දිමිත්තා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ ගං මෝයවල කඩොලාන ශාක ආශ්‍රිත පරිසරයේ ජීවත් වන මත්ස්‍යයෙකි. ඉතා කලාතුරකින් ගංගාවල වඩදිය මට්ටමට ඉහළ ප්‍රදේශය දක්වා ද ගමන් ගනී. මොහුගේ විද්‍යාත්මක නාමය Toxotes chatareus ය.

පාර්ශ්විකව පැතලි වූ දේහයක් සහිත මෙම මත්ස්‍යයාගේ හොම්බ උල් වී ඇති අතර එය පිටතට නෙරිය හැකි ය. පෘෂ්ඨීය පැත්ත කොළ පැහැති කහ පාටක් ගන්නා අතර උදරීය පැත්ත ලා පැහැති ය. දේහයේ පාර්ශ්විකව අඳුරු දුඹුරු පැහැති ලප වැනි ඉරි පහක් පිහිටයි. වරල් කහ පැහැයක් ගනී. ගුද වරළේ සහ පෘෂ්ඨීය වරලේ අපර දාර අඳුරු දුඹුරු පැහැ ගනී. පෘෂ්ඨීය වරලේ කණ්ටක පහක් සහ මෘදු කිරණ 12-13ක් ද, ගුද වරලේ ඛණ්ටක තුනක් සහ මෘදු කිරණ 16-18ක් ද ශ්‍රෝණි වරලේ ඛණ්ටක එකක් සහ මෘදු කිරණ පහක් ද ලය වරලේ මෘදු කිරණ 15ක් ද ඇත. අංශ රේඛාව ඔස්සේ කොරළ 33-35ක් පමණ සංඛ්‍යාවක් පිහිටයි.

දිවේ කුඩා සියුම් දත් ඇත. හලාස්ථි, තාලවාස්ථි සහ ත්‍රී අංගාස්ථි යන අස්ථිවල ද කුඩා දත් පිහිටයි. සෙ.මී. 40ක් පමණ දිගක් දක්වා වර්ධනය වීමට පුළුවන. එවැනි මත්ස්‍යයෙකු ග්‍රෑම් 750ක් පමණ බර වේ.

වරකට බිත්තර 20,000 - 150,000ක් පමණ දමයි. මෙම බිත්තරවල විෂ්කම්භය මි.මි. 0.4ක් පමණ වේ.

මොවුන්ගේ ආහාර ප්‍රධාන වශයෙන් ම භෞමික කෘමීන් ය. ජලාශයට ඉහළින් පියාඹන මෙම කෘමීන්ට ජල පහරක් විද ඔවුන් ජලයට වැටෙන්නට සලස්වා අධිග්‍රහණය කරති. මේ අනුව මීටර් 1ක් පමණ ඉහළින් පියාඹන කෘමීන්ට ද නිවැරදි ඉලක්කයට ජල පහරක් විදීමට මොවුනට පුළුවන. සමහර විට ගං ඉවුරේ ඇති ශාක පත්‍ර මත වසා සිටින කෘමීන් ද මෙසේ ජල පහරක් විද ජලයට වැටෙන්නට සලස්වා අධිග්‍රහණය කරති. එසේ ම ජලය මතුපිටින් පියාඹන කෘමීන් අල්ලා ගැනීමට ජල පෘෂ්ඨයෙන් ඉහළට පැනීමට ද පුළුවන. සමහර විට කුඩා මත්ස්‍යයින් ද ආහාරයට ගනිති.

ශ්‍රී ලංකාවේ සිට උතුරු ඕස්ට්‍රේලියාව දක්වා මොවුහු ව්‍යාප්ත ව සිටිති. සුරතල් මසුන් ලෙස අධික ඉල්ලුමක් ඇත. සත්ත්ව විද්‍යාඥයින් මොහු වර්ගීකරණය කරනුයේ Osteichthyes වර්ගයේ, Perciformes ගෝත්‍රයේ, toxotidae කුලය යටතේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Pethiyagoda R. 1991 Freshwater fishes of Sri Lankal wild life Heritage Trust of Sri Lanka 362 pp.

Munro I. S. R., 1955 The Marice and Freshwater fishes of Ceylon, Department of External Affairs, Canberra, 351 pp.

රූප සටහන්

Pethiyagodaහි 226 පිටුව.

(කර්තෘ: එම්.ජේ.එස්. විජේරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිමිත්තා&oldid=5208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි