දොළහ දැමීම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දොළහ දැමීම

දීප ව්‍යාප්ත පැරණි ක්‍රීඩාවකි. අලුත් අවුරුදු සමයෙහි ගම්බද ගෙයක් ගෙයක් පාසා ගැහැණු පිරිමි ළමා වැඩිහිටි භේදයක් නැතිව මේ සෙල්ලමෙහි යෙදී සිටිනු දැක්ක හැකි ය.

උපකරණ

දොළහ කෙළිය පිණිස මෙහි දක්වා ඇති සටහන අනුව ලෑල්ලක හෝ වෙනයම් පැතලි තලයක් මත ඇඳගත් 'පෙතක්' අවශ්‍යයෙන් ම තිබිය යුතු ය. පෙතෙහි දිග පළල පිළිබඳ නියමිත පරිමාවක් නැතත් සාමාන්‍යයෙන් එක් පැත්තක් අඩි 1,1/2ක් වත් ඇති වන සේ සකස් කර ගැනීම සිරිතයි. දොළහ කෙළිය පිණිස වෙනත් අවශ්‍ය දෑ නම් කවඩි හයක් සහ එක් පාර්ශවයකට තුනක් බැගින් 'ඉත්තන්' හයකි. ඉත්තන් වශයෙන් කෝටු කැබැලි හෝ කුඩා ගල් කැට හෝ ගනු ලැබේ.

ක්‍රීඩකයෝ

දෙදෙනෙක්, හතරදෙනෙක්, හයදෙනෙක් ආදී වශයෙන් ඉරට්ට සංඛ්‍යාවක් බිම පැදුරු එළා 'පෙත' වට මාරුවෙන් මාරුවට ක්‍රීඩාව පටන් ගනිති. ක්‍රීඩකයන් අතර ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.

ක්‍රීඩාව කරන ආකාරය

සංකීර්ණ ක්‍රියාදාමයක් ඇති දොළහ කෙළිය අංග සම්පූර්ණ ව පැහැදිළි කිරීම පිණිස දීර්‍ඝ විස්තරයක් කළ යුතු වේ. එහෙත් හැකිතාක් සැකෙවින් ඒ පිළිබඳ විස්තරයක් මෙහි ලා සඳහන් කරනු ලැබේ.

පාරිභාෂික වචන

දොළහ කෙළියට ම ආවේණික වූ පාරිභාෂික ශබ්ද මාලාවක් ඇත්තේ ය. ක්‍රීඩාවෙහි යෙදෙන්නට ඒවා පිළිබඳ ප්‍රගුණත්වයක් තිබීම අත්‍යාවශ්‍ය ය.

“දොළහ” - ක්‍රීඩාව සඳහා ගනු ලබන කවඩි හය ම යටිකුරුව හෙවත් මුනින් වැටුණහොත් එය දොළහ වැටීම ලෙස සලකනු ලැබේ. මෙහි ක්‍රීඩකයාට අත්වන ලකුණු සංඛ්‍යාව දොළහක් වන බැවිනි.

“පඤචය” - කවඩි හයෙන් එකක් පමණක් යටිකුරුවත් අනෙක් සහ උඩුකුරුවත් පෙරළුනොත් "පඤචයක්" වැටුණු සේ පිළිගැනේ.

“ඔන්ඩුව” - කවඩි වරක් බිම හෙලූ විට එකක් පමණක් උඩුකුරුවත් අන් සියල්ල යටිකුරුවත් පෙරළුනොත් එය “ඔන්ඩුව” වැටීමයි.

“ගහමුල” - සටහනෙහි (පොතෙහි) අංක 1 සිට 2 දක්වා වූ කොටස “ගහමුල” නමින් හැඳින්වේ.

“කර” - පෙත් සටහනෙහි එක් එක් කොටසෙහි අංක හතර දරන ස්ථාන සියල්ල “කර” නමින් හැඳින්වේ.

“ගේ” - පෙතෙහි එක් එක් කොටසෙහි අංක 5 දරණ ස්ථාන සියල්ල හැඳින්වනුයේ “ගේ” නමිනි.

“පැහියා” - පෙතෙහි ඊතලවලින් දැක්වෙන මාර්ගය ඔස්සේ ගමන් කළ ඉත්තෙක් 5 දරණ තැනට පැමිණි විට එය “පැහියා” නමින් හැඳින්වෙයි.

“අමුවා” - ඉත්තෙක් ඊතලවලින් දැක්වෙන මඟ ඔස්සේ ගොස් 5 දරණ ස්ථානයට පත්වන තෙක් ම අමුවෙකි.

“ජබේ” - පෙතෙහි අංක 6 දරණ ස්ථානයට “ජබේ” යයි කියති.

“සල්ලං වීම” - පෙතෙහි මැද ඇති වටකුරු ස්ථාන දෙක ක්‍රීඩාවෙහි යෙදෙන දෙපක්ෂය තම තමන්ගේ ඉත්තන් තබන තැනයි. ඒ ඉත්තන් පිටතට ගෙන ක්‍රීඩාවෙහි යෙදවිය හැකි වන්නේ “සල්ලං” වීමෙනි. ක්‍රීඩකයෙක් “සල්ලං” වන්නේ බෙල්ලන්ගෙන් “ඔන්ඩුවක්” හෝ “පංචයක්” වැටුණොත් පමණකි. ඔන්ඩුවක් වැටුනොත් හිමි වන්නේ එකලකුඩක් නිසා, එවිට සල්ලං වන්නේ එක ඉත්තෙක් පමණකි. පංචයක් වැටුණු විට පිළේ ඉත්තන් තුන්දෙනා ම සල්ලංවීම නිසා ඒ සංඛ්‍යාවෙන් තුනක් වැය කොට ඉත්තන් තුන ගෙන ඉතිරි ප්‍රමාණය අනුව අංක 1 දරණ ස්ථානයෙහි සිට කොටුවෙන් කොටුව ඉදිරියට ගෙන යා හැකියි. මේ ක්‍රියාවට “හදනවා” යයි කියනු ලැබේ.

“ජබේ වැටීම” - පෙතෙහි අංක 6 දරණ ස්ථානය හඳුන්වන්නේ “ජබේ” යන නමිනි. ඉත්තෙක් පෙතෙහි දැක්වෙන ඊතල මාර්ගය ඔස්සේ ඉහළට ගොස් ගොඩ යන්නට පෙර බෙල්ලන් හතරක් උඩුබැලි අතට පෙරළිය යුතුව තිබියදී තුනක් පෙරළුනොත් ඒ ඉත්තා “ජබේ” වැටේ. එතැනින් ගොඩ ගැනීම සඳහා “ඔන්ඩුවක්” හෝ “පඤචයක්” දමා ගත යුතු ය. එවිට ඒ ඉත්තා ගොඩ යයි. “කැපීම” - පෙතෙහි අංක 1 දරණ ස්ථානයෙන් පටන් ගෙන කොටුවෙන් කොටුවට ගමන් කරන ඉත්තකු ගෙයක හැර අන් තැනක ඇති විට විරුද්ධ පක්ෂයේ කෙනෙකු විසින් බෙල්ලන් දැමීමේ දී ලැබෙන සංඛ්‍යාව අනුව තම ඉත්තා එතැනටම යොමු වන්නේ නම් එම ඉත්තා එතැනින් ඉවත් කර යලිත් මුල සිට එන සේ සැලැස්වීමට “කපනවා” යන නම භාවිත වෙයි. මෙසේ කපන ඉත්තා යළිත් “අමුවෙක්” වෙයි.

පළමුවෙන් තම පිලේ ඉත්තන් සියල්ලම ගොඩ දමා ගැනීමට හැකි වූ පක්‍ෂයකට ක්‍රීඩාවේ ජයග්‍රහණය අත්වේ.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

දොළහ දැමීම

පැරණි ක්‍රීඩාවකි. අලුත් අවුරුද්ද සමයෙහි විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල කෙරෙන්නකි. දොළහ කෙළිය සඳහා මෙහි දක්වා ඇති සටහනෙන් දැක්වෙන ආකාරයේ පෙතක් අවශ්‍ය වේ. ඒ හැර කවඩි හයක් හා එක් පාර්ශවයකට තුන බැගින් ඉත්තන් හයක් ද අවශ්‍ය වේ. ක්‍රීඩකයෝ දෙදෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් ඉරට්ට සංඛ්‍යාවක් මාරුවෙන් මාරුවට පෙත වටා හිඳ ක්‍රීඩාව කරති.

මුලදී ඉත්තන් තබනුයේ පෙතෙහි මැද ඇති වටකුරු ස්ථාන දෙකෙහි ය. ඒවා පිටතට ගෙන ක්‍රීඩාවේ යෙදවිය හැකි වන්නේ “සල්ලං” වීමෙනි. ඒ සඳහා කවඩි අතට ගෙන බිම වැටෙන්නට සැලැස්වූ විට පඤචයක් එනම් කවඩි පහක් උඩුකුරුව පෙරලීම හෝ ඔන්ඩුවක් එනම් කවඩි එකක් පමණක් උඩුකුරුව පෙරලීම අවශ්‍ය වේ. සල්ලං වූ ඉත්තන්ට අංක 1 දරන ස්ථානයේ සිට කොටුවෙන් කොටුව ඉදිරියට යා හැකි ය. කවඩි හය ම උඩුකුරුව පෙරලුනොත් දොළහක් වැටුණු සේ සැලකේ.

පෙතෙහි අංක 1 සිට 2 දක්වා කොටස “ගහමුල” යන නමින් ද, අංක 4 දරණ ස්ථානය “කර” නමින් ද, අංක 5 දරණ ස්ථානය “ගේ” නමින් ද, අංක 6 දරන ස්ථානය “ජබේ” නමින් ද හැඳින්වේ. ඉත්තෙක් අංක 5 දරණ තැනට පැමිණෙන තෙක් අමුවා යන නමින් හා ඉන්පසුව පැහියා යන නමින් හඳුන්වනු ලැබේ. ගොඩයාමට ආසන්න ඉත්තකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ලකුණු ගණනක් ලැබුණහොත් ඌ ජබේ වැටේ. එතැනින් ගොඩ ඒමට ඔන්ඩුවක් හෝ පඤචයක් දමා ගත යුතුය. ගෙයක් හැර අන් තැනක දී ඉත්තකු කැපීමට විරුද්ධ පක්ෂයට හැකි ය. පළමුවෙන් ඉත්තන් සියලු දෙනා ම ගොඩයවාගත් පිල ජයගනී.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දොළහ_දැමීම&oldid=5244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි