දොන් ඇලීක්සෝ
(Don Aleixo). කොන්ස්තන්තීනු ද සා නම් පෘතුගීසී පාලකයාගේ සමයේ දී (1623-30) කොළඹ විසූ ප්රධාන මුදලිවරුන් සිව් දෙනාගෙන් එක් අයෙකි. දුප්පත් පවුලක ඉපිද තමාගේ දක්ෂකමින් පෘතුගීසි හමුදාවේ උසස් පදවියක් ලබාගත්තෙකි. පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමුදාවේ එක් සේනාංකයක් ඔහු යටතේ විය. දොන් ඇලික්සෝ ලංකා ඉතිහාසයෙහි ලා සිහිකටයුතු වනුයේ සෙනරත් රජු කොළඹ මුදලිවරුන් සමඟ, ද සාට විරුද්ධව කරන ලද කුමන්ත්රණයේ ප්රධාන තැනක් ඔහු ගත් හෙයිනි. ඇලීක්සෝ මෙම කුමන්ත්රණයේ නායකයා සේ සැලකේ. ද සාට මෙම කුමන්ත්රණය පිළිබඳව ආරංචියක් ලැබුණ ද හෙතෙම දොන් ඇලීක්සෝ ඇතුළු පිරිස තමාට පක්ෂපාත පිරිසක් ලෙස සැලකීය. මෙම කුමන්ත්රණය ක්රියාත්මක කරන ලද්දේ ද සා ඌව ආක්රමණය කළ අවස්ථාවේ දීය. මෙතැන්හි දී දොන් ඇලීක්සෝ සහ දොන් කොස්මේ කුලතුංග යන මුදලිවරු තම හමුදා සමඟ සිංහලයන්ට එක් වූහ. ඔවුන් අනුව තවත් මුදලිවරු තිදෙනෙක් ද ලස්කිරිඤ්ඤ හමුදා සමඟ සිංහලයන්ට එක් වූහ. සිංහල සේනාවට ද සා ඇතුළු පෘතුගීසි හමුදාව වැල්ලවායේ දී විනාශ කරලිය හැකි වූයේ මෙහි ප්රතිඵලයක් වශයෙනි.
නාමමාත්රයෙන් කතෝලිකයකු සේ පෙනී සිටිය ද දොන් ඇලීක්සෝ නියම වශයෙන් ඇදහූයේ බුද්ධාගම බව පෘතුගීසි වාර්තාවල සඳහන් වේ.
(සංස්කරණය: 1967)