දිට්ඨි විසුද්ධි
නාම රූප ධර්‍මයන්ගේ යථාස්වභාව දර්ශනය ඇති සැටි නුවණින් සිරිසිඳ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ. ඒ දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරනු කැමැති සමථයානිකයා නෙවසඤ්ඥානාසඤ්ඤායතන ධ්‍යානය හැර අවශේෂ රූපා රූපාවචර සප්ත ධ්‍යානයන් අතුරෙන් එක්තරා ධ්‍යානයකට සමවැදී එයින් නැගී සිට විතර්කාදී ධ්‍යානාංගයෝ ද ධ්‍යානාංගයන් හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද ලක්ෂණ රසාදි විසින් පිරිසිද දත යුත්තාහු ය. පරිග්‍රහණය කොට මේ සියල්ල අරමුණට අභිමුඛව නැමෙන බැවින් නැමීම් අර්ථයෙන් නාම යයි නිශ්චය කටයුතු ය. අනතුරුව මේ යොගාවචර ඒ නාමය පරීක්ෂා කරනුයේ මේ නාමය කුමක් ඇසිරී කොට පවතීදැ’යි සොයනුයේ ඒ නාමයට ආශ්‍රය වූ හෘදය රූපය දකී. ඉක්බිති හෘදය රූපයට නිඃශ්‍රය වූ සතර මහා භූතයන් ද මහාභූත නිශ්‍රිත වූ සෙසු උපාදාය රූපයන් දැ'යි රූපය පරිග්‍රහණය කෙරෙයි. හේ තෙල සියලු රූපය නැසෙන වැනැසෙන (රුප්පන) හෙයික් ‘රූප’ යයි පිරිසිඳ දැනගනී. යළි නැමෙන ලක්ෂණ ඇත්තේ නාම යැ, රුප්පන ලක්ෂණ ඇත්තේ රූප යයි සැකෙවින් නාම රූපය නිශ්චය කෙරෙයි.
සුද්ධවිපස්සනායානිකයා වැලිත් මුලින් කී සමට්යානිකයා මැ හෝ ධාතුමනසිකාරයෙහි කියන ලද ධාතුපරිග්‍රහ මුඛයන් අතුරෙන් එක්තරා ද්වාරයකින් සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පටවි ආදී සතර ධාතූන් පරිග්‍රහ කෙරෙයි. ඉක්බිති ඔහු ම යථාස්වභාව ලක්ෂණ වශයෙන් ධාතූන් ප්‍රකට වූ කල්හි පළමු කොට කර්මසමුත්ථාන වූ කෙශයෙහි කාය දසක භාවදසකයන්ගේ වශයෙන් රූප විස්සක් ද එහි ම ආහාරසමුට්ඨාන චිත්තසමුට්ඨාන වූ ඔජට්ඨමකයන්ගේ වශයෙන් සූවිසි රූපයක් දැ'යි සූසාලිස් රූප කෙනෙක් වෙති. ලොම නඛ ආදී චතුසමුට්ඨානික වූ කොටස් සූවිස්සෙහි රූපයෝ සූසාලිස බැගින් වෙති. සෙද අස්සු ඛෙළ සිංඝාණිකායන උතු-චිත්ත සමුට්ඨාන වූ කොටස් සතරෙහි ඔජට්ඨමක රූප අටක් අටක් බැගින් සොළොස් සොළොස් රූපයෝ වෙති. එසේ ම උදරීය කරීස පුබ්බ මුත්ත යන උතුසම්ටුඨාන කොටස් සතරෙහි ඔජට්ඨමකයාගේ වශයෙන් අටක් අටක් රූපයෝ ප්‍රකට වෙත්. මේ ද්වාත්තිංගාකාරය ප්‍රකට වූ කල්හි කර්මජ තෙජොධාතු යැ චිත්තජ ආස්වාස ප්‍රාශ්වාසයැ චතුසමුට්ඨාන වූ කොටස් අට යැ යන මෙහි අනිකදු දස ආකාරයකින් රූපයෝ ප්‍රකට වෙත්.
ඒ භොගාවචර හට මෙසේ විස්තරයෙන් දෙසාලිස් ආකාරයන්ගේ වශයෙන් භුතෝපදාය රූපයන් ප්‍රකට වූ කල්හි වස්තුද්වාර වශයෙන් චක්‍ෂුර්දශකාදී දශක පසක් ද හෘදවස්තු දශකය දැ'යි අනිකුදු සැට රූප කෙනෙක් ප්‍රකට වෙත්. හේ ඒ සියලු රූපයන් රුප්පන ලක්ෂණයෙන් එක්රැස් කොට මේ රූප යයි නුවණින් දකී.
මෙසේ රූප පරිග්‍රහය කළ ඒ යෝගිහට ද්වාර විසින් අරූපධර්‍මයෝ ප්‍රකාශ වෙත්. ඒ මෙසේ යැ: කුශලාකුශල වු දෙපස් විඥානයෝ යැ තුන් මනොධාතුහු යැ මනොවිඥාන ධාතු අට සැම යැ යන එක් අසූ සිත් සමඟ සහජාත වූ ඵස්ස වේදනා සඤ්ඤා චෙතනා ජීවිතින්ද්‍රිය එකග්ගතා මනසිකාර යන සත් චෛතසිකයෝ ද ප්‍රකට වෙත්. ලොවුතුරු සිත් වූ කලි සුද්ධ විපස්සනායානිකයාට ද ශමථයානිකයාට ද පරිග්‍රහයට නොයෙති. අනධිගත හෙයිනි. හේ ඒ සියලු අරූපධර්‍මයන් නැමීම් ලක්ෂණයෙන් එක්රැස් කොට තෙල නාම යයි දකී. මෙසේ එක් යොගාවචරයෙක් චතුර්ධාතු ව්‍යවස්ථා මුඛයෙන් විස්තර හෙයින් නාමරූප නිශ්චය කෙරේ. අනිකෙක් අටළොස් ධාතූන්ගේ වශයෙන් නාමරූප ව්‍යවස්ථා කෙරෙයි. එසේ ම කිසිවෙක් දොළොස් ආතනයන්ගේ වශයෙන් ද යළි කිසිවෙක් තවත් සඞක්‍ෂිප්ත කොට පඤ්චස්කන්ධයන්ගේ වශයෙන් නාමය ද පරිග්‍රහ කෙරෙයි. දැක්වූ පරිදි රූපපරිග්‍රහය පහසුවිය හැකි ය. එහෙත් අරූප පරිග්‍රහය පහසු නොවේ. ඉතා සියුම් හෙයිනි. එකල්හි විසුද්ධිමග්ගාදියෙහි දැක්වූ පරිදි උපමා වශයෙන් ද නොයෙක් සූත්‍රාන්තයන්ගේ එකල්හි විසුද්ධිමග්ගාදියෙහි දැක් වූ පරිදි උපමා වශයෙන් ද නොයෙක් සූත්‍රාන්තයන්ගේ වශනේ ද මෙනෙහි කොට ධාතු ආයතන ස්කන්ධ යන සියලු මැ ප්‍රෙතභූමක ධර්‍මයන් නාමයත් රූපයත් පමණෙකැ යි දෙපරිද්දෙන් නිශ්චය කෙරෙයි. නාමරූප මාත්‍රයෙහි මත්තෙහි අන්‍ය වූ සත්වයෙක් පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ නැතැයි නිෂ්ඨාවට පැමිණෙයි. ඒ යොගාවචර මෙසේ යථාභූත ස්වභාවයෙන් නාමරූපය නියම කොට ඉතා මැනැවින් සත්වයෙක පුද්ගලයෙක යන ලෝකව්‍යවහාරය ප්‍රහාණය පිණිස සත්වසම්මොහය දුරලනු පිණිස අසම්මොහභුමියෙහි සිත පිහිටුවනු පිණිස බොහෝ සූත්‍රයන්ගේ වශයෙන් මේ නාම රූප මාත්‍රයෙක සතිවයෙක් පුද්ගලයෙක් නැතැ යි මේ අර්ථය සසඳා නියම කෙරෙයි. මේ දොරනලද වෙයි,
“යථාවි අංගසංහාරා
හොති සද්දෙ රථො ඉති
එවං බන්ධෙසු සන්තෙ සු
හොති සත්තොති සම්මුති” යි.
වක්‍ර වියඳඩු ආදී අවයව සමූහයාගේ එකතුව ඇති කල්හි රථය යන ශබ්ද ව්‍යවහාරය මෙන් රූපාදී ස්කන්ධයන්ගේ එකතුව ඇති කල්හි සත්වයෙක යන සම්මතය වේ යයි. තව ද යම් ශරීරයෙහි පරමාර්ථ වශයෙන් නාමයත් රූපයත් විනා සත්වයෙක් හෝ මිනිසෙක් හෝ නැත. මේ ශරීරය සකස් කරන ලද යන්ත්‍ර රූපත් මෙන් ජීවශූන්‍යය ප්‍රත්‍යය වශයෙන් පවතී. නිරතුරු ආතුර බැවින් දුක් රැසෙක ආත්මශූන්‍ය බැවින් තෘණ කාෂ්ට බඳු වේ. මේ කීහ. පොරණැදුරෝ
“නාමං ච රූපං ච ඉධත්ව සම්මතො
න හෙත්ථ සතෙකා මනුජො ච විජ්ජති,
සුඤ්ඤං ඉදං යන්ත ම්වාභිසඛ්ඛටං
දුක්ඛස්ස පුඤෙජා ති ණකට්ඨ සාදිසො”යි.
නැව නිසා මනුෂ්‍යයෝ සාගරයෙහි ගමන් කෙරෙති. එ සෙයින් රූපය නිසා නාමකාය පවතී. මිනිසුන් නිසා නැව සාගරයෙහි යන්නාක් මෙන් නාමය නිසා රූප කාය පවතී. මිනිස්හු ද නැව ද ඔවුනොවුන් නිසා සයුරෙහි යන්නාක් මෙන් නාමයත් රූපයත් දෙක ඔවුනොවුන් නිසා පවත්නා හු වෙත්.
මෙසේ නා නා නයින් නාම රූප ව්‍යවස්ථා කරන යෝගාවචර භව අනාදිමත් සසර පුරුදු ව ආ ආත්ම යැ යන ග්‍රාහය මැඩපියා අසම්භොග භූමියෙහි සිටි නාම රූපයන්ගේ යථාස්භාව දර්ශනය ආත්ම දුෂ්ටිමල විශුද්ධ කරන හෙයින් දිට්ඨි විසුද්ධි නම් වේ. නාමරූපවවත්ථාන යනු ද සංඛාර පරිච්ඡෙද යනු ද මේ දිට්ඨි විසුද්ධියට මැ නම් වේ. (විසුද්ධමග්ග - දිට්ඨිවිසුද්ධිනිද්දෙස)
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)
(සංස්කරණය නොකළ)