දෙවනගල
කොළඹ සිට නුවර ප්‍රධාන මාර්‍ගයේ කොළඹ සිට කිලෝමීටර් 90ක් පමණ ගමන් කරන කල මාවනැල්ල නගරය හමු වේ. මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම බස් මාර්‍ගය දෙවනගල ප්‍රදේශය ආසන්නයෙන් ගමන් කරන අතර එහි කිලෝ මීටර් 5ක් පමණ ගිය කල දෙවනගල පර්‍වතයට නැගීමට ඇති ස්ථානයට ලඟා විය හැකි ය. මාවනැල්ල හෙම්මානතගම මාවනැල්ල-අරණායක යන ප්‍රධාන මාර්‍ග දෙක අතර ප්‍රදේශයේ දෙවනගල පිහිටා ඇති නිසා මාවනැල්ල අරණායක මාර්‍ගයේ ගමන් කරන්නකුට අළුපත හන්දියෙන් බැස දෙවනගලට පිවිසිය හැකි ය.
දෙවනගල සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන්පලාන පත්තුවේ ගල්බඩ කෝරළයට අයත් ගමකි. දෙවනගල වටා කටුගහවත්ත, උඩපමුණුව, අට්ටාපිටිය, තල්ගමුව යන ගම් පිහිටා තිබේ. මෙම ගම්වලින් මැදි වී තිබෙන ප්‍රදේශයේ කොත් කන්දක ස්වරූපයෙන් යුත් දෙවනගල පර්‍වතය විශාල ප්‍රදේශයක විහිදී ගොස් ඇත. එම පර්‍වතය
ඈත සිට බලන කල වංගෙඩි දෙකක් ලෙස ගල් පර්‍වතය පෙනෙන නිසා දෙ වාන යන අර්ථයෙන් දෙවනගල යන නාමය සැදී තිබෙන බව ගැමි ජනප්‍රවාදයයි. එහෙත් පුරාවිද්‍යාත්මක අදහස මෙයට වෙනස් ය. පර්‍වතය මුදුනේ රාජකීය මාලිගයක් හෝ දේවාලයක් තිබෙන්නට ඇතැයි ද ඒ නිසා දෙවනගල යන නාමය ඇති වන්නට ඇතැයි ද (ගි.ස.3.206) අදහස් කෙරේ. දේවානං යන සංස්කෘත වචනයේ ප්‍රාකෘත ස්වරූපය දෙවන යන්නයි. (23: ප්‍රාකෘත 'දෙවපිය' සංස්කෘත 'දේවානංප්‍රිය' යනුවෙන් යෙදේ) පර්‍වතය මුදුනේ දේවාලයක් හෝ රජමාලිගයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කිරීමට අවට ප්‍රදේශයේ ඇති නානමුර කොටු ගොඩැල්ල මෙන් ම උඩ පමුණුව පහත පමුණුව යන ස්ථාන ද හේතු වී ඇත.
ප්‍රදේශයේ කැපී පෙනෙන උස් ප්‍රදේශයක දෙවනගල පිහිටීම නිසා සංඥා හා සංකේත මාර්‍ගයෙන් සන්නිවේදනය සිදු වූ එදා සිට උස් පර්‍වතය එම කාර්ය කිරීමට ඉතාම යෝග්‍ය ස්ථානය වශයෙන් ක්‍රියා කර ඇත. කන්ද උඩරට හා පණිවිඩ හුවමාරුවේ දී කඩුගල්නාව මුදුනේ ඇති 'බලන' වැදගත් ස්ථානයක් විය. 'බලන' හා දෙවනගල ඍජුව එකිනෙකට දර්ශනය වන උස් පර්‍වත දෙකකි. එහෙයින් විද්‍යුත් සන්නිවේදන නොතිබුණු පැරණි යුගයේ දී උඩරට හා පැවති සන්නිවේදන කාර්යේ දී දෙවනගල වැදගත් ස්ථානයක් වශයෙන් ද ක්‍රියා කර ඇත.
මෙම පර්‍වතයෙහි සටහන් කර ඇති ක්‍රි.ව. 12 වෙනි සියවසට අයත් 'දෙවනගල ශිලා ලිපිය' ද මෙහි ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ලේඛනයකි. පළමුවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ (1153-1186) කීර්ති නගරගිරි සෙනෙවියා රජතුමාගේ අනුග්‍රහය මත බුරුමයේ රාමඤ්ඤ රට කුසුම් නමැති නගරය දිනා එරට සමගි සන්ධානයට පත්කිරීමේ සේවය නිමිති කොටගෙන එම සෙනෙවියාට මලබටුව කින්සෙන් පුටුව වැනි අමුණු 52 පැල 2 ප්‍රදේශයක් පමුණු (රාජ්‍යමාත්‍යාදීන්ගෙන් ප්‍රසාද වශයෙන් ලබන පරපුරට උරුම ලෙස සතුවන ප්‍රදානය) වශයෙන් පරිත්‍යාග කිරීමේ සිද්ධිය මෙම ශිලා ලිපියෙන් හෙළි වේ.
මහාවංශයේ 76 වන පරිච්ඡේදයේ මෙම පුවත විස්තර වුවත් ආක්‍රමණය සිදු වූ කාලය හා එකල බුරුමයේ රජතුමාගේ නම එහි සඳහන් නොවේ. එම කරුණු දෙවනගල ශිලා ලිපියෙන් අනාවරණය වී තිබීම ඓතිහාසික වශයෙන් එහි වැදගත්කම වැඩිවීමට හේතු වී ඇත. බුරුම රටේ ඉතිහාස පොත්වල මෙම සිද්ධිය සඳහන් කොට ඇත.
(කර්තෘ: පී.ඒ. ගුණරත්න)
(සංස්කරණය නොකළ)