ධමනි දෘඪතාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධමනි දෘඪතාව හෙවත් ආට්රියොස්ක්ලෙරෝසිස් (Arteriosclerosis) (ධමනි ඝනවීම) යනු ධමනි ඝන වන්නා වූ, සවි වන්නා වූ සහ අප්‍රත්‍යාස්ථ වන්නා වූ නිදන්ගත රෝගයක් ය. මේ පදයෙන් කියැවෙන රෝග විශේෂ තුනක් ඇත. මහා ධමනිය සහ එහි ශාඛා වැනි ප්‍රත්‍යාස්ථ ධමනී ඝන වීමෙන් ඇති වන ඇතිරොමා නම් රෝගය ද ඊට කුඩා අවයවවල පිහිටි පේශීමය ධමනි ඝනවීමෙන් සිදු වන මොන්කිබර්ගේ රෝගය ද ඊටත් කුඩා තන්තුමය ධමනිකා ඝන වීමෙන් සෑදෙන ආර්ටීරියසෙකලෙරොසිස් යන රෝගය ද මීට ඇතුළත් ය. අධික රුධිර පීඩනය ඇති වන්නේ මේ අන්තිම ආර්ටීරියසෙකලෙරොසිස් නමැති ආබාධයේ දී ය. කෙනෙකුට මුල් අවස්ථාවල දී මේ රෝග එකක් ඇති විය හැකි නමුත් කල් යන විට බොහෝ විට රෝග තුනම ඇති වන්න පිළිවන.

ළදරු කාලයේ පටන් ම වයස අනුව ධමනි වෙනස් වේ. මහාධමනියේ බහිරාවරණයේ තන්තුමය පටක කුඩා කාලයේ සිට ම ක්‍රමයෙන් වැඩි වේ. නීරෝගී මධ්‍යාවරණයේ පේශී පටක ස්වල්ප ය. ප්‍රත්‍යාස්ථ පටක වැඩි ය. මේ අනුපාතය මුළු ජීවිතයේ දී ම වෙනස් නොවේ. ධමනි නිතර ම තිබෙන්නේ දිග අතට ඇදුන ගතියකින් ය. ශරීරයෙන් බැහැර කළ කල්හි ධමනි කෙටි වෙයි. නමුත් වයස 40න් පසුව මේ ඇදෙන ගතිය නැති වේ. ඉක්බිති මහාධමනිය දික් වී, පුළුල් වී වකුටු වේ. වයස වැඩිවෙන කල්හි පේශීමය ධමනිවල අභ්‍යන්තරාවරණය පැළී තන්තුමය පටකය ද වැඩි වේ. මධ්‍යාවරණයේ පේශීමය පටකය ද තන්තුමය පටකය ද වැඩි වේ. මෙසේ වයස අනුව ධමනි වෙනස් වන නිසා යම් ධමනියක වෙනස්වීම රෝගයකින් වූයේ ද නැතහොත් වයස නිසා වූයේ දැයි නිශ්චය කිරීම පහසු නොවේ.

නිධානය

මේ වෙනස්වීම්වලට ප්‍රධාන හේතුව නම් ක්‍රියාකරවීමෙන් ධමනිවලට ඇතිවන විඩාවයි. සාමාන්‍යයෙන් විවේකී අවස්ථාවල දීත් මහාධමනියේ භිත්ති මිනිට්ටුවකට රාත්තල් 25ක බරක් 72 වාරයක් උසුලයි. යම් හෙයකින් මේ බර හෝ වේගය වැඩි වුවහොත් ධමනිවල විපර්‍ය්‍යාසය ඉක්මන් වෙන්නට පිළිවන. නවීන ජීවිතයේ විවේකයක් නැතුව දුව පැනීමෙන් මේ විපර්‍ය්‍යාස ඉක්මනින් සිදුවන්නට ඉඩ තිබේ. අධික කෑම්බීම් ද කෑමෙහි දී ප්‍රමාණ ඉක්මවා මේද ගැනීම ද ඊයම්, දුම්කොළ සහ මද්‍යසාර විෂවීම් ද උපදංශ, උනසන්නිපාත ආදී රෝග ද මේ ආබාධය සෑදීමට උපකාරී වේ.

රෝගය සෑදීම

(ඒ) ඇතිරෝමා (), කලින් සඳහන් වූ පරිදි ප්‍රත්‍යස්ථ පටක සහිත වූ මහාධමනියේ සහ එහි ශාඛාවල ද හාර්දිත ධමනියේ සහ මස්තිෂ්ක ධමනිවල ද සෑදේ. විපර්‍ය්‍යාස මුලින් හටගන්නේ අභ්‍යන්තරාවරණයේ ය. මෙහි ප්‍රත්‍යාස්ථ පටකය පරිහානි වී ඒ වෙනුවට මේද පටකය ඇති වන්නේ ය. ඊට පසුව එහි තන්තුමය පටක සෑදේ. මෙසේ අන්තස්ජදය යට පල්ලක් (ලපයක්) වැනි දෙයක් ඇති වේ. මීට පසුව මධ්‍යාවරණයේ පේශීමය පටකය ද මේද පරිහානියට භාජන වේ. කල් යෑමෙන් පල්ල උඩ අන්තශ් ජදය කැඩී ගොස් වණයක් සෑදේ. ඉක්බිතිව පල්ලෙහි කැල්සියම් තැන්පත් වේ. මහා ධමනියේ තැන් තැන්වල මෙසේ පළු සහ වණ සෑදී වාහිනිය දුර්වල වේ. යම් තැනක පේශීමය පටක බොහෝ සේ විනාශ වුවහොත් එහි ධමනි ශොවියක් සෑදේ.

(බී) මොන්කිබර්ග්ගේ ධමනි ඝන වීමෙන් විශේෂයෙන් ම ගාත්වල පේශිමය ධමනිවල ආබාධයෙකි. ස්ත්‍රීන්ට වඩා පිරිමින්ට මෙය සෑදේ. වයස පනහට අඩු අයට සෑදෙන්නේ කලාතුරකිනි. මෙහි විශේෂ විපර්යාස නම් ධමනි මධ්‍යාවරණ පේශී පටකයෙහි කැල්සියම් තැන්පත් වීමයි. කැල්සියම් තැන්පත් වන්නේ පේශී තන්තු දිගේ නිසා ධමනිය වටේ කැල්සියම් වළලු සෑදේ. ප්‍රථමයෙන් කැල්සියම් වළලු තැනින් තැන ඇත. ඒවා අතර ධමනිය ස්වභාවික ය. කල් යෑමෙන් මුළු ධමනියේ ම කැල්සියම් තැන්පත් වේ. එවිට ධමනිය පැන්සලක් මෙන් තදට දැනේ. X-කිරණ පරීක්ෂණයේ දී ඡායාරූප වැටේ. ධමනී කුහරය වැඩිය පටු වන්නේ නැත. නමුත් ධමනි භිත්තිවල අඩු වූ ප්‍රත්‍යස්ථතාව නිසා විදුර කොටස්වල ලේ සැපයීම අඩු වී පාද කුණු වේ.

(සී) ආර්ටීරියසෙකලෙරොසිස් වනාහි අධික රුධිර පීඩනය සමඟ සම්බන්ධ ධමනි ආබාධයයි. අධික රුධිර පීඩනය ඇති මැදි වියෙහි වූ කෙනෙකුට වක් වූ සහ ඝන වූ අරීය සහ ශංඛත ධමනි ද හෘදයේ වම් කෝෂිකාව මහත් වීම ද ඇති වේ. මේවා රෝගයේ හේතු නොව එහි ප්‍රතිඵලයයි. මේ ඝන වූ වාහිනීවල කුහරය ලොකු ය, දිග වැඩි ය, ඒවා වක්‍ර වි සිහින් වේ. තන්තුමය පටක වැඩි වී අභ්‍යන්තරාවරණය ඝන වේ. ප්‍රත්‍යාස්ථ පටකයන් වැඩිවී දෙකට පැළේ. මධ්‍යවරණයෙහි පේශීමය පටක මුලින් වැඩි වී පසුව තන්තුමය පටකවලට හැරේ. මේ රෝගය මුලින් ම සෑදෙන්නේ වකුගඩුවේ ය.

(කර්තෘ: ඊ.ඇම්. විජේරාම: 1960)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධමනි_දෘඪතාව&oldid=5487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි