දෑල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල මැතිවරණ කොට්ඨාශයට අයත් ඉපැරණි ගමකි, දෑල. නවදුන් කෝරළයේ පැල්මඩුල්ල උඩපත්තුවටත්, කොටාමුල්ල-හංගමුව පල්ලේපත්තුවටත් මැදි වූ දෑල මැදපත්තුවට අයත් ය. නිවිතිගල සිට රත්නපුරයට දිවෙන මහා මාර්ගයේ පිහිටියේ ය. රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ සීමාවට අයත් දෑල හොරගොල්ල සහ එරබද්ද ග්‍රාම සේවා වසම් දෙකට අයත් ය. මේ ගම මැදින් ගලා බසිනා නාරන්කන්ද දොල හා කම්බ දොල නිසා මේ ගමට දෑල යන නම ලැබුණු බව විශ්වාසයයි.

රක්වාන කඳු වැටි දර්ශන සීමාවේ පිහිටි දෑල ග්‍රාමයට නිරිත දිග මෝසමින් සෑහෙන වර්ෂා ප්‍රමාණයක් ලැබෙන හෙයින් ද රක්වාන කඳු වැටියෙන් ආරම් වී වටාපත, නිවිතිගල, මාරපන ගම් පසු කොට දෑල ගම අසලින් ගලා ගොස් කළු ගඟට එක් වන වේ ගඟත්, කුකුලේ ගඟත් නිසා ද සරුසාර ගමකි.

පුරාණයේ දී දෑල ගැමියෝ වගාවන්ට අමතර ව බහුල ලෙස මැණික් කර්මාන්තයෙහි යෙදුණෝ ය. අද මැණික් කර්මාන්තය ගමින් ඈත් වී ගොස් ඇති අතර රබර්, තේ හා ගම්මිරිස් වැනි කෘෂි භෝග වගාව ද වී වගාව ද කෙරෙයි. පැරණි කල දෑල ගමෙහි ඉතා දක්ෂ, ප්‍රසිද්ධ යකැදුරන් සිටි බව කියනු ලැබේ.

වලගම්බා රජු සොළී සතුරන්ගෙන් සැඟවී අප්‍රසිද්ධ ව රටේ තැනින් තැන සැඟවී සිටි කාලයේ දෑල අසල මාරපන ගමෙහි සිටි බවත් දැනට රජ නා දොල නම් ප්‍රසිද්ධ දොලෙහි නෑමට පුරුදුව සිටි බවත් මෙම දොලේ වලක ඇති පඩි පෙලකින් නැඟ රත්නපුරයට යෑමට පුරුදු ව සිටි බවත් ජනප්‍රවාදයේ කියැවේ.

දෑල බහු වාර්ගික, බහු ආගමික ගමකි. ඉපැරණි ගමක් වුව ද මෙහි ඇත්තේ 1920 තරම් මෑත කාලයක දී තනන ලද විහාරස්ථානයකි. පුංචි කෝච්චිය ධාවනය වූ කාලයේ දෑල දුම්රිය ස්ථානයක් තිබිණ. බිබිලියල් නම් විශේෂ ගොඩ වී වර්ගයක් පෙර මෙහි වගා කළ ද අද මෙය දක්නට නැත. බ්‍රිතාන්‍ය ජාතික ඊ.එල්. මයිල්ස් නම් මහතකුට අයත් වතු යායක් මෙහි විය. අද එය ඔහුගේ පරම්පරාවෙන් පැවතෙන අයට අයත් ය. මේ වතු යායේ ගලක් යටින් මතු වන දිය උල්පතක ජලය නල මඟින් මේ ගමට ලබා දී තිබේ. දෑල රබර් කර්මාන්ත ශාලාවක් ද වේ.

පෘතුගීසීන් හා සිංහල රජුන් අතර සටන් පැවැති සමයේ කටුවන බලකොටුව පෘතුගිසීන්ගෙන් අල්ලා ගැනීමට දියත් කළ යුද්ධයේ දී එයට මූලිකත්වය ලබා දුන්නේ දෑල බණ්ඩාර පරපුරට අයත් වූවෙකි. මෙහි දී ඔහු කළ දස්කම් හේතුවෙන් රජුගෙන් ලැබුණු නින්දගම් අතර දෑල ගම ද එකක් විය.

ආශ්‍රිත ග්‍රන්ථ

CENSUS REPORT-1891

දෑල ගම් වැසියන්ගෙන් ලත් තොරතුරු පදනම් කොට ගෙන ලියන ලදි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දෑල&oldid=5335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි