දිල්ලිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ විශාල ම නගරවලින් තුන් වෙනි තැන ගන්නා දිල්ලිය උතුරු මැද ඉන්දියාවේ යමුනා නදී බටහිර තෙර පිහිටා ඇත. ඉන්දියානු සංයුක්ත සමූහාණ්ඩුවේ අගනුවර වන නව දිල්ලිය, දිල්ලිය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන පැරණි දිල්ලියට දකුණින් පිහිටා ඇත. විශාලත්වයෙන් කල්කටාව හා බොම්බාය දිල්ලිය පරයා සිටියි. දිල්ලි සංයුක්ත රාජ්‍යය මුහුදු මට්ටමේ සිට අඩි 700-1,000 උසකින් පිහිටා ඇත. ව.සැ. 573 (ව.කි.මී. 1,483) වන එහි මුළු භූමි ප්‍රමාණයෙන් පැරණි දිල්ලියට ව.සැ. 93ක භූමි ප්‍රදේශයක් ද දිල්ලි හමුදා නගරයට ව.සැ. 17ක භූමි ප්‍රදේශයක් ද නව දිල්ලියට ව.සැ. 16ක භූමි ප්‍රදේශයක් ද වෙන් වී ඇත. දිල්ලි සංයුක්ත ප්‍රදේශය නැගෙනහිරින් උත්තර් ප්‍රදේශයෙන් ද වෙන් වී ඇත. දිල්ලි සංයුක්ත ප්‍රදේශය නැගෙනහිරින් උත්තර් ප්‍රදේශයෙන් ද උතුරින්, බටහිරින් හා දකුණින් හරියානා ප්‍රදේශ රාජ්‍යයෙන් ද මායිම් වී ඇත. ක්‍රි.පූ. 1 සියවසෙහි රාජ්‍ය කළ මෞර්ය පෙළපතට අයත් රාජා ඔලූ නම් රජතුමාගේ නමින් මෙම නගරයට ඒ නම ලැබෙන්නට ඇතැයි සැළකේ. ඉන්දියාවේ ඇති වූ බලවත් රාජධානීන්ගේත් විශාල අධිරාජ්‍යයන්ගේත් අගනුවර වූ මෙහි පුරාතන හා මධ්‍යකාලීන යුගයන්ට අයත් නගරවල නටඹුන් හමු වී තිබේ. ජනප්‍රවාදයන්ට අනුව මෙම නගරය පිහිටි ස්ථානය හත් වරක් වෙනස් වී ඇති අතර ඇතැම්හු මෙහි වූ කුඩා නගරවල නටබුන් ද සලකා බලා දිල්ලි නගරය 15 වරක් වෙනස් වී ඇතැයි කියති. මෙම ස්ථාන සියල්ල දිල්ලි ත්‍රිකෝණය නමින් හැඳින්වෙන ව.සැ. 70 පමණ ප්‍රදේශයක් තුළ පිහිටා ඇත. දිල්ලි ත්‍රිකෝණය බටහිරින් හා දකුණින් ආරවල්ලි කඳු වැටියෙන් ද නැගෙනහිරින් යමුනා නදියෙන් ද මායිම් වී ඇත. හිමාල කඳුවැටියේ සිට සැ. 100 දකුණින් පිහිටා ඇති දිල්ලිය ඉන්දියාවේ මාර්ග සමුදායේ වැදගත් ම සන්ධිස්ථානය වේ.

දේශගුණය

දිල්ලියේ දේශගුණය ඉතාමත් ම වියළි ය. ගිම්හාන ඍතුව අතිශයින් ම උණුසුම් වන අතර සීත ඍතුව අධික සීතලෙන් යුක්ත ය. ගිම්හානය මාර්තු මැද භාගයේ සිට ජූනි අවසානය දක්වා වන අතර එකල එහි උපරිම හා අවම උෂ්ණත්වය පිළිවෙලින් පැ. 97 (සෙ.ග්‍රේ. 36) හා පැ. 77 (සේ.ග්‍රේ. 25)කි. මෙකල අප්‍රේල් සහ මැයි මාසවල ගිගුරුම් සහිත කුණාටු දක්නට ලැබීම සාමාන්‍ය ලක්ෂණයකි. ඌෂ්ණාධික ගිම්හාන ඍතුවෙන් පසු මෝසම් වැසි සමය ඇරඹෙයි. එය සැප්තැම්බර් අග දක්වා පවතින අතර මෙකල සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 25ක් පමණ වේ. සීත ඍතුව නොවැම්බර් අවසාන සතියේ පෙබරවාරි මැද භාගය තෙක් වේ. එකල සාමාන්‍ය උපරිම හා අවම උෂ්ණත්වය පැ. 70 (සෙ.ග්‍රේ. 21) සහ පැ. 52 (සෙ.ග්‍රේ. 11) වේ. දිල්ලියෙහි කාලගුණය සාමාන්‍යයෙන් වසරින් වැඩි කොටසක් වියළි ය. අප්‍රේල් හා ජූනි අතර වාතයේ තෙතමනය ඉතාමත් අඩු වන අතර ජූලි හා අගෝස්තු අතර තෙතමනය ඉහළ ය. මෙකල කාලගුණය ඉතා පීඩාකාරී වන අතර දෛනික උෂ්ණත්ව මධ්‍යය පැ. 110 (සෙ. ග්‍රේ. 43) දක්වා ඉහළ ගිය අවස්ථා ඇත. සීතල ම මාසය ජනවාරි ය. මෙකල සාමාන්‍ය උපරිම උෂ්ණත්ව මාධ්‍යයත් අවම උෂ්ණත්ව මාධ්‍යයත් පිළිවෙලින් පැ. 70 (සෙ.ග්‍රේ. 21) සහ පැ. 45 (සෙ.ග්‍රේ. 7) වේ.

වෘක්ෂලතාදිය හා සත්ව ජීවිතය

දිල්ලියේ පැලෑටි ජීවිතය පිහිටීම අනුව වෙනස් වේ. කඳු මුදුන්වල සහ කඳු ගැට සහිත ප්‍රදේශවල ආකේසියා වැනි කටු සහිත ගස් වර්ග ඇත. මෝසම් සමයෙහි පලා වර්ග බහුලව වැවේ. ගංගාවන් අසබඩ වැවෙන පැලෑටි හා තෘණ වර්ග යමුනා නදී තෙර වැවේ. නව දිල්ලිය ගස්වලින් සෙවන වූ මාවත් සහිත නගරයක් ලෙස ප්‍රසිද්ධියක් දරයි. කොහොඹ, අඹ, ඇහැටු ආදී ගස් වර්ග ඒවා අතර වේ. සීත කාලයෙහි නගර වර්ණවත් කරන අනේකවිධ මල් පැලෑටි වර්ග සඳහා ද නව දිල්ලිය ප්‍රසිද්ධියක් දරයි. මේවා අතර කපුරු, වයලට් ප්ලෝක්ස් ආදී මල් පැළෑටි වේ. සීත සෘතුවෙන් පසු වසන්තය ක්‍රමයෙන් උදා වෙයි. මේ වෙනස මල්වලින් පැහැදිළි ව පෙනේ. සීත ඍතුවේ බහුලව දක්නට ලැබෙන කපුරු මල් වෙනුවට පෙබරවාරි මාසයෙන් පසු එළඹෙන වසන්ත ඍතුවේ දී රෝස මල් පිපේ. සත්ව ජීවිතය ද වෘක්ෂලතාදිය මෙන් විවිධත්වයෙන් යුක්ත ය. මාංශ භක්ෂක සතුන් අතර වෘක්කයන්, හයනාවුන්, නරියන්, දිවියන් කුඩා කැළෑවල හා කඳු මුදුන්වල දක්නට ලැබේ. යමුනා නදී තෙර වල් ඌරන් ඇත. වඳුරන් සුලභ ය. කුරුල්ලන් අතර ඇටි කුකුලන්, ගිරවුන්, පරෙයියන් වේ. මොනරුන් උස් කඳු භූමීන්හි ඇත. යමුනා නදියේ මසුන් හා ඇතැම් විටෙක කිඹුලන් දැකිය හැක.

නගර නිර්මාණය

පැරණි හා නව මාවත්වල මිශ්‍රණයකින් දිල්ලි නගරය නිර්මාණය වී ඇත. පැරණි දිල්ලියෙහි වීථිවල ස්වරූපය නගරාරක්‍ෂක අවශ්‍යතාව පෙන්නුම් කරයි. හරස් වීථීන් කීපයක් නගරයේ එක දොරටුවක සිට අනෙක් දොරටුව දක්වා යැවෙයි. පැරණි නගර වීථි දිග පළල අතින් අනියම් ස්වරූපයක් ගනියි. වංගු සහිත පටු අතුරු මාවත් ජනාවාසයන් හා වෙළෙඳ ප්‍රදේශ කරා යයි. පැරණි නගර සැලැස්මට හාත්පසින් ම වෙනස් ලෙස නිල් තණබිමින් යුත් එළිමහන් භූමි ප්‍රදේශයන්හී බි්‍රතාන්‍ය පාලකයන් විසින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තනනු ලැබූ ජනාවාසයන් ඇත. 1911 දී ඉන්දියාවේ අගනුවර කල්කටාවේ සිට දිල්ලියට ගෙන යනු ලැබූ අවස්ථාවේ දී පැරණි දිල්ලියට සැ. තුනක් දකුණින් රායිසීනා කඳු අසල නව දිල්ලි නගරය තැනීමට තීරණය විය. මෙය ගොඩකරනු ලැබූ සනීපදායක ප්‍රදේශයක් වූ අතර රායි සීනා උස් කඳුත් යමුනා ගංගාවත් අතර නගරය පුළුල් වීමට ඉඩ කඩ බොහෝ තිබිණ. රායිසීනා කඳු මෙම ප්‍රදේශය වටා අඩි 50ක් පමණ උසකින් නැගී සිටියි. නව දිල්ලි නගර නිර්මාණයෙහි මූලික ලක්‍ෂණයක් වන්නේ දෙපස ගසින් සෙවන වූ පුළුල් වීථීන් ය. මේ සෑම මාවතක් ම නගරයේ වැදගත් ස්ථානයක් කරා දිවෙයි. මෙම නගර නිර්මාණයෙහි වැදගත් ම ලක්‍ෂණය වන්නේ නැගෙනහිර දෙස වන ජාතික ක්‍රිඩාංගනය අසලින් ආරම්භ වන සෙන්ට්‍රල් විස්ටා උයන, අනුස්මරණ ආරුක්කුව හා මධ්‍යම ලේකම් කාර්‍ය්‍යාලය පසු කොට බටහිර දෙස පිහිටි ජනපති මැදුර කරා යෑමයි. එම මාවතෙන් නව දිල්ලි නගරය කොටස් දෙකකට බෙදෙයි. මෙසේ වෙන් වන්නේ ඉහළ පෙළේ සාප්පු මධ්‍යස්ථානයක් වූ කොනේට් ප්‍රදේශයක් දකුණින් පිහිටි පුළුල් ජනාවාස ප්‍රදේශයත් ය. සුළු ව්‍යාපාර මහත් සංඛ්‍යාවක් පැරණි දිල්ලි නගරයේ සෑම තැනක ම පාහේ පැන නැගී ඇත. බටහිර දෙසින් වූ නජාජගාර් මාවතේ හා දකුණු දෙසින් වූ කල්කජී මාවතේ ප්‍රධාන කාර්මික ප්‍රදේශ පිහිටා ඇත. වෙළෙඳ ප්‍රදේශයන් වන්නේ උතුරු දිග පිහිටි චාන්ද්නි චෞක්, කාරිබාඕලි, බටහිර දිග කැරොල් භාග් හී පිහිටි අජ්මාල් ඛාන් මාවත, නව දිල්ලියේ කොනේට් කවය හා පැරණි දිල්ලියේ සදාර් බසාර් යන ඒවා ය. අනෙක් නාගරික ප්‍රදේශවල ද වෙළෙඳසැල් ඇත. දිල්ලි විශ්ව විද්‍යාලය උතුරු දිග පිහිටා ඇත. උසස් අධ්‍යපනය සඳහා වෙන් වූ පීඨ කීපයක් ම එහි ඇත. තවත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් දකුණු දිල්ලියෙහි ඇති වී ගෙන යයි. මෙහි ඇති ඇතැම් නාගරික ප්‍රදේශ සමාජයේ විවිධ පංතීන් හා ජාතිකයන් සඳහා වෙන් වී ඇත. මෙම නගරයේ නිර්මාණය යටත් විජිත ලක්‍ෂණ හා රට වැසියන්ගේ දේශීය ලක්ෂණ පෙන්නුම් කරයි. රජයේ නිවාසවලින් ද විවිධ ආදායම් ලබන්නවුන්ගේ වෙනස පෙන්නුම් කරයි. ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පයේ අංශුවක් පෙන්නුම් කරන විදේශ තානාපති කාර්යාල සියල්ල ම පාහේ ඛණක්‍යපූරීහී ඉදි වී ඇත. රටේ විවිධ දේශිකයන්ට අයත් සංස්කෘතික දූපත් ලෙස දිල්ලියෙහි බෙංගාල වෙළෙඳ බිම (Bengali Market Area) හෝ කැරොල් භාග් පෙන්නුම් කළ හැක. කැරොල් භාග් හී අඩක් බෙංගාල සංස්කෘතිය ද අඩක් දකුණු ඉන්දීය සංස්කෘතිය ද පෙන්නුම් කෙරේ. එම ප්‍රදේශයන්ගේ ජීවත් වන වැඩි පිරිස බෙංගාල ජාතිකයන් හා දකුණු ඉන්දීය ජාතිකයන් වුවද දැන් දැන් අනෙක් ජාතිකයන් ද එහි පදිංචියට පැමිණීමෙන් මෙම සංස්කෘතික විශේෂත්වය බිඳී යමින් පවතියි.

ජන විකාශනය

1911 දී දිල්ලි නගරයෙහි ජනගහනය 240,000කි. 1961 වන විට එය දහ ගුණයකින් වැඩි වී ඇති අතර 1961 දී එහි ජනගහනය 2,350,000 විය. 1911 හා 1941 අතර එහි ජනගහනය වර්ධනය වූයේ ඉතා සෙමිනි. 1941 සහ 1951 අතර ජනගහනය දෙගුණයකින් වර්ධනය විය. මෙයට හේතු වූයේ නිදහසත් සමඟ ඉන්දියාව දෙකඩ කිරීම නිසා ඇති වූ අභාග්‍ය සම්පන්න තත්‍වය නිසා අනාථ වූවන් විශාල සංඛ්‍යාවක් දිල්ලි නගරයට පැමිණිම ය. 1961 සහ 1971 අතර මෙහි ජනගහනය වර්ධන ප්‍රමාණය රටේ අනෙක් නගරවල ජනගහන වර්ධන ප්‍රමාණයට වඩා වැඩි විය. 1971 දී දිල්ලි සංයුක්ත රාජ්‍යයේ ජනගහනය 4,044,000ක් වූ අතර එහි නාගරික ප්‍රදේශවල මෙයින් 3,630,000ක් ජීවත් වූහ. 1971 දී නගරයේ ජනගහන ඝනත්‍වය ව.සැ.ට 35,000කි. එහෙත් 1971 දී පැරණි දිල්ලියේ සදාර් පහාර් ගන්ජ් ප්‍රදේශයේ ජනගහන ඝනත්‍වය ව.සැ.ට 100,000කි. එහෙත් නව දිල්ලියේත්, හමුදා ප්‍රදේශයේත් ජනගහන ඝනත්වය පිළිවෙළින් ව.සැ.ට 18,000 හා ව.සැ.ට 3,300කි. 1971 සංඛ්‍යා ලේඛනයන්ට අනුව මෙහි ගැහැණු 798ට පිරිමි 1,000කි. මෙහි ජනගහනයෙන් අඩක් පමණ වයස අවුරුදු 18ට අඩු තරුණ පිරිස් ය. 1961 සංඛ්‍යා ලේඛනයන්ට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව 49%කි. වැඩිටිහිටි කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 18% හා 29%කි. මහළු පිරිසගේ සංඛ්‍යාව 4%කි. මුළු ජනගහනයෙන් 53% අවිවාහක ය. 1971 සංඛ්‍යා ලේඛනයන්ට අනුව උගත් පිරිසගේ සංඛ්‍යාව 59%කි. වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව 30%කි. මෙහි වසන ජනයාගෙන් 56% පිට ප්‍රදේශවලින් මෙහි පැමිණ පදිංචි වූවන් ය. අනෙක් ඉන්දීය ප්‍රදේශ රාජ්‍යවලින් මෙම නගරයට සංක්‍රමණය වූවන්ගේ සංඛ්‍යාව 36%කි. 19% යාබද රටවල්වලින් සංක්‍රමණය වූවන් වන අතර 0.02% මෙහි වාසය කරන විදේශිකයන් ය. 1961 සංඛ්‍යා ලේඛනයන්ට අනුව මෙහි වාසය කරන හින්දූන්ගේ සංඛ්‍යාව 84%කි. සීක්වරු 8%ක් පමණ වේ. මුස්ලිම්වරු 6%කි. ජෛන හා ක්‍රිස්තු භක්තිකයෝ 1% බැගින් සිටිති. බෞද්ධයෝ 0.2%කි.

නිවාස හා ගොඩනැගිලි

ඉන්දියාවේ අගනුවර වූ දිල්ලියට 1947න් පසු අනාථයන් දහස් ගණනින් ඇඳී එන්නට ඒම නිසා නිවාස ප්‍රශ්නය උග්‍රවන්නට විය. මේ නිසා ජනාකීර්ණ ප්‍රදේශවල මුඩුක්කු ඇති වූ අතර ජනගහනයෙන් 1/3ක් පමණ මේවායේ වාසය කරති. ගුප්ත යුගයේ පටන් බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා ඇති වූ විවිධ පාලනයන්ට අයත් ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ ලක්ෂණ දැකිය හැකි ගොඩනැගිලි ඇති, වෙනත් නගරයක් ඉන්දියාවේ නැති තරම් යයි කිව හැක. කුතුබ් බිනාර් ටැඹ, ඉල්තුට්මිෂ්ගේ සොහොන වැනි ගොඩනැගිලිවලින් ආදි මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ දැකිය හැකි අතර සෙයියද් හා ලෝඩි අධිරාජයන්ගේ සොහොන් රැගත් තුග්ලකාබාද්හී ඇති ගොඩනැගිලිවලින් පසුකාලීන මුස්ලිම් යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය දැක්වෙයි. රතු කොටුව හා ජමී මස්ජිද් මුස්ලිම් දේවස්ථානය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට නිදසුන් ය. නූතන ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයේත් පාරම්පරික ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේත් සංකලනයන් දැකිය හැකි ගොඩනැගිලි අතර මධ්‍යම ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව, රාෂ්ට්‍රපතී භවන වේ.

ආර්ථික ජීවිතය: උතුරු ඉන්දියාවේ වෙළඳ හා වාණිජ මධ්‍යස්ථානයක් ලෙස දිල්ලිය සියවස් ගණනක් මුළුල්ලේ ඉතා වැදගත් තැනක් ගත්තේ ය. පාරම්පරික වශයෙන් දිල්ලිය කිරිගරුඬ කැටයම් වැඩ, චිත්‍ර ශිල්පය, රන් හා රිදී නූල් වැඩ දැමීම, සැරසිලි භාණ්ඩ, තඹ හා පිත්තල භාණ්ඩ සෑදීම, පිළිබඳ ප්‍රසිද්ධියක් දරයි. වර්තමානයේ එය කුඩා හා මධ්‍යම තරමේ කර්මාන්ත නිෂ්පාදන මධ්‍යස්ථානයක් වේ. මෙහි වර්තමාන නිෂ්පාදන අතර ඉලෙක්ට්‍රොනික් හා ඉංජිනේරු භාණ්ඩ, මෝටෝ රථ වාහන කොටස්, කැනීම් යන්ත්‍ර හා විදුලි උපකරණ වේ. ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා අතුරෙන් වැඩි ම ගණනක් ඇත්තේ දිල්ලියේ ය. ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු, සම් භාණ්ඩ, හස්ථ කර්මාන්ත, රෙදි පිළි විවීම, හෝසියර් භාණ්ඩ නිෂ්පාදනය ද මෙහි කෙරේ. මෙහි වෙළඳ භාණ්ඩ අතර රෙදි පිළි, වියළි පලතුරු, පැළෑටි වර්ග, බයිසිකල්, ලෝම රෙදි, සත්‍ව සම්, ෆර්, යකඩ හා වානේ, යන්ත්‍ර සඳහා අවශ්‍ය කොටස් ආදිය වේ. කර්මාන්ත ජනපද දෙකක් මෙහි වේ. තොග වෙළඳ මධ්‍යස්ථානයක් ද ව්‍යාපාර කොටස් වෙන්දේසි මධ්‍යස්ථානයක් ද වෙළඳ භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ද බැංකු මූලස්ථානයක් ද ලෙස දිල්ලි නගරය වැදගත් ය. ඉන්දියාවේ රිසර්ව් බැංකුවේත්, ස්ටේට් බැංකුවේත්, වෙනත් බැංකුවලත් මූලස්ථානය දිල්ලි නගරය යි. 1960 - 1961 අතර දිල්ලියෙහි ඒක පුද්ගල ආදායම රු. 872 කි. එම අවුරුද්දේ මුළු රටේ ම සාමාන්‍ය ඒක පුද්ගල ආදායම රු. 330 ක් විය.

පොදු ජන පහසුකම්

ජල හා විදුලි සම්පාදනය, සෞඛ්‍ය සේවා නගර සභාව මඟින් කරනු ලැබේ. යමුනා නදියෙන් ජලය ලැබෙන නමුත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ. ගිම්හාන ඍතුවේ දී එය සම්පූර්ණයෙන් ම වාගේ සිඳී යයි. මේ නිසා ජල සම්පාදනය සම්බන්ධයෙන් දිල්ලියට යාබද රාජ්‍යයන්ගේ පිහිට පැතීමට සිදු වී ඇත. 1970 ගණන්වල මුල භාගයේ දී දවසකට සාමාන්‍ය ඒක පුද්ගල ජල සම්පාදනය ගැලුම් 40කි. කසල ශෝධනය හා විදුලිය සම්පාදනය ද ප්‍රමාණවත් නොවේ. බන්රා නන්ගල් ඇල්ලෙන් විදුලි බලය වැඩි ප්‍රමාණයක් සැපයේ. විදුලි සැපීම ප්‍රමාණවත් නොවන නිසා කර්මාන්තයන් පූර්ණ නිෂ්පාදනය සඳහා යෙදවීමට අපොහොසත් වී තිබේ. ගිනි නිවන ස්ථාන 13ක් ද පොලිස් ස්ථාන 80ක් ද නගරයේ ඇත.

සෞඛ්‍ය සේවා

1970 වන විට දිල්ලියෙහි රෝහල් 50ක් විය. ඇඳන් 9,500කි. මේ හැරුණු විට ඉංග්‍රීසි බෙහෙත් ශාලා 90කි. ආයුර්වේද හා යුනානි බෙහෙත් ශාලා 15ක් ද හෝමියෝපති බෙහෙත් ශාලා 6ක් ද වේ. විශාල වෛද්‍යායතන ලෙස සමස්ත ඉන්දියානු වෛද්‍ය විද්‍යායතනය, විලින්ඩන්, සප්දර් ජන්, අර්වින්, ජී. බී. පාන්ක් රෝහල් සඳහන් කළ හැක.

අධ්‍යාපනය

සිල්ලි නාගරික කොට්ඨාශයෙහි පාසැල් 1940 පමණ ඇත. මේවා අතර ප්‍රාථමික පාසැල් 730, මධ්‍යම පාසැල් 380 ද, උසස් ද්වීතීය පාසැල් 70 පමණ වේ. මේවායේ ශිෂ්‍ය සංඛ්‍යාව 800,000ක් පමණ වේ. 1922 දී ආරම්භ කරනු ලැබූ දිල්ලි විශ්ව විද්‍යාලය අනුබද්ධායතන සහිත වූ ද ඉගැන්වීම් කෙරෙන්නා වූ ද ආයතනයකි. 1970 සංඛ්‍යා ලේඛනයන්ට අනුව මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 59,000කි. එයින් 26,000 කාන්තාවෝ ය. දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ධ කලා, විද්‍යා, වාණිජ විද්‍යා පීඨ හා පර්යේෂණ ආයතන 39ක් තිබේ. වෘත්තීය පුහුණු විද්‍යාල හා වෙනත් විද්‍යාල 30ක් පමණ වේ. ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණායතනය, ඉන්දියානු කාර්මිකායතනය, සමස්ථ ඉන්දියානු වෛද්‍ය විද්‍යායතනය මේවා අතර ඉතා වැදගත් තැනක් ගනියි. ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලය යනුවෙන් නව විශ්ව විද්‍යාලයක් 1970 දී පිහිටුවන ලදි.

ගමනාගමනය

දිල්ලියෙහි භූගෝලීය පිහිටීම අනුව වයඹ දිග ඉන්දියාවේ සිට නැගෙනහිර තැනිතලා ප්‍රදේශයට ඇති සියළු ගොඩබිම් මාර්ග දිල්ලිය හරහා යැවෙයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්දීය අර්ධ මහාද්වීපයේ ගමනාගමන කටයුතුවල එය මූලස්ථානය වීමයි. උතුරේ අම්රිත්සාර් ද දකුණේ අග්‍රා ද නිරිත දිග පිහිටි ජායිපූර් ද බටහිරින් ඇති රෝතාක් ද නැගෙනහිර පිහිටි ලක්නව් හා කල්කටාව ද සම්බන්ධ කෙරෙන මහා මාර්ග දිල්ලියේ දී හමු වෙයි. දිල්ලිය හා රටේ සෑම පළාතක් ම සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ග පහක් මෙහි දී එක් වෙයි. ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පාලම් සහ සප්දර් ජන් යන ගුවන් තොටුපොලවල් දෙක ඇත.

සංස්කෘතික ජීවිතය

සංගීත, නාට්‍ය, ලලිත කලා හා සාහිත්‍ය කටයුතු නංවාලීම සඳහා සංගීත් නාටක් ඇකඩමිය, ලලිත් කලා ඇකඩමිය, සාහිත්‍ය ඇකඩමිය යන සංගම් පිහිටුවා ඇත. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී සේවාවන් ඇත. 1968 දී මෙම නගරයෙහි මුද්‍රණය කෙරුණු පුවත්පත් හා සඟරා සංඛ්‍යාව 1,100ට වඩා වැඩි ය. ඉංග්‍රීසි හා හින්දි භාෂාවලින් ප්‍රකාශ කෙරුණ මේවා අතර දිනපතා පුවත්පත් 27කි. සතිපතා පත්‍ර 180කි. මාසිකයන් 600කි. ගුවන් විදුලි ස්ථාන 4ක් මෙහි වේ. 1950 ඇරඹි රූපවාහිනිය නැරඹිය හැක්කේ සැ. 19ක කවයක් තුළ වෙසෙන ජනතාවට ය. දිල්ලිය උද්‍යාන හා වතුර මල්වලින් අලංකාර වූ නගරයකි. මෙහි විවේකය හා විනෝදය සඳහා තිබෙන ස්ථාන අතර අක්කර 250 භූමි ප්‍රදේශයකින් යුත් සත්වෝද්‍යානයක් ද, ජාතික ක්‍රීඩාංගනයක් ද වේ.

ඉතිහාසය

මහාභාරත අධ්‍යානයෙහි දිල්ලිය පිළිබඳව මුලින් ම සඳහන් වෙයි. එහි එය හැදින්වෙන්නේ ඉන්ද්‍ය‍ෙ ප්‍රාස්ත යනුවෙනි. ඉන්ද්‍යා ප්‍රාස්තය ක්‍රි.පූ. 1,400 දී පමණ පිහිටුවන ලද්දේ යැයි සැළකේ. එය දිල්ලිය යනුවෙන් හැඳින්වුනු බවට ලැබී ඇති මුල් ම සාධක අයත් වන්නේ ක්‍රි.පූ. 1 වන සියවසට ය. දිලූ නම් රජෙක් එකළ වර්තමාන මිනාරය අසළ නගරයක් ඉදි කොට ඊට තමාගේ නම තැබී ය. නගරය මින් පසු ප්‍රසිද්ධියට පත් වූයේ 12 වන සියවසේ දී ඛාහමාන පාලක පෘතුවි රාජ එය තමාගේ අගනුවර කොට ගත් පසු ය. ඔහුගේ පරාජයෙන් පසු නගරය මුස්ලිම් පාලකයන් අතට පත් විය. වහල් රජ පෙළපතේ මූලිකයා වූ කුතුබ්-උද්-දීන් අයිබක් දිල්ලිය තම අධිරාජ්‍යයේ අගනුවර කොට ගත්තේ ය. වර්තමාන දිල්ලියේ සිට සැ. 3ක් ඊසාන දිගින් සිරි නම් ස්ථානයෙහි අලා-උද්-දීන්-බිල්ජි (1296-1312) දිල්ලි දෙවෙනි නගරය ඉදි කළේ ය. ගියාස්-උද්-දීන්-තුග්ලාක් (1320-1325) තුන් වෙනි දිල්ලි නගරය තුග්ලකාබද් හී ඉදි කෙරුව ද ජල හිඟය නිසා යලි පැරණි දිල්ලිය අගනුවර කොට ගත්තේ ය. මොහොමද් බින් තුග්ලක් (1325-51) ඊසාන දිගට නගරය පුළුල් කොට එය වටා නව ආරක්ෂා බලකොටු තැනවී ය. ජහාන් පනා යනුවෙන් හැඳින්වුනු එය සිව් වෙනි දිල්ලි නගරය විය. මෙම නව ජනාවාස පිහිටියේ කුතුබ් බිනාරය අසළ වූ පැරණි නගරයත් සිරි බළකොටුවත් අතර ය. පිරූස් ෂා තුග්ලක් (1351-88) එය සම්පූර්ණයෙන් ම අත හැර 1354 දී තව උතුරට නගරය ගෙන ගොස් පැරණි ඉන්ද්‍යා ප්‍රාස්තය අසළ පස් වෙනි දිල්ලි නගරය ඉදි කළේ ය. එය පිරූසාබාද් යනුවෙන් හැඳින්විණ. 14 වන සියවසේ පසු භාගයේ දී සිදු වූ ථිමූර්ගේ දිල්ලි ආක්‍රමණයෙන් පසු අගනුවර අඝ්‍රා නගරයට ගෙන යනු ලදුව තාවකාලික ලෙස දිල්ලිය වැදගත්කමින් හීන විය. 1526 දී මෝගල් අධිරාජ්‍යයේ අගනුවර කළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හුමායුං පළවා හැරි ෂේර්ෂා එම නගරය පොළවට සමතලා කොට ෂේර්ෂා හී නම් නව නගරය හය වෙනි දිල්ලි නගරය ලෙස ඉදි කළේ ය. 16 වන සියවසේ අග භාගයේත් 17 වන සියවස මුල භාගයේත් විසූ මෝගල් අධිරාජයන් වූ අක්බාර් (1556-1605) හා ජහාන්ගීර් (1605-1627) තම අගනුවරවල් පතේපූර් සීක්රි හා අග්‍රා නගරයත් කරා ගෙන ගිය පසු දිල්ලි නගරය වැදගත්කමින් හීන විය. එහෙත් 1638 දී අක්බාර්ගේ මුණුබුරු ෂා ජහාන් හත් වෙනි දිල්ලි නගරය ෂා ජහානාබාද් යනුවෙන් ඉදි කළේ ය. එය වර්තමාන පැරණි දිල්ලිය වෙයි. පැරණි දිල්ලි නගරයේ වැඩි කොටස කාශ්මීර දොරටුව, දිල්ලි දොරටුව, තුර්කර්මන් දොරටුව, අජ්මීර් දොරටුව යනුවෙන් දැනුදු දැකිය හැකි පවුරු දොරටුවලින් වට වූ බිමකට සීමා වී ඇත. 18 වෙනි සියවසේ මැද භාගයේ දී මෝගල් අධිරාජ්‍යයේ වැටීමත් සමඟ මරාථා ආක්‍රමණවලට ද, නදීර් ෂාගේ ආක්‍රමණයට ද, කෙටිකාලීන මරාථා පාලන සමයකට ද දිල්ලිය ගොදුරු විය. නගරය යළිත් දියුණු වීමට පටන් ගත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ය. 1857 කැරැල්ලේ දී කැරලිකරුවෝ මාස කීපයකට දිල්ලි නගරය අත්පත් කොට ගත්හ. අනතුරුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෝගල් පාලනය මුළුමනින් ම අහෝසි කොට එය බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් කරන ලදී. 1912 දී බ්‍රිතාන්‍ය පාලකයෝ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අගනුවර කල්කටාවෙන් ඉවත් කොට දිල්ලියට යාබදව අළුතින් ගොඩ නැගූ නව දිල්ලිය කරා ගෙන ගියෝ ය. එතැන් පටන් මේ දක්වා නව දිල්ලිය ඉන්දියාවේ අගනුවර වෙයි.

(කර්තෘ: කේ.බී. සෝමරත්න: 1979)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිල්ලිය&oldid=5058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි