දික්කසාදය
(Divorce). ස්ත්‍රියක සහ පුරුෂයකු අතරේ සිදුවන විවාහයක් අවසානයට පත්වීම සාමාන්‍ය අර්ථයෙන් සලකා බලන කල දික්කසාදයක් ලෙස හැඳින්විය හැකි ය. මෙහි දී ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර පැවති නෛත්‍රික බන්ධනය අවසානයට පත්වන අතර දික්කසාදයෙන් ලබාගත් දිනයේ සිට විවාහක යුවලකට හිමිවන්නා වූ නෛතික අයිතිවාසිකම් ද අවසානයට පත් වේ. නමුත් විවාහක පාර්ශ්වකරුවන් සිය දික්කසාදය ලබාගන්නා අවස්ථාවේ දී ඇති කරගනු ලබන එකඟත්වය මත පාර්ශ්වකරුවන් අතරේ සහ ඔවුන්ට දාව උපත ලත් දරුවන් වෙනුවෙන් යම් යුතුකම් කොට්ඨාසයක් ඉටුකිරීමේ බැඳීමකට ඔව්හු ඇතුළත්වීම දික්කසාදයක ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත විය හැකි ය. විවාහයක් සිදු වූ අවස්ථාවක දී එකී විවාහයෙන් උපතලත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙකී සිද්ධාන්තයේ පදනම වශයෙන් දැක්විය හැකි වේ. දික්කසාදයකින් විවාහය අවසානයට පත්වීමත් සමඟ ම දරුවන් සම්බන්ධව මෙබඳු ආරක්ෂාවන් නොපැවතියේ නම් බාල වයසේ පසුවන්නා වූ දරුවන්ට රැකවරණයක් නොමැති වීම යන පදනම යටතේ මෙකී යුතුකම් සැලැස්වීමට නීතිය යුහුසුලු වී තිබේ.
දික්කසාදයක් පිළිබඳ ව සරල අර්ථ නිරූපණයක් දැක්වීමේ දී ස්ත්‍රියක සහ පුරුෂයකු අතර විවාහය අවසන් වීම ලෙස දැක්විය හැකි නමුත් නීතිය යටතේ දික්කසාදය ප්‍රධාන අවස්ථාවන් දෙකක් යටතේ අර්ථ නිරූපණය කළ හැකි වන්නේ ය. ඒ අනුව ස්ත්‍රිය හා පුරුෂයා අතරේ වන වෙන්වීම අධිකරණමය වෙන්වීමක් විය හැකි අතර, එය පූර්ණ දික්කසාදයක් ලෙසින් ද අවසානයට පත්විය හැකි ය.
1. අධිකරණමය වෙන්වීම
අධිකරණමය වෙන්වීමත් දික්කසාදයකින් වෙනස් වන්නේ ය. දික්කසාදයකින් විවාහය පූර්ණ අවසානයට පත් කරන නමුත් මෙකී ප්‍රතිඵලය අධිකරණමය වෙන්වීමකින් ඇති නොවේ. අධිකරණමය වෙන්වීමක් යටතේ නීත්‍යානුකූල විවාහයකින් උද්ගතවන්නා වූ ප්‍රතිඵලයන් අත්හිටුවීම පමණක් සිදු කෙරේ. අධිකරණමය වෙන්වීමක් ලබාගත හැකි කරුණු කිහිපයක් අපට ඉදිරිපත් කළ හැකි ය. ඒ අනුව,
අ. කෲරකම
ආ. අනාචාරය
ඇ. ද්වේශ සහගත අතහැර යාම
ඈ. අසාධ්‍ය බෙලහීනත්වය
අධිකරණමය වෙන්වීමක් ලබාගත හැකි අවස්ථාවන් ලෙස දැක්විය හැකි ය.
සිවිල් නඩු විධාන සංග්‍රහය දක්වන පරිදි (608 (1) වගන්තිය), වාසයෙන් සහ සංවාසයෙන් වෙන්වීමක් සඳහා වූ ඉල්ලීමක් ලංකාවට අදාළ වන නීතිය අනුව එකී වෙන්වීමට ඉඩදිය හැකි යම් හේතුවක් මත ස්වාමිපුරුෂයා හෝ භාර්යාව විසින් ඔහු හෝ ඇය පදිංචිව සිටින දිසා අධිකරණ බලසීමාව තුළ දිසා අධිකරණය වෙත පැමිණිල්ලක් කිරීමෙන් ඉදිරිපත් කළ හැකි අතර, යථා පරිදි වූ නඩු විභාගයකින් පසු පැමිණිල්ලෙහි කර තිබෙන ප්‍රකාශවල සත්‍යතාව සම්බන්ධයෙන් සහ ඉල්ලීමට ඉඩ නොදිය යුතු වීමට නෛතික හේතුවක් නැති බවට සෑහීමට පත්වීමෙන් පසු අධිකරණය විසින් ඒ අනුව වෙන්වීමේ තීන්දු ප්‍රකාශය කළ හැකි ය. මෙකී අධිකරණමය වෙන්වීමක් ලබාගන්නා ආකාරය සම්බන්ධව අවස්ථාපිත කරුණු පැහැදිලි කිරීම සඳහා උදාහරණ කිහිපයක් නඩු තීන්දු ඇසුරෙන් දැක්විය හැකි වේ. බබුන් නෝනා එරෙහි ඇල්වින් කෙට්ප්ස් ((1962) 67 183)හිදී භාර්යාව ස්වාමිපුරුෂයාට පහර දී තිබුණි. ස්වාමිපුරුෂයා හෝ අනාචාර හැසිරීම හේතුවෙන් එක්ව ජීවත්වීම භාර්යාවට අපහසු වී තිබුණි. මෙබඳු අවස්ථාවන්හි දී අධිකරණය විසින් අදාළ කෲර හැසිරීම පිළිබඳ ව අවධානය යොමු කර තීරණයකට එළඹීම අවශ්‍ය වන්නේ ය. රයිට් එරෙහි රයිට් ((1903) 9 31)හිදී ශාරීරික වශයෙන් කෲරත්වයක් හෝ දරුණුභාවයක් නොපැවතුණි. එසේ ම ජීවිතයට හානියක් වන ආකාරයේ අඬදබර ද නොතිබුණි. එහෙත් මෙකී ක්‍රියාදාමය යටතේ අන්‍යොන්‍ය වශයෙන් අප්‍රසාද සහගත වූ හැඟීම් සමුදායක් පැවතුන අතර මෙය කෲරක්වය සඳහා ප්‍රමාණවත් නොවන බව දැක්විණි. අනෙක් අතට විජේසිංහ එරෙහි විජේසිංහ ((1954) 57 487)හිදී මෙයට වඩා නිදහස් මතයක් අනුගමනය කෙරුණ අතර අධිකරණමය වෙන්වීම සඳහා පදනම් වන්නා වූ කෲරත්වය සඳහා ශාරීරික කෲරත්වය අවශ්‍ය නොවන බව ප්‍රකාශ කෙරිණි.
දික්කසාදය අධිකරණමය වෙන්වීමෙන් වෙනස් වන්නේ ය. ඒ අනුව අධිකරණමය වෙන්වීම තාවකාලික වශයෙන් පාර්ශ්වකරුවන් වෙන්ව තබන්නක් ලෙසට ද දික්කසාදය ස්ථිර වශයෙන් විවාහය අවසානයට පත් කරන්නක් ලෙසට ද අපට දැක්විය හැකි වේ. අනිත් අතට, අධිකරණමය වෙන්වීම දික්කසාදයක් ලබාගැනීමේ ප්‍රථම අදියර ලෙසට ද තර්ක කළ හැකි ය. සිවිල් නඩු විධාන සංග්‍රහය දක්වන පරිදි (608 (2) වගන්තිය), ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හෝ විසින් වෙන්වීම සඳහා වූ තීන්දු ප්‍රකාශයක් දිසා අධිකරණයක් විසින් වාර්තාගත කිරීමෙන් අවුරුදු දෙකක කාලයක් ඉකුත් වීමෙන් පසු ව හෝ මෙකී ප්‍රතිපාදනය යටතේ කිසිදු ඉල්ලීමක් කරනු නොලැබුව ද අවුරුදු හතක කාලයක් වාසයෙන් හා සංවාසයෙන් තොර වෙන්වීමක් තිබුණු අවස්ථාවක විවාහය අවලංගු කිරීම සඳහා වූ තීන්දු ප්‍රකාශයක් සඳහා වූ තීන්දු ප්‍රකාශයක් සඳහා දිසා අධිකරණය වෙත ඉල්ලුම් කළ හැකි අතර, යම් අවස්ථාවක සංවාසය නැවත ආරම්භ කරනු නොලැබූ බවට අධිකරණයෙන් සෑහීමට පත් වූ විට හෝ අවුරුදු හතක කාලයක් වාසයෙන් සහ සංවාසයෙන් තොර වෙන්වීමක් තිබුණු අවස්ථාවක අධිකරණය විසින් ඒ අනුව නඩු තීන්දුවක් වාර්තාගත කළ හැකි වේ. දික්කසාදයක් ලබාගත හැකි පදනම් අපට මෙසේ දැක්විය හැකි වේ. එනම්,
1. අනාචාරය
2. ද්වේෂ සහගත අතහැර යාම
3. වෙන්වීමේ නියෝගයක් දික්කසාදයක් බවට පත්කර ගැනීම.
දික්කසාදයක් මඟින් නෛතික විවාහයක් නීතිය යටතේ අවසානයට පත්වීම සිදුවන්නේ ය. ඒ අනුව විවාහක පාර්ශ්වකරුවන් දික්කසාදයක් ලබාගත් පසු ව එකී විවාහයෙන් බිහි වූ දරුවන් සිටී නම් හෝ ඔවුන්ගේ දේපල පවතී නම් එකි කරුණු පිළිබඳ ව නෛතිකමය වශයෙන් බේරුම් කරගැනීම අවශ්‍ය වන්නේ ය.
(කර්තෘ: ශිරාණි ඒ. බණ්ඩාරනායක)
(සංස්කරණය නොකළ)