දියළුව
ජලය මඟින් ගෙනැවිත් දමන ලද යන අර්ථ දෙන දියළුව පාංශු ඛාදනයේ එක් අවස්ථාවකි. රළ ගැසීම නිසා හෝ ගංගා, ඇළ දොළ මගින් ගෙනෙනු ලැබ සිය ඉවුරුවල හා විශේෂයෙන් ම ගංගා පත්ලේ හා මෝයෙහි තැන්පත් කරනු ලබන රොන් මඩ, වැලි, බොරළු ආදිය මේ නමින් හැඳින්වේ. පෘථිවිය උපත ලද මුල් අවධියේ සිට මේ සිදුවීම අද දක්වාත් සිදු වන නමුදු දියළුව යනුවෙන් හැඳින්වෙන්නේ අලුතින් සිදුවන තැන්පතු පමණකි.
නයිල්, ගංගා, මිසිසිපි ආදී විශාල ගංඟාවල දියළුව වඩාත් කැපී පෙනෙන අතර මෙය සියලු ගලා යන ජල ධාරාවන්ට පොදු තත්වයකි. මේ විශාල ගංගාවල ඩෙල්ටා නිර්මාණය වී ඇත්තේ ද දියළුව මඟින් ම ය. මෙසේ තැන්පත් වන රොන් මඩවල ඉතා සියුම් ද්‍රව්‍ය සහ කාබනික ද්‍රව්‍ය බහුල ය. කාලයාගේ ඇවෑමෙන් මේ තැන්පතු පස් බවට පත් වේ. සාමාන්‍යයෙන් බොහෝ විශාල ගංගා අනිවාර්යයෙන් ම වසරකට වරක් ගං වතුර ගැලීමෙන් පිටාර ගලන්නේ ඩෙල්ටාව පෝෂණය කරවමිනි. මේ නිසා මේ ඩෙල්ටාවල දියළුව තට්ටු වශයෙන් වෙන් කොට හඳුනා ගැනීමට තරම් හැකියාව ඇත. සාමාන්‍යයෙන් ලොව ගංගා නිම්න භූමිවල බොරළු මත තැන්පත් වූ රොන් මඩ දැකිය හැකි ය. ඉන් මෑත අතීතයේ ඒ මත ගඟේ වැලි ආදිය තැන්පත් වූ අතර ඊටත් මෑත කාලයේ වඩා සියුම් දියළු තැන්පත් වී ඇත. මේ තැන්පත් වීම් වඩා සිදුවන්නේ මෝය ආශ්‍රයේ ගං ඉවුරේ බැවින් ක්‍රමයෙන් මෝයේ කට ඇහිරී ජල ධාරිතාව වැඩි වූ අවස්ථාවක දී පහත් බිම්වල ගං වතුර තත්වයක් ඇති වේ. මුල දී ගංගාවලින් ගෙනෙනු ලබන වඩා රළු වැලි හෝ බොරළු ගං පතුලේ තැන්පත් වේ. මෙයින් සිදු වන්නේ ගලා එන ජලය නිම්නයේ සම්පූර්ණ භූමිය ම ක්‍රමයෙන් ආක්‍රමණය කිරීමයි. එවිට මුළු නිම්න භූමිය වැලි හෝ බොරළු තට්ටුවකින් වැසී යයි. විටින් විට ගලන ගං වතුර මේවා මත සියුම් රොන් මඩ තැන්පත් කරවයි. මෙසේ ගෙන එනු ලබන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ගඟ දෙපස තැන්පත් වන හෙයින් ඒ මඟින් ස්වාභාවික වැටි සෑදී රොන් මඩ තැන්පත් වීමෙන් ගැඹුරින් අඩු වූ ගඟ දෙගොඩතලා යෑම පාලනය කරයි. එහෙත් විශාල වූ ගං වතුරක් ඇති වූ කලක මේ වැටි කැඩී මහ ජල කඳක් දෙපසට ගලා විශාල විනාශයක් සිදු වේ. මිසිසිපි නදියේ මේ සිදුවීම නිතර නිතර සිදු වේ.
රැළි මාර්ගයක ගමන් ගන්නා ගංගා (MEANDER) ගං වතුර කාලවල හෝ වැඩි ජල ප්‍රමාණයක් ඇති කලක පිටාර ගැලීමෙන් දුනුවිල් අසල රොන් මඩ තැන්පත් කරවයි. කාලාන්තරයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදුවීමෙන් මිටියාවත් සමතල වන්නේ ගලා යන ගංගාවලට බාධාවකින් තොරව ප්‍රදේශය වසා ගලා යාමට ඉඩ සලසමිනි. මෙහි දී වඩා රළු වැලි බොරළු ගංගා මාර්ගය හෝ ඒ අසල ම ද වඩා සියුම් ද්‍රව්‍ය ප්‍රදේශය අවට ද තැන්පත් වන්නේ විශාල ප්‍රදේශයක විහිදී ගිය දියළු මඟින් ඉතා සාරවත් පසක් නිර්මාණය කරවමිනි.
තැනිතලා ප්‍රදේශවල සෙමින් ගලන ගංගා හා කලකට වියළි හෝ සුළු ජල පහරක් ව තිබී වැසි කලට මහ ජල කඳකට හිමිකම් කියන ගංගාවන්හි මේ තත්වය වඩා සුලභව දැකිය හැකියි. ලංකාවේ බෙන්තොට ගඟ, මහවැලි ගඟ හා කැලණි ගඟ මෙයට හොඳ උදාහරණයි. ඇතැම් විට මේ දියළු සතරැස් කිලෝ මීටර් ගණනක් දක්වා විහිද පවතී. මනම්පිටිය වැනි ප්‍රදේශවල දියළු පස මීටර් හයක් පමණ ගැඹුරට පවතී. කැළණි ගඟේ මල්වාන ආශ්‍රයේ දී මෙකී දියළු පස මීටර් 15ක් පමණ ගැඹුරු ය. බොහෝ ගංගාවල පත්ලේ මැටි අඩු ය. බොහෝ විට ඇත්තේ බුරුල් වූ බොරළු ය. කාලයාගේ ඇවෑමෙන් ඛාදනය වන මේවා ගඟ පහළ බෑවුම් දක්වා රැගෙන යනු ලැබේ. තලාගොඩ ඔය හා නානු ඔය එක්වන ප්‍රදේශයේ මෙවැනි බොරළු තට්ටු දැකිය හැක. නිරන්තර දියළු තැන්පත් වීමෙන් මෙවැනි ප්‍රදේශවල පස ඉතා සාරවත් ය. මෙය එම ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වශයෙන් යහපතකි. උළු, ගඩොල් සඳහා අවශ්‍ය මැටි, කෘෂිකර්මාන්තය සඳහා සුදුසු සරු පස ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය වැලි මිනිස් දිවියේ අවශ්‍යතාවන්ට ඍජුව ම බලපායි.
ඇතැම් අවස්ථාවල දී මුහුද ගොඩගැලීමෙන් ද දියළු සෑදේ. සැඩ සුළඟට රළු වන මුහුද වෙරළ ඉමෙන් මොබට ගිලන්නේ දියළු තැන්පත් කරමිනි. විශේෂයෙන් ගංගා, ඇල, දොළවල වැලි ගොඩ ගැසීම, බොරළු එක්වීම සේ ම ලවණ සහිත රොන් මඩ තැන්පත් වීම ද මේ නිසා සිදු වේ. ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ මෙකී ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙයි.
දියළුවල තවත් ලක්ෂණයකි, දියලු අවාන් සෑදීම. උස් ප්‍රදේශයක සිට වේගයෙන් ගලා එන ගංගාවක් හදිසියේ සමතල බිමකට පැමිණි කල එහි රැගෙන ආ මඩ, ගල්, වැලි ආදී සියල්ල අවානක හැඩයට තැන්පත් වෙයි. ගං මෝයේ සිට ක්‍රමයෙන් දෙපසට විහිදී යන හැඩයෙන් දියළු තැන්පත් වීමෙනි, මේ දියළු අවාන් සෑදෙනුයේ.
ඇතැම් විට ඉහළ සිට ගලා එන ගඟක් වේගයෙන් පැමිණ සමතල බිමකට අවතීර්ණ වීමෙන් වේගය අඩු වන අතර ගෙන ආ වැලිවලින් වැඩි ප්‍රමාණයක් එහි තැන්පත් කරවයි. මෙයින් වැලි ඉවුරු සෑදේ. ගඟ මුහුදට වැටෙන තැන සිනිදු මඩ ද ගෙන ආ සියලු දේ ද තැන්පත් වේ. මේ රඳවන ස්වභාවය මුහුදු දියෙහි ලවණවල ඇත. ගං මුවදොර තැන්පත් වන ද්‍රව්‍ය සම්භාරය නිසා පුළුල් සමතලා බිමක් ඇති වේ. වඩ වඩා දියළු තැන්පත්වීමෙන් ගොඩබිම් තැනේ. ලොව ඇති තැනිතලා බිම් ඇති වූයේ මේ දියළු නිසයි. මේවාගේ ඇති අසීමිත සරු බව නිසා මේවා ආශ්‍රයෙහි ලොව පැරණි ම ශිෂ්ටාචාර බිහි වී වර්ධනය විය. ගංගා, ඉරවඩි ආදී ගංගාවන්හි ඩෙල්ටාවල ඇත්තේ එදා සිට තැන්පත් වූ දියළුයි.
මහ පොළොවේ එක් ස්ථානයක ඇති දෑ තවත් තැනකට ගෙන ගොස් තැන්පත් කෙරෙන මේ දියළු ක්‍රියාවලිය මිනිස් ඉතිහාසයට කෙතරම් බලපෑවේ ද යන්න පැහැදිළි වන්නේ නයිල් නිම්න, දෙගංමැදි ආදී ශිෂ්ටාචාරයන්හි වර්ධනය, පැවැත්ම හා විනාශය දෙස සිත් යොමු කරවීමෙනි.
ආශ්‍රිත ග්‍රන්ථ
AN OUTLINE OF GEOMORPHOLOGY - S. W. WOOLDRIDGE AND R. S. MORGAN
NELSONS ENCYCLOPADIA
AN INTRODUCTION TO THE GEOLOAY OF SRI LANKA (CEYLON) - P. G. COORAY
(කර්තෘ: එල්.ජේ.ඩී. ෆර්නැන්ඩෝ)
(සංස්කරණය නොකළ)