දෙතිස් වධ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උලහිඳුවීම

උලහිඳුවීම වනාහි ඉන්දියාවේ සහ ලක්දිවත් වරදකරුවකු දරුණු වේදනා වද පමුණුවා මැරීම පිණිස නියමිත දණ්ඩනයකි. සෙංකඩගල නුවර සිංහල රජුන් අවදියෙහි මීට දිවස් උලහිඳුවීම යයි කියන ලදි. උලහිඳුවා මිනිසුන් මැරීම අනුරාධපුර පොළොන්නරු යුගයන්හි පැවති බවත් ඉතිහාසයෙහි සඳහන් නොවේ. දඹදෙණි, කුරුණෑගල, කෝට්ටේ, සීතාවක රජුන්ගේ කාලයන්හි උලහිඳුවීම පැවැති බැව් ඉතිහාස විත්තිවල හා ජනකථාවන්හි ද සඳහන් නොවේ. දඹදෙනි රාජධානිය පැවැතියේ දකුණු ඉන්දියාවේ ප්‍රබල පරාක්‍රමයෙන් යුත් විජයනගර රාජධානිය බලයෙන් පිරිහීගෙන යන අවදියකයි. විජය නගරය ආක්‍රමණය කළ තුර්කි ජාතිහු ද මිනිසුන් උලහිඳුවා මරණයට පත් කළෝ ය. ඔවුන්ට ද මේ ක්‍රමය පුරුදු වූයේ භාරත දේශීන්ගෙන් යයි සිතීමට කරුණු ඇත්තේ ය. දකුණු ඉන්දියානු නගරයන්ගෙන් ලක්දිව සිංහල රජදරුවන්ට ද උලහිඳුවීම පුරුදු වූ බව කිව යුතු ය. සෙංකඩගල රාජධානිය පිහිටුවන ලද සේනා සම්මත වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ උලහිඳුවීම වැනි දරුණු වධ බන්ධනයක් කළ නියාවක් ජනකථාවන්හි පවා සඳහන් ව නොමැතියි. ගම්පල හෙවත් ගඟසිරිපුර රාජධානිය පිහිටුවන ලද හතර වන බුවනෙකබාහු රජතුමාගෙන් පසු ඇති වූ දේශපාලන වියවුල්වල දී පවා උලහිඳුවීමක් ගැන සඳහන් ව නොමැති ය.

උලහිඳුවා මිනිසුන් වධයට පැමිණවීම සීතාවක මායාදුන්නේ, පළමුවන රාජසිංහ යන රජුන්ට පසුව බහුල වශයෙන් සිදු කරන ලද්දේ දෙවැනි රාජසිංහ රජතුමා විසිනි. බෞද්ධ උපාසකයෙකු වශයෙන් සුප්‍රසිද්ධ වූ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා පවා එක්තරා කුමන්ත්‍රණයකට සහභාගී වූ පිරිසත් උලහිඳුවා මරණයට පත් කළේ ය. වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජතුමා සිංහාසනයෙන් පහකිරීම සඳහා විශාල රදව් පිරිසක් විසින් කැරලි ගසන ලදි. ඒ අවස්ථාවේ උඩදුම්බරට පළාගිය රජතුමා බලයෙන් එවූ කැරලිකරුවන් මැඩැ ජයගත්තේ ය. ඒ අවස්ථාවෙහි කැරලිකාරයන් තිහකට වැඩි ගණනක් උලහිඳුවීමෙන් හා එල්ලා දැමීමෙන් මරණයට පමුණුවන ලදි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවර සිංහාසනයට උරුමකම් කියමින් ඉංග්‍රීසීන්ගේ පක්ෂයට බැඳී සිටි මුත්තුසාමි සහ ඔහුගේ සහකාරයෙක් වූ රණරාල ද උලහිඳුවා මරණ ලද්දේ ය.

දිවස්උලට ගියත් කරන දේ කරනවාමයි යනු සිංහල රජකාලේ වැසියන්ගේ උඩඟු වදනකි.

(කර්තෘ: පී.ඇම්.පී. අබයසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දෙතිස්_වධ&oldid=5026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි