දිසානායක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිසානායක යනුවෙන් සිංහල රාජාණ්ඩු පැවැති සමයේ දී යම් රජයේ තනතුරක් පැවැති බව දඹදෙණි යුගයට හා කෝට්ටේ, ගම්පල යුගයනට අයත් පත පොත පරිශීලනය කිරීමෙන් හා සෙල්ලිපිවලින් දැනගත හැකි වේ. මේ තනතුර බොහෝ විට දිශාපති, දිසාවේ (බ.) තනතුරට සමානවන්ට ඇතැයි සිතිය හැක. එහෙත් ඒතරම් ම වගකීමක් නොතිබූ බව පෙනේ. දඹදෙණි යුගයේ හා ගම්පොළ යුගයේ දී හා පසුවත් දිශා අටළොසකට ලංකාව බෙදා තිබුණ බව මහාවංශය හා දඹදෙණි අස්න ආදී පොත්පත්වලින් හෙළි වේ. මේ අටලොස් දිසාවේ හෝ එක එක දිසාවේ (බ.) නායකයා දිසානායක වන්නට ඇත. දිසානායක තනතුර අපට බොහෝ විට දිස්වන්නේ පොළොන්නරු යුගයට පසු කාලවල දී බව පෙනේ. ඊට හේතු වන්නේ බොහෝ දෙනෙකෙු ‘නායක’ යන පදය ඔවුන්ගේ රාජකාරිය හා බලය අනුව සම්බන්ධ කොට තිබූ බව දක්නට ලැබෙන හෙයිනි. එනම් ඒකනායක, බණ්ඩාරණායක, අධිකරණ නායක, රට නායක, ගජ නායක ආදී වශයෙන් තනතුරු රාශියක් දක්නට ලැබෙන හෙයිනි.

මේ තත්ත්වය ගම්පොළ යුගයේ දී රට නායක හෙවත් රට සභාවේ නායකයින් (රැට්නා) දිසානායක පදවිය ඉසිලු තැනැත්තන් වශයෙන් හැඳින්විය හැකි ය. කෙසේ නමුත් පශ්චාත් මධ්‍යතන යුගය වන විට දී අනුරාධපුර යුගයේ සිට පැවැති නිල නාමවල වෙනසක් සිදු වී ඇති බව මේ යුගයේ ලිය වී ඇති සංදේශ හා අනෙකුත් මූලාශ්‍රවල ඇති නිල නාම අනුව අපට පෙනෙන එක් කරුණකි. ඒ අනුව සැලකීමේ දී මේ යුගයට අයත් වන ගම් පාලනය කළ තැනැත්තෝ දිසානායකවරුන් හෙවත් ගම් ප්‍රධානීන් වශයෙන් හඳුන්වන්නට ඇත. මොවුන් පිළිබඳ විස්තර නිකාය සංග්‍රහය හා කඳවුරු සිරිත නම් වූ පොත්පත්වලින් අපට කරුණු ලබා ගත හැකි වන්නේ ය.

මෙයට අමතර ව කඳවුරු සිරිතහී රට නායකයන් වශයෙන් හඳුන්වා දී ඇති පෙදෙසක් පාලනය භාරව සිටි ප්‍රාදේශික පාලකයන් විය හැකි ය. එම ග්‍රන්ථයේ ම දිසානායකවරු ගැන ද සඳහන් වන්නේ ය. ඒ අනුව දිසාවක් පාලනය කළ තැනැත්තා හෙවත් දිශාව යන පාලන ඒකකය භාරව සිටි තැනැත්තා දිසානායක වන්ට ඇති බව මෙහිලා අපට පිළිගත හැකි වන්නේ ය. තවද දිසානායකවරු පිළිබඳ ව කෝට්ටේ යුගයට අයත් වන අලුත්නුවර සෙල්ලිපියෙහි ද සඳහන් වීමෙන් පශ්චාත් මධ්‍යතන යුගයේ දී ප්‍රදේශ පාලනයේ දී මොහු ද වැදගත්වන්ට ඇතැයි සැලකිය හැකි ය.

(කර්තෘ: ජී.එච්. ආරියසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිසානායක&oldid=5062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි