දිප්පිටිය
සබරගමු පාළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් පළාත පත්තුවේ ගල්බොඩ කෝරළයට අයත් ස්ථානයකි. දොළොස්බාගේ කඳුවැටි, අහුපිණි ඇල්ල උස්බිම්, බතලේගල, ලුණුහුනුගල, අම්බුලුගල යන උස්බිම්වලින් වට වී ඇති දිප්පිටිය ප්‍රදේශය ද්‍රෝණි බිමකි. මාවනැල්ල-අරණායක මාර්ගය මෙම ද්‍රෝණිය හරහා විහිදී ඇත. අවට නිම්න දිගේ විහිදී එන කුඩා මාර්ග පද්ධතිය ද මෙම ද්‍රෝණි බිමෙහි දී ප්‍රධාන මාර්ගයට එකතු වේ. අහුපිණිඇල්ල උස්බිම්වලින් ආරම්භ වන මහඔය නදිය ද බටහිරට බරව ගලා බසින්නේ මෙම ප්‍රධාන මාර්ගයට බොහෝ දුරට සමාන්තරව ය. දිප්පිටිය ජලයෙන් පෝෂිත ප්‍රදේශයකි.
අරණායක නගරය දිප්පිටිය සැතපුම් 3ක් පමණ දුරින් මධ්‍යම කඳුකරයට බරව උස්බිම් සීමාවේ පිහිටා තිබීම නිසා එහි නගරයක් වශයෙන් ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ භෞතික පිහිටීමෙන් අවහිර වී ඇත. එහෙයින් අරණායක පිහිටිය යුතු ආරෝග්‍යශාලාව, පොලීසිය, මහා විද්‍යාලය හා මූල්‍ය ආයතන ගොඩනැගිලි දිප්පිටියෙහි පිහිටුවා ඇත. භෞතික පිහිටීමේ වාසිය නිසා දිප්පිටිය වෙළෙඳ මධ්‍යස්ථානයක් වී ඇත.
දිප්පිටිය නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ ම පිහිටා ඇති රාජගිරිමල්පා රජමහා විහාරය වැදගත් ආගමික ස්ථානයකි. එය දප්පුල (දාපුළුසෙන්) රජතුමාගේ කාර්යයක් ලෙස සැලකේ. විහාරයේ ඇති බුදු පිළිමය, මකර තොරණ හා බුදුගෙට පිවිසීමට ඇති ලී උළුවස්ස ද පැරණි ය.
විහාරයට පිවිසීමට ඇති ලී උළුවස්ස මෙහි විශේෂ කලාත්මක අගයෙන් යුත් නිර්මාණයකි. මහනුවර යුගයේ ලී කැටයම්කරුවාගේ කැටයම් කලාවේ උසස් අවස්ථාවක් වශයෙන් සැලකිය හැකි ය. මෙහි ඇති බෝධීන් වහන්සේ ද පැරණි එකකි. ජනප්‍රවාද අනුව ආදි කාලයේ දී අනුරාධපුරයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් දක්ෂිණ දේශයේ වැදගත් ස්ථානයක රෝපණය කිරීමට ගෙනයාමේ දී මෙම ස්ථානය රාත්‍රී නවාතැනක් වශයෙන් යොදා ගෙන ඇත. බ්‍රාහ්මණයා උදෑසන පිබිදී ගමන ආරම්භ කිරීමට බලන කල බෝ අංකුරය තිබූ තැන මුල් ඇද තිබුණි. එහෙයින් මුල් ඇදි ස්ථානය වෙනස් නොකර එහි ම රෝපණය කළ බව ජනශ්‍රැතික විශ්වාසයයි. අද අලංකාර ලෙස වැඩි ඇති බෝ රුක බෞද්ධයන්ගේ භක්තියට පාත්‍ර වී ඇති ස්ථානයකි.
ලංකාවේ අන්තිම රහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ ද මෙම ස්ථානයෙහි වැඩ සිටි බව ප්‍රදේශයේ බෞද්ධයන්ගේ විශ්වාසයයි.
(කර්තෘ: පී.ඒ. ගුණසේන)
(සංස්කරණය නොකළ)