දේවේන්ද්‍ර මූලාචාරී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දේවේන්ද්‍ර මූලාචාරී සෙංකඩගල අග අවදියේ විසූ ඉතා ප්‍රකට කලාත්මක අංශ ගණනාවක නිපුණතාව තිබූ නිර්මාණ ශිල්පියෙකි. ඔහු ජීවත් වූයේ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රාජාධි රාජසිංහ (1782-1798) හා ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) යුගවලයි. දේවේන්ද්‍ර යනු ඔහුගේ පරපුරේ නාමයයි. මූලාචාරී යනු රජුගෙන් ලබා සිටි තනතුරේ නාමයයි. ලෝර්ග් ගැසටියර් අනුව දේවේන්ද්‍ර මූලාචාරියාගේ පෞද්ගලික නාමය ඩිංගිත්තා අප්පු ය.

ලෝරි ගැපටියර් පළමු කොටසේ අරත්තන ගම ගැන විස්තරයේ ඩිංගිත්තා අප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී ගැන සටහනක් ඇත.

දේවේන්ද්‍රගේ පියා උඩරට කොත්මලේ මඩකුඹුරේ ශිල්පියෙකි. මව පහතරට දෙවුන්දර ශිල්පී පවුලකට අයිති ය.

දේවේන්ද්‍ර පරපුර දකුණු ඉන්දියාවේ සිට දෙවුන්දර උපුල්වන් හෙවත් විෂ්ණු දේවාලයේ රාජකාරී සඳහා පැමිණි වෙනත් ශිල්පී පවුල් සමඟ පසුකල විවාහ මගින් මිශ්‍ර වූ පවුලක් බවට තොරතුරු ඇත.

දේවේන්ද්‍ර පසු කල ඒ පරපුරේ අය යොදා ගත් දේවා නාරායන නම් දෙවුන්දර නම සිහියට නැංවෙන අතර ඒ නම් තුළ දිව්‍යමය උපත ගැන ඉඟියක් ද දන්වන බවට සැලකේ.

තම පරපුර හෝ මවගේ පරපුර ඇරඹනු දෙවුන්දර කුඩා කල දේවේන්ද්‍ර මූලාචාරි පදිංචි ව සිටියේ ය. එහිදී පහතරට කලාශිල්ප ගැන ඔහුට පාරම්පරික දැනුම ලැබුණි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල (1798-1815) කොත්මලේ ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද අනුව, පරපුර මාතලේ සිට කොත්මලේ පදිංචියට එන ලදුව රජු විසින් ඔවුන් ව කොත්මලේ ගම්මාන හතරක් වූ මඩකුඹුර-නවංගම-කඩදොර තිරිවානාගොඩ පදිංචි කළ බව දේවේන්ද්‍ර පරපුරින් පැවත එන්නන්ගේ අදහස ය.

කොත්මලේ මේ ගම්මානවල පදිංචි දේවේන්ද්‍ර නෑදෑ පරපුර රන්හොටිගෙදර-රත්නවිභූෂණ ගෙදර ආදී වාසගම් භාවිතා කරති. මින් නවංගම දුටුගැමුණු අවදිය පටන් පැරණි ලෝකුරු ගම්මානයකි. දේවේන්ද්‍ර තම පියාගේ ගම වූ හෝ දෙවුන්දර සිට පදිංචියට අවුත් වාසය කළ කොත්මලේ මඩකුඹුර ගමේ කාලයක් ඔහුගේ තරුණවිය ගෙවූ බව කියවෙයි. දේවේන්ද්‍ර මූලාචාරී පදවිය ලැබීමට පෙර පියා සමඟ පාරම්පරික ශිල්ප උගද්දී ඔහු විසින් නිර්මාණය කළ පේකඩ කම්හලක් කොත්මලේ මඩකුඹුරේ තව ම ඇත.

දේවේන්ද්‍ර පරපුරේ වඩාත් ප්‍රකට ශිල්පියා වූයේ දේවේන්ද්‍ර මූලාචාරී ය. රාජ සේවයේ යෙදීම නිසා රජුගෙන් ඔහුට හෝ ඔහුගේ පියපරපුරට ලැබුණු ගම වූයේ මහනුවර සේවයට යාමට ඒමට කිට්ටු උඩුනුවර හන්දිස්ස අරන්තන ග්‍රාමයයි. ඒ බව සෙංකඩගල ඉතිහාසය ග්‍රන්ථය කියයි. මුලින් ම දේවේන්ද්‍ර රාජ සේවයට ගියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු කලයි (1747-1782). රාජ්‍ය සේවයට ගියේ අරත්තන සිටයි. මැදඋයන්ගොඩ සිට උද්දන්ගිටි සිංහල ආණ්ඩුව ග්‍රන්ථය අනුව කීර්ති ශ්‍රී රජු ඔහුට ක්‍රි.ව. 1780 නළල්පටක් සමඟ සන්නසක් දී ඇත.

ලෝරි ගැසටියර් පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශකවර්ෂ 1703 (ක්‍රි.ව. 1780) ඩිංගිත්තා අප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරීට සන්නසක් ද දී ඇත. ශතවර්ෂ 1706 (1783) ඒ ඉඩමට ම තොරයායේ මුලාචාරියා සන්නසක් ලබා ගත ඇති බව උඩුනුවර අරන්තන ගම ගැන විස්තරයේ දී කියයි.

ලංකාවේ සිතුවම් කථාව නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ දී ඩී.බී. ධනපාල රාජාධි රාජසිංහ රජු හිරියාල නයිදේ හා දේවේන්ද්‍ර මූලාචාරීට දුන් සන්නසක් ගැන කියයි.

ඉහත විස්තර කළ සන්නස් රාජසම්මාන ලැබුවේ දෙගල්දොරුව විහාරයේ නිර්මිත චිත්‍ර කර්මාන්තවලට හා මගුල්මඩුවේ කටයුතු ඇරඹීම වෙනුවෙන් බව පෙනී යයි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු තලවන සිට විශිෂ්ඨම කාර්මික ශිල්පියා, ගෘහ නිර්මාණ ශිල්පියා දේවේන්ද්‍ර බව මධ්‍ය කාලීන සිංහල කලා ග්‍රන්ථයේ දී කුමාරස්වාමි කියයි. ඔහු චිත්‍ර ශිල්පය - වඩු කර්මාන්තය - කාර්මික ශිල්පය හා ගෘහ නිර්මාණ ආදී ශිල්ප කීපයක හසල විය. රාජකාරී කටයුතුවලට යාමට පහසුව සලකා දේවේන්ද්‍ර මූලාචාරියා විවාහ වූයේ ඇල්දෙනියෙනි.

රාජාධි රාජසිංහ රජු (1782-1798) කල ඔහු මගුල් මඩුවට මුලපිරුවේ ය. ඔහු මුලාචාරී තනතුරට පත් වූයේ මේ කල විය හැක. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල (1798-1815) බෝගම්බර කිරි මුහුද සැදීම වැවේ බැම්ම හා අලංකාර කාර්මික කටයුතු - දළදා මැදුරේ පත්තිරිප්පුව - ඒ ආශ්‍රිත දිය අගල ඉදිකිරීම් කළේ ද්වේන්ද්‍රයි. මූලාචාර යනු කාර්මිකයන්ගේ ප්‍රධානියා ය. මූලාචාරියකු යටතේ වඩුවන් 7ක් සේවය කරන බව වොයිල් කියයි.

දේවේන්ද්‍ර පත්තිරිප්පුවේ රන් කාර්මික පට්ටලයක මූලාචාරියා වූ බව පෙනේ. තෙන්නකෝන් විමලානන්ද කියන පරිදි ශිල්ප පහක් උගත් අයෙකු මූලාචාරී නම් වෙයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි සිංහල ආංඩුව ග්‍රන්ථයේ කියනුයේ ආභරණ ඔටුනු - රන්කඩු - සිංහාසන යන සතරපට්ටලේ ප්‍රධානියා මූලාචාරී බව ය. ඩොයිලි උඩරට ආණ්ඩුව ග්‍රන්ථයේ මේ සතරපට්ටලය ගැන දීර්ඝ සටහනක් දෙයි. සිංහල සමාජ සංවිධානය ලියූ රැල්ප් පීරිස්ට අනුව කොට්ටල් බද්ද කොටස් දෙකකි. උඩරට කොට්ටල් බද්ද හා පහතරට කොට්ටල් බද්ද යනුවෙනි. උඩරට මුල දී තිබුණේ ආභරණ පට්ටලය පමණි. පසුකල ආභරණ -රන්කඩු - සිංහාසන - ඔටුනු කොටස් හතරට ඒ බෙදීගිය බව ඔහුගේ අදහස ය.

ශිල්පියකුට ලැබිය හැකි ලොකුම ගෞරවයක් වූ රන් නළල්පට රජුගෙන් හෙතෙම ලැබුවේ ය. පත්තිරිප්පුව සෑදීමේ දී දේවේන්ද්‍රට උදව් කරුවු නාරායන ආචාරි ද රජු විසින් අරන්තන ගමේ පදිංචි කරවූයේ ය. දේවේන්ද්‍රට පුතෙක් හා දුවක් වූහ. පුතාගේ නම අප්‍රකටයි. දේවේන්ද්‍රගේ දියණිය දේවේන්ද්‍ර ගෙදර කිරි එතනා ය. උඩරට රාජ්‍යය බිඳ වැටුණු පසු රාජ්‍ය සත්කාර නොලද නිසා දේවේන්ද්‍රගේ පුතා හා දුව ඇම්බැක්ක ගමේ පදිංචියට ගියහ.

පත්තිරිප්පුව කිරීමේ දී සැලැසුම කෙහෙල් පෙතිවලින් රජුට ඉදිරිපත් කළේ දෙහිගම දියවඩන නිලමේ ය. දෙහිගමගේ සැලැස්ම රජු සතුටින් අනුමත කළේ ය. පත්තිරිප්පුව සෑදීමෙන් දේවේන්ද්‍ර ලබන රාජ්‍ය ගෞරව සම්මාන ගැන ඔහුට නිලමෙවරු ඇතුළු බොහෝදෙනා ඊර්ෂ්‍යා කළහ. නාලන්දේ සිට කපාගෙන ආ පත්තිරිප්පුවට අවශ්‍ය දැව ඔහුට හොරෙන් හතුරු උපක්‍රම මත කෙටිකර තිබුණි. නියමිත මිණුම්වලට කෙටිවූ නිසා පත්තිරිප්පුවේ ප්‍රමිතිය අඩු වී වහල මිටි කිරීමට සිදු විය. රජුට ඔහුගේ හතුරෝ දේවේන්ද්‍ර දැව කර රජුට අපහාස කළ බව ගතු කීහ. පත්තිප්පුව නිම වී රාජ වරප්‍රසාද දීමේ දී එයට පෙර දැව කෙටිකිරීමේ අපහාසයට ඔහුගේ මාපටගිල්ල කපා දැමීමට රජු නියම කළේ ය. පත්තිරිප්පුව නිමවීම සමඟ අතේ මාපටගිල්ල කැපීමෙන් පරපුරට වන අවමානය වැලැක්වීම සඳහා දේවේන්ද්‍ර තමා විසින් ම නිර්මාණය කරන ලද බෝගම්බර කිරි මුහුදට පැන දිවිනසා ගත් බව ආනන්ද කුමාරස්වාමි 'මධ්‍යකාලීන සිංහල කලා' ග්‍රන්ථයේ දී කියයි. ඔහු දිවිනසා ගත්තේ 1812 දී පමණ ය. රජු ඔහුගේ අවසාන කටයුතු ගෞරවාන්විත ව කරවී ය.

'මධ්‍යකාලීන සිංහල කලා' ග්‍රන්ථය පරිදි දේවේන්ද්‍ර භාවිතා කළ යකඩ රියන් උදැල්ල ඔහුගේ පරපුරින් පැවත එන ගොඩපොළ ගල්ලද්දා ළඟ ඇත. දිග අඟල් 31ක් වූ එය පැක්තක් අඟල් 24ක් වෙයි. ඒ අඟල් 3, 7/8, 2, 7/12, 1, 7/24, 21/4 ලෙස බෙදා ඇත.

දේවේන්ද්‍රගේ දියණි කිරිඑතනාගේ දුව හෙවත් දේවේන්ද්‍රගේ මිනිබිරිය දේවේන්ද්‍ර මූලාචාරීගේ ගෙදර රන් එතනා ය. දේවේන්ද්‍රගේ තවත් මිනිබිරියක් වූ පුංචි එතනා මංගලම් පරපුරේ අයකු හා විවාහ වූ බව පාරම්පරික ශිල්පිගම් ග්‍රන්ථයේ දී ජයදේව තිලකසිරි කියයි.

විවාහ ගනුදෙනු මඟින් දේවේන්ද්‍ර පරපුර ප්‍රකට ශිල්පීය පරම්පරාවන් වූ නීලගම හා මංගලගම පරපුරු හා මිශ්‍ර විය.

දේවේන්ද්‍රගේ පුතා හා දුව පදිංචියට ගිය ඇම්බැක්ක ගමේ පදිංචි පවුල් දෙකක් අදත් වාසලම ලෙස ඇම්බැක්කේ මනුවීර වික්‍රමගෙදර හා උඩුනුවර හන්දෙස්සේ අරන්තන දේවේන්ද්‍ර ගෙදර වාසගම් භාවිතා කරති. කිරිඑතනාගේ පරපුරේ අය හන්දෙස්සේ පදිංචිව සිටිති.

දේවේන්ද්‍ර සමඟ පත්තිරිප්පුවේ වැඩට හවුල් වූ නාරයන ආචාරිගේ පරපුරේ අය හන්දෙස්සෙ හා අරන්තන ගම්වල වසයි. දේවේන්ද්‍රගේ ශිෂ්‍ය ශිල්පී පරපුර ආචාරී - නාරායන හා දේවනාරායන යන පාරම්පරික නාම භාවිත කරන බව පාරම්පරික ශිල්පීගම් ග්‍රන්ථය කියයි.

දේවේන්ද්‍ර මූලාචාරීගේ ගෘහනිර්මාණ

1). කොත්මලේ මඩකුඹුර ගමේ ඉදිකල පේකුඩ කුල කම්මල - ඔහුගේ පියා කොත්මලේ කුඹුර ගමේ ශිල්පියෙකි. දේවේන්ද්‍ර දෙවුන්දර සිට කොත්මලේ මඩකුඹුරට විත් ගම පියා සමඟ පාරම්පරික ශිල්පවල යෙදී ඇත. දේවේන්ද්‍රගේ මුල්ම නිර්මාණය කොත්මලේ මඩකුඹුර ගමේ ඇති පේකඩ කම්මලබව පෙනී යයි.

2). මීදෙනිය බණ මඩුව - උඩරට ගලගෙදර නුදුරු මිදෙනිය ගමේ බණ මඩුව දේවේන්ද්‍ර ඉදි කළ බව ලෝරි ගැස්ටියර් හා ආනන්ද කුමාරස්වාමි මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ කියයි.

දේවේන්ද්‍ර මූලාචාරීගේ චිත්‍රනිර්මාණ

(අ) මහාචාර්ය පරණාවිතාන යුනෙස්කෝ චිත්‍ර ප්‍රකාශනයන් වූ ලංකාවේ විහාර ආරාම හා ගුහාසිත්තම් ග්‍රන්ථයේ කියන පරිදි සෙංකඩගල යුගයේ මනා නිදසුන් ලෙස දෙගල්දොරුව, දඹුල්ල, රිදී විහාරය, තබල්දොරලෙණ චිත්‍ර දැක්විය හැකිය.

(ආ) මහාචාර්ය ජේ.බී. දිසානායක ලියූ 'දෙගල්දොරුව' ග්‍රන්ථය අනුව රාජාධි රාජසිංහ රජු කල නිමවුණු දෙගල්දොරුව විහාරයේ වෙස්සන්තර, සුතසෝම, ජන්තුභන්තු, මහාසීලව යන ජාතක කතා හතර, බුද්ධ චරිතයේ අවස්ථා, මාරපරාජය චිත්‍රයට නඟා ඇත. ජේ.බී. දිසානායක පරිදි දෙගල්දොරුවේ ප්‍රධාන සිත්තරා දේවේන්ද්‍ර විය. දේවේන්ද්‍ර, දෙවරගම්පල හිමි, හිරියාල හින්තැන් නයිදේ, නීලගම පටබැන්දා යන සිත්තරු හතරදෙනා දෙගල්දොරුව වැව කළහ. මෙහි සුතසෝම ජාතකය ඇන්දේ නීලගම පටබැන්දා හෙවත් කොස්වත්ත සින්තර නයිදේ බව ඔහු කියයි.

(ඇ) මහනුවර යුගයේ විහාර බිතුසිතුවම් ග්‍රන්ථයේ දී එස්.පී. චාර්ල්ස් කියන පරිදි දෙවරගම්පල සිල්වත් තැන සමඟ වැඩ කළ ශිල්පියකු ලෙස දේවේන්ද්‍ර දක්වයි.

(ඈ) රාජාධිරාජසිංහ රජුගේ සන්නස ද දේවේන්ද්‍රට පිදූ ඉඩකඩම් ගැන කියවෙන බව කරුණාතිලක සෙංකඩගල ඉතිහාසය ග්‍රන්ථයේ පෙන්වාදෙයි. රාජාධිරාජසිංහ සන්නසේ හිරියාලනයිදේ හා දේවේන්ද්‍රට දුන් වරප්‍රසාද ගැන ඩී.බී. ධනපාල The Story of Sinhalese Painting ග්‍රන්ථයේ දක්වයි.

(ඉ) පහතරට ඇති තෙල්වත්ත - මුල්ගිරිගල උඩරට කලා සම්ප්‍රධාය අනුව සැගවුණු විහාර හා චිත්‍ර බව පෙනෙයි. තෙල්වත්තේ වැඩවලට අවුරුදු 16 ගත වී ඇත. දෙගල්දොරුව කල ශිල්පීන්ම තෙල්වත්ත චිත්‍ර ඇඳ ඇති බව පරණවිතාන මතය වේ. (ඉහත අ යටතේ බලන්න.) සමහර විට දේවේන්ද්‍ර මේ විහාරවල බිත්ති - බුදු පිළිම දොර උළුවහු ඇතුලු කාර්මික වැඩවල ප්‍රධානියා වූවා ද විය හැකිය.

මඟුල් මඩුව නිර්මාණය කිරීම

මුල් යුගයේ සිට ම මහනුවර මගුල් මඩුවක් විය. 1765 අදින ලද ඕලන්ද ජාතිකයකු ඇඳ ඇති මහනුවර සිතියමේ මඟුල් මඩුව දක්වා ඇත. පැරණි මගුල් මඩුවට 1765 ඕලන්ද අනුමජායෙන් අබලන්වීම නැත්නම් දිරාපත්වීම නිසා ඒ ස්ථානයේ හෝ පැරණි මඟුල්මඩුව නවීකරණය හෝ අළුතින් මඟුල්මඩුව සෑදීම ශකවර්ෂ 1706 (ක්‍රි.ව. 1784) රාජාධි රාජසිංහ රජු ඇරඹූ බව ජනකවියක එයි. "සතවර්ෂ සිනෙත් දහස් පන්සිය වස සවන - වප්පුර විසෙනියලත් රජය ගුරුදින ලක හිමි රාජාධිරාජසිංහ රජ අන්න - සැකහැර මගුල්මඩුවට කප සෑදූ සොදින" යනුවෙන් මාරමේ ලිවූ විදුකවිපොත හා පුරාණ සිව් පද සංග්‍රහයේ එයි. කරුණාතිලක සෙංකඩගල ඉතිහාස ග්‍රන්ථයේ දක්වන කවියේ වර්ෂය වරදවා ශකවර්ෂ 1726 (ක්‍රි.ව. 1804) ලෙස දක්වා ඇත.

මඟුල්මඩුව කැටයම් කැපීමට හල්මිල්ල ලී ගෙනාවේ නාලන්දෙනි. හල්මිල්ල හැර නා හා තේක්ක දැව යොදා ගෙන ඇත. රාජාධි රාජසිංහ රජු කල එහි වැඩ නිම කිරීමට බැරි විය. 1796 ඉංග්‍රීසීන් එන විට මඟුල්මඩුවේ වැඩ කෙරෙමින් තිබූ බව ලුවිස් වාර්තා කරයි. රාජාධි රාජසිංහ රජු 1798 මිය යන විටත් මඟුල් මඩුවේ වැඩ නිම නොවී තිබූ වග ඩොයිල් තම සිංහලේ ආණ්ඩුක්‍රම ග්‍රන්ථයේ කියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) කල මඟුල් මඩුවේ වැඩ බොහෝ දුරට නිමා විය. එහෙත් උඩරට බිඳ වැටීමෙන් පසු 1820 වන විටත් මඟුල් මඩුවේ කණුවල කැටයම් කපමින් තිබූ බව ආනන්ද කුමාරස්වාමි දක්වයි.

කිරල සන්දේශය වර්ණනා කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කැටයම් කළ ටැම් ඇති මැඳුර මඟුල් මඩුව විය යුතු ය.

උඩරට ගැන ග්‍රන්ථයක් ලියූ ඩේවි රජමාලිගාව පිටුපස ඇති ගොඩනැගිලිවලින් විශේෂත්වයක් වූයේ මඟුල් මඩුවේ පමණක් බව කියයි. රාජ්‍යසභාව පැවැත්වූ මේ ගොඩනැගිල්ලේ කැටයම් කළ ලී කනු ඇති බව ඩේවි වාර්තා කරයි.

මගුල් මඩුවේ ප්‍රයෝජන

1). රජු සභාව ඇමති මණ්ඩලය හා සාකච්ඡා කලේ මෙහිදී යයි ඩේවි කියයි.

2). රජු වෙනත් ප්‍රභූ රදලයන් හා සාකච්ඡා කලේ මෙහිය.

3). රාත්‍රී ආලෝකය දල්වා සුවඳ දල්වා තිරවලට මුවා වී රජු මගුල් මඩුවේ දී විශේෂ තානාපතීන් අමුත්තන් හමුවීයයි ටෙනන්ට් ලිවූ සිලෝන් 2 ග්‍රන්ථයේ එයි.

4). රජු මියගිය පසු සුදුසු අලුත් රජකු පත් කර ගැනීමට රදළ ඇමති මණ්ඩලය රැස් වූයේ මගුල්මඩුවට බව ඩේවි කියයි.

5). තෙන්නකෝන් විමලානන්ද උඩරට කැරැල්ල 3 කාණ්ඩය පරිදි උඩරට විශේෂ වැදගත් උත්සව - විශේෂ ප්‍රකාශ මෙහිදී කෙරිණ.

6). අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම්

7). ඩොයිලි පරිදි උඩරට ඉහළම අධිකරණය වූ මහනුවර පැවැත්වීම් - සිංහල සමාජ සිවිධානය ග්‍රන්ථයේ රැල්ප්වි පරිදි මහනඩුව මගුල් මඩුව නැත්නම් වෙනත් තැන්වලද රැස්විය.

8). රාජවරප්‍රසාද - සන්නස් ප්‍රදානය - අනුනායක මහානායක උත්සව පැවැත්වීම.

9). 1815 උඩරට ගිවිසුම අනුමත කිරීම් - ඉංග්‍රීසියේ යුගයේ දී විශේෂ ප්‍රකාශක කිරීම.

10). ඉංග්‍රීසි මුල් යුගයේ දී මෙය ක්‍රිස්තු පල්ලියක් ලෙස තාවකාලිකව භාවිතා විය.

මඟුල් මඩුවේ නිර්මාණ ශිල්පය ගැන කෙටි විවරණ කිහිපයක්

A. ආනන්දකුමාරස්වාමි මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථය පරිදි ලී කණු පේලි 4 මත රැදුනු පියස්ස හතරපැත්ත ද හැඩ ඇති හතරපැත්ත විවාත ගොඩ නැගිල්ලකි.

B. ටී. කේ. එන්. පී.ද සිල්වා පරිදි ගත්තුටත් කැටයම් කළ කුලුනු සහිත යි.

C. මගුල් මඩුව මෙන්ම උඩරට අම්බලන්වල වහල වල මුළුමනින් කුළුණු මහපිය

D. 1784 රාජාධිරාජසිංහ රජු ඇරඹූ මෙය ඉංග්‍රීසීන් එනතුරු නිමවූයේ නැත. ගල් අත්තිවාරම් මතු ලී කණු පේලි හතරකි. ලී කණු කැටයම් පේකඩ සහිතය.

E. අනුරාධ සෙනෙවිරත්න කන්ද උඩරට මහනුවර ග්‍රන්ථය අනුව මඟුල් මඩුව උඩරට ගෘහ නිර්මාණයේ විශිෂ්ඨතම ලක්ෂණ පෙන්වයි. රාජාධිරාජසිංහ රජ කල ඇරඹූ මේ ගොඩනැගිල් කලින් තිබූ ගොඩනැගිල්ලට නවාංග එකතු කිරීමක් විය හැක. ඩේවි පරිදි ඉංග්‍රීසීන් 1815 වන විටත් එහි වැඩ නොනිමිව තිබුණි. 1815 ගොඩනැගිල්ලට හානි සිදුවිය. ඉහළ ම උසාවිය වූ මහනඩුව මෙහි විය. කැප්පෙටිපොළට හා මඩුගල්ලේට මෙහි දී මරණ දඬුවම නියම විය. ඉංග්‍රීසි මුල් කල මෙහි පල්ලියක් විය. 1875 ලංකාවට පැමිණි වේල්ස් කුමරු (එච්.ඩබ්. කේව් ලිවූ Portuguese Ceylon-Kandy and Precedency ග්‍රන්ථය අනුව පසු කල එඩ්වඩ් VII නමින් රජ වූ වේල්ස් කුමරු ලංකාවට ආවේ 1875 දී ය.)

මහනුවරදී පිළිගැනීමට මඟුල් මඩුව වටා වූ කෙටි බිත්ති කඩා දමා මඟුල් මඩුව පුළුල් කළේ ය.

අද ජාතික කෞතුකාගාරය ඇති පැරණි පල්ලේවාහල තිබූ කැටයම් දැව කණූ 32 ගලවා එහි ගඩොල් කුළුණු බැඳ ඉන් ලී කණු 16ක් මඟුල් මඩුවට යොදා දිගුකරන ලදි. මුලදී අඩි 58 X 35, 1/2 වූ මඟුල් මඩුව තවත් අඩි 31.8ක් දිග වැඩි කළේ ය. මඟුල් මඩුවේ දිරා ගිය ලී කණු මතු කර කපා කෙටි කර අත්තිවාරම මත ලෝහ තහඩු දමා සකස් කළේ ය. පැරණි මඟුල් මඩුව ලී කණු පේලි 24 හෙවත් දැව කණු 48 වෙයි. අළුතින් එකතු කළ කොටස් දැවකණු 2 පේලි 8 හෙවත් 16 බව අනුරාධ සෙනවිරත්න කියයි.

මඟුල් මඩුව දෙපස එදා වූ දකින මණ්ඩපය හා ශාන්ති මණ්ඩපය ඉංග්‍රීසි කල කඩා දමා ඇත.

පත්තිරිප්පුව හා දිය අගල නිර්මාණය

මහනුවර දළදා මාලිගාවට පත්තිරිප්පුව එකතු කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) රජු ය. අද ඇති දළදා මාලිගය ඉදිකරන ලද්දේ වංශකතා අනුව, දෙවැනි විමලධර්මසූරිය රජුයි. එරජු (1687-1707) තුන් මහල් කෙට සෑදූ මැදුර නරේන්ද්‍රසිංහ රජු (1717-1739) දෙමහල් කර නැවත සැකසුවේ ය.

2003 මහනුවර ඇසල පෙරහැර සිළුමිණ අතිරේකයට ලිපියක් සපයමින් අනුරාධ සෙනවිරත්න කියනුයේ බ්‍රිතාන්‍ය තමාගේ ලිපියක් අනුව ඕලන්ද ආක්‍රමණ නිසා විනාශ වූ දළදා මැදුර අවුරුදු 10 ප්‍රතිසංස්කරණය කර 1770 වෙසක් පසළොස්වක දා යළි දළදාව දළදා මැදුරට කීර්ති ශ්‍රී රජු වැඩමවූ බවයි.

කීර්ති ශ්‍රී රජු දළදා මාලිගාවත් ඉදිකළ බව වැලිගල කිසිදු ලිවූ දාධාගොනු ප්‍රදීපයේ කියනුයේ එබැවිනි.

දළදා මැදුර පල්ලේමාලයේ කීර්ති ශ්‍රී රජුගේ රජ රුව මේ නිසාමදෝ ඇඳ ඇති බව සද්ධාමංගල කරුණාරත්න පෙන්වා දෙයි.

දළදාමාලිගාවට පත්තිරිප්පුව, දියඅඟල, දියඅඟල වටා බැම්ම එකතු කළේ ශ්‍රී වික්‍රම රජු ය. පත්තිරිප්පුවේ නිර්මාණ ශිල්පියා දේවේන්ද්‍ර මූලාචාරී යා. පත්තිරිප්පුව හා දියඅගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කර වූ බව හෝකාර්ට් කියයි.

එදා මේ දිය අගල රජමාලිගාව, විශ්ණු දේවාලය, වර්තමාන ජනාධිපති මැදුර හරහා ට්‍රිනිටි විද්‍යාලය අද ඇති බිමේ වූ බොරවැව දක්වා විහිදී තිබූ බව නිහාල් කරුණාරත්න පෙන්වා දෙයි.

බොරවැව දක්වා එදා වීදිය බොරවේ පදවිය නම් වූ බව නැවුල්ලේ ධම්මානන්ද හිමි මධ්‍ය ලංකා පුරාවෘත්ත ග්‍රන්ථයේ දක්වයි.

ඩේවිගේ උඩරට විස්තර ග්‍රන්ථය අනුව දිය අඟල හරහා ඇතුළුවීමට උස් පහත් කළ හැකි පාලමක් විය. දළදා මැදුර ඉදිරිපිට ඇත්තේ වලාකුළු බැම්ම බව Kandy ග්‍රන්ථයේ අනුරාධ සෙනවිරත්න කියයි. උත්සව අවස්ථාවල දිය අඟලේ බැම්මේ සිදුරුවල පහන් දැල් වූ බව ඩේවි වාර්තා කරයි.

පත්තිරිප්පුව සෑදීම භාර වූයේ දේවේන්ද්‍රටයි. ඔහුට සහාය වූ නාරායන ආචාරී ද දේවේන්ද්‍ර සමඟ අරත්තන ගමේ පදිංචි විය. පත්තිරිප්පුවේ සැලැස්ම පළමුව දෙහිගම දියවඩන නිලමේ කෙසෙල් පෙතිවලින් සකසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පෙන්වන ලදුව රජු සැලැස්මට සතුටුව රාජකීය මුළුතැන්ගෙය කඩා දමා පත්තිරිප්පුව සෑදීමට ඉඩ දුන්නේ ය. මේ සැලැස්ම හා නිර්මාණය කළේ දෙහිගම දියඩවන නිලමේ හා උනම්බුවේ ඇමතිවරයා ය.

දේවේන්ද්‍ර ලබන තනතුරු ගරු නම්බු ගැන අන් අය ඊෂ්‍යා කළහ. පත්තිරිප්පුව යනු පාර්තු (බලනවා) ඉරප්පු (ඉඳගන) යන අර්ථය දෙන ද්‍රවිඩ වදනින් බිඳී ආවකි.

පත්තිරිප්පුවට අවශ්‍ය හල්මිල්ල, නා ආදී දැව ගෙනාවේ නාලන්දෙනි. දැව කපන විට දේවේන්ද්‍රගේ සතුරන් ඔහුට හොරෙන් දැව කෙටි කිරීමේ කුමන්ත්‍රණයක් කර ඇත. පත්තිරිප්පුව දළදා මාලිගාවට යාව ඇතත් දළදා මාලිගාවට සම්බන්ධයක් නැති බව දළදා ඉතිහාසය හා සංස්කෘතිය ග්‍රන්ථයේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි කියයි.

එමෙන්ම දිය අගල සාදා ඇත්තේ පාදම් දෙකක් මත ය. යට පාදම දිය අගලට යට වී ඇති බව කුඹුරුගමුවේ වජිර හිමි කියයි.

පත්තිරිප්පුවේ දී ඉටු කළ කාර්ය

1. අළුත් රජකු පත් වූ විට දළදා වැඳ ඉන්පසු රජු නිලමෙවරුන් හමුවූයේ පත්තිරිප්පුවේ දී බව ඩේවි කියයි. ඉන්පසු පත්තිරිප්පුවේ අළුත් රජු පෙනීසිටි විට මහ මළුවේ රැස් වූ රට රටවල ජනයා රජුට ගෞරවාචාර කළහ.

2. විශේෂ අවස්ථාවල රජු මෙහි සිට ජනයා ඉදිරියේ පෙනී සිටි බව ඩේවි දක්වයි. ත්‍රිසිංහලේ ග්‍රන්ථයේ දී පෝල් ඊ. පීරිස් ඒ අදහස දක්වයි.

3. රජු මෙහි සිට විවේක ගැනීම නගර සිරි නැරඹීම.

4. රජු පත්තිරිප්පුවේ සිට මහමළුවේ උත්සව හා විශේෂ අවස්ථාවල පවත්වන මල්ලව පොර, ඇත් පොර, කඩු සරඹ, නැටුම් සන්දර්ශන නැරඹීම.

5. විශේෂ අවස්ථාවල පත්තිරිප්පුවේ දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.

6. ඇහැලේපොළ වර්ණනාව හෙවත් වඩුගහටන කවි පොත් අනුව රජු දළදාවට ඉහලින් ඇඳි පුටු තබා ගෙන සිටි බවට දොස් නඟයි.

මේ නිසා දළදා පෙරහැර යන විට රජ පත්තිරිප්පුවට වඩා මිටි අටවන පත්තිරිප්පුවට වී පෙරහැර නැරඹූබව 'සිංහල සමාජ සංවිධානය' ග්‍රන්ථයේ රැල්ප් පීරිස් පෙන්වා දෙයි.

'අපේ අන්තිම රජතුමා' ග්‍රන්ථය අනුව අටවන පත්තිරිප්පුව මහමලුවේ විය. ඒ කඩා ඉවත් කළ හැකි එකක් බව නමින් හැඟෙයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල කුංකුනාවේ සුමංගල හිමි පැල්සිරිරාම සන්දේශයේ අටැස් හැඩයෙන් සුදු ධවල පලසකින් යුතු රජුගේ සිත් සතුටු කරවන උස් රන් කෙනෙක් ඇති කිරි මුහුදින් පහළ වූ පෙන පිඬින් ලෙස (12 ගාථාව) පත්තිරිප්පුව වර්ණනා කරයි. දේවේන්ද්‍ර මූලාචාරී හා නාරායන ප්‍රධාන ව කෙරෙන පත්තිරිප්පුවේ වැඩවලට නිතර වෙහෙසුනු උනම්බුවේ මැතිට රජු ඌයේ ගොඩ-මඩ ඉඩම් පුදා ඇත. පත්තිරිප්පුව ඉදිකිරීම ගැන බෙහෙවින් වෙහෙසුනු උනම්බුවේ නිලමේ අධික වෙහෙස නිසා ගිලන් වී මළේ ය.

මැදරට ජනකතා ද ග්‍රන්ථයේ 2 තුන්දෙනිය හා මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ කුමාරස්වාමි පරිදි දේවේන්ද්‍ර ලබන රටේ තාන්නමාන්නවලට ඊර්ෂ්‍යා කළ අය දැව කෙටිකර ගෙන ඇත. රජුට අපහාස කිරීමට වුවමනාවෙන් දැව කෙටි කළ බව ඔවුහු රජුට ගතු කීහ. මේ නිසා පත්තිරිප්පුවේ වහල මදක් මිටි ලෙස සැකසීමට සිදු විය. පත්තිරිප්පුව නිම වූ පසු රජ වරප්‍රසාද දීමට පෙර දේවේන්ද්‍රගේ මාපටැඟිල්ල කපා වරප්‍රසාද දීමට තීරණය විය. තම පරපුරට වන නින්දාව වැලැක්වීමට පත්තිරිප්පුව නිම කළ දේවේන්ද්‍ර දඬුවමට පෙර ඔහු ඉදි කළ බෝගම්බර වැවට පැන දිවිනසාගත් බව කියවෙයි. ටී.කේ.එන්.පී. ද සිල්වා UNESCO-Sri Lanka Project for conservation of cultural monuments - Kandy ග්‍රන්ථයේ දී පත්තිරිප්පුව වැඩ නිම වූයේ 1812 දී ය.

බෝගම්බර කිරි මුහුද හා එහි විසිතුරු අංග

පත්තිරිප්පුවට සමකාලීනව මහනුවර නගරයේ අලංකාරය වැඩි කිරීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) කරවූ බෝගම්බර අලුත්වැව (පැරණි ගැමි ව්‍යවහාරය අල්ල වැවයි. ඒ.වී. සුරවීරගේ රාජාවලිය අග පැරණි රාජාවලී පිටපතක මෙය අලකොල වැව ලෙස හඳුන්වයි. වඩා ප්‍රකට කිරි මුහුද නමයි.) රජුගේ අදහස පිට ඉදි කළේ දේවේන්ද්‍ර මූලාචාරී ය. වැව, උල්පැන්ගේ, වැව මැද දූපතේ වූ ජල තිලක මණ්ඩපය, දූපතට යන පාලම, උල්පැන්ගේ සිට සොරොව්ව දක්වා ඇතුළු වැවේ දිය රැලි බැම්ම දේවේන්ද්‍ර ප්‍රධානව සිදුකළ බව පෙනෙයි. රජු වෙනුවෙන් වැව් ඉදි කිරීමේ කටයුතු මීගස්තැන්න අදිකාරම් යටතට පත් විය.

වැව ඉදි කිරීමට පෙර මේ ප්‍රදේශයේ මල් වතුපාර්ශ්වය, නාථ දේවාලය සතු වී ගොල්වෙල වෙල් යායයි. ඒ යාව මල්වතු විහාරය, පෝය මලු විහාරය, ටිගොන් අර්ධ විය. වලව් කීපයක් ද ඒ යාව විය. අම්පිටි, දෙවින්ගල, මීගොල්වෙල වෙල්යාය මැදින් නිතර ගලා ගියේ ය. ඒ වගුරු බව නාථ දේවාලය දළදා මාලිගාව අවට පවා තිබුණි. ඒ නිසා හිල්පැන් කඳුර ජලකඳ හරස් කොට පළමුව බැම්මක් බැඳ වැවේ වැඩ ආරම්භ විය. වැව අදියර දෙකකින් නිමවිය.

මෙයට පෙර ඉදි කළ පැරණි බෝගම්බර වැව විමලධර්මසූරිය I (1592-1604) රජු හෝ රාජසිංහ II රජු (1636-1687) ඉදිකළ බව මන්දාරම්පුර පුවත අනුව පෙනෙයි. රාජසිංහ II රජු පලා ගිය විට ද රජුගේ වස්තු වැවේ සැඟවූ බව නොක්ස් කියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ කුමාරිහාමි ගිල්ලවා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේ ය. ඉංග්‍රීසි යුගයේ දී නඩත්තු නොකිරීම - මඩ හා පස්පිරීයාම - කොළඹ නුවර පාර ඉදිවීම - 1867 කොළඹ නුවර දුම්රිය පාර ඉදිවීම නිසා කැබලිවලට වෙන්ව තිබූ පැරණි බෝගම්බර වැව 1875 ඉංග්‍රීසීන් විසින් ගොඩනගන ලදුව අද ඒ ප්‍රදේශය බෝගම්බර පිට්ටනිය නම් වෙයි. මහනුවර පොදු වෙළෙඳපළ, ගනදෙවිකෝවිල, මහනුවර දුම්රියපොළ, බෝගම්බර පිට්ටනිය වැනි විශාල ප්‍රදේශයක පැරණි බෝගම්බර වැව පැතීරී තිබුණි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු කරවූ බෝගම්බර කිරි මුහුද හා පැරණි බෝගම්බර වැව අසල තවත් වැවක් තිබූ බව තෙන්නකෝන් විමලානන්ද උඩරට කෑරැල්ල 3 කාණ්ඩයේ දී කියයි.

දේවේන්ද්‍ර කිරි මුහුදේ වැඩ ආරම්භ කළේ පත්තිරිප්පුවට සමකාලීනව බව හැ‍ඟෙයි. නරේන්ද්‍ර නොව ප්‍රදීප්තාව ශ්‍රී වික්‍රම රජු කිරි මුහුද කරවා ඒ මැද දර්ශනීය මණ්ඩපයක් කරවූ බව කියයි. ශ්‍රී වික්‍රම රජ කල ලියැවුණු පාලි සිරිණාම සන්දේශයේ වැව් බැම්මේ සරුවට වැඩී තිබූ විවිධ ගස් වැල් (15 ගාථාව) ඒ ගස්වල වසා සිටින පක්ෂීන්, ඕලු නෙලුම්වලින් වැව පිරී තිබූ හැටි හංසයන් හා ජලජ පක්ෂීන් වැවේ සිටි බව, සරත් කල දිය බීමට බිමට බට වලාකුළු බදු වැව් මැද ජලතිලක මණ්ඩපය (16 ගාථාව) පාලි සිරිජාම සන්දේශයේ වර්ණනා කරයි. වැව උල්පැන්නේ රජු හා බිසවුන් දිය නෑ පොකුණ විය. උඩරට කැරැල්ල (3 අනුව) උල්පැන්නගේ සිට බිසෝවරු මාලුන්ට කෑම දුන්හ. ශිස්ම දිනවල රජු වැව මැද දූපතේ කුණ්ඩශාලාවේ විවේක ගත්තේ ය. (1815 ඉංග්‍රීසීන් උල්පැන්ගෙට ගිනි තබා විනාශ කරන ලදුව ටර්නර්ගේ සැලසුම් අනුව 1828 යළි සැලසුම් කොට උල්පැන්ගේ පොකුණ යටකර දෙමහල් පුස්තකාලයක් ලෙස 1858 නිමකර ඇත. උල්පැන්ගේ සිට සොරොව්ව දන්වා විසිතුරු වලාකුළු බැම්ම බැඳ ඇත. ඒ සිත් වශීකරයි. ඩොයිලිගේ දිනපොත අනුව වැව මැද දූපතේ කොකුඋලු වැසූ හතරැස් කුණ්ඩශාලාවක් වෙයි. වැවේ සංචාරයට රජුට තුඹ ගස් සහිත යාත්‍රා දෙකක් විය. පැතලි පතුල් සහිත බෝට්ටු දෙකක් විය. දූපතට යාමට දිගහැරිය හැකි හකුළුවිය හැකි පාලමක් රජු කළ බව ඩොයිලිගේ දිනපොත ද කියයි.

රජුට විනෝදයට බෝට්ටුවට නැගී විවේකයට යමින් පිස්තෝලයෙන් අහසට වෙඩි තැබූ බව ඩොයිලි වාර්තා කරයි.

උල්පැන්නගේ වැව දෙසට වැවට බැස්මට වූ පිය ගැට කිහිපයක් තවම ඇත. නිහාල් කරුණාරත්න කියනුයේ දූපතට යාමට කඹවලින් කළ පාලමක් වූ බවයි.

ඉහත දැක්වූ කරුණු අනුව එදා වැවේ තිබූ සෞන්දර්යය සිතින් මවා ගත හැක. ඒ නිර්මාණය පිටුපස සිටියේ දේවේන්ද්‍රයි.

වැව නිමවීමට පෙර වැවේ රාජකාරියට ප්‍රමාද ව ආ පිරිසක් ගැටගසා ගිනි තබවා මැරීමට රජු නියම කළ විට ඔවුන් නිදහස් කර රජු හා ගැටී අමනාප ව වැව ඉදිකිරීම සම්බන්ධ කටයුතුවල මීගස්තැන්නෙ නිරාහාරව මළ බව කියවෙයි. ඔහු දැවූ ස්ථානයට යක් ගහ පිටිව රන්වත්ත වලව්වේ නුග ගසක් දැකිය හැකියි. වැවේ බැම්ම 1806 නිමවූ බව නිහාල් කරුණාරත්න කියයි. Images of British Ceylon ග්‍රන්ථය අනුව වැව 1810-12 අතර නිම විය.

වැව් බැම්ම සහිතව වැවේ වැඩ නිමවූයේ 1812 බව නිහාල් කරුණැරත්න දක්වයි.

වැවේ වැඩ අවසාන බව 1812 ජුනි 30 ඩොයිලිගේ දින පොතේ සටහන් කර ඇත.

රජු බෝට්ටුවේ නැගී ඉහළටම පිස්තෝලයකින් වෙඩි තබමින් යන්නේ ‍ෙඩොයිලිගේ දිනපොත අනුව 1812 ජුනි 30 වැඩ නිම වී ඇත. පත්තිරිප්පුව නිමවුණේ ද 1812 දී ය. තම පරපුරට ඇඟිල්ලෙන් වන අවමානයෙන් බේරීමට 1812 ජුනි 30 අවට දිනක පත්තිරිප්පුව බෝගම්බර වැව හා ඕ විසිතුරු අංග සියල්ල නිමවා තමා ඉදිකළ සෞන්දර්ය පිරි කිරි මුහුදට පැන දේවේන්ද්‍ර දිවිනසා ගත්තේ ය.

(කර්තෘ: එස්.කේ. ජයවර්ධන)

(සංස්කරණය නොකළ)