දේවශර්මන්-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කාශ්මීරයෙහි රජ කළ කාර්කෝට රාජ වංශයට අයත් ශ්‍රී ජයාපීඩ නොහොත් විනයාදිත්‍ය රජුගේ (ක්‍රි.ව. 751-782) ප්‍රධාන ඇමතියෙක් වන දෙවශර්මන් පිළිබඳව කලහම්ගේ රාජතරංගනියේ හතරවන තරංගයේ (පරිච්ඡේදයේ) සඳහන් වෙයි. ‘දෙව’ යනු දෙවියන් හැඳින්වෙන පර්යාය නාමයකි. ‘ශර්මන්’ යනු ආරක්‍ෂාවයි, රැකවරණයයි. දෙවියන් රැකවරණය හැටියට ඇතිව සිටින්නා නොහොත් දෙවියන්ගේ රක්‍ෂාවරණීය ලැබූ තැනැත්තා යන අර්ථය දේවශර්මන් යන්නෙන් ලැබේ. දේවශර්මන්ගේ ජීවිත කථාව පිළිබඳව වැඩි විස්තර රාජතරංගිණියෙහි සඳහන් නොවෙතත් ඔහුගේ පියා ‘මිත්‍රශර්මන්’ යයි දක්වා ඇත.

ජයාපීඩ රජතුමා ප්‍රථම වරට දිග්විජයෙහි යෙදෙද්දී වරක් සිය සේනාවන්ගෙන් වෙන් ව හුදකලා ව රටින් රට සංචාරයෙහි යෙදුණේ ය. මේ අවස්ථාවේ දී ගෞඩ රජෙකු වූ ජයන්ත විසින් පාලනය කළ පෞණ්ඩුවර්ධන පුරයට පැමිණෙයි. එහි දී ඔහු ඒ රාජ්‍යයට බිය ගෙනදුන් සිංහයෙක් නසයි. ඔහුගේ මෙම වික්‍රමය ගැන ප්‍රීති වූ ජයන්ත රජු ඔහුට සිය දියණිය වූ කල්‍යාණවතිය ප්‍රදානය කරයි. ජයාපීඩ හුදකලාව වික්‍රමයන්හි යෙදෙද්දී ඔහුගේ සේනාව පාලනය කළේ හා ඔහු වෙනුවෙන් සේනා රැස් කළේ ඔහුගේ භක්තිමත් ඇමතියෙක් වූ දේවශර්මන් ය. ස්වකීය රජතුමා වික්‍රමයෙන් ප්‍රසිද්ධියට පත් වූ කෙනෙහි ම ඔහු කරා පැමිණෙන දේවශර්මන් යළිත් ස්වරාජ්‍යය වූ කාශ්මීරයට ආපසු යාමට කාලය පැමිණ ඇති බව ඔහුට මතක් කර දෙයි. සිය සේනාව හා ආපසු කාශ්මීරය බලා යද්දී කන්‍යකුබ්ජයේ රජු පරදාලන ජායාපීඩ නරපතියා කෙමෙන් සිය රටට පැමිණෙයි. ඔහු රටින් බැහැරව සිටිය දී වංචාවෙන් එරට අයත් කර ගෙන සිටි ජජ්ජ රජු ජයාපීඩ සමඟ යුදට එයි. ඔහු පරදා සිය රාජ්‍යය ආපසු ලබා ගන්නා ජායාපීඩ දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනයෙහි යෙදෙයි. හේ උගතුන්ට හා සිල්වතුන්ට බෙහෙවින් සත්කාර කරයි. උද්‍යාන, විහාර, දේවායතන යනාදිය තනවයි. දේවශර්මන් රජුගේ මේ සියලු ක්‍රියාවන්ට සහාය දක්වමින් ඔහු අසළ ගැවසෙයි.

තමාගේ රාජ්‍යය මිහිබට දෙව්ලොවක් මෙන් සමෘද්ධ කිරීමෙන් අනතුරුව ජයාපීඩ රජු දෙවන වරටත් දිග්විජයෙහි යෙදෙයි. එහිදී ද දේවශර්මන් රජුගේ ආරක්ෂාව සලසමින් මහත් කාර්යභාරයක් ඉටු කරයි. ජයාපීඩ රජු නේපාලාධිපතියා සමඟ යුද්ධයට පැමිණි විට නේපාල රජු පලා යයි. අවසානයේ උපක්‍රමයෙන් ජයාපීඩ අල්ලා ගන්නා ඔහු දැඩි රැකවල් මැද ඔහු සිරගෙයක තබයි. මේ අවස්ථාවේ දී දේවශර්මන් සිය ස්වාමි රජු ගලවා ගැනීමට ඉදිරිපත් වෙයි. කාශ්මීර රාජ්‍යය හා ජයාපීඩගේ සැඟවුණු ධනය නේපාල පාලකයාට ලබා දෙන බවට පොරොන්දු වන හේ ඔහු රවටා ජයාපීඩ සිර කර සිටි සිර මැදිරියට ඇතුළුවෙයි. සිය ස්වාමියා පත්ව සිටින දුඃඛිත තත්වය දකින හේ ජීවිත පරිත්‍යාගයෙන් හෝ ඔහු ගලවා ගැනීමට අධිෂ්ඨාන කර ගනියි. රජු හා සාකච්ඡාවට වැටෙන ඔහු බේරී යා හැකි එකම උපක්‍රමය සිරගෙය අසළින් ගලා බස්නා නදියට පැන එතෙරට පිහිනා ගොස් සිය සේනාව සමඟ එක්වීම බව රජුට පවසයි. වේගවත් දිය පහරින් යුතු එම නදිය තරණය කිරීමට හැක්කේ (සුළං පිරවූ) හම් පසුම්බියක් ඇතොත් පමණකැයි රජු පවසයි. “මඳ වේලාවක් ඉවතට ගොස් සිටින්න. නදිය තරණය කිරීමට උපක්‍රමයක් සොයන්නෙ මැ”යි දේවශර්මන් රජුට පවසයි. රජු ඉවතට ගොස් මද වේලාවක් සිට ආපසු විත් බලන විට තමාගේ ම වස්ත්‍ර ඛණ්යකින් ගෙල සිරකර ගෙන මියගොස් සිටිය දේවශර්මන් දකියි. එම වස්ත්‍ර ඛණ්ඩයෙහි ඔහුගේ ම ලෙයින් කළ යුතු දේ ගැන ලියා රජුට උපදෙස් දී තිබිණ: “මාගේ සිරුරෙහි ප්‍රාණය නිරුද්ධ වූවා පමණි. ඒ නිසා ශරීරාභ්‍යන්තරයෙහි වූ වාතය තවම පිට වී නොමැත. (සුළං පිරවූ) හම් මල්ලක් මත මෙන් මගේ සිරුර මත නැඟී එතෙරට ගොස් සිය සේනාවට එක් වන්න.” එය කියවන රජු සිය භක්තිමත් ඇමතියාගේ වියෝගය ගැන අතිශයින් ම කම්පාවට පත් වෙයි. ඔහු දුන් උපදේශය පිළිපදිනු හැර අන් කළ දෙයක් නොවූයෙන් හේ දේවශර්මන්ගේ සිරුර ඔරුවක් සේ ප්‍රයෝජනයට ගනිමින් එහි නැගී නදියෙන් එතෙර වී සිය සේනාව සමඟ එක් වෙයි. ක්‍ෂණයකින් හේ සතුරු රජු සමඟ රජු සමඟ යුද වැද ඔහු වනසාලයි.

කාෂ්මීර රාජවංශය ගැන ඓතිහාසික වාර්තාවක් ලියන ලද කල්‍යාන සිය රාජතරංගනියෙහි ඇතැම් විට අද්භූත යැයි ගැනෙන කරුණු ද සංග්‍රහ කර තබයි. අයෙකුගේ ශරීරයක් උපයෝගී කර ගෙන තවෙකකුට සැඩ දිය පහරක් තරණය කළ නොහැකි බව අපි දනිමු. ප්‍රායෝගික වශයෙන් උපයෝගී කර ගත නොහැකි සේ පෙනෙන උපක්‍රමයක් මඟින්, ස්ව ජීවිතපරිත්‍යාගය පාදක කර ගෙන ස්වාමි රජුට ජීවිතය ගලවා ගැනීමට උපකාර කරන ස්වාමිභක්තියෙන් අනූන ඇමතියකුගේ අනුවේදනීය වෘතාන්තයක් ඉදිරිපත් කිරීමට කල්‍යාන මෙහි දී තැත් දරා ඇති බව පෙනේ.

ආශ්‍රිත ග්‍රන්ථ

(1) M. A. STEIN; Kalhana's Rajatarangni, A Chronicle of the kings of Kashmire English Translation, Vol I; motilai Banarsilass; Delti 1961 pp 158 - 180 (2) Kalhana's Rajatarangni, IV 402 - 659

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දේවශර්මන්-1&oldid=5042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි