ධර්මකීර්ති

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධර්මකීර්ති: අවුරුදු දහසකටත් පෙර සිට ශාසන ඉතිහාසයෙහි මෙන් ම ලක්දිව හා දේශාන්තරයෙහි ද පඬුවන් අතර අතිශයින් ප්‍රචලිත වුූ නාමයෙකි, මේ ‘ධර්මකීර්ති’ යනු. ධර්මකීර්ති නාමයෙන් ගෘහස්ථ පඬිවරයෝ ද මහායනික හා ථෙරීයනිකායික බෞද්ධ භික්ෂුවරයෝ ද වූහ. මොවුන’තුරෙන් ඇතැම් කෙනෙකු සංඥා වශයෙන් ‘ධර්මකීර්ති’ වූ අතර සමහරකු උපාධි වශයෙන් ද තව කෙනෙකු පාරම්පරික වශයෙන් ද ‘ධර්මකීර්ති’ යන ව්‍යවහාරයට පැමිණි බව පෙනේ. ඔවුන් මෙසේ උද්දේශ කළ හැකි වේ. 1.සකලතාර්කිකචක්‍ර චූඩාමණි නෛය්‍යයික ධර්මකීර්ති, 2.ආලංකාරික භදන්ත ධර්මකීර්ති, 3.රූපාවතාරකාරක වෛය්‍යකරණ ධර්මකීර්ති, 4.පණ්ඩිත ධර්මකීර්ති, 5.රාජගුරු ධර්මකීර්ති, 6.ධර්මකීර්තිපාද, 7.තාමලිත්තික ධර්මකීර්ති, 8.ධර්මකීර්ති මාගිමි, 9.මහාධර්මකීර්ති, 10.ද්විතීය ධර්මකීර්ති, 11.ධර්මකීර්ති ස්වාමි, 12.ධර්මකීර්ති මහාස්ථවිර යන මොවුහු ඒ ඒ කාලවල ‘ධර්මකීර්ති’ යන නමින් ප්‍රසිද්ධ ව ඉතිහාසයගත වූවෝ වෙති. මෙහි ලා ග්‍රන්ථාන්තරයෙන් ලැබෙන කරුණු අනුව මතාන්තරයනුදු අළලමින් පර්යේෂකයන්ට ද්වාරය වන සේ ඒ ඒ ධර්මකීර්ති නාමධාරීන් පිළිබඳ ව වෘද්ධපරිපාටියෙන් මෙලෙස කරුණු දක්වනු ලැබේ.

1. ධර්මකීර්ති

'ආලඞ්කාරික ධර්මකීර්ති' නාමය ශ්‍රැතිරමණීය කළ ශ්‍රේෂ්ඨ පුරුෂයන් අතුරෙන් වෘද්ධතර වූවෝ 'බෞද්ධ සංගිතීකාරක ආලඞ්කාරිකධර්මකීර්තිපාදයෝ' යැ. ඔවුන්ගේ ජන්මද්දේශය, වංශය හා ජීවමානසමය ආදිය පිළිබඳ වැ පූර්ණ විවරණයක් කිරීම ඉතා දුෂ්කර ය. එහෙත් ග්‍රන්ථාන්තරයෙන් ලැබෙන සාධක වහල් කොට ඔවුන්ගේ චරිතය හා ජීවන සමය දෙස විචාරාක්ෂිය යොමු කිරීමෙකි, මෙහිලා පැවැසෙනුයේ. "අලංකාරික ධර්මකීර්තිහු ද නෛය්‍යයික ධර්මකීර්තිහු ද එක් කෙනෙක් මැ වූහ"යි බොහෝ දෙනා සිතූහ. තව කෙනෙක් "සමකාලික වූ දෙදෙනකැ"යි ද කීහ. වාසවදත්තයෙහි "න්‍යායස්ථිතිමිව උද්‍යොතකර ස්වරූපාම්, බෞද්ධ සංගතිමිව අලංකාර විභූෂිතාම්... වාසවදත්තං දදර්ශ" යනු දැක්වෙයි. වෛභාෂික බෞද්ධනිකායයෙහි දීප්තිමත් දාර්ශනිකයකු වූ වසුබන්ධුගේ ශිෂ්‍යවරයෙකි. ස්වාචාර්යවංශයෙහි වූ විඥානවාදය සිටුවීමට යත්න දැරූ දිඞ්නාගයෝ 'ප්‍රමාණසමුච්චය, න්‍යාය ප්‍රවෙශා'දී බොහෝ ග්‍රන්ථ රචනා කරමින් ස්වතන්ත්‍ර දාර්ශනිකයෙකු වශයෙන් නැඟී සිටි කෙනෙකි. විශේෂයෙන් දිඞ්නාගකෘතිවලින් පහර වැදී ගියේ න්‍යායදර්ශනයෙහි සිධාන්තවලට ය. එහෙයින් බිඳවැටුණු න්‍යායසිද්ධාන්ත නගා සිටුවීම සඳහා 'උද්‍යෝතකර'යනට න්‍යායවාර්තිකය ලියන්නට සිදු විය. සුබන්ධූන් වාසවදත්තයෙහි සඳහන් කළ න්‍යායස්ථිතිය මෙය වේ. 'බෞද්ධසංගීතිමිවාලංකාර භූෂිතාම්' යන පදය විවරණය කරන ශිවරාමයෝ වාසවදත්තටීකාවෙහි 'බෞද්ධසඞ්ගීතිර්නාම ධර්මකීර්තින්කෘතො ග්‍රන්ථවිශේෂඃ'යි 'බෞද්ධ සඞ්ගීතිය' ධර්මකීර්තීන්ගේ ග්‍රන්ථයක් බව කීහ. 'ආනන්දවර්ධනයන්' විසින් ධ්වන්‍යාලොකයෙහි අලංකාරික ධර්මකීර්ති කෙනෙක් සඳහන් කරනු ලැබූහ. එසේ ම 'භදන්ත ධර්මකීර්ති' විරචිත බොහෝ පද්‍යයෝ 'සුභාෂිතරත්නභාණ්ඩාගාර', 'සුභාෂිතාවලි' ආදී ග්‍රන්ථවල දක්නා ලැබෙති. එහි 'භදන්ත' යන උපදපදය යෙදීමෙන් ම ඔහු බෞද්ධ භික්ෂුවරයකු සේ පිළිගත යුත්තාහ. මෙකී ආලංකාරික භදන්ත ධර්මකීර්තිපාදයෝ ම වාසවද්දත්තෙහි දක්වූ 'අලංකාරභූෂිත බෞද්ධසංගීතිය' රචනා කළහ'යි. පිළිගත යුතු ව තිබේ. මෙසේ හෙයින් "භදන්ත ධර්මකීර්තීහු ආචාර්ය දිඞ්නාගයන්ට පසුවත් සුබන්ධුන්ට පෙරත් මෙ දෑතුර ජීවත් වූහ"යි සිතිය යුතු වේ.

ඉතිහාසඥයන්ගේ පිළිගැනීම් අනුව දිඞ්නාගයෝ කිතුවසින් සතරවැනි සියවසෙහි අවසාන භාගයෙහි ජීවත් වූහ. ශ්‍රීමද් වාණභට්ටයෝ හර්ෂ චරිතයෙහි සුබන්ධූන් ගෞරවයෙන් සඳහන් කළහ. හර්ෂ චරිතයෙහි 'කවීනාමගලද්දර්පො නූනං වාසවදත්තයා'යි ද කාදම්බරියෙහි 'ධියානිබද්ධෙයමතද්වයි කථා'යි ද ඔවුන්ගේ වාසවදත්තාව ආමර්ෂ කළහ. වාණභටයන් ජීවත් වූයේ ශ්‍රී හර්ෂවර්ධනයන්ගේ රාජ්‍යසමයෙහි ය. ඒ රජුගේ රාජ්‍ය සමය ක්‍රි.ව. 606-648 අතර වූ බව පිළිගෙන තිබේ. වාසවදත්තා රචයිතෘ වූ සුබන්ධු එයින් පෙර සවැනි සියවසේ අවසාන භාගයෙහි වත් ජීවත් විය යුතු ය. ධර්මකීර්ති ඊට ද වෘද්ධ ය. මේ දැක්වූ කරුණු ඇසුරෙන් සවැනි සියවසේ පූර්වභාගයෙහි "ආලඞ්කාරික භදන්න ධර්මකීර්තිපාදයෝ ජීවත් වූහ" යන නිගමනය සිද්ධයි.

2. ධර්මකීර්ති (නෛය්‍යායික)

"සකල තාර්කික චක්‍ර චූඩාමණි ධර්මකීර්තිපාදයෝ යැ"යි පඤ්චිකා ප්‍රදීපයෙහි 15 පිටුවෙහි දැක්වෙන නෛය්‍යායික ධර්මකීර්තිහු ධර්මකීර්ති නාමධාරීන් අතුරෙන් ලෝකව්‍යාප්තකීර්තියෙන් යුක්ත වූහ. බෞද්ධසංගීතිකාරක ආලංකාරික ධර්මකීර්තින්ට මඳ කලකට පසුව ජීවත් වූහ'යි සිතිය හැකි ය. ඔවුන්ගේ චරිතාපදානය විමසනු සඳහා මේ ප්‍රශ්න කර්මය වේ. 1.ධර්මකීර්තිපාදයෝ කවර දේශයක කිනම් තැනක උපන්නහු ද? 2.ඔහුගේ වංශය හෝ මවුපියෝ කවරහු ද? 3. ශාස්ත්‍රෝද්ග්‍රහණය කෙබඳු ද? 4. ඔහු කවර කලෙක ජීවත් වූවාහු ද? 5. ඔහුගේ කෘතීහු කවරහු ද? 6.පාණ්ඩිත්‍යය හෝ කෙසේ ද? යනාදිය වේ.

1.එහි මෙකල පඬුවන් විමසීමෙන් සොයාගත් කරුණු අනුව මෙ මැ නෛය්‍යායික ධර්මකීර්තිපාදයෝ චෝල දේශයෙහි 'ත්‍රිමලය' නම් ගම ස්වකීය ජන්මයෙන් හොබවා ලූ බව දැක්විය හැකි වේ.

2.ඔහු කවර වංශයේ උපන්නහු දැ යි අවිනිශ්චිත වුව ද 'පොරුනන්ද' හෝ 'කුරුනන්ද' නමැති පරිව්‍රාජක කෙනෙක් ඔහුට පිය වූහ'යි සලකනු ලැබෙත්.

3.කුඩා කල ම සිය පියාණන් වෙත ජෛනධර්මය හදාළා වූ ඒ පිරිවැජි කුමරතෙම සුප්‍රසිද් බ්‍රාහ්මණදා ර්ශනිකයකු වූ 'කුමාරිලභට්ට' නම් ආචාර්යයන් වෙත බ්‍රාහ්මණ දාර්ශනය ද හදාළේ ය. සහජයෙන් ම බුද්ධිමත් වූ හෙතෙම වයස හවුරුදු සොළොස-අටලොස පමණ වන විට බ්‍රාහ්මණ දර්ශනය පිළිබඳ පටුතර අවබෝධයක් ඇතිකර ගත්තේ ය. ඔහුගේ සියුම් වූ ප්‍රඥාපාටවයාගේ පැළඹීමට ජෛනධර්මය හෝ බ්‍රාහ්මණ දාර්ශනය සම්බන්ධ විය. එහෙයින් හෙතෙම බෞද්ධදර්ශනය කෙරෙහි ඇල්මක් දක්වන්නට විය. එකල භාරතවර්ෂයෙහි අතිශයින් ප්‍රකට ව තුබූ නාලන්දා විශ්වවිද්‍යාලය කරා පැමිණ, එවකට නාලන්දාවෙහි අධක්ෂ වැ සිටි ධර්මපාල තෙරණුවන් වෙත පැවිදි විය. යළි ආචාර්ය දිඞ්නාගයන්ගේ ශිෂ්‍යත්වයෙහි වූ 'ඊශ්වරසේන' නම් ආචාර්යවරයකු වෙත දිඞ්නාගයන්ගේ විඥානවාදය මැනවින් හදාරා උසස් වූ පාණ්ඩිත්‍යයට පැමිණියේයි.

4.ධර්මකීර්තිපාදයන්ගේ ජීවනසමය පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම දුෂ්කර වූවකි. ඔවුගේ කෘතියක හෝ ග්‍රන්ථයක ඊට සහාය වූ සටහනක් දක්නට නැති හෙයිනි. මාධවාචාර්යයන් විසින් 'ෂඩ්දර්ශනසංග්‍රහයෙහි' බෞද්ධදර්ශනාන්තර්ගත යෝගාචාරමතවිවරණාවස්ථාවට පැමිණ, "එෂා හි තෙෂා පරිභාෂාඃ ස්වසංවෙදනං තාවදඞ්ගීකාර්‍ය්‍යමන්‍යථා ජගදාන්වයං ප්‍රජ්‍යෛත තත් කීර්තිතං ධර්මකීර්තිනාඃ අප්‍රත්‍යක්ෂොප්ලම්භස්‍ය නාර්ථදෘෂ්ටිඃ ප්‍රසිධ්‍යති ඉති" මෙසේ ධර්මකීර්තිපාදයෝ නාම වශයෙන් දක්වනු ලැබූහ. ශ්‍රීමත් මාධවයන් විසින් ශංකරයන්ගේ මත ඇසුරු කරන ලදැ'යි භාරතීය බෞද්ධ වෘත්තාන්තඥයෝ සලකිති. මෙසේ හෙයින් ශංකර, මාධව, ධර්මකීර්ති යන ආචාර්‍යයවරයෝ තිදෙන පිළිවෙළින් එකිනෙකාට පෞරාණික වුහ'යි පිළිගත යුතු ය.

තවද මෙම ධර්මකීර්තිපාදයන්ගේ ජීවනසමය නිශ්චය කිරීම සඳහා අතිශයින් ප්‍රයෝජන වනුයේ ඔහු ධර්මපාල තෙරුන්ගේ අතැවැසියකු වීමත් තත්කාලීන දේශසංචාරකයකු වූ චීනජාතික 'හියු එං සාං'ගේ භ්‍රමණ වෘතාන්තත් පමණෙකි. හියු එං සාං නාලන්දා විශ්ව විද්‍යාලයට පැමිණියේ ක්‍රි.ව. 629 පමණ දී ය. හේ 645 දක්වා භාරතයෙහි වාසය කෙළේ ය.

ඔහු විසින් "එකල දඹදිව උතුරු දෙස ශ්‍රී හර්ෂයන් තබා අන් රජෙක් නො වී යැ"යි ලියන ලද්දේ ය. එකල නාලන්දා විද්‍යාපීඨයෙහි අධ්‍යක්ෂ වූවෝ 'ශීලභද්‍ර' තෙරණුවෝ යැ, එයින් පෙර අධ්‍යක්ෂ වූවෝ ධර්මකීර්තිට ආචාර්ය වූ 'ධර්මපාල' තෙරණුවෝ යි. හියු එං සාං නාලන්දාවට පැමිණෙන විට 'ධර්මකීර්ති' පැවිදි වැ සිටිය යුතු ය. හියු එං සාං ස්වකීය චාරිකා වෘත්තාන්තයෙහි එකල විසූ බොහෝ ආචාර්යවරයන් ගැන සඳහන් කළ නමුදු ධර්මකීර්තීන් ගැන කිසිවක් ලියා නැත. එයින් හැඟෙනුයේ ඔහු දඹදිවට පැමිණෙන විට යට දැක්වූ භදන්ත ධර්මකීර්ති ජීවතුන් අතර නොසිටි බව හෝ නෛය්‍යයික ධර්මකීර්තිපාදයන් සිය ගමන් පුවතෙහි ලියා තැබීමට තරම් කීර්තිමත් ව නොසිටි බවත් ය. මෙසේ හෙයින් ධර්මකීර්තිපාදයන්ගේ ජීවන සමය සත්වැනි සියවසේ මධ්‍යභාගය විය යුතුයි, මහොපාධ්‍යාය සතීචන්ද්‍ර විද්‍යාභූෂණයෝ සත්වැනි සියවසේ අවසානයෙහි ධර්මකීර්ති ජීවත් වූහ'යි කියති.

5. මොහුගේ ශාස්ත්‍රීය සේවය මහායාන බෞද්ධධර්මයට පමණක් නො වැ සකල දාර්ශනික ලෝකයට ම ආදර්ශවත් විය. තවද ධර්මකීර්තීන් විසින් රචනා කළ ග්‍රන්ථ ආචාර්ය දිඞ්නාගයන්ගේ විඥානවාදයෙහි භාෂ්‍ය ලෙස සලකනු ලැබේ. මෛත්‍රෙයයන් විසින් නිපදවන ලද අසඞ්ග, වසුබන්ධු ආදීන් විසින් සංවර්ධිත වැ දිඞ්නාගයන් විසින් දීප්තිමත් කළ විඥානවාදය ධර්මකීර්තිපාදයන්ගේ ග්‍රන්ථ රචනා හේතු කොට ගෙන ව්‍යාප්ත විය. ඔවුන් විසින් රචනා කළ ග්‍රන්ථයෝ නම්

1. ප්‍රමාණ වාර්ථික

2. න්‍යාය බින්දු

3. හේතුබින්දු

4. ප්‍රමාණ විනිශ්චය

5. වාද න්‍යාය

6. සම්බන්ධ පරීක්ෂා

7. සන්තාන්තර සිධි යන මොහු යැ.

මේ ග්‍රන්ථ අතුරෙහි ශ්‍රේෂ්ඨ වූවෝ ප්‍රමාණවා‍ර්තිකය හා න්‍යායබින්දුව වෙති. ප්‍රමාණවාර්තිකය දිඞ්නාගයන් ගේ 'ප්‍රමාණසමුච්චය' නම් ග්‍රන්ථයට ලියන ලද භාෂ්‍යයකි. එයින් උද්‍යෙතකරයංගේ න්‍යායවාර්තිකය ඛණ්ඩනය කරන ලද්දේ ය. මේ ග්‍රන්ථ දෙකිනු දු අතිශයින් උත්කෘෂ්ට වූයේ න්‍යාය බින්දුවයි. යෝගාචාර මතයන් පිහිටුවාලීම සඳහා ලියන ලද මෙය සමස්ත ලෝකයෙහි තාර්කිකයන්ගේ බහුමානයට පාත්‍ර වූයේ යි.

6.ධර්මකීර්තිපාදයන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රමාණ කිරීම සඳහා අන් කිසි දු සාධකයෙක් නැත ද ඔහුගේ 'න්‍යායබින්දුව' මැ ප්‍රමාණ වෙයි. ෂඩ්භාෂාපරමේශ්වර ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ශ්‍රී රාහුල සංඝරාජයන් විසින් පඤ්විකාප්‍රදීපයෙහි (15 පිට) 'සකල තාර්කිකචක්‍ර චූඩාමණි ධර්මකීර්තිපාදයෝ' යැයි උච්චශ්‍රේණියෙහි ලා දක්වමින් ඔවුන්ගේ පාඨ ප්‍රමාණ කරන ලද්දේ ය. එසේ ම අසහාය සිංහල මහාපඬිවරයා වූ ගුරුළුගෝමීහු ද මහාවෛය්‍යකරණ මෞද්ගල්‍යායන මහාස්වාමීහු ද ස්වකීය සිද්ධාන්ත තහවුරු කිරීම සඳහා ධර්මකීර්තිපාඨ ඇඳෑගත්හ. මෙසේ පෙර පටන් ලක්දිව ද වෙනත් බෞද්ධ රටවල ද බෞද්ධ නෛය්‍යායිකයකු වශයෙන් ධර්මකීර්තිපාදයන්ගේ සසරස් පතළේ විය.

3. ධර්මකීර්ති

වෛය්‍යකරණ පඤ්විකාප්‍රදීපයෙහි (23 පිට) 'රූපාවතාර ධර්මකීර්තිපාද' යැයි දැක්වූ ව්‍යාකරණ විෂයයෙහි පරතෙර පත් 'ධර්මකීර්ති' නම් මහා පඬිවරයාණ කෙනෙක් වූහ. මේ ධර්මකීර්තිපාදයන්ගේ පාණ්ඩිත්‍යය 'රූපාවතාර' නම් සංස්කෘත ව්‍යාකරණයෙහි මූර්තිමත් ව දැක්වෙන්නේය. කඤ්ජා නගරයෙහි රාජකීය පුස්තකාලයට අයත් ග්‍රන්ථසූචිකා වෙහි ....... නම් ඉංග්‍රීසි මහතකු "රූපාවතාරය රචනා කළෝ කෘෂ්ණදීක්ෂිතයෝ යැ"යි ලියා තිබෙන බව රූපාවතාර සංශෝධකයෝ කියති. ඒ අවිචාරවත් මතය යථොක්ත පඤ්විකාප්‍රදීප වචනයෙන් ද ඛණ්ඩනය වන්නේ ය. තවද ඇතැම් රූපාවතාර පිටපතෙක ප්‍රාරම්භයෙහි:

"කෘතා සුකෘතිනා චෙයං - ප්‍රක්‍රියා ධර්මකීර්තිනා,

පොතානං පොතවත් ක්ෂිප්‍රං - ශබ්දාබ්ධෞ පාරගාමිණාම්."

යන පද්‍යය පැනෙන බව කියන හෙයින් ද අනන්තශයන රාජභවනයෙහි පවත්නා පොත් අතර දක්නට ලැබෙන රූපාවතාරව්‍යාඛ්‍යානයෙහි:

"අභිගත ෂඩභිඥප්‍රක්‍රියොපි ස්වයං යඃ

ප්‍රථම සමය සජ්ජද්වාසනාවාසිතාත්මා,

අකල යදති හෘදං ශබ්ද විද්‍යානුමොදඃ

ස ජයති නවකීර්තිඃ සන්මතො ධර්මකීර්තිඃ"

යන පද්‍ය ලියා තිබෙන බව දක්වන හෙයින් ද ධර්මකීර්තිපාදයෝ රූපාවතාරය නිපදවන ලදැ'යි නිසැකයෙන් පිළිගත යුතු ය.

මේ රූපවතාරකර ධර්මකීර්තිපාදයෝ කවර කලෙක කවර පෙදෙසක විසූ කෙබඳු උතුමාණ කෙනෙක් දැ'යි විචාරණය ද දුෂ්කර වෙයි. එහෙත් මේ කරුණු විමැසිය යුතුය. ධර්මකීර්තිපාදයන් රූපාවතාර රචනාවෙහි දී කාශිකාවෘත්තිය අනුගමනය කර තිබෙන බව කිය යුත්තේ ය. එහෙයින් මෙතුමෝ කාශිකාකාරජයාදිත්‍ය වාමනයන්ට පසු කලෙක ජීවත් වියැ යුත්තෝ යැ. කාශිකාරචනාව පටන් ගත් ජයාදිත්‍යයෝ ක්‍රිස්තුවර්ෂයෙන් සත්වැනි සියවසෙහි අවසානභාගයේ දී ග්‍රන්ථ රචනාව අවසාන නො කොට මැ කළුරිය කළහ. පසු කලෙක එය සම්පූර්ණ කරන ලද්දේ වාමනයන් විසිනි. වාමනයන්ගේ ජීවනසමය අටවැනි හෝ නවවැනි ශතවර්ෂය ලෙස පිළිගනිති. එහෙයින් නවවැනි සියවසින් පසුව රූපාවතාරය රචනා කළ යුතු ය. කාශිකා ව්‍යාඛ්‍යානය කළ හදත්තජිනේන්ද්‍රයන්ගේ නාමය ද රූපාවතාරයෙහි සඳහන් වන හෙයින් කාශිකාවට වඩා රූපාවතාරකරුවන්ගේ නවීනත්වය ප්‍රකාය කෙරෙයි.

මෛත්‍රෙයරක්ෂිතයන් විසින් 'තන්ත්‍රප්‍රදීප'යෙහි රූපාවතාර නාමයෙන් ම සඳහන් කරන ලද්දේ ය. තුදුස්වැනි සියවසේ මැද වාසය කළ බව අවිවාදයෙන් පිළිගන්නා සායනාචාර්යයෝ ස්වකීය 'මාධවිධාතුවෘත්ති'යෙහි මෛත්‍රෙයරක්ෂිතයන්ගේ නාමය ලියූහ. එහෙයින් 'සායන, මෛත්‍රයරක්ෂිත, ධර්මකීර්ති' යන තිදෙනා පිළිවෙළින් වෘද්ධ වෙති. මේ සාධක අනුව දසවැනි-තෙළෙස් වැනි සියවස් අතර ධර්මකීර්තීන්ගේ ජීවන කාලය හමු වන්නේ ය. තවද ලක්දිව විසූ චෝලිය බුද්ධප්‍රිය තෙරණුවෝ රූපාවතාරයෙහි කිසි තැනෙක් ස්වකීය රූපසිධියට පරිවර්තන කළහ.

"හකාරං පඤ්චමෛර්යුක්තමන්තස්ථාභිශ්ව සංයුතම්" (රූපාවතාර 4 පිට)

"හකාරං පඤ්චමෙහෙව අන්නට්ඨාහි ච සංයුතං" (රූපසිද්ධි)

යනාදිය විමසිය යුතු ය. රූපසිද්ධි රචනාව සිදු වූයේ දොළොස්වැනි සියවසෙහි හෝ එයින් පෙර ය. ඒ අනුව රූපාවතාරකාර ධර්මකීර්තිපාදයන් දසවැනි හෝ එකොළොස්වැනි සියවසෙහි ජීවමාන වූ බවට සැකයෙක් නැත්තේ ය.

රූපාවතාරය විශිෂ්ට වූ සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයක් වුව ද උත්තරභාරතයෙහි එය වැඩි වශයෙන් ප්‍රචාරයට නො ගියේ ය. එහෙත් සිංහලයන් හා ද්‍රවිඩකේරලයන් අතර පඨන පාඨනාදි විසින් බෙහෙවින් පැතිරී තිබුණු බව පෙනෙන හෙයින් මේ ධර්මකීර්තීහු දකුණු ඉන්දියානුවකු හෝ ලාංකිකයකු විය යුත්තේ ය.

තවද "රූපාවතාරකාරක ධර්මකීර්තිපාදයෝ ම බාලාවතාර නම් පාළි ව්‍යාකරණය ද රචනා කළහ"යි මතයෙකි. මේ මතය පෝෂණය කිරීමට තරම් සමාන ලක්ෂණ ග්‍රන්ථද්වයෙහි ඇති බව නම් සැබවි. එහෙත් රූපාවතාර රචනා කාලය නිර්ණය වූ සැටියෙන් මේ ග්‍රන්ථද්වය එක ම ධර්මකීර්ති කෙනකුගේ යයි සිතීම දුෂ්කර ය.

4.ධර්මකීර්ති (පණ්ඩිත)

තව ද 'පණ්ඩිත ධර්මකීර්ති' නමින් ලංකා ඉතිහාසයෙහි දැක්වෙන ධර්මකීර්ති කෙනෙක් වෙති. මහාවංසයෙහි (76-32 පද්‍ය ) "වාගීශ්වර නම් ආචාරීන් ද ධර්මකීර්ති නම් පණ්ඩිතයා ද සිදුරු සහිත නැවකින් මුහුදට හැරියේ යැ"යි දැක්වූ පමණ මුත් මේ පණ්ඩිත ධර්මකීර්ති ගැන සඳහන් වූ අන් තැනක් නැත. ක්‍රි.ව. 1159 පමණේ දී ලංකාරාජ්‍යශ්‍රීයට පැමිණි මහා පරාක්‍රමබාහු මහරජ තෙමේ ද පූර්ව රජුන්ගේ චාරිත්‍රානුකූල වැ රාමඤ්ඤ දේශයට දූතයන් යැවී ය. එකල රාමඤ්ඤ දේශයෙහි 'අරිමර්දන' රජ සිංහල දූතයන්ට සිරිත් පරිදි දෙන වැටුප් නොදී ඔවුන් සිරගෙවල ලැවී ය. පසුව ඒ දූතයන් ලවා සිංහල රටින් රාමඤ්ඤ දේශයට නැව් නොඑවන බවට පතක් ලියවා ගෙන ඔවුන් ආපසු එවී ය. ඒ දූතපිරිසෙහි ප්‍රධානීන් ලෙස පෙනෙනුයේ පරණ නැවකට නංවා එවූ "ආචාර්ය වාගීශ්වර හා පණ්ඩිත ධර්මකීර්ති" යන දෙදෙනා යි. පැරකුම්බා රජු විසින් දූත මෙහෙවර සඳහා යැවූ සැටියෙන් ම මේ ධර්මකීර්ති පඬිවරයා දොළොස්වැනි සියවසෙහි මහපැරකුම්බා රජු සමයෙහි විසූ ගෘහස්ථ පඬිවරයකු බව නිශ්චය වේ. මොහු පිළිබඳ ව ඉතිහාසයෙන් හෝ සාහිත්‍යයෙන් මීට වඩා සොයා ගත් කරුණෙක් නැත.

5.ධර්මකීර්ති (රාජගුරු)

තෙළෙස් වැනි ශතවර්ෂයේ පූර්වභාගයෙහි 'රාජගුරුධර්මකීර්ති' නම් ස්ථවිර කෙනෙක් වූහ. ටීකාචාර්ය ශාරිපුත්‍ර මහාස්වාමීන්ගේ ශිෂ්‍යරත්නයක් වූ ධර්මකීර්ති තෙරණුවෝ දාඨාවංස නිගමනයෙහි දැක්වෙන පරිදි ලක්දිව ශුද්ධවංශයෙහි උපන් තර්කාගමාදි නිපුණ වූ කීර්තිමත් ස්ථවිර කෙනෙක් වූහ. උන් වහන්සේ පරීක්ෂක ධූරයක් දැරූහ. මේ කිනම් පරීක්ෂක ධූරයක් දැංයි නොදැක්වෙයි. එහෙත් ශාසනයෙහි නිශ්‍රයමුක්තාංගාදිය විමසීම සඳහා පැවැතුනෙකැ'යි සමහරෙක් සිතති. එසේ ම රාජගුරු වූහ. ආචාර්ය වූහ. නිකායසංග්‍රහයෙහි ශාරිපුත්‍ර මහාස්වාමීන් පටන් ආචාර්ය පරම්පරාව දැක්වෙන තැන 'ධර්මකීර්ති' යයි දක්වන ලද්දේත් මෙමැ ආචාර්ය රාජගුරු ධර්මකීර්ති තෙරණුවෝ ම ය.

මේ ධර්මකීර්ති තෙරුන්ගේ කෘති වශයෙන් දක්නට ලැබෙනුයේ දළදා හිමියන්ගේ ආගමන ප්‍රවෘත්තිය විස්තර කොට මාගධික පද්‍යයෙන් රචනා කළ 'දාඨාවංස' නමැති ග්‍රන්ථය පමණෙකි. එය පරිච්ඡේද පසකින් හා ගාථා 415කින් යුක්ත වූ සරල රචනාවකි. සිංහලයෙහි ගුත්තිලය මෙන් පාලියෙහි දාඨාවංසය ද ජනාදරය දිනාගත් රචනාවකි. ලීලාවතී මෙහෙසිය රාජ්‍යයෙහි පිහිටුවා ලූ කළුන්නරු වංශයෙහි උපන් පරාක්‍රම නම් සෙනෙවියාගේ ආරාධනාවෙන් ලියූ බව 10වන ගාථාවෙහි සඳහන් වේ.

6. ධර්මකීර්තිපාද

මේ තෙමේ ද සිංහල ගෘහස්ථ පඬිවරයෙකි. නිකායසංග්‍රහයෙහි 21 පිටුවෙහි ශූරපාදය, ධර්මකීර්තිපාදය යනාදීන් ද ගෘහස්ථ පණ්ඩිත ජනයා දක්වන ප්‍රස්තාවෙහි ආ හෙයින් ගෘහස්ථ පඬිවරයෙකු යනු නිසැක ය. එහෙත් මොහු කවර කලෙක කිනම් තැනෙක විසුවාහු දැ'යි සිතිය නොහැකි ය. ශූරපාදයන් ආදි වූ ගෘහස්ථපණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝකප්‍රබන්ධ හා විචිත්‍රාර්ථ ප්‍රකාශ වූ සන්න, ගැටපද හා නොයෙක් ධර්මව්‍යාඛ්‍යාන ඉපදවූහ’යි දක්වා ඇති නමුත් මෙකී ධර්මකීර්තිපාදයන් විසින් ලියන ලද කිසිඳු ග්‍රන්ථයෙක් මේ තාක් හමුවී නැත.

මේ දැක්වූ ධර්මකීර්තිපාදයෝත් මහාවංසයෙහි රාමඤ්ඤ රටට දූත මෙහෙවරෙහි ගිය ධර්මකීර්ති පඬිවරයාත් දෙදෙනෙක් හෝ එක්කෙනෙක් ම වූහ'යි ද නිශ්චය කිරීමට සාධක නැත.

7. ධර්මකීර්ති (තාමලිත්තික)

ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු මහරජාණන් සමයෙහි දකුණු ඉන්දියාවේ තාමලිත්ති ජනපදයේ සිට ලක්දිවට ගෙන්වූ තෙර කෙනෙකි. මහාවංසයෙහි 84-11,16හි දැක්වෙන පරිදි එරට වැසි නොයෙක් ලප්ජි භික්ෂූන් අතුරෙහි මේ ධර්මකීර්ති තෙරණුවෝ ශීලතේජසින් බබළන කෙනෙක් වූහ. ඒ තෙරුන් පිඬු සිඟා වඩනා සඳ මාර්ගයෙහි පියුමක් පහළ වි යයි අසා විස්මයට පැමිණි පැරකුම්බා රජ දළදාපහසින් පවිත්‍ර වූ සුවඳ සඳුන් කලල් ආදි වූ දහම් පඬුරු හා වටිනා රජ පඬුරු ද තාමලිත්තියට යවා බුහුමන් සහිත ව ඒ තෙරුන් ලක්දිවට වැඩම කරවී ය. යළි ඒ තෙරුන්ට රහත් කෙනකුන්ට සේ මහත් පූජාසත්කාර කොට සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. මේ ධර්මකීර්ති තෙරුන් ගැන "තෙළෙස්වැනි සියවසෙහි විසූ සිල්වත් බැවින් ප්‍රසිද්ධ වූ තෙර කෙනෙකැ"යි යන පුවතට වඩා දැක්විය හැකි කිසිවක් නැත.

8. ධර්මකීර්ති (මාහිමි)

ලක්දිව ධර්මකීර්ති පරම්පරාව යයි ප්‍රසිද්ධ ව විසූ ආරණ්‍යක භික්ෂු සන්තතියෙහි ආදිමයා ලෙස සලකනුවෝ මාහිමි (සඟරජ) පදවියට පැමිණි පළාබද්ගල ආරණ්‍යසේනාසනයෙහි විසූ ධර්මකීර්ති නම් තෙර කෙනෙකි. උදුම්බරගිරි ආරණ්‍යවාසී මහාකාශ්‍යප, ආරණ්‍යක මේධංකර, බුද්ධවංශ වනරතන, පළාබද්ගල වෙදේහ ආදී ස්ථවිරයෝ මේ භික්ෂුවංශයෙහි වූවෝ ය. මහා පරාක්‍රමබාහු රාජ්‍යසමයෙහි දිඹුලාගල විසූ මේ වනවාසික භික්ෂූන් දඹදෙණි සමයෙහි දඹදෙණියෙහි හා පළාබද්ගල ද පළමුවැනි බුවනෙකබාහු සමයෙහි යාපව්වෙහි ද විසූ බව පෙනේ. දඹදෙණි සමයෙහි පටන් වනවාසික භික්ෂූන්ගේ මූලස්ථානය වූයේ පළාබද්ගල ය.

බුවනෙකබා රජු යාපව්වෙහි රාජ්‍යය කරවන අවදියෙහි ස්වදේශන්තරයෙහි පතළ කීර්ති ඇති වෛශ්‍ය වංශයෙහි උපන් පළාබද්ගල පරම්පරාවෙහි 'ධර්මකීර්ති' නම් තෙර කෙනෙක් සංඝරාජ ව විසූහ. මේ ධර්මකීර්ති මාහිමියන්ගෙන් පළාබද්ගල ධර්මකීර්ති පරම්පරාව ආරම්භ වූ බව සිතිය හැකි ය. 'බාලාවතාර' නම් ප්‍රශස්ත පාලිව්‍යාකරණ ග්‍රන්ථයෙහි කතුවරයා ද මේ තෙරණුවෝ ම විය යුත්තාහ. සද්ධර්මාලංකාර නිගමනයෙහි එන ධර්මකීර්ති තෙරුන් තිදෙනා අතුරෙන් මේ පළමුවැනි තෙරණුවෝයි.

"ලක්ඛිනිවාස භුවනෙකභුජෙ නරින්දෙ

චාරූරු සුන්දර ගිරි පුරමාවසන්,

ආරඤ්‍ඤ සංඝ පමුඛො පුටභත්තසෙලෙ

පාරම්පරානුගත විස්සුත වෙස්සවංසො.


සදෙස දෙසම්රන්තරෙකො

අනන්තරං පත්ථටකිත්තිඝොසො,

යො ධම්ම කිත්තිරිත නාම සෙ‍ෙය්‍යා

මහාදි සාමිනු විරොචයිත්ථ."

9.ධර්මකීර්ති

මහා ධර්මකීර්ති සංඝරාජයන්ගේ ශිෂ්‍ය වූ ගණවාසික වංශාභිජාත නම් ශීලවංශ නම් ස්ථවිර කෙනෙක් වූහ. ශීලවංශ තෙරණුවෝ ස්වාචාර්ය වූ ධර්මකීර්ති සංඝරාජයන්ගේ අභාවයෙන් පසුව ශ්‍රී ධර්මකීර්ති යන උපපදනාමයෙන් ප්‍රසිද්ධ වූවාහු පසු කලෙක 'මාහිමි සංඝරාජ' පදවියට පැමිණ ලෝකශාසනාද්වයට බොහෝ උපකාර ඇති ව අවුරුදු 110ක් ආයු වළඳා ස්වර්ගස්ථ වූහ. නිකාය සංග්‍රහයෙහි “ඒ අමරගිරිවංශ නිශ්ශංක අලගක්කෝණාර මන්ත්‍රීවරයාණෝ... පළාබත්ගල වනවාසී පරම්පරාවෙන් අසම්භින්නව පැවත ආවා වූ රක්ෂිත පෝෂිත ශීලස්කන්ධාදි නෛකගුණගණානුභාවොත්පන්න දසදික්හි පතළ තේජස් කීර්ති ඇති 'ශ්‍රී ධර්මකීර්ති' නම් වූ අප මහාස්වාමිපාදයන්ට එපවත් දන්වා බුදුන් පිරිනිවී එක්වාදහස් නවසිය දොළොස්වන හවුරුදු උභයවාසයෙහි කාරක මහාසංඝයා රැස්කරවා... " (24.පිට) යනාදීන් දැක්වූ පරිදි අලගක්කෝණාර මන්ත්‍රීවරයන්ගේ ශාසනශුද්ධියට උපස්තම්භ වූවෝ මේ තෙරණුවෝ ය.

ශ්‍රී ධර්මකීර්ති තෙරණුවෝ ශීලාදි ලෞකිකගුණයෙන් හෙබියාවූ මතු නො වැ දානාදි විවිධ පුණ්‍යකර්මයන්හි ද නිරත වූහ. දේශාන්තරයෙහි දු 'ධාන්‍යකටක' නම් ජරාවාස ව තුබූ ගල් විහාරයක් ප්‍රකෘතිමත් කරවා එහි සලපිළිම වහන්සේට මහත් පූජා පැවැත්වූහ. ලක්දිව ද අලවතුර පර්වතමස්තකයෙහි සෙල්මුවා විහාරයක් ද සිදුරුවාණයෙහි ගඩලාදෙණි ගලතලමතුයෙහි 'සධර්මතිලකං' නම් විහාරය ද කැරැවූහ. ත්‍රිපිටකයෙහි හා ශාස්ත්‍රන්තරයෙහි ද විශාරද වූ ශ්‍රී ධර්මකීර්ති තෙරණුවෝ බොහෝ අතවැසි ගණයා පුහුණු කරවමින් ග්‍රන්ථ රචනාවෙහි ද නියැලි වූහ. පාරමීශතකය, ජනානුරාගචරිතය යන ග්‍රන්ථ මුන් වහන්සේ විසින් රචනා කරන ලද්දේ ය. තමන් විසින් සියරට හා පිටරට ද කරන ලද බොහෝ පිංකම් සංග්‍රහ කොට ගාථානිබන්ධයක් ද කළ බව සද්ධර්මාලඞ්කාරයෙහි එයි. මුන් වහන්සේ අවසාන කාලයෙහි ගඩලාදෙණි සධර්මතිලක විහාරයෙහි වාසය කළහ. සධර්මාලංකාර නිගමනය හා සධර්මරත්නාකර (490.පිට), නිකායසංග්‍රහ (26 පිට).

10.ධර්මකීර්ති (ද්විතීය)

මහාධර්මකීර්ති මාහිමියන්ගේ අතැවැසි වූ මහදැළියාවංශයෙහි උපන් දේවරක්ෂිත ජයබාහු නම් ස්ථවිර කෙනෙක් වූහ. මේ තෙරණුවෝ ස්වාචාර්යයන්ගේ අභාවයෙන් 'ධර්මකීර්ති' යන පාරම්පරික උපපද නාමයෙන් ප්‍රසිද්ධ ව පසුව සංඝරාජ පදවියට ද පැමිණියහ. මහාධර්මකීර්ති මාහිමියන් නිසා මුන් වහන්සේ 'ද්විතීය ධර්මකීර්ති' යයි ප්‍රසිද්ධ වූහ. මෙහෙණෙවර වීරබාහු මහරජාණන් සමයෙහි බුදුන් පිරිනිවී 1939 වැන්නෙහි එනම් ක්‍රි.ව. 1396 කළ ශාසන ශුද්ධියට ප්‍රමුඛ වූවෝ මේ තෙරණුවෝ ය. නිකායසංග්‍රහයෙහි "තක්කාල ශාසනා-අනුශාසක ද්විතීය ධර්මකීර්ති මහාස්වාමිපාදයන් ප්‍රධාන කොට ශාසනොස්තම්භකාරී වූ ගලතුරුමුල මෛත්‍රෙය මහාස්ථවිරපාදයන් ඇතුළු වැ” (26 පිට) යනාදීන් අනෙකකු මෙන් දක්වන ලද්දේ මුන් වහන්සේ ගැන ම ය.

පළාබත්ගල ධර්මකීර්ති මුත්තාහාරයෙහි තරලයක් බඳු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියන් විසින් 'සද්ධර්මාලංකාර' නම් සිංහල භාෂාමය මහාධර්මප්‍රකරණය ද 'නිකායසංග්‍රහ' නම් ශාසනාවතාර කථාව ද 'ජිනබොධාවලී' නම් මාගධික පද්‍ය නිබන්ධය ද බාලාවතාර සංක්ෂේප සන්නය ද රචනා කරන ලද්දේ ය. සධර්මාලංකාර නිගමනයෙහි "සයෙව සඞ්ඛේපනිකායසංගහං තථෙව බාලාද්‍යවතාරසඤ්ඤකං"යි ආයේ සාවද්‍ය පාඨකයෙකි. එය 'බාලාද්‍යවතාරවණ්නං'යි ශුද්ධපාඨය විය යුතුය. 'සංක්ෂේපනිකාය සංග්‍රහය' ද එසේ ම සංක්ෂේප බාලාවතාර වර්ණනාව ද අර්ථ දැක්විය හැකි ය. තමන් අතැවැසි වූ විමලකීර්ති තෙරුන් විසින් "බාලාවතාර නම් වූ ශබ්දශාස්ත්‍රයට සංක්ෂෙප සන්නයක් හා..."යි සධර්මරත්නාකරයෙහි (491 පිට) එය විශද ව කියන ලද්දේ ය. 'ගඩලාදෙණිසන්නය' නමින් ප්‍රසිද්ධ වූ බාලාවතාර සන්නය ද්විතීය ධර්මකීර්ති මාහිමියන්ගේ කෘතිය ලෙස සලකනු ලැබේ. සධර්මාරත්නාකර, නිකායසංග්‍රහ ආදියෙහි මේ තෙරණුවන් ගැන සඳහන් වේ.

11. ධර්මකීර්ති (ස්වාමී)

බුරුම රට හංසවතී නගරයෙහි දක්නට ලැබෙන කල්‍යාණිශිලාලිපියෙහි 'ධර්මකීර්ති' නම් මහතෙර කෙනෙකු ගැන සඳහන් වේ. සවැනි බුවනෙකබාහු රජුගේ රාජ්‍යසමයෙහි බුරුමරටින් උපසම්පදාපේක්ෂක වැ ලක්දිවට පැමිණි භික්ෂූන් උපසම්පදා කිරීමට සඳහා රැස් වූ භික්ෂූන් අතුරෙහි 'ධර්මකීර්ති' නම් මහතෙර කෙනෙක් වූහ. මේ ධර්මකීර්ති තෙරුන් ගැන මෙයින් වැඩි යමක් ග්‍රන්ථාන්තරයෙන් නොදැක්විය හැකි වුව ද මහාධර්මකීර්ති තෙරුන්ගේ පටන් ගඩලාදෙණයෙහි විසූ පළාබත්ගල ධර්මකීර්ති පරම්පරාවෙහි සම්භාව්‍ය වූ තෙර කෙනකු බව සිතිය හැකි වේ.

12. ධර්මකීර්ති (මහාස්ථවිර)

බුදුන් පිරිනිවී දෙදහස් අසූපස් වසක් ගෙවුණු කල්හි ක්‍රි.ව. 1542 සෙංකඩගලපුර වීරපරාක්‍රම නම් කුමාරයා රාජ්‍යයට පැමිණියේ ය. ඔහුගේ රාජ්‍යසමයෙහි මහවැලිගඟ උදකුක්ඛේප සීමායෙහි කැරැවූ උපසම්පදාකර්මයෙහි ප්‍රමුඛ ස්ථානය දැරුවෝ ධර්මකීර්ති නම් මහාස්ථවිර කෙනෙකි (මහාවංස 92-23). මේ තෙරුන් එවකට ලක්දිව (සංඝ ස්ථවිර වැ) වැඩසිටි වෘද්ධතම මහාසංඝ ස්ථවිරයාණන් වූ බව හැර එයින් වැඩි යමක් කිව නො හැකි ය. ගඩලාදෙණි සධර්මතිලක විහාරයෙහි වැඩ සිටි ධර්මකීර්ති පරම්පරාවට අයත් ස්ථවිර කෙනකු සේ සැලැකිය හැකි වේ.

ධර්මකීර්ති නාමධාරීන් පිළිබඳ වැ 'ශ්‍රී ලංකාලෝක' සඟරාවෙහි 2-3 කලාපවල සඳහන් වේ.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධර්මකීර්ති&oldid=4365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි