ධම්මපදය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1. ධර්‍මය නමැති පිහිට හෝ ධර්‍ම කොටස් යන තේරුම නිසා මේ පොතට ධම්මපද යන නාමය යෙදෙයි.

2. ධර්‍මපද ගාථා බුදුරජාණන් වහන්සේ වදාළේ නොඑක් අවස්ථාවල දී ය. නොඑක් කරුණු නිසා ය. චක්‍ඛුපාල තෙරුන්ගේ ඇස් අන්‍ධ වීම නොදැන ඉඳුගොව්වන් පාගා මැරීම වැනි නිමිති රැසක් ම ධර්‍මපදය දේශනා කිරීමට හේතු වූ බව පෙනේ.

3. ධර්‍මපදයෙහි ඇතුළත් ගාථා සියල්ල ම බුද්ධ ගාථා බව ශාසනිකාචාර්වරයන්ගේ මතයයි. බටහිර විචාරකයන් ධර්‍මපදය වරින්වර පෝෂිත වූ ග්‍රන්ථයක් ලෙස සලකන බව පෙනේ. ධර්‍මපදයෙහි පෙනෙන ඇතැම් ගාථා උදාන ජාතක ආදී ඛුදදක නිකායට අයත් වෙනත් ග්‍රන්ථවල ද සංයුත්ත නිකායා දී අනිත් සඟිවල ද දක්නට ලැබේ.

4. ධම්මපදයෙහි වර්‍ග 26කි. යමක, අප්පමාද, විත්ත, පුප්ඵ, බාල, පණ්ඩිත, අරහන්ත, සහස්ස, පාප, දඪ, ජරා, අන්ත, ලොක, බුද්ධ, සුබ, පිය, කොධ, මලැ, ධම්ම බධමග්ග, පකිණ්ණක, නිරය, නාග ,තණ්හා, භික්‍ඛු, බ්‍රහ්මණ යන මේ වර්‍ග නාමයෙන් ම ධර්‍මපදයෙහි ඇතුළත් ධර්‍ම කාරණා කෙබඳු ද යනු සලකා ගත හැකි වේ. මේ පොතේ ගාථා ගණන 423කි. මේ ගාථා දෙසීමට හේතු වූ කරුණු 300කි.

5. ධම්මපදය ධර්මොපදෙශ සංග්‍රහයක් හෙයින් එය පරිශීලනය කිරීමෙන් ධර්‍ම ඥානය ලබා ගත හැකි ය. සුචරිතය අගය කරන කවර ආගමිකයකුට වුව ද මේ පොතින් දැන උගත හැකි උපදේශ හා ආදර්‍ශ බොහෝ ය.

6. මේ වනාහි කුඩා ධර්‍ම ග්‍රන්ථයකි. මෙහි ගැඹුරු ධර්මාර්ථ මෙන් ම සරල ධර්මොපදෙශ ද සංග්‍රහ වේ. මේ පොත මුළු තුන් පිටකයෙහි ම අර්‍ථසාරය හකුළුවා දේශනා කරන ලද කරුණුවලින් ගහන ය. මෙය ගිහි පැවිදි බෞද්ධාබෞද්ධ ස්ත්‍රී පුරුෂ කාටත් අත්පොතක් ව පවත්නේ ධර්‍මපදය දිනපතා ජීවිතයට පළපුරුදු අත්දැකීම් මහත් රැසකින් යුක්ත නිසා ය. මෙහි ඇතුළත් ඍජු සරල ධර්මොපදෙශ ඇසූ පමණින් වහා වැටහෙනසුලු ය. මෙහි ගැඹුරු දුර්බෝධ ධර්‍මාර්‍ථ පිළිවෙතත් සරල සුලභ උපමාදිය නිසා ඒවායේ අදහස සලකා බැලීමට පාඨකයන්ගේ උත්සාහය ඇතිවන්නේ ය.

ධර්‍මපදයෙහි රචනා මාර්‍ගය නිරාකූල ය. ආත්ම දමනය හා තත්වාවබෝධය නිසා ලොක සත්වයා සුචරිත මාර්‍ගයට යොමු කරවීමේ අගය වටහා ගත් බුදුරජාණන් වහන්සේගේ දේශනා, අසන්නන්ගේ කන් නළවන, සිත් සන්හන, ජීවනය පොබයන විලාසයකින් හෙබුණු බවට වෙනත් ත්‍රිපිටක ග්‍රන්ථ මෙන් ම ධර්‍මපදය සාක්ෂය දරයි.

බෞද්ධයන් පමණක් නොව අබෞද්ධයන් පවා ධර්‍මපදය කෙරෙහි විශේෂ ගෞරවාදරයක් දක්වන්නේ එහි ඇතුළත් උපදේශ සාර්‍වජනීන හැම ජනයාට ම පොදු, නිතැතින් වටහාගත හැකි හෙයිනි.

7. ධර්‍මපදය පෙර සිට ම මහත් ගෞරවයට භාජනය වූ ධර්‍ම ග්‍රන්ථයක් බව ඊට ලියා තිබෙන පරිවාර ග්‍රන්ථවලින් පෙනේ.

ධම්මපදට්ඨකථා - බුද්ධඝෝෂාචාර්ය

ධම්පියා අටුවා ගැටපදය - පස් වන කාශ්‍යප රජ

ධම්මපද පුරාණ සන්නය - පුරාණ

සද්ධර්‍මරත්නාවලිය - ධර්‍මසේන මහා ස්ථවිර

8. ධර්‍මපදය සංස්කරණය, පරිවර්‍තනය, විවේචනය කොට පළකොට තිබෙන ග්‍රන්ථ බොහෝ ය. ධම්මපදයෙහි පැරැණි පිටපත් භාෂා කීපයකින් ද ඇත. පාලි, ප්‍රාකෘත, සංස්කෘත, මිශ්‍රාදී වශයෙනි. එහෙත් ඒ අතර හැම අතින් ම සම්පූර්ණ පොත පාලි ධම්මපදය යයි සලකනු ලැබේ.

බුද්ධඝෝෂාචාර්යයන් පැරැණි සිංහල මහ අටුවාව පාලි භාෂාවෙන් සංකලනය කොට තැනූ ධම්මපදට්ඨකථාව ධම්මපදය ඉගෙනීමට ඉතා ම ප්‍රයෝජනවත් වන පරිවාර ග්‍රන්ථය වේ.

ධම්මපදය ජර්මන්, ඉංග්‍රීසි, ප්‍රංස, ඉතාලි ආදී යුරෝපීය භාෂා රාශියකට ද පරිවර්‍තනය කොට තිබේ.

(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධම්මපදය&oldid=5274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි