරෙන ලී කුඩු ඉන්ධනයක්, පරිවාරකයක් සහ ඇසුරුම් ද්‍රව්‍යයක් හැටියට බහුලව පාවිච්චි වේ. දැව කල්ක තැනීමට ද ඒවා ගැනේ. ඉරුම් මෝල්වල හතරැස් කැපීමේ දී ඉවත් කරන ලී කැබලි ද පලුදු කැපීමේ දී ඉවත් කරන කැබැලි ද කඳන්වල පොතු ද යතු කුඩු ද ලී අමුද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කරන කර්මාන්තවලින් ඉවතලන කුඩු සහ කැබලි ද දැව කල්ක කර්මාන්තයට පාවිච්චි කරනු ලැබේ. කඩදාසි, කාඩ්බෝඩ්, හාඩ් බෝඩ්, චිප් බෝඩ් වැනි දේවල් ද රේයන් කෙඳි සහ ප්ලාස්ටික් ද ඊතයිල් මධ්‍යසාර, කෘත්‍රිම සත්ව ආහාර සහ යම් යම් රසායනික ද්‍රව්‍ය ද දැව කල්කවලින් නිපදවනු ලැබේ. සායම් වර්ග සහ පුපුරන ද්‍රව්‍ය නිපදවීමට ද ලී පෙර දී පාවිච්චි විය. රසායන විද්‍යාව දියුණු වීමත් සමඟ ගන්නා ප්‍රයෝජන අඩු වැඩි විය. විවිධ ප්‍රයෝජන මේ සා මහත් ගණනාවක් ලබා ගන්නා වෙනත් එක දෙයක් ලෝකයේ නොමැත. ඒ එක දෙය නැවතත් භාවිත කළ හැකි සම්පතක් වීම තවත් වටිනාකමකි. ශිෂ්ටාචාරය ආරම්භ වූ දින සිට මේ දක්වාත් ගිනි දල්වා අනාගතයටත් ගිනි දල්වන්ට පුළුවන්කම තිබෙන්නේ දැවවල අළුත් කළ හැකි ස්වාභාවය නිසා ම ය.

දැවවලින් කළ කාර්යය සඳහා ආදේශක යෙදීම දැන් දැන් විශාල පරිමාණයෙන් කරනු ලැබේ. ඉන්ධන වශයෙන් ගල් අඟුරු, ඛනිජ තෙල්, ජල විදුලිය, සූර්ය ශක්තිය සහ පරමාණු ශක්තිය යොදනු ලැබේ. ගොඩනැගිලි තැනීමට ලෝහ වර්ග, සිමෙන්ති, වීදුරු, ප්ලාස්ටික් වර්ග, මැටිවලින් තැනූ දේ, ගල් වර්ග, ඇස්බැස්ටස්, හුණු, වැලි ආදිය යොදනු ලැබේ. ගොඩනැගිලිවල සවිකිරීම සඳහා ද ගෘහ භාණ්ඩ සඳහා ද ලෝහ වර්ග සහ ප්ලාස්ටික් ආදේශ වේ. පාලම්, බෝක්කුවලට යෙදීමෙන් දැව සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. ටෙලිෆෝන්, විදුලි රැහැන්, ටෙලිග්‍රාෆ් කණු පමණක් නොව වැටවල්වල කණු සඳහා ද කොන්ක්‍රීට් පාවිච්චි වේ. දුම්රිය මාර්ගවල හරස් බාල්ක ද දැන් කොන්ක්‍රීට් ය. සියලු දේට ආදේශක ඇත. එහෙත් දැව සඳහා ඇති ඉල්ලුම අඩු වී නැත. මෙයට හේතුව දැවවල එක්රැස් ව ඇති ගුණාංග සියල්ල වෙනත් එක් දෙයක එක් රැස් ව නොතිබීමයි. දැව බරෙහි හැටියට ශක්තිමත් ය. මේ අතින් ඉහළ ම තැන ගන්නේ වේවැල් සහ උණ ලී වුවත් අරටු දැවවල තත්වය ලෝහ වර්ග බොහොමයක් හා සසඳන විට යහපත් ය. දැව සුළු ආයුදවලින් වුවත් කපන්නට ලියවන්නට ගෙවා දමන්නට හිල් කරන්නට පුරුද්දන්නට සහ කිහිප ආකාරයකින් ඇණ ගසන්නට පුළුවන. මළ නොබැඳෙයි. ගැස්සීම්වලට ඔරොත්තු දීමේ ශක්තිය ඉහළ නිසා වියළි දැව නැමී සිටින්නේ නැත. කැඩීම පහසුවෙන් සිදු නොවේ. උණුසුමට ලක් වූ විට ප්‍රසාරණය වීමක් සිදු නොවේ. උෂ්ණත්වය සම්ප්‍රේෂණය කිරීමක් හෝ විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමක් දැවවලින් නොකෙරෙයි. සාමාන්‍ය වායුගෝලයේ උෂ්ණත්වයේ වෙනස්කම් දැවවලට පහසුවෙන් දරා ගත හැකි ය. දැවෙන් නිම කළ කටයුත්තට සිත්ඇදගන්නාසුලු නිමාවක් කැටයම් කිරීම හෝ ඔප දැමීම මඟින් පහසුවෙන් දිය හැකි ය. දැව වර්ග දහස් ගණනක් ඇති බැවින් ඒ ඒ අවශ්‍යතාවට විශේෂයෙන් ගැලපෙන දැව වර්ගය පහසුවෙන් තෝරා ගත හැකි ය. ලෝහ වර්ගවලට මේ වාසිය නැත. දැව සතු අයහපත් ගුණාංග ද කිහිපයක් වේ. ගිනිගන්නාසුලුබව, දිරාපත්වනසුලුබව, කෘමි උවදුරුවලට ගොදුරුවනසුලුබව මින් ප්‍රධාන ය. තෙතමනයට ගොදුරු වූ විට බොහෝ ලී වර්ග ඇද වෙයි. අක්‍රමිකව මහත් වෙයි. සමහර විට පැළෙයි. අනෙක් අවාසිය එකම දැව වර්ගයේ වුවත් ශක්තිය ඒකාකාරම නොවීමයි. ශක්තියේ සුළු වෙනසක් ගසෙන් ගසට වුව ද තිබිය හැකි ය. එමෙන් ම දැව ලබා ගත හැක්කේ සීමා සහිත දිග පළල ප්‍රමාණයෙන් පමණ ද මෙහෙයින් මූට්ටු අත්‍යාවශ්‍ය වේ.

අමුද්‍රව්‍ය හැටියට දැව පාවිච්චි කරන කර්මාන්ත සහ කලා කටයුතු 70කට වැඩි ගණනක් ඇත. එහෙත් මේවා ගැන හැදෑරීම දැව කර්මාන්තයේ විෂය ක්ෂේත්‍රයන් පරිබාහිර වේ.

ගල් ආයුධ යුගයේ සිට අභ්‍යාවකාශ යුගය දක්වා ම දැව මිනිස් කටයුතු සඳහා අත්‍යාවශ්‍ය මූලික ම දෙයක් විය. දැව නිපැයුම සහ වෙළෙඳාම කවදත් ලොව ප්‍රධානතම ව්‍යාපාර කිහිපයෙන් එකක් විය. රටක් තුළ රටවල් අතර දැව වෙළෙඳාමෙන් ලැබෙන ආදායම ඉක්මවන ව්‍යාපාර ඇත්තේ ඛනිජ තෙල් සහ ධාන්‍ය වර්ග පමණක් විය හැකි ය. වානේ, ගල් අඟුරු, කිරි, කෙඳි වර්ග වැනි ප්‍රධාන පෙළේ ව්‍යාපාරවලට වඩා දැව ව්‍යාපාරය විශාල ය. එමෙන් ම පැරණි ය. බැබිලන් නගරයේ නටබුන් අතර ඉන්දියානු තේක්ක ලීවලින් තැනූ ද්‍රව්‍යවල දිරාපත් නොවූ ශේෂ තිබුණි. දේශ ගවේෂණ යුගයේ දී අලුත් රටවල් සෙවීමේ දී අපේක්ෂා කළ එක් ප්‍රධාන සම්පතක් දැව විය. දකුණු ඇමෙරිකාවේ පිහිටි අති විශාල පෘතුගීසි විජිතයට බ්‍රෙසීල් යන නම ලැබුණේ එරටින් ලබා ගැනුන දැව වර්ගයක නම අනුව ය. (බ්‍රෙසීල් - පතඟි)

සංස්කෘතික හා කාර්මික දියුණුවේ මට්ටම කවර ආකාරයේ වුවත් සියලු ජන සමාජවල අභිවෘද්ධිය සඳහා දැව දැනුදු අත්‍යාවශ්‍ය ය. දුප්පතුන්ට නිවාස තැනීම හා ගිනි ඇවිලීමට දැව අවශ්‍ය ය. පොහොසතුන්ට අවශ්‍යතා ගණන බොහෝ වැඩි ය. දැව දුර්ලභ රටවලට ගොවිතැන ද හරියාකාරව කළ නොහැකි ය. පොහොර වශයෙන් යෙදවීමට තිබෙන සත්ව බෙටි සහ කෘෂිකාර්මික නිෂ්ඵල නිපැයුම් දර වෙනුවට පාවිච්චි කිරීමට සිදුවීමෙන් ගොවිතැනේ නිපැයුම අඩුවෙයි. කෘෂි උපකරණ සඳහා ද දැව අවශ්‍ය ය. එහෙයින් ගොවිතැනක් සාර්ථකව කළ හැක්කේ දැව සැපයුමක් ඇති තන්හි පමණි. කෘෂිකර්මය මත පදනම් වූ පැරණි ශිෂ්ටාචාර ගණනාවක් ම විනාශ වූයේ අවට වූ වනාන්තර කපා අවසන් වී දැව නැති වී යාම නිසා යැයි සිතන්නට කරුණු ඇත.

දැව ලැබෙන ප්‍රධාන මූලය වනාන්තර වෙයි. ගෙවතුවලින් සහ කාලය ඉක්ම ගිය වානිජ බෝග වතුවලින් (රබර් පොල් වැනි) ලැබෙන දැව ප්‍රමාණය අල්ප ය. වනාන්තර දෙවර්ගයකි. වචන ලද වනාන්තර සහ ස්වාභාවික වනාන්තර වශයෙනි. මෙයින් ස්වාභාවික වනාන්තර ප්‍රමුඛ ය. එය ද ඵලදායක වනාන්තර සහ නිෂ්ප්‍රයෝජන වනාන්තර වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. නිෂ්ප්‍රයෝජන වනාන්තර යනු උත්තර ධ්‍රැවය සහ ග්ලැසියර්වලින් වැසුන කඳු ආසන්න තුන්ද්‍රා ප්‍රදේශවලට යාබද ප්‍රදේශවලත් වියළි කාන්තාර ආසන්න ප්‍රදේශවලත් දක්නට ලැබෙන කුරු වූත් මිටි වූත් සෙමින් වැඩෙන්නා වූත් ගස් සහිත ප්‍රදේශයන් ය. ඉඳ හිට දර ලබා ගැනීමට වැඩි ආර්ථික ප්‍රයෝජනයක් මේවායින් නොසැලසේ. එහෙත් වායුගෝලය පිරිසිදු කිරීම, පස ආරක්ෂා කිරීම, භූගත ජලය රඳවා ගැනීම වැනි වෙනත් ප්‍රයෝජන මේවායින් සැලසේ. ලෝකයේ මෙවැනි වනාන්තරවලින් වැසුන භූමි ප්‍රමාණය අක්කර 3,300,000,000 පමණ විණැයි එක්දහස් නවසිය පනහට ආසන්න කාලයක දී ඇස්තමේන්තු කර තිබුණි. මෙම ප්‍රමාණය මෙන් දෙගුණයක් ඵලදායක වනාන්තර තිබුණි. ඒවායින් ද තුනෙන් කොටසක් පමණ ලාභදායක ලෙස ප්‍රවාහනය කළ නොහැකි ස්ථානවල විය. නමුත් මෑත කාලයේ දී කැනඩාවේ සහ දැන් අහෝසි වී ඇති සෝවියට් සංගමයට අයත් ව තිබුණු ප්‍රදේශවල අලුත් දුම්රිය මාර්ග ඉදි වූ නිසා ලාභදායක ලෙස ප්‍රවාහනය කළ නොහැකි වූ ප්‍රදේශවල ප්‍රමාණය අඩු වූයේ ය. ඵලදායක වනාන්තරවලින් බාගයක් පමණ ප්‍රයෝජනයට ගන්නේ අනාගතය ගැන තැකීමක් නොමැතිව ය. නිවර්තන වනාන්තර සම්බන්ධයෙන් මේ කියමන විශේෂයෙන් අදාළ ය. මහා ඇමේසන් වනාන්තරය, බෝර්නියෝ දිවයිනේ වනාන්තර සහ ලංකාවේ තෙත් කලාපයේ ඉතිරිව තිබූ වනාන්තර ස්වල්පය සදාකාලයට ම විනාශ කර අවසාන යැයි ජනමාධ්‍යවලින් කියැවේ. ලෝකයේ වනාන්තරවලින් අක්කර 988,000,000ක ප්‍රමාණයක් ක්‍රමානුකූල පාලනයකින් යුතුව අනාගතය ගැන සැලකිලිමත් ව ප්‍රයෝජනය ගනු ලැබේ. මෙයින් බොහොමයක් පෞද්ගලික අයිතිය යටතේ ඇති රෝපනය කළ වනාන්තර වේ. (සුදුසු අළුත් සංඛ්‍යාලේඛන වාර්තාවකින් උපුටා ගත හැකි ය.)

දැව කර්මාන්තය වශයෙන් ගණන් ගනු ලබන්නේ වනාන්තරවලින් ගස්කැපීම, ප්‍රවාහනය කිරීම, ලී ඉරීම සහ වියලීම හෝ පදම්කිරීම පමණි. දැවවලින් භාණ්ඩ නිපදවීම සහ දැව උපකාරයට ගෙන ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් තැනීම දැව කර්මාන්තයට ඇතුළත් නොවේ.

වර්ගීකරණය

දැව සම්බන්ධ සියලු කටයුතුවල දී දැව මෘදු දැව (soft wood) සහ තද දැව (Hard wood) යනුවෙන් වර්ග දෙකකට බෙදනු ලැබේ. මේ වර්ගීකරණයේ පදනම දැවවල ශක්තිය නොවේ. අභ්‍යන්තර නිර්මාණය යි. එහෙයින් සමහරක් මෘදු දැව සමහර තද දැවවලට වඩා ශක්තිමත් ය. සමහර 'තඳ' දැව බොහෝ මෘදු දැවවලට වඩා ශක්තිය හීන ය. මෘදු දැව යනු ඉඳිකටු වැනි හෝ කොරපෙතු වැනි කොළ සහිත කේතුරූපාකාර ගස්වලින් ලබා ගන්නා ඒවා ය. තද දැව යනු පළල් පත්‍ර සහිත ගස්වලින් ලබා ගන්නා ඒවා ය. සමශීතෝෂ්ණ ප්‍රදේශවල සරත් ඍතුවේ කොළ හැලෙන ගස්වලින් මෙන් ම නිවර්තනීය වනාන්තරවලින් ද තද දැව ලබා ගනු ලැබේ. ලෝකයේ වනාන්තර ප්‍රමාණයෙන් 2/3ක් පමණ ම තද දැව සහිත ගස්වලින් යුත් ඒවා ය. මෘදු දැව සහිත ගස් ඇති වනාන්තරවලට ප්‍රවාහන පහසුව සැලසී ඇති ප්‍රමාණය කද දැව සහිත ගස් ඇති වනාන්තරවලට ප්‍රවාහන පහසුව සැලසී ඇති ප්‍රමාණය තද දැව සහිත ගස්වලින් යුත් ඒවාට වඩා වැඩි ය. එහෙත් තද දැව සහිත සම ශීතෝෂ්ණ කලාපීය වනාන්තර බොහොමයක් පමණ ඉක්මවා ගස් කැපීමට ගොදුරුව ඇත. නිවර්තීනය ප්‍රදේශවල ඒවා මිල අධික ගස් වර්ග පමණක් කපා සෙසු ගස් විනාශයට ඉඩ හැරීමට ද හේන් ගොවිතැන සඳහා කපා හෙලීමට ද ස්වාභාවික හේතු මෙන් ම මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා පැතිරෙන ලැව් ගිනිවලට ගොදුරු වීමට ද ලක් ව ඇත. තද දැව සහිත වනාන්තරවලින් 3/4කට වඩා ඇත්තේ නිවර්තනීය ප්‍රදේශවල ය. මෙහෙයින් මෘදු දැව ප්‍රයෝජනවත් වනවා වැඩි ය.

මෘදු දැව සහිත ගස් අතරට ගැනෙන ප්‍රධාන වර්ග නම් පයින්, ෆර්, ස්පෲස්, ලැබ්, හෙම්ලොන්, රොඩ්වුඩ්, සීඩර්, ටැමරුක් යන ඒවා ය. ශීත රටවල මෙන් ම නිවර්තනීය මධ්‍යම ඇමෙරිකාවේ ද මේවා දක්නට ඇත.

තද දැව සහිත ගස් අතරට ගැනෙන ප්‍රධාන වර්ග නම් ඕක්, මාපල්, චෙස්නට, බර්ඩ්, වල්නට්, එල්ම්, ඈෂ්, ඇස්පන්, බීච්, හිකරි, පොප්ලර් යන සම ශීතෝෂ්ණ කලාපීය ගස් වර්ග සහ මැහෝගනී, තේක්ක, බුරුත, කළුවර, රෝස්වුඩ්, (බ්‍රෙසීල) බාස්වුඩ් සහ ලංකාවේ ඇති ගස් වර්ගවලට සමාන නිවර්තන කලාපීය ගස් වර්ග ය.

මේ සමහර ගස් වර්ගවල විශේෂ ගණනාවක් දක්නට ලැබේ. ඕක් වර්ගයට එකිනෙකට බෙහෙවින් වෙනස් ගුණාංග සහිත දැව ලැබෙන ලබා දෙන විශේෂ රාශියක් ඇත. සුදු ඕක්, කළු ඕක්, රතු ඕක්, නිල් ඕක්, කහ ඕක්, මඩවගුරු ඕක්, ලඳු ඕක්, බර් ඕක්, (ඇලෙන ගෙඩි සහිත) පින් ඕක්, (ඇනෙන ගෙඩි සහිත) පෝස්ට් ඕක් (කණු වැනි) මෙබඳු ඒවා ය. පයින් වර්ග ද මෙවැනි ය. සුදු පයින්, රතු පයින්, කහ පයින්, ස්කොට් පයින්, ස්කෲ පයින් සහ තවත් බොහෝ වර්ග ඇත. සමහරක් පයින් වර්ග අවුරුද්ද මුළු දා වැඩෙන නිවර්තනීය ගස් වර්ග වේ. ඒවා හඳුන්වන්නේ පිහිටි ප්‍රදේශවල නම්වලිනි. පැරානා පයින්, නිව් කැලිඩොනියා පයින් සහ මධ්‍යම ඇමෙරිකානු පළාත් නාම ගණනාවකින් මෙසේ හැඳින්වේ. තුන්ද්‍රා ප්‍රදේශවලට යාබද මහා වනාන්තර කලාපයේ බහුල ම ගස් පයින් ය. සමශීතෝෂ්ණ රටවල කඳුකර ප්‍රදේශ, මඩවගුරු ප්‍රදේශ සහ මැටි පස ඇති ප්‍රදේශවල ඇත්තේත් පයින් ය. මෙක්සිකෝ බොක්ක අවට ප්‍රදේශවල ඇත්තේත් වැඩිපුර ම පයින් ය. නිවර්තනීය රටවල වන රෝපණය සඳහා ද පයින් ප්‍රයෝජනයට ගනු ලැබේ. වර්ග සිය ගණනකි. නම් සිය ගණනකි.

දැව පාවිච්චියේ දීත් මිළ ගණන් නියම කිරීමේ දීත් 'මෘදු', 'තද' යනුවෙන් වෙන් කිරීමක් නැත. ඒ ඒ දැව සතු විශේෂ වාසි සහ අවාසි ගැන දැනුමක් විකුණ ගන්නටත් මිළට ගන්නටත් ඇත. ගොඩනැගිලිවල සහ වැඩ බිම්වල ඉතා අධික බරක් දරන්නට සිදු වන බාල්ක සඳහා යෙදිය හැකි මෘදු දැව වර්ග ගණනාවක් ද ඇත. දුම්රිය මාර්ග සඳහා ද එසේ ය.

ගස් කැපීම

දැව කර්මාන්තයේ පළමු වන අදියර ගස් කැපීමයි. මෙය සංවිධානාත්මක ව ක්‍රමවත් ව සේවක සමූහ විසින් කරන කටයුත්තකි. සමශීතෝෂ්ණ ප්‍රදේශවලත් ශීත ප්‍රදේශවලත් ගස කපන්නේ බොහෝ විට සිසිර ඍතුවේ දී ය. ගස් තුළ දියර වර්ග ගමන් කෙරෙන කාලයේ දී ගස් කැපුවහොත් දැව බාල වේ යැයි විශ්වාසයක් පවතියි. මේ ප්‍රදේශවල ගස් සිසිර නිද්‍රාවකට සමාන තත්ත්වයකට පත් වෙයි. සිසිරයේ දී ගස් කැපීමෙන් ප්‍රවාහන පහසුවක් ද පතනශීල ගස් සම්බන්ධව නම් කොළ නොමැතිකමේ පහසුව ද සැලසෙයි. ලී කොට පසුව ප්‍රවාහනය කිරීම සඳහා ගොඩගසා තැන්වලට ගෙන යාමට මං පෙත් සාදා ගැනීම සිසිරයේ දී පහසු ය. පොළව මත අයිස් මිදෙන්නට දින දෙක තුනකට පෙර මංපෙත් වශයෙන් පාවිච්චි කරන්නට උවමනා ස්ථාවලට ජලය පිරෙන්නට සලස්වනු ලැබේ. ඒ ජලය අයිස් වූ විට ඉතා පහසු සමතලා මංපෙත් සාදා ගත හැකි ය. මඩ වගුරු සහිත ප්‍රදේශවල ඉබේට ම සමතලා අයිස් තට්ටු සෑදේ. ඝන අයිස් තට්ටු මතින් ලී කොට ඇද ගෙන යාම හෝ තල්ලු කර ගෙන යාම පහසු ය. ගංගා නිම්න ද මිදී ඇති බැවින් සාමාන්‍ය ගමනාගමනය ද ඒවා මතින් කර ගැනීම පහසු වේ. සියලු වන සතුන් සිසිර නිද්‍රාවේ නිසා ජීවිතවලට අවදානමක් ද නැත. ඉදිරියට එන සිසිරයේ දී ගස් කපන්නන්ගේ කණ්ඩායම් ගෙන්වා අවශ්‍ය වැඩි සහ මූලික පහසුකම් වේලාසනින් සලස්වා ගනු ලබේ. සිසිරය එළඹෙත් ම අවශ්‍ය ආහාරපාන, ඇඳුම්, බෙහෙත්, දුම්කොළ, ආවුද, යන්ත්‍රෝපකරණ, ඉන්ධන ගාල් පෙර දී නම් ගවයන්, අශ්වයන් සහ සත්ව ආහාර ද රැගෙන ගස්කපන්නෝ පැමිණෙත්. මීට සියවසකට පමණ පෙර දී ඔවුන් ගස් කැපුවේ පොරවාවලිනි. පසුව තෙල් බලයෙන් ක්‍රියා කරන අතේ ගෙන යන කියතක් පාවිච්චි විය. දැන් දම්වැල් රෝද යෙදූ බුල්ඩෝසරයක ස්වරූපය ඇති යන්ත්‍ර වර්ග පාවිච්චි කර තත්පර ගණනක් තුළ ගසක් කපා හෙලනු ලැබේ. ගසෙහි අතු පාගා දැමීම ද කඳ කුට්ටි කරන්නට අවශ්‍ය නම් එය කිරීම ද සුළු වේලාවක් තුළ කරනු ලැබේ. ක්‍රමවත් ව පාලනය කෙරෙන වනාන්තරයක නම් ගස් කපන්නේ යායෙන් යාය ඉතිරි කරමිනි. එමෙන් ම වනාන්තරයේ පස ආරක්ෂා කිරීම කෙරෙහි ද යටි රෝපණය ආරක්‍ෂා කිරීම කෙරෙහි ද සැලකිලිමත් වනු ලැබේ. කැපූ ගස් පසුව ප්‍රවාහනය කිරීම සඳහා වනාන්තරයේ පහසු තැන්හි සාදා ගන්නා මධ්‍යස්ථානවලට එකතු කර ගොඩ ගැසීම ද ගස් කපන අවස්ථාවේ දී ම කරනු ලැබේ. අයිස් මත සාදා ගත් පහසු මංපෙත් ඔස්සේ ට්‍රැක්ටර්වලට ඇඳූ උස ඉතා අඩු රෝද සහිත ට්‍රේලර් පාවිච්චි කිරීම ද ට්‍රැක්ටරයෙහි ලී කොට ඈඳා පොළවේ අයිස් තට්ටුව මත ම ඇද ගෙන යාම ද කේබල් කම්බිවල එල්ලා යැවීම ද රේල් පීලි යොදා තාවකාලිකව තනාගත් මාර්ග මත තල්ලු කර ගෙන හා හැකි මිටි කරත්ත විශේෂයක් පාවිච්චි කිරීම ද ස්ථානයේ භූරූපනය අනුව කිරීමෙන් ලී කොට ගොඩවල් සාදනු ලැබේ.

නිවර්තනය රටක් වන බුරුමයේ වනාන්තරවලින් තේක්ක ගස් කැපීම කරන්නේ වියළි ඍතුවේ දී ය. ලබන අවුරුද්දේ කපන්නට අදහස් කරන ගස්වල මුල කොටසේ වට රවුමේ ම පොත්ත මේ අවුරුද්දේ දී ඉවත් කරනු ලැබේ. ගස් කපන අවස්ථාව එළඹෙන විට ගස් මැරී වේලී පවතී. පොරෝ පහරවලින් කඳ පෙරළා අතු පාගා දමා මී හරකුන් හෝ ඇතුන් යොදා ලී කොට ගංගා අයින්වලට ගෙන ගොස් පහුරු වශයෙන් බැඳ තබනු ලැබේ. වර්ෂා මෝසම් ඍතුවේ දී ගංගාවල ජලය වැඩි වූ විට වියළි කොටන්වලින් සෑදූ පහුරු පහසුවෙන් ගං මෝයවල් අසල ඇති ඉරුම් මෝල් කර ගෙන යා හැකි ය. බුරුමයේ තේක්ක ගස්වලින් යුත් වනාන්තර වැඩි වශයෙන් ඇත්තේ සැල්වින් ගංගාධාරයේ ය. මේ ගංගා ආරම්භවන්නේ ටිබෙට් දේශයෙනි. එහි හිම දිය වීමෙන් ලැබෙන ජලය නිසා ද මෝසම් වැසි නිසා නොවරදවා ම ජූලි, අගෝස්තු මාසවල දී ගංගාව ජලයෙන් පිරෙයි. බුරුමයේ දැව කපන්නෝ තමන් ඉවත් කරන අතු රිකිලි ගොඩගසා වනාන්තරයේ පොළව අතු ගා එකතු කරන තේක්ක ඇට සහිත රොඩු ද එයට එකතු කර ගිනි තබත්. තේක්ක ඇට පැළවෙන්නේ ගින්නෙන් බාගයට පිළිස්සීමෙන් පසුව පමණක් බව ඔවුහු දනිත්. තේක්ක මුල්වලින් ද පැල ලියලන බැවින් බුරුමයේ වනාන්තර ලංකාවේ හෝ බ්‍රසීලයේ (ඇමේසන් ගංගාධාරයේ) හෝ බෝර්නියෝ දිවයිනේ වනාන්තර මෙන් විනාශයකට මුහුණ දී නැත. බ්‍රසීලයේ වනාන්තර විනාශ කරන්නේ දේශපාලන බලවතුන් විසිනි. ප්‍රදේශවාසී රතු ඉන්දියානු මිනිසුන් ඒ දෙස අසරණව බලා සිටිත්. බෝර්නියෝ දිවයිනේ තත්ත්වය ද මෙය ම වුවත් ප්‍රදේශවාසී සියක් ගෝත්‍රිකයෝ තමන්ට හැකි සෑම ආකාරයකින් ම මෙයට එරෙහිව ක්‍රියා කරත්. එසේ වුවත් කෙම්පස් දැව ලෝක වෙළෙඳපළට සැපයෙන ප්‍රමාණය නම් අඩු වී නැත.

විවිධ රටවල වෙනස් වෙනස් ආකාරයෙන් කරන නමුත් ගස් කැපීම ඉතා දැඩි පුහුණුවක් හා නිපුණත්වයක් අවශ්‍ය කටයුත්තකි. ගස් කපන්නා තමාගේ හා අන්‍යයන්ගේ ප්‍රවේසම ගැන වගබලා ගත යුතු ය. ලී අපතේ නොයන ලෙස පොළවට ආසන්නයෙන් කැපුම් යෙදිය යුතු ය. වැටෙන ගසේ කඳ පිපිරීම් හෝ කැඩීම්වලට ගොදුරු නොවන බවට වග බලා ගත යුතු ය. අසල ඇති වෙනත් ගස්වල හෝ කලින් කැපූ කඳන්වල හෝ ඉතිරි කළ මුල් කුට්ටිවල නොගෑවෙන බවට ප්‍රවේසම් විය යුතු ය. ස්වාභාවික ලොකු කුඩා ගල් පර්වත ද ස්ථාන ද වනාන්තරවල බොහෝ ඇත. මේ සියල්ලෙන් බේරා ගසක් තමන් තීරණය කරන ස්ථානයට වැටෙන්නට සලස්වන්නට පුහුණු ගස් කැපුම් කරුවන්ට පුළුවන. කඹ දැමීමක් ඔවුහු නොකරති. ගස වැට්ට විය යුතු පැත්තෙන් ගසේ මුල කූඤ්ඤයක හැඩය ඇති යටි කැපුමක් යොදා කැබැල්ලක් ඉවත් කර ගසේ සමබරතාවය නැති කර පෙරළෙන්නට සලස්වන්නට ඔවුහු දනිත්. ගස මුලින් අඩි 50ක් දුර සිටුවන කොටුවක් මතට අඩි 70ක් උස කඳක් පෙරලන්නට ඔවුන්ට පුළුවන. ගස් කපන දම්වැල් රෝද සවි කළ නවීන යන්ත්‍රයකට ගසක් කපා හෙලන්නට ද අතු රිකිළි පාගා දමන්නට ද කඳ කුට්ටි කරන්නට ද පොත්ත ගලවා ඉවත් කරන්නට ද සුළු වේලාවක් තුළ දී පුළුවන. මෙය ද මෙහෙයවන්නාගේ නිපුණත්වය බෙහෙවින් අවශ්‍ය කාර්යයකි.

දැව ප්‍රමාණය

වනාන්තර තුළ කොට ගොඩ ගැසූ මධ්‍යස්ථානවල සිට ලී මෝල් කරා කඳන් ගෙන යාම දැව කර්මාන්තයේ දෙවෙනි අදියරයි. ගංගාවකට හෝ ට්‍රක් රථ යා හැකි ස්ථානයක්ට හෝ දුම්රිය මඟක් තනා ඇති තැනකට කොට ගෙන ඒම සඳහා සමහර අවස්ථාවල දළ බෑවුම් උඩටත් දෝරු වැනි ගැඹුරු නිම්න හරහාත් කඳන් ප්‍රවාහනය කරවන්නට සිදු වේ. වනාන්තර ඇත්තේ තැනිතලා බිම්වලය නොවේ. බොහෝ විට ඉතා ම රළු දුෂ්කර භූරූපන ඇති ප්‍රදේශ වනාන්තර වශයෙන් තිබෙන්නට හැර ඇත. ඒවායේ උස් ගල් කුළු සහ ගැඹුරු ආගාධ බහුල ය. ගවයන් හෝ අශ්වයන් හෝ ට්‍රැක්ටර් හෝ ස්ලේජ් හෝ පාවිච්චි කරන්නට මේවායේ ඉඩක් නැත. බොලොක්ක (කප්පි) සහ වානේ කේබල් යොදා ලී කඳන් දළ බෑවුමක් දිගේ උඩට අදින්නටත් ගැඹුරු ආගාධයක් හරහා පද්දවා ගෙන එන්නටත් හැකි ක්‍රමයක් කඳන් ප්‍රවාහනය කරන්නෝ සාදා ගෙන ඇත්තාහ. තැනින් තැන ඔසවා ගෙන යා හැකි කුළුණු ද වාෂ්ප, ඩීසල් හෝ විදුලිය පාවිච්චි කරන විංචි ද (දබර දොඹර) මේ සඳහා භාවිතා කෙරෙයි. ලී කඳක් එක් කෙළවරකින් හෝ දෙකෙළවරින් ම අමුණා ගෙන මීටර් 800ක් පමණ දුරක් ගෙන යන්නට මෙම කේබල් මාර්ගවලට පුළුවන.

දැව ප්‍රවාහනයේ දී පිහිටුවන ලද විශ්මයජනක වාර්තා ගැන අසන්නට ලැබේ. 1893 චිකාගෝ පවත්වන ලද ලෝක වෙළෙඳ ප්‍රදර්ශනයට තබා තිබුණු එක් විෂයයක් වූයේ උතුරු මිනැසෝටා ජනපදයේ වනාන්තරයක දී අශ්වයන් සතර දෙනෙකු විසින් ඇද ගෙන යන ලද ටොන් 114ක් බර ලී කඳක් 63ක තොගයකි. ඉරුම් මෝලක් හෝ කල්ක මෝලක් කරා ගංගාවක් ඔස්සේ කඳන් ගෙන ඒම ද අන්තයට ගිය නිපුණත්වයක් සහ අනිටහන් වෙහෙසක් දරන්නට සිදු වන කර්තව්‍යයක් වශයෙන් බොහෝ කලක් පැවතුණි. වසන්ත ඍතුවේ දී ගංගාවල සහ පොළොව මත ඇති අයිස් තට්ටු සහ හිම දිය වී ගංඟාවල ජලය පිරෙයි. ගැලීම වේගවත් ය. පා කර ගෙන යාම සඳහා මෙවැනි ගංගාවකට කඳන් ලක්ෂ ගණනින් තල්ලු කරනු ලැබේ. ජලය ගැලීමේ ස්වාභාවික උපනතිය පාවෙන කොටස් ඉවුරු දෙසට අයින් කිරීම ය. මෙයට ඉඩ නොදී කඳන් ගලන ජලයත් සමඟ පා කර යවන්නට පෙර භාර ගන්නා සේවක පිරිසක් විය. පාවෙන කඳන් උඩ ම සිට ගෙන සිටිමින් රිටි ආධාරයෙන් කඳන් අයින් වන්නට හෝ පටලැවෙන්නට ඉඩ නොදී පහළට පා කර යැවීම ඉතා අවදානම් වූත් මහත් දුෂ්කර වූත් කර්තව්‍යයකි. මොහොතක විවේකයක් නොමැතිව අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් පාවෙන කඳෙන් කඳට ලේනුන් මෙන් පනිමින් අයිනට පාවෙන කොටස් ගඟ තුළට ගැනීමට කොටස් පටලැවෙන්නට ඉඩ නොදීමටත් දිවා රාත්‍රී දෙකෙහි ම මේ පුද්ගලයෝ වෙහෙසුනහ. පෙර දී විදුලි පන්දම් ද නොවී ය. පාවිච්චි කළේ කාබයිට් ලාම්පු වර්ගයකි. ලාම්පුවත් දිග රිටත් රැගෙන ජලයේ ගැලීමත් පැනීමේ දී ඇති වන බරටත් ගලන ජලය මත උස් පහත් වන කඳක් උඩ රාත්‍රී කාලයේ දී දිවීම ජීවිතය පරදුවට තබා කළ රැකියාවකි. බැරි වීමකින් පය ලිස්සා ජලයට වැටී ගිලුනොත් මරණය ඒකාන්ත වේ. ගඟ මතු පිට මුළුමනින් ම කඳන්වලින් වැසී ඇති නිසා හිස ජලයෙන් ඉහළට ඔසවන්නට තැනක් නැත. ආධාරයට එන්නට කෙනෙක් ද නැත. මේ ගංගාවල වැලමිටි වංගු ද ගඟ මැද ගල් කුළු උසට පිහිටි ස්ථාන ද ගල්තලා මතින් ම ගංඟාව ගලා ගෙන තැන් ද ගඟ පටු වූ තැන් ද දහරා වශයෙන් ගලන තැන් ද දිය සුළි ඇති තැන් ද විය. මෙවැනි තැන්වල දැව කඳන් පටලැවී හිර වී නිම්නය ජල ගැලීම්වලට ගොදුරු අවස්ථා තිබුණි. දැව කඳන් ලක්ෂ ගණනක් එකතැන හිර වූ විට එය ගලවා ලෙහෙන්නට කිසිසේත් නුපුළුවන. ලිහූ ක්ෂණයෙහි ම කඩා ගෙන එන ජල කඳෙහි වේගයත් එය සමඟ එන කඳන් ප්‍රමාණයේ සංඛ්‍යාවක් ගැන දන්නා මේ පුද්ගලයෝ අවදානමේ මට්ටම ගැන වැටහීමක් ඇත්තෝ වෙත්. දැව හිර වූ ස්ථානයට කිසි මිනිහෙක් කිට්ටු නොවේ. එක ම ප්‍රතිකර්මය ඉවුරේ රැඳී සිටිමින් ඩයිනමයිට් විසිකර පැටලුම පුපුරවා හැරීම ය. ගංඟා නිම්නය ම ජලයෙන් පිරී ඇති බැවින් මෙය ඉතා අපහසු කටයුත්තකි. මාස කිහිපයක් ගත වෙන මහා ප්‍රයත්නයක් මේ වෙනුවෙන් දැරිය යුතු ය. වැරදි තැන්වලට බොහෝ ඩයිනමයිට් වැටෙයි. මෙහි දී නාස්ති වී යන කඳන් එතෙක් දරන මහන්සියට ලැබෙන්නට තිබුණ ආදායම ය. විසි වෙනි ශත වර්ෂය මුල දී මෙවැනි ගංඟා හරහා වේලි ගැලීම් ක්‍රමවත් කරනු ලැබ ඇත. එහෙත් ගංඟා අයිනේ ම පිහිටුවා ඇති මෝල් අසල දී කොටන්වල ඇති ලාංඡන අනුව තෝරා වෙන්කර ගැනීම දැනුදු දුෂ්කර අවදානම් කටයුත්තකි. ලොකු කුඩා ලොරි මඟින් සහ තාවකාලිකව සවි කරන කුඩා දුම්රිය මාර්ග වර්ගයක් ඔස්සේ අවුරුද්ද පුරා ම කඳන් ප්‍රවාහනය කිරීම දැන් බොහෝ සේ කරනු ලැබේ. එහෙත් ජලයේ තිබෙන විට මෙන් යහපත් ලෙස ගොඩබිම තිබෙන විට දැව කඳන් ආරක්ෂා නොවේ. ජලය ලී කොටන් ආරක්ෂා කරන ක්‍රම කිහිපයකි. අක්‍රමවත් ව වේලි තැන් තැන්වලින් පැලීමක් සිදු නොවෙයි. කෘමි සතුන්ගෙන් ක්ෂුද්‍ර ප්‍රානීන්ගෙන් (පුස්, හතු) හානි නොවෙයි. කහට නොපිපෙයි. ගින්නෙන් අනතුරු සිදු නොවෙයි. මෙහෙයින් ගංඟා අසබඩ පිහිටි සියලු ලී මෝල් පාවෙන වැටකින් යුත් පොකුණක් වැනි ස්ථානයක් කොටන් ගබඩා කර තබා ගැනීම සඳහා පාවිච්චි කරනු ලැබේ. වියළි තේක්ක කඳන් ජලයේ එක්තරා කාලයක් තැබීමෙන් පසු ගොඩ ගෙන ඉරූ විට ලෑලි සහ ලීවලට අමුතු දිස්නයක් ලැබේ යැයි විශ්වාසයක් බුරුමයේ පවතියි. බරින් වැඩි දැව වර්ගවල කඳන් ජලයේ ගිලෙන බැවින් ගබඩා කර තබන්නේ ගොඩබිමෙහි ය.

දැව ඉරීම

අට්ටාල බැද ඒ මතට නැග හෝ වලවල් සාරා ඒවාට බැස ලී කඳන් ඉරීම දැන් කරනු ලබන්නේ කලාතුරකිනි. ඉරුම් කටයුතු දැන් බොහෝ සෙයින් කරනු ලබන්නේ කුඩා ලී මෝල් විසිනි. ට්‍රේලරයකට පටවාගෙන වනාන්තරයට ගෙන ගොස් එහි දී ම ඉරුම් කටයුතු කරන්නට හැකි තරමේ කුඩා ලී මෝල් ද දැන් ඇත. එහෙත් බොහෝ ලී මෝල් ස්ථාවර ය. ප්‍රවාහන පටි (Conveyor Belts) සහ එක් කෙළවරක් ගෙබිම තෙක් බෑවුම් වන්නට තැනූ මේස වර්ගයක් පාවිච්චි කිරීමෙන් මෝල් තුළට ගන්නා කොටන් ප්‍රථමකොට හොඳින් සෝදා හරිනු ලැබේ. වැලි, පස්, කුණු, ලෝහ කැබලි ආදිය තිබුන හොත් කියත් තලවලට හානි සිදුවීම වළක්වන්නට මෙය කරනු ලැබේ. බොහෝ මෝල්වල කියත් වෙත කොටන් ගෙනයන්නට පෙර පොත්ත ඉවත් කරනු ලැබේ. පොත්ත රැස දමන උපකරණ ද ගෙවා දමන උපකරණ ද ඉතා වේගයකින් ජල ධාරා ඒවා පොත්ත ඉරා දමන උපකරණ ද ඒ ඒ මෝල්වල ඇත. ඉන්පසු මතු පිට පැතලි ඉරුම් මේසයකට නංවන ලී කඳ කියත් තලවල දැති වෙත තල්ලු කරනු ලැබේ. කියත් කරකැවෙන ඒවා ය. මහ හඬ නඟමින් කියත් තල ලී කොටය තුළට කපාගෙන ඇතුල් වෙයි. උඩ කොටස තල්ලු කරන්නට සාදා ඇති ඉරුම් මේසය කියත් තලය පසු කර ගෙන යන වාරයක් පාසා ලී කඳෙන් පලුවක් කැපී වෙන්වෙයි. විනාඩි කිහිපයක් තුළ ලී කඳක් ලෑලි ගොඩක් හෝ ඉරූ ලී ගොඩක් බවට පත් වෙයි. ඉරන ලද මේ අමු ලෑලිවලින් හෝ ලීවලට (Green timber) යැයි කියනු ලැබේ. ඉන්පසු නෙත්ති කපන කුඩා කියත්වලට යවන මේ ඉරූ ලෑලි සහ ලීවල කෙළවරවල් සම දිගකට සතරැස් කරනු ලැබේ. පලුදු ඇති ස්ථාන කපා ඉවත් කරීම ද ගැණුම්කරු ඇණවුම් කර ඇත් ප්‍රමාණයන්ට ලී කපා දීම ද එහිදී ම කෙරෙයි. කරකැවෙන තල කිහිපයක් නියමිත පරතරයක් ඇතිව සවි කල සමූහ කියත් වර්ගයක් සමහර මෝල්වල ඇත. ලී කඳක් මෙය වෙත ගෙන එන්නේ වෙනත් කියතකින් පිටපලු කපා ඉවත් කිරීමෙන් පසුව ය. ඉරුම් මේසය එක් කෙළවරක තල්ලු කළ විට ලී කඳ මුළුමනින් ම පලු බවට පත් කරන්නට මේ කියත්වලට පුළුවන. ලී පලු අවශ්‍ය ප්‍රමාණයන්ට ඉරා ගැනීම දෙවනුව කළ හැකි ය. බොලොක්ක දෙකක් අතර කරකැවෙන පටියක් වැනි කියත් විශේෂයක් ද සමහර මෝල්වල පාවිච්චි වේ. මේ පටියට සම්බන්ධ එක් බොලොක්කයක් ඉරුම් මේසයට සෑහෙන තරමක් ඉහළින් ද අනෙක සෑහෙන්නට පහළින් ද සවි කොට ඇත. උතුරු ඇමරිකාවේ පැසිපික් වෙරළ ආසන්න ප්‍රදේශවල ඇති දැවැන්ත රෙඩ්වුඩ් සහ ඩග්ලර් ෆර් කඳන් ඉරන්නේ මේවායිනි. එක්වර කැපුම් 24 සිට 60 දක්වා කරන්නට පුළුවන් සමූහ කියත් ද මේ ප්‍රදේශයේ මෝල්වල ඇත. එක පිට එක කඳන් දෙකක් තබා ඉරන්නටත් මේවායේ දී පුළුවන. බොහෝ ඉරුම් මෝල්වල යතුගෑම ද සමහරක් ඒවායේ මැදීම ද (වැලි කඩදාසි කාර්යය) කරනු ලැබේ.

කඳන් ඉරීම යාන්ත්‍රිකව කළ හැකි ක්‍රම 14 වන සියවස වන විට යුරෝපයේ සොයා දැන ගෙන තිබුණි. ග්ලිඩ් (guild) නමින් හැඳින්වුන වෘත්තීය සංවිධාන අතුරින් දැව සේවකයන්ගේ සංවිධානය ඉතා බලවත් එකක් විය. මේ සංවිධායේ විරුද්ධත්වය නිසා යාන්ත්‍රිකව ඉරීම සියවස් පහක් පමණ ප්‍රමාද විය. 17 වැනි සියවසේ දී ජල බලය පාවිච්චි කරමින් යාන්ත්‍රික ලී ඉරීම නව එංගලන්ත ජනපදවලින් ඇරඹිණ. 19 සියවසේ දී වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මෝල් ද 20 වන ශත වර්ෂය ආසන්නයේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන ඒවා ද ඇති විය.

ඉරා අවසන් කළ ලී සහ ලෑලි ඊළඟට යවන්නේ තෝරා ශ්‍රේණිගත කිරීමට ය. එක ම කඳකින් ලැබෙන ලෑලි හෝ ලීවල ශ්‍රේණි කිහිපයක් වෙයි. කඳක ඉරි මදය කිට්ටු ඇතුළු ම කොටසින් ලැබෙන දැව බොහෝ විට පලුදු ය. එහෙයින් බාල ය. ඵලය කිට්ටුම ඇති අරටුවේ පිට කොටසේ දැවවල පලුදු බොහෝ විට නැත. ගස කුඩා පැලයක් කාලයේ දී තිබී පසුව මැරී වැටුන අතුවල දිරාපත් වූ ශේෂ ද අරටුවට ඇතුළත් වී තැන්පත් වූ පොතු කොටස් ද අරටුව විශාල වීමේ දී ඇති වූ සිදුරු ද සතුන්ගෙන් හානි සිදු වී පසුව පොත්තෙන් වැසී ගිය තැන්හි ඇති පලුදු ද කුඩා කාලයේ දී සුළංවලට හසු වී පැලී ගිය තැන් සහ නැමී ගිය තැන් ද ගැට සෑදී පසුව වැසී ගිය තැන් ද බොහෝ කඳන්වල අරටුවේ මැද කොටසේ දක්නට ලැබේ. මැද ම කොටස දිරාපත් වූ ගස් ද බොහෝ ය. බෙනය ඇති වූ ඒවා දුර්ලභ නැත. මේ දෝෂ සැලකිල්ලට ගෙන ඉරූ ලී සහ එකින් එක තෝරා වර්ග කරනු ලැබේ. ඉරුවේ කවර ප්‍රමාණවලට ද ලී වර්ගය කුමක්ද යනු ද සැලකිල්ලට ගැනේ. යුරෝපයේ පාවිච්චි වන්නේ ශ්‍රේණි හයකින් යුත් ස්කැන්ඩිනේවියානු වර්ගීකරණයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ගීකරණයට ශ්‍රේණි අටක් නැත. ආසියාවේ රටවල වර්ගීකරණ ගණනාවක් පාවිච්චි වේ.

ලී පදම් කිරීම

තෝරා ගත් ලී සහ ලෑලි ඉන්පසු පදම් කිරීම සඳහා යැවේ. විශේෂ අවශ්‍යතා සඳහා යම් යම් රසායනික හෝ ඓන්ද්‍රීය ද්‍රව්‍ය යොදා පදම් කර ගත් ලී ගැන අපූරු කථා ඇත. චීනයේ එක් නගරයක ගැට කැඩූ පදම් කළ උණ බම්බුවලින් සෑදු අවුරුදු 3000-4000 අතර කාලයක් පැරණි ජලනල මාර්ගයක් තවමත් පාවිච්චි කළ හැකි තත්වයක ඇත. උණ බම්බු ගැට කඩා දිග හැර ලෑලි සෑදීම දැනුදු කරනු ලැබේ. කෙසේ වෙතත් සම් පදම් කරන්නා සේ වාණිජ හා කාර්මික මට්ටමකින් ලී සහ ලෑලි පදම් කරනු නොලැබේ. ලවණ වර්ග හෝ සීනි වැඩියෙන් ඇති ලී වර්ග ජලයේ පෙඟෙන්නට දමා පසුව වියළා ගැනීමෙන් ඒවායේ පැවැත්ම දික්කර ගත හැකි ය. ලංකාවේත් අඹ ලෑලිවලට මෙය කරනු ලැබේ. නමුත් මෙය වුව ද වාණිජ මට්ටමකින් කරනු නොලැබේ. එහෙයින් ඉරූ ලී සහ ලෑලි පදම් කිරීම යනු ක්‍රමවත්ව (හෝ බොහෝ විට අක්‍රමවත්ව) වේලීම යි.

ඉරු ලීවල බරින් විශාල කොටසක් ජලය ය. එම ප්‍රමාණය බරෙන් බාගයකට වැඩි විය හැකි ය. එල්ම් ලීවල බරෙන් 3/5ක් ජලයයි. ඕක්වල 1/2කි. ස්කොට් පයින්වල 1/4කි. ලීයට හානි සිදු නොවී මේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට නොහැකි ය. කළ හැක්කේ ජලය අඩංගු ප්‍රමාණය 10%-30% දක්වා අඩු වනයේ වේළීම පමණි. මේ සඳහා බොහෝ කාලයක් තිස්සේ කරන ලද්දේ ඉරූ ලී සහ ලෑලි එලිමහනේ ගොඩගසා අව්වට සහ සුළඟට වේළෙන්නට හැරීම ය. මෙය ඉක්මන් වැඩක් නොවේ. වේළෙන විට ඉරූ ලීයේ හෝ ලෑල්ලේ ඇතුළත අමුව තිබිය දී පිට පැත්ත වේළෙයි. වේළෙන විට සියලු ලී කුඩා වෙයි. ඇතුළත අමුව තිබිය දී පිටපත වේළුණ විට ඉරූ ලී පිපිර පැලීම් හෝ ඇද ගැසීම බොහෝ විට සිදු වේ. ඉරූ ලීයක් වේළන විට කුඩා වන ප්‍රමාණය 15% පමණ ය. මෙය හැම පැත්තෙන් ම එක සමානව සිදු නොවේ. ඇද ගැසෙන්නේ එහෙයිනි. ස්වාභාවික කාලගුණයට ගොදුරු කර වියළන ලීවලින් සෑහෙන කොටසක් මේ නිසා අපතේ යයි. එසේ වුවත් තවමත් ලී වියළන ප්‍රධාන ක්‍රමය මෙයයි. උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ සුළං සංසරණය අවශ්‍ය ලෙසින් පාලනය කළ හැකි 'පෝරණු' (kill) නමින් හැඳින්වෙන ශාලා විශේෂයක ලී සහ ලෑලි ගොඩ ගසා ඇතුළු කොටස පිට කොටසට වඩා කලින් වියළීම මඟින් වඩා යහපත් පදමක් ලීවලට දිය හැකි ක්‍රමයක් සොයා ගෙන ප්‍රධාන ලී මෝල්වල එම පහසුකම් සලස්වා ගෙන ද ඇත. නමුත් මේ ක්‍රමය නිසි ලෙස ක්‍රියා කර වීමටත් සෑහෙන කාලයක් ගතවේ. ලී මෝල්කරුවෝ එයට නොසතුටුයහ. එහෙයින් ඔවුන් කරන්නේ එම පහසුකම්වලින් ම අනිසි ප්‍රයෝජන ගෙන මාස දෙකකින් පමණ කළ යුතු කාර්යය දින දෙක තුනකින් අවසන් කර ශක්තිය වැඩි දියුණු කරනවා වෙනුවට බාල කළ ලී ඉක්මනින් ගැණුම්කරුට දී මුදල් ලබා ගැනීමයි. 'පෝරණුවේ පදම් කළ ලී එළිමහනේ වියළි වූ ලීවලට වඩා බාල යැ'යි යන විශ්වාසය පැතිර ගියේ මෙහෙයිනි. ඉරු ලී සහ ලෑලිවල පිටපැත්තේ ලුණු වර්ගයක් මිශ්‍ර කළ ජලය හා වාෂ්පීකරණය ක්‍රමවත් කර ලී වේළන රසායනික ක්‍රමයක් ද විදුලිබලය කැවීමෙන් ඇතුළත මුලින් වියළීම මඟින් ලී වේළන ක්‍රමයක් ද සමහර තැන්හි ක්‍රියාත්මක වේ.

ලීවල ශක්තිය

ඉරන ලද ලීයක හෝ ලෑල්ලක ශක්තිය තනි සාධකයක් වශයෙන් දිය නොහැකි ය. නැමීම, සම්පීඩනය (මිරීකීම) විරූපණය (shearing) ඝට්ටනය යන දේට ඔරොත්තු දෙන ප්‍රමාණය වෙන වෙන ම මැන බලා උවමනාකමේ හැටියට නිසි ලීය හෝ ලෑල්ල තෝරා ගත යුතු ය.

ලී මැනීම

ලී මනින්නේ වේළීමට සහ යතු ගෑමට පෙර ය. එහෙයින් සෙ.මි. 5ක් ද ඝනකම ඇති ලී වශයෙන් හඳුන්වන ඒවායේ සැබෑ ඝනකම සෙ.මී. 4කි. දිග පැත්තෙන් මෙහි එතරම් වෙනසක් නැත. ඉරූ ලී සහ ලෑලි පිළිබඳ ගණන් හදන්නේ ඝන අඩි හෝ ඝන මීටර් ක්‍රමයට ය. ඉහත කී ක්‍රියා මාර්ගවලට වෙනස් ව ලී කොටස් ප්‍රයෝජනයට ගන්නා මෝල් තුන් වර්ගයක් ඇත. එනම් තුනී ලෑලි කර්මාන්තශාලා, ගිනිපෙට්ටි කර්මාන්තශාලා සහ දැව කල්ක (pulp) කර්මාන්තශාලා වේ.

තුනී ලෑලි

මේ තුන ම මහා පරිමාණ කටයුතු ය. තුනී ලෑලි (ply wood) කර්මාන්තයේ දී කරන්නේ සාමාන්‍ය දැව කඳක මැද්දේ පලුදු වැඩි කොටස හැරෙන්නට ඉතිරි මුළු ප්‍රමාණය ම අකුලන ලද පැදුරක ආකාරයට එක ම කැබැල්ලකට සිටින්නට යාන්ත්‍රික ව කපා ගෙන දිග හැර එවැනි ඒවා 3ක් 5ක් හෝ 7ක් එක මත එක තබා ග්ලුවලින් අලවා ගැනීම ය. මේ කර්මාන්තයට ගන්නේ සාමාන්‍ය ඉරීමේ ක්‍රියා මාර්ගයට නුසුදුසු කඳන් වර්ග නැතහොත් කුඩා ඒවා ය. තුනී ලෑලි (Veneer) තැනක් එකට ඇල වූ ඒවා තේ පෙට්ටි ආදී වූ පෙට්ටි වර්ග සඳහා ද වාහනවල ආසන සඳහා ද බොහෝ සේ පාවිච්චි වේ. තට්ටු පහක් එක මත එක ඇලවූ ඒවා ගෙවල්වල දොරවල් සඳහා ද මේසවල උඩ ලෑලි සඳහා ද රාක්ක තට්ටු සඳහා ද ඉතා සුදුසු ය. වෙනත් කාර්යයකට යෙදවිය නොහැකි කඳන්වලින් සාදන මේ ලෑලි ඉතා ශක්තිමත් ය. අවශ්‍යතාව අනුව ශක්තිය වැඩි කරවා ගන්නටත් පුළුවන, සැහැල්ලු ය, වැඩට පහසු ය, ඇද ගැහෙන්නේ නැත, ඇදීම්වලට ඔරොත්තු දෙයි. වාහනවල තට්ටුව, පාලම් පාරුවල තට්ටුව, බෝට්ටුවල තට්ටුව ආදියටත් වාඩි, බැරැක්ක හෝ දැවයෙන් තනන ගොඩනැගිලිවල සියලු ම අංගෝපාංග සඳහාත් ගෙවල්වල සිවිලිමට පමණක් නොව වහලවලට හෙවිල්ලීම සඳහාත් යෙදිය හැකි ය. තෙමීමට ඔරොත්තු දෙන වර්ග තිබේ. ගෘහ භාණ්ඩවල කොටස් සඳහා බහුල ව යොදනු ලැබේ. කල් පැවැත්ම නම් එතරම් දිග නැත.

ගිනිපෙට්ටි

ගිනිපෙට්ටි කර්මාන්තය සඳහා දැව ඉරන්නේ බොහෝ විට එම කර්මාන්තය කෙරෙන ස්ථානයේ ම ය. එම අවශ්‍යතාව සඳහා විශේෂයෙන් සාදවන ලද කියත් වර්ග ඒවායේ පාවිච්චි වේ. මෙම කර්මාන්තයට ගන්නා ලී වර්ග බොහෝමයක් වෙනත් කාර්යයකට යෙදවිය නොහැකි ඒවා ය.

දැව කල්ක

(pulp) දැව කල්ක කර්මාන්තය සඳහා ලී කදීන් මෙන් ම වෙනත් දේ ද අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි වේ. ඉරුම් මෝල්වලින් ලබා ගන්නා අපතේ යන කොටස් ද වෙනත් කටයුතුවලින් අපතේ යන කොටස් ද යාන්ත්‍රිකව ඉතා සිහින් වන්නට කපා රසායනික ද්‍රව්‍ය යොදා දැව කල්ක සෑදීම ද පිදුරු, උණ ගස්, බඩ ඉරිඟු වහලු සහ පැරණි කඩදාසි වැනි දේ පාවිච්චි කර දැව කල්ක සෑදීම ද ලී කොටන් උරච්චි කර කල්ක සෑදීමට අතිරේක ව කරනු ලැබේ. මෙසේ පාවිච්චි වන අලුත් කඳන් ප්‍රමාණය ඉතා විශාල ය. එනිසා විශාල වශයෙන් අවශ්‍ය වන පිරිසිදු ජලය ලබා ගැනීමේ පහසුව තකා කල්ක කම්හල් පිහිටුවා ඇත්තේ බොහෝ විට ගංඟා ඉවුරුවල ය. සාදන කල්කවලින් වැඩි කොටස කඩදාසි සහ කාඩ්බෝඩ්, චිප් බෝඩ්, හාඩ් බෝඩ් ආදී තහඩු වර්ග නිෂ්පාදනයට යෙදවෙයි. ලෑලිවලින් කළ බොහෝ කටයුතු සඳහා මෑතක පටන් මේ බෝඩ් වර්ග යොදනු ලැබේ. ලෑලිවලටත් වඩා ශක්තිමත් ලෙස අවශ්‍යතාව අනුව මේවා සාදා ගත හැකි ය. රේයන් කෙඳි සහ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයට පෙර දී දැව කල්ක බෙහෙවින් භාවිත වූ නමුත් දැන් ඒ සඳහා පැට්‍රො-රසායනික ද්‍රව්‍ය පාවිච්චිය වැඩි වී ඇත. කඩදාසි භාවිතය එන්ට එන්ට ම වැඩි වෙයි. ලිවීමේ හා කියවීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එන්ට එන්ට ම වැඩි වෙයි. ඒ සමඟ ම පුවත්පත්, පොත්පත්, සඟරා ආදියේ අලෙවිය වැඩි වෙයි. මේ නිසා දැව කල්ක අත්‍යවශ්‍ය භාණ්ඩයකි. ආදේශක ද්‍රව්‍ය අවුරුද්දෙන් අවුරුද්ද සොයා ගැනෙන නමුත් දැවවලට ඇති ඉල්ලුම අඩු නොවේ. දැවවලට වැඩියෙන් ම ඉල්ලුම ඇත්තේ ආදේශක ද්‍රව්‍ය වැඩියෙන් ම තිබෙන කාර්මික රටවලිනි. රටක් ධනවත් වත් ම ඒක පුද්ගල දැව පරිභෝගය ක්‍රමයෙන් වැඩි වෙයි. දැවවලට ප්‍රශ්නය ඉල්ලුමට සරිලන සැපයුමක් කරන්නට බැරි වීමයි. ලෝකයේ තිබූ මහා වනාන්තර දැන් බොහෝ දුරට කපා අවසන් කර ඇත. රෝපණය කළ වනාන්තරවලින් ගස් කපා ගැනෙන්නේ වැඩි වශයෙන් ම උතුරු ඇමෙරිකාවේ සහ බටහිර යුරෝපයේ රටවල්වල ය. ලෝක දැව නිෂ්පාදනය පසුගිය කාලය තුළ 60%කටත් වඩා අඩු වී ඇත. 1946 දී ලෝකයේ ඉරන ලද දැව නිපැයුම ඝන මීටර් දශ ලක්ෂ 1,410ක් විය. 1988 දී මෙය ඝන මීටර් දශ ලක්ෂ 500ක් පමණ විය. බොහෝ කටයුතු සඳහා සුදුසු ඉතා බහුල ව පාවිච්චි වූ දැව වර්ගයක් වන සුදු පයින් දැන් ඉතා දුර්ලභ ය. ලංකාවේ වුවත් බොහෝ සෙයින් පාවිච්චි වූ දැව වර්ගයක් වන ගොඩපර ගැන දන්නා අය පවා දැන් විරල ය. දැව තවමත් ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයකි. මෙය වැඩිකලක් පවතින තත්වයක් නොවේ යැයි වනාන්තර විනාශ කෙරෙන වේගය දෙස බලන විට සිතේ.

ගිනි දැල් වීම සඳහා තවමත් පාවිච්චි වන ප්‍රධාන ඉන්ධනය දැව ය. රබර් නැවත වගා කිරීමේ යෝජනා ක්‍රමය නිසා ලංකාවට නම් වැඩි මිලකට හෝ දර සපයා ගැන්මට තවමත් පුළුවන. නමුත් සමහර දුප්පත් රටවල ගිනිදල්වා ගන්නට දරවත් සත්ව බෙටිවත් තෙල් වර්ගවත් නොමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට දැනටමත් සිදු වී ඇත. චීනුන් අනුගමනය කරමින් වියළි තණකොළ ලිප ලා කෑම උයාගන්නට සෙසු දුප්පතුන්ට ද පුරුදුවන්නට කාලය පැමිණ ඇතැයි සිතේ.

ප්‍රධාන දැව වර්ග කිහිපයක්

ලෝකයේ ඇති විශිෂ්ඨතම දැව වර්ග කිහිපයක් ම නිවර්තන රටවල වනාන්තරවලින් ලැබේ. තේක්ක මින් ප්‍රධාන ය. ඉන්දියාව, බුරුමය, තායිලන්තය සහ මැලේසියාව තේක්ක පිටරට යවන රටවල් වේ. තේක්ක දැව වේලෙන විට පැලීමක්, පිපිරීමක්, ඇද වීමක් හෝ හැකිලීමක් සිදු නොවේ. ආවුදවලින් කපන්නට, ගාන්නට, හිල් විදින්නට සහ පුරුද්දනට පහසු ය. ගින්නට පහසුවෙන් ගොදුරු නොවේ. එහෙත් ලීයේ තෙල් ගතියක් ඇත. ඒ තෙල වේයන් අප්‍රිය කරන රසයක් ඇති එකකි. ලෑලි හෝ ලී ඉතා හොදින් පොලිෂ් කරන්නට එනිසා හැකි වෙයි. ඉතාමත් ම දිගු කාලයක් නොදිරා පවතින ලී වර්ගය මෙයයි. ගෘහ භාණ්ඩ තැනීමට ද ගෙබිම සෑදීමට ද ගොඩනැගිලිවල ස්ථිර සවි කිරීම් සඳහා ද බහුලව පාවිච්චි කරනු ලබන නමුත් වහලවල පාවිච්චි කරනුයේ කලාතුරකිනි. මෙය ඉක්මණින් වැඩෙන ගසකි. එහෙයින් ලීයේ වයිරම් ඈත් ය. දර්ශනීය ය. තේක්ක ගස් සාමාන්‍ය ගින්නකට නොමැරේ. ජාත්‍යන්තර වෙළෙඳාමට පෙර පටන් ම යෙදී ඇත.

මහෝගනී නිවර්තනීය රටවල වැවෙන අගනා ලී ලබා දෙන තවත් ගසකි. වර්ග කිහිපයක් ඇත. බටහිර අප්‍රිකාව සහ මධ්‍යම ඇමරිකාව නිජබිම් ය. ලංකාවට ද බෝ කර ඇත. ඉතා වේගයෙන් වැඩෙන ගසකි. දැව රත් පැහැයට හුරු ය, දර්ශනීය ය, වයිරම්වලින් යුක්ත ය, සැහැල්ලු ය, වැඩට පහසු ය, ගෘහ භාණ්ඩ, ස්ථිර සවිකිරීම් සහ සංගීත භාණ්ඩ සඳහා ගැනේ.

කළුවර (ebony) ඉන්දියාවෙන් සහ ලංකාවෙන් පෙර දී පිටරට යැවුන අගනා දැව වර්ගයකි. අරටුව කළු පැහැති ය. අරටුව සහ ඵලය යාවෙන කොටසේ දී සීබ්‍රා මෙන් පැහැය මාරු වීමක් ඇත. දැව බර ය, තද ය, එහෙත් වැඩ කිරීමට පහසු ය. කැටයම් වැඩ සඳහා ද පියානෝ සඳහා ද පිහි මිටවල්, බස්තම් මිටවල් වැනි අලංකාර අවශ්‍ය සුළු වැඩ සඳහා ද පාවිච්චි කරනු ලැබේ.

රෝස්වුඩ් නමින් හැඳින්වෙන සුවඳවත් ලී වර්ගයක් බ්‍රසීලයේ වැඩෙන ගස් වර්ග කිහිපයකින් ලබා ගනු ලැබේ. ගෘහ භාණ්ඩ සෑදීමට ද විද්‍යාත්මක උපකරණවලට සහ සංගීත භාණ්ඩවලට යෙදීමට ද මෙය ප්‍රයෝජනයට ගැනේ. කුට්ටි වශයෙන් අපනයනය කරන මේ දැව ආනයනය කරන රටවල දී ඉතා තුනී ලෑලිවලට ඉරා වෙනත් දැවවලින් තැනූ භාණ්ඩ මත ග්ලූ යොදා ඇලවීම සාමාන්‍ය සිරිතයි.

ඕක් සෞම්‍ය කලාපීය රටවලත් මධ්‍යම ඇමරිකාවේ නිවර්තනීය ප්‍රදේශවලත් වැඩෙන තද දැව වර්ගයට අයිති ගසකි. දැව තද ය, ශක්තිමත් ය. එහෙත් වැඩට පහසු ය. ලීවල දර්ශනීය වයිරම් ඇත. ඉතා හොඳින් පොලිෂ් කළ හැකි ය. මෙය ලංකාවේ කොස් ලී මෙන් බොහෝ කටයුතුවලට සුදුසු ලී වර්ගයකි. නිවාසවල සියලු කොටස් සඳහා පාවිච්චි කරනු ලැබේ. බර දරන්නට විශිෂ්ට ය. නමවන්නට නොහැකි ය. දැවවලින් නැව් තැනූ යුගයේ දී බහුලව ඒ සඳහා ද ගැනිණ. ඇමෙරිකානු ජනපදයකට ඕක්ලහෝමා යන නම ලැබුණේ ඕක් ගස් බහුල වූ නිසා ය.

පයින් වර්ගයට අයත් ගස් වර්ග බොහෝ ගණනක් ඇත. ඒවායේ දැවවල ගුණාංග එකිනෙකට වෙනස් ය. විශිෂ්ටතම වර්ගය වූ සුදු පයින් දැන් දුර්ලභ ය. එය මෘදු ය, සැහැල්ලු ය, මනා වයිරම් රටාවකින් යුක්ත ය, ශක්තිමත් ය, කල්පැවැත්ම මනා ය, වැඩට පහසු ය. නිවාස තැනීමේ සියලු කටයුතු සඳහා සහ ගෘහ භාණ්ඩ සඳහා පෙර දී බහුල ව ගැනිණ.

සීඩර් හෙවත් දේවදාර වර්ගයට අයිති ගස් වර්ග කිහිපයක් ඇත. මේවා සමශීතෝෂ්ණ රටවල මෙන් ම නිවර්තන රටවල ද ඇත. රතු දේවදාර ඖෂධයක් වශයෙන් අපි දනිමු. පැන්සල් සෑදීමට බොහෝ සෙයින් ගන්නා මෙය සුවඳවත් ලීයකි. පෙට්ටි සෑදීමට ද ජනෙල් දොරවල්වලට ද ගෙවල්වල නොයෙක් වැඩට ද එළිමහනේ තබන දේ සඳහා ද මෙම ලී බෙහෙවින් ගනු ලැබේ. සුදු දේවදාර ලී දිරාපත් වීම ඉතා ප්‍රමාද ය. එහෙයින් කණු වශයෙන් අගය කෙරේ. ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝන් සහ විදුලි රැහැන් සඳහා ද වැටවල් සඳහා ද බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ. උළු වෙනුවට යොදන ලෑලි සඳහා සුදුසු මෙම ලීයයි. ස්පාඤ්ඤ දේවදාර නම් තවත් වර්ගයක් මැක්සිකෝවෙන් ද කියුබාවෙන් ද බටහිර ඉන්දීය කොදෙව්වලින් ද අපනයනය කෙරේ. මෙය දර්ශනීය කල්පවතින දැව වර්ගයකි. බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ සුරුට්ටු අසුරන භාජන හෝ පෙට්ටි තැනීමට ය. දේවදාර ඇගැයීම සඳහා ඉතා පැරණි ය. ලෙබනනයේ දේවදාර වනාන්තර ඊජිප්තුවේ රජවරු සහ මෙසපොතේමියාවේ රජවරු බෙහෙවින් අගය කළ සම්පත් විය. කැර්නැක් (ඊජිප්තුවේ)හි මහා දේවස්ථානයේ ඇති කැටයම් අතර ජයග්‍රාහක පාරාවෝ රජු වෙනුවෙන් ෆිනීසියාවේ (ලෙබනන්) කුමාරවරු දේවදාර ගස් කප්පවන චිත්‍ර ඇතුළත් ය. (මෙම කොටස වෙනත් කෙනෙකු ලවා වැඩි දියුණු කර විය හැකි නම් පමණක් ඇතුළත් කරන්න.)

කොස් ලී සහ පොල් ලී ලංකාවේත් ඉන්දියාවේ සමහර ප්‍රදේශවලත් මැලේසියාවේ, ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේත් බොහෝ සෙයින් පාවිච්චි කරනු ලැබේ. ජාත්‍යන්තර වෙළෙඳාමට ඇතුළත් නොවේ. ස්වාභාවික වනාන්තරවල කිසිවිටක කොස් ගස් දක්නට නොලැබේ. මෙය ගෙවතුවල ගසක් ම ය. එහෙයින් මහා පරිමාණ කොස් ලී නිෂ්පාදනයක් නැත. කොස් ලී සහ ලෑලි සඳහා ඇති ඉල්ලුම සපිරෙන නිෂ්පාදනයක් කිසි ම රටක සිදු නොවේ. දැව සවිමත් ය, කල් පවතියි, වැඩ පහසු ය. අරටු ලීයට වේයන්ගෙන් සහ ගුල්ලන්ගෙන් හානි පැමිණීම දුර්ලභ ය. ගෙවල්වල සියලු වැඩට ද ගෘහ භාණ්ඩ තැනීමට ද යෝග්‍ය ය. බර දැරීමේ ශක්තිය ඉහළ ය. හොඳින් ඔප දැමිය හැකි ය. කොස් ලීවලින් සහ ගස්වල මුල්වලින් කහ පැහැති ඩයි වර්ගයක් (පඬු) පෙර දී ලබා ගැනිණ.

පොල් ගස් නිවර්තනීය දිවයින්වල වෙරළබඩ ප්‍රදේශයන්හි මිනිසුන් සිටුවන්නේ නැතිව වැඩේ. නමුත් 'පොල් වනාන්තර' වශයෙන් හැඳින්විය හැකි දෙයක් නොමැත. පොල් ලී සැපයෙන්නේ ප්‍රධාන කොට ම ගෙවතු හෝ වාණිජ වගාවලිනි. සියලු ගස් අතරින් ප්‍රයෝජන වැඩි ම ගස නිසා සියලු නිවර්තන දිවයින්වල බොහෝ සෙයින් වගා කරනු ලැබේ. සැපයෙන දැව ප්‍රමාණය ස්වල්ප නැත. දැව සවිමත් ය, බර ය, කල් පවතියි. එහෙත් වැඩ කිරීම පහසු නැත. කීරි කරදරකාරී ලෙස අත්වල ඇනෙයි. එහෙයින් ඉංග්‍රීසියෙන් ඉත්තෑ ලී යන අරුත දෙන 'පොකියුපයින් වුඩ්' යන නම භාවිත වේ. බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ වහලවල්වල යට ලී සහ පරාල සඳහා ය. නමුත් උළුවහු සඳහාත් ගෘහ භාණ්ඩ සඳහාත් මෑතක පටන් පාවිච්චි වේ. ලංකාවේ පොල් ලී සකස් කර ගන්නේ අසතුටුදායක ක්‍රමයකට ය. මාදලිවයින්වාසීහු පොල් කොටස් පලංචියේ නංවා කියතෙන් ඉරා පසුව බොඩය සහ පොත්ත රැස දමා මුහුදු වැල්ලේ වළලා පදම් කර ගනිත්. ඔවුන්ට දැව වශයෙන් හැඳින්විය හැකි දෙයක් ඇත්තේ පොල් ලී පමණක් නිසා සියලු කාර්යයන්ට එය පාවිච්චි කරනු දක්නට හැකි ය. ඔවුහු ඔරු, සුලුප්පු සහ නැව් පොල් ලී පුරුද්දා කදිමට සාදා ගනිත්. මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ ද පොල් ලීවලින් ගන්නා ප්‍රයෝජනය ලංකාවට වඩා වැඩි ය. පොල් කඳන් කණු වශයෙන් පාවිච්චි කිරීමට ද යෝග්‍ය ය.

(ලෝකයේ රටවල් අනුවත් ඒ ඒ ගස් වර්ග අනුවත් නිෂ්පාදනය කෙරෙන දැව ප්‍රමාණයක් පෙන්වන සංඛ්‍යා ලේඛනයත් ඇතුළත් නම් ලිපිය වඩාත් අංග සම්පූර්ණ වේ. ඡායා පිටපත් එවා ඇති මූලාශ්‍රවලින් එකක එබඳු සංඛ්‍යාලේඛන ඇතත් ඒ 1946 ආසන්න අවුරුදු සඳහා ය. වාර්තාවකින් එබඳු සංඛ්‍යා ලේඛනයක් උපුටා දැක්විය හැකි නම් හොඳයි. statusman year bookහි ද එබඳු සංඛ්‍යා ලේඛන ඇත.)

(කර්තෘ: කේ.පී. ධර්මසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දැව_කර්මාන්තය&oldid=5182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි