ධර්ම සංගායනා
ඓතිහාසික බෞද්ධ තොරතුරු හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ පිළිගැනීම අනුව ප්‍රධාන ධර්ම සංගායනා තුනක් භාරතයෙහි පවත්වා ඇත. (මහායානිකයන් පැවැත්වූ හතර වන සංගායනාව ගැන ථේරවාදී පෙළපොත්වල සඳහන් නොවේ.) ඉන් පළමුවැන්න බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසුවත් දෙවන සංගායනාව වසර සියයකට පසුව සහ බුදුවසින් අවුරුදු දෙසීය තිස් හයකට පසුව තෙවන සංගායනාවත් සිදු කර ඇත.
පටුන
ප්‍රථම ධර්ම සංගායනාව සහ එහි ඓතිහාසික පසුබිම
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක තරම් කෙටි කලක දී ධර්ම සංගායනාවක් පැවැත්වීම ඓතිහාසික ශාසනය තුළ වර්ධනය වෙමින් පැවති තත්ත්වයක ඍජු ප්‍රතිඵලයක් බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් පැහැදිළි වෙයි. දේවදත්ත, සාතිධි, ජවිවග්ගිය වැනි භික්ෂූන් වහන්සේලාගේ විෂමාචාර ක්‍රියාකලාප එයට නිදසුනකි. චුල්ල වග්ගයෙහි දක්නට ලැබෙන පරිදි, “තේ... කුලත්ථිහි... සදිධිත ඒක භාජතොපි බුඤජන්ති පි. ඒකකාලකොපි පිවන්ති. ඒකාසනොපි නිසීදන්ති. ඒකමඤචේපි තුවට්ටෝන්ති, ඒකත්ථරණ පි තුවට්ටෙන්ති... විකාලේපි භුඤ්ජන්ති. මජ්ජමි පි. ජිවන්ති. මුලාගන්ධ විලේපනාම් පි. ධාරෙන්ති...” යනුවෙන් නීටාගිරියෙහි හැසුරුණු ජබ්බග්ගිය භික්ෂුන් පිළිබඳ ව එන විස්තරයෙන් ද චුල්ල වග්ග, මහා වග්ග යන විනය ග්‍රන්ථ හා පාරාජික පාලියෙහි එන තොරතුරුවලින් ද බුදුරජාණන් වහන්සේ දරමාන කාලයෙහි ම භික්ෂූන්ගේ විෂමාචාර ක්‍රියාකාරකම් පැවති පෙනෙයි.
භික්ෂූන් වහන්සේලා අතර පැවති සමගිය දෙදරා ගොස් භේදබින්න තත්වයන් ඇති වූ අවස්ථා දෙකක් පිළිබඳව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. කොසබෑ නුවර විනය ධර-ධර්ම ධර භික්ෂූන් අතර විනය ආපත්තියක් පිළිබඳව ඇති වූ මතභේදය භික්ෂූන් දෙපක්ෂයකට බින්න වීමට හේතුවක් විය. බුදුරදුන්ගේ අවවාද තුන් වෙනි වරටත් ප්‍රතික්‍ෂෙප කිරීමට තරම් භික්ෂූන් කටයුතු කිරීම විශේෂයෙන් සැලකිල්ල දැක්විය යුතු කරුණකි. තම ශාස්තෘවරයාට සංඝ සමාජය අවනත නොවූ අවස්ථාවක් මෙයින් පිළිබිඹු වෙයි.
දෙව්දත් තෙරණුවන් සංඝ සමාජයෙහි පාලනය ඉල්ලූ විට එය නොලැබුණ අවස්ථාවේ දී වර පසක් ඉදිරිපත් කොට ප්‍රථම වරට සංඝ සමාජයේ පැහැදිලි භේදයක් ඇති කරන ලදි. පංච වරයෙහි සඳහන් වන ඇතැම් රූක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කැමති වූ භික්ෂූන් පන්සියයක් (500) තම මතයට එකඟ කරවා ගැනීමට ද දෙව්දත් ථෙර සමත් වූහ. මොහුට අමතර ව සුනක්ඛත්, අරිට්ඨ, සාති වැනි භික්ෂූන් තමන්ට රුචි පරිදි ධර්ම විනය විග්‍රහ කළ බව ද සඳහන් වෙයි.
ආගමික ශාස්තෘවරයකුගේ අභාවයෙන් පසු ශ්‍රාවක පිරිස අතර භේද බින්නතා ඇති වීමත් තමන්ට රුචි පරිදි ධර්මය විග්‍රහ කිරීමත් පිළිබඳ ව නිගණ්ඨනාථපුත්තගේ අභාවයෙන් පසු එම සසුනට අත් වූ ඉරණම තුළින් භික්ෂූන් වහන්සේලාට අත්දැකීම් ලැබුණි. සංගීති සූත්‍රයේ මේ පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ඇතුළත් වෙයි. නාථපුත්තගේ අභාවයෙන් ලත් අවබෝධය මත ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට බුදු සසුන කෙරෙහි ද සාධාරණ සැකයක් ඇති විය. ඒ නිසා ම බුදුරදුන්ගෙන් පසු සසුනේ නායකත්වයට කෙනෙකු පත් කරන ලෙස උන්වහන්සේලා ඉල්ලා සිටියහ.
බුද්ධකාලීන භික්ෂු සමාජයේ විවිධ ගුරුකුලවලට අනුගත වූ භික්ෂු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්ය ක්‍රමයක් බිහිවෙමින් පැවති බවට සාධක ඇත. පාලි ත්‍රිපිටකයෙහි සඳහන් වන ආකාරයට සැරියුත් හිමිපාණන්ගේ ශිෂ්‍ය පිරිස “මහා පඤ්ඤාවන්ත” යැයි ද මුගලන් හිමියන්ගේ පිරිස “මහා ඉද්ධිපන්තා” යැයි ද මහා කාෂ්‍යප හිමියන්ගේ පිරිස “ධුතවුදිනො” යැයි ද සඳහන් වෙයි. මේ තුළින් ශිෂ්‍යානු-ශිෂ්‍ය පරම්පරාවක් ගොඩනැගීම සිදු වූ අතර එම පරම්පරාව ධර්මය පිළිබඳව කළ විග්‍රහයන් නිවැදි යැයි ඊළඟ පරපුර විසින් දරාගෙන යෑමේ ක්‍රමය බිහි විය. ඒ නිසා ධර්ම-විනය පිළිබඳ ව පොදු තීරණයක අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු භික්ෂූන් වහන්සේලාට දැඩිව දැනුණි.
පළමු වැනි ධර්ම සංගායනාවට ආසන්න හේතුව සුභද්‍ර නැමති භික්ෂූන්ගේ ප්‍රකාශයක් බව පැවසෙයි. බුදුරදුන් පිරිනිවත් පෑ පුවත අසා සොවින් වැළපෙන පෘතජ්ජ භික්ෂූන් වෙත එළබෙන බුධ්ධ පබිබජිත පුභද්‍ර බුදුරදුන් පිරිනිවීමෙන් තමන්ට නිදහස ලැබුණු බව කියා භික්ෂූන් අස්වැසීමට උත්සාහ කරයි. මෙම සිද්ධිය මහා පරිනිබ්බාන සුත්‍රයෙහි දී සුළු වෙනස්කම් සහිතව මහීශ්‍යක, ධර්ම ගුලුත, මහා සාංඝික, සර්වාස්තිවාදී විනයන්හි ද සඳහන් වෙයි.
ධර්ම සංගායනාවක අවශ්‍යතාව බුදුරදුන් දවස ම පිළිගෙන තිබූ බවත් ඒ සඳහා බුදුරදුන්ගේ අනුමැතිය ලැබී තිබූ බවත් ත්‍රිපිටකයෙන් පැහැදිලි වෙයි. “තස්මුතිහ චුන්ද යේ බො මයා ධම්මං අභිච්ච, දෙසිතා, තත්ථ, සබ්බේහේව සංගමිමු, සමාගම්ගී, අත්ථෙන අත්ථං බ්‍යඤ්ජනේන බ්‍යඤ්ජනං සංගායිතබ්බං න විවාදිතබ්බං” (“එබැවින් චුන්ද මා විසින් මනාව අවබෝධ කොට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද ඒ අරභයා සියල්ලෝ ම එක්ව, රැස්ව, අර්ථයෙන් අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය, සංසන්දනය කරමින් සංගායනා කළ යුතු ය. විවාද නොකළ යුතු ය.”) බුදුරදුන්ගේ පිරිනිවීමට පෙර මෙම කාර්යය ඉටුකිරීම සැරියුත් හිමියන්ගේ අභිප්‍රාය වූ බව සංගීති හා දසුත්තර යන සුත්‍රවලින් පැහැදිලි වෙයි. මෙම සූත්‍ර දෙක ම ධර්ම සංග්‍රාහක න්‍යාය අනුව සැකසී ඇති බව පෙනෙයි.
චුල්ල වග්ගයෙහි එන වාර්තාවට අනුව ප්‍රථම සංගීතියට මූලික වශයෙන් හේතු දෙකක් පෙනෙයි.
1. සුභද්‍ර භික්ෂුවගේ දුර්වචනය.
2. ධර්මය හා විනය අනාගතයෙහි පිරිහී අධර්මය අවිනිය රජ වී ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කරනු ඇතැයි භික්ෂූන් තුළ ඇති වූ අදහස.
මෙම දෙකට අමතරව ඉහතින් සඳහන් කළ කරුණු ද ප්‍රථම සංගායනාව සඳහා ප්‍රබල හේතුන් වූ බව නිගමනය කළ හැකි ය. සාධාරණ හේතු රාශියක් නිසා ධර්ම සංගායනාවක් අවශ්‍යබව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිගමනය කළ පසු සංගායනාවට සුදුසු භික්ෂූන් තෝරා ගැනීම ද උන්වහන්සේට ම පැවරිණි. ඒ සඳහා රහතන් වහන්සේලා (499) හාරසිය අනුනම නමක් තෝරා ගත්හ. එවකට රහත් බව ලබා නොසිටි ආනන්ද හිමියන් සංගීතියට පෙර දින රහත්බවට පත්වූයෙන් පස්සියයක් (500) රහතන් වහන්සේලා මෙම සංගායනාවට සහභාගී වූහ. සත් මසක් පුරා පැවති මෙම සංගායනාව 'පංච සතිකා' ලෙස ද චතුප්‍රතිසම්භිද ප්‍රාප්ත මහරහතන් වහන්සේලා සහභාගී වූ බැවින් 'ථෙරිකා' යැයි ද කියනු ලැබේ.
සංගායනාවට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ දී රජගහ නුවර ඒ සඳහා වඩාත් සුදුසු බවට සම්මත කර ගන්නා ලදි. සංගායනාව සිදු කළ ගුහාව 'සප්තපර්ණී' නම් ගුහාවක් බව ථේරවාදී වාර්තාවන්හි එයි. එහෙත් ටිබෙට් සම්ප්‍රදායේ විශ්වාසය වන්නේ එම ගුහාව 'න්‍යග්‍රෝධ' නම් වූ බවයි. ලෝකෝත්තරවාදීන්ගේ පිළිගැනීම අනුව එය වේහාර නැමති පර්වතයේ උතුරු දිශාවයි. අශ්වඝෝෂ හිමි මෙම සංගායනාව ගිජ්ජකූට පර්වතයේ සිදු කළ බව සඳහන් කරයි. රජගහනුවර යම් කිසි ස්ථානයක මෙම කාර්‍ය්‍ය සිදු කළ බව සෑම සම්ප්‍රදායයක් ම පිළිගනිති. මෙම කටයුත්ත සඳහා අජාසත් රජුගේ ආරක්ෂාව සහ සිව්පසය නොඅඩුව ලැබෙතැයි භික්ෂූන්ගේ විශ්වාසයක් පැවති බව මහාවංශය, සමන්තපාසාදිකාව මෙන් ම ටිබෙට් අල්වා ග්‍රන්ථයෙහි ද සඳහන් වෙයි. එහෙත් චුල්ල වග්ගයෙහි අජාසත් රජුගේ නම සඳහන් නොවෙයි. මෙම සංගීතියට සහභාගී වූ භික්ෂූ පිරිස පන්සියයක් (500) බව චුල්ලවග්ගයෙහි සඳහන් වුව ද හියුං සියැංගේ වාර්තාව පවසන්නේ එම ප්‍රමාණය දහසක් (1000) බවයි. තෝරා ගත් භික්ෂූන් වහන්සේලා ඇසල මස අව පෑලවිය දින වස් එළඹ පළමු මාසයේ දී විහාර ප්‍රතිසංස්කරණය කොට නිකිණි මස අව දියවක් දින අජාසත් රජු කර වූ මණ්ඩපයට රැස් වූහ. සංගායනාවේ මුලසුන හෙබ වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ “සුනාතු මෙ ආවුසො සංඝෙ යදි සංඝස්ස පත්ත කල්ලං අහං උපාලි විනයං පුච්ඡෙය්‍ය” යනාදි ලෙස ප්‍රථම වරට විනය ප්‍රශ්නය ආරම්භ කළහ. පුජ්ජා විසර්ජන ක්‍රමය මඟින් මුළු විනය පිටකය ම උපාලි හිමියන් ලවා සජ්ජායනා කරවන ලදි. සෑම විනය ශික්ෂා පදයක් ම නිදාන, පුද්ගල, වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්තර සහිතව සංගායනා කරන ලදි. අනතුරුව ධර්මය සංගායනා කරන ලදි. මෙය ද ප්‍රශ්නෝත්තර ක්‍රමයට ආනන්ද හිමියන් ලවා පංච නිකාය ම සංගීති කර වන ලදි.
ධර්ම සංගායනාවෙන් පසු භික්ෂූන් ඇමතු ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙහි තමන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු කුඩා, අනු කුඩා, ශික්ෂා පද සමූහනය කළාට වරදක් නැතැ'යි දේශනා කළ බව සඳහන් කළේ ය. මෙය ඇසූ භික්ෂූන් වහන්සේ කුඩා, අනු කුඩා ශික්ෂා පද කවරේදැ'යි වාදවිවාද කළහ. ඒ පිළිබඳව නිර්වචනයක් බුදුරදුන් වෙතින් ආනන්ද හිමියන් ලබා ගෙන නොතිබුණ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මැදිහත් වීම මත බුදුරදුන් නොපැන වූ කිසිවක් නොපන වන්නටත් පැන වූ කිසි ශික්ෂාවක් නොබිදීමටත් සම්මත කර ගත්හ. ප්‍රථම සංගායනාව අවසානයේ ආනන්ද හිමියන්ට චෝදනා පහක් (05) ඉදිරිපත් විය. එම චෝදනාවලට තමන් නිවැරදිකරු බවට හේතු දැක් වූ ආනන්ද හිමියන් සංඝයා කෙරෙහි ගෞරවයෙන් වරද පිළිගෙන සමාව ඇයද සිටි බව චුල්ල වග්ගය වාර්තා කරයි. එම චෝදනා නම්,
1. බුද්ධානු බද්ධත ශික්ෂා පද කවරේදැ'යි බුදුරදුන්ගෙන් අසා නොගැනීම.
2. බුදුරජාණන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන මැසීම.
3. බුදු සිරුර පළමුව කාන්තාවන් ලවා වැන්දවීමෙන් ඔවුන්ගේ කඳුලින් බුදු සිරුර කිලිටිවීම.
4. කල්පයක් ජීවත් වන ලෙස බුදුරදුන්ට ආරාධනා නොකිරීම.
5. ස්ත්‍රීන්ට සසුනෙහි පැවිද්ද ලබා දීමට උත්සාහවත් වීම.
ආනන්ද හිමියන්ට එල්ල වූ මෙම චෝදනා පහට අමතරව තවත් චෝදනා දෙකක් පිළිබඳව ටිබෙට් දුල්වා ග්‍රන්ථයෙහි සඳහන් ව ඇත.
6. පිරිනිවන් පෑමට සිටිය දී බුදුරදුන් පිපාසිතව වතුර ස්වල්පයක් ඉල්ලු අවස්ථාවෙහි පැන් නොදී සිටීම.
7. බුදු සිරුරේ රහස් ස්ථාන රාගී ගිහියන්ට පෙන්වීම.
සංගීතිය අවසානයේ ස්ථාවර කරගත් ධර්‍මය ආරක්ෂා කර ගැනීම සඳහා එක් එක් භික්ෂු පරම්පරාවට බෙදා දීම සිදු කරන ලදී.
සංගායනාව අවසන් වුව ද එය පිළිගැනීමට ඇතැම් භික්ෂූන් මැලිකමක් දැක්වූ බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. දක්ෂිණ ගිරියෙහි පන් සියයක් (500) භික්ෂූන් පිරිවරා සිටි පුරාණ නම් භික්ෂූන් වහන්සේ රජගහනුවර වේළුවනයට වැඩම කළ අවස්ථාවෙහි ස්ථවිර භික්ෂූහු “අපි ධර්ම, විනය සංගායනා කළෙමු, පිළිගත මැන වැයි” ආරාධනා කළ විට එම තෙරණුවෝ “ඇවැත්නි, තෙරුන් වහන්සේලා විසින් ධර්මය මැනවින් සංගායනා කොට ඇත. එතකුදු වූවත් මම බුදු වෙතින් ඇසූ දහම් ඇත්තෙමි. එසේ ම එය දරන්නෙමි”යි ප්‍රකාශ කළහ. ථේරවාදී වාර්තාවලට අනුව මෙය සංගායනාව ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවේ. හියුං සියැංගේ වාර්තාවලට අනුව සංගායනාවට සහභාගී නොවූ රහතන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා එක්ව මහා සංගීතියක් කළ බවත් එහි දී සූත්‍ර-විනය-අභිධර්ම මිශ්‍ර හෙවත් ක්ෂුද්‍රක හා ධාරණී යන පිටක සංගීති කළ බවත් සඳහන් වෙයි.
පළමු ධර්ම සංගායනාව පිළිබඳව පසු කාලීන විද්වතුන් අතර විවිධ මතවාද පවතී. අචාර්‍ය්‍ය ඕල්න්ඩන්බර්ග් සඳහන් කරන්නේ පරිනිර්‍වාන සුත්‍රයෙහි මෙම සංගායනාව ගැන කිසිවක් සඳහන් නොවීම එහි ඓතිහාසිකත්වය පිළිබඳ සැක ඉපිදවීමට තුඩු දෙන බවයි.
කර්න් පඬිවරයාගේ අදහස මෙම සංගායනාවේ නිදානය දීපවංශයේ සඳහන් නොවීම ගැටළු සහගත බවයි. මහාචාර්‍ය්‍ය දලවෙල පුසැං පඬිතුමා ප්‍රථම සංගීතිය ඇතැම් ගර්විත ජනයන් සිතන ආකාරයේ අද්භූතයක් නොවන බව පවසයි. ඉවාන් මිනායෙෆ්, ඊ.ජේ. තෝමස්, මජුමිදා, රීස් ඩේවිඩ්ස් වැනි උගතුන් තම ග්‍රන්ථවල දී ප්‍රථම සංගීතියේ ඓතිහාසික සත්‍යතාව තහවුරු කර ඇත.
දෙවන ධර්ම සංගායනාව සහ එහි ඓතිහාසික පසුබිම
බුද්ධ පරිනිර්‍වානයෙන් වසර සියයක් (100) ඉක්මගිය කළ විශාලා මහනුවර වේළුවනාරාමයේ දී සබ්බකාමී මහ රහතන් වහන්සේ ප්‍රධාන සත් සියයක් (700) මහ රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දෙවන ධර්ම සංගායනාව පවත්වන ලදි. කාකණ්ඩ පුත්ත යන තෙරණුවෝ වරක් විශාලාවට වැඩම කළ අවස්ථාවේ දී වජ්ජිපුත්තක භික්ෂූන් පිරිකර සඳහා ගිහියන්ගෙන් මුදල් ඉල්ලනු දුටහ. යස තෙරණුවෝ එම ක්‍රියාව අකැප බව ගිහියන්ට පෙන්වා දුන්හ. එවිට වජ්ජි භික්ෂූහු උන්වහන්සේට පටිසරණීය කර්මය කළහ. මේ වන විට වජ්ජි භික්ෂූන් දශ වස්තුවක් උපදවා ගෙන එය සම්මත කොට ගෙන තිබුණි. චුල්ල වග්ගයට අනුව එම දශවස්තුව නම්,
1. සිංගිලෝන කප්ප :- අඟක ලුණු තබා ගැනීම කැප ය.
2. ද්වංගුල කප්ප :- ඉර අවරට ගොස් දෑඟුල වූ පසු ආහාර වැළදීම කැප ය.
3. ගාමාන්තර කප්ප :- අතිරික්ත භෝජන කැප ය.
4. ආවාස කප්ප :- එක සීමාවේ නොයෙක් ආවාසවල උපෝසථය කැප ය.
5. අනුමති කප්ප :- අනුමැතිය ගැනුමට සිතා සංඝ කර්ම කිරීම කැප ය.
6. ආචින්න කප්ප :- චිරාගත දේ පිළිපැදීම කැප ය.
7. අමථිත කප්ප :- කිරිත් නොවූ දීත් නොවූ කිරි බීම කැප ය.
8. ජලෝගි කප්ප :- තරුණ සුරාව කැප ය.
9. අදසක නිසීදන කප්ප :- දාවළු නැති ඇතිරිලි කැප ය.
10. ජාත, රූප, රජත කප්ප :- රන්, රිදී, මසු, කහවනු කැප ය.
ථේරවාදී බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන මෙම දස වස්තුවට වෙනස් ආකාරයක දස වස්තුවක් මහා සංඝික ඉගැන්වීම්වල දැක්වෙයි.
1. අලල යැයි කීම කැප ය.
2. තමා ම විනෝද වීම කැප ය.
3. තමා ම පොළොව සෑරීම කැප ය.
4. දුර හුදෙකලා වාසීන්ට ලුණු තැන්පත් කිරීම කැප ය.
5. තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙන යාම කැප ය.
6. ඉර අවරට ගිය පසු ඇඟින්ලෙන් වැළදීම කැප ය.
7. රෝගීන්ට මධ්‍යපානය කැප ය.
8. කිරිත් නොවූ දීත් නොවූ කිරි බීම කැප ය.
9. දාවළු නැති ඇතිරිලි කැප ය.
10. රන්, රිදී, මසු, කහවනු කැප ය.
සාර්වාස්තිවාදීන්ගේ විනය ග්‍රන්ථයෙහි එන දශ වස්තුව මීට ද තරමක් වෙනස් ය. මූල්‍යවාස්තිවාදී විනය ග්‍රන්ථයක් වන විනය ක්ෂුද්‍රක නැමති ග්‍රන්ථයෙහි ටිබෙට් පරිවර්තනයක එම කරුණු මෙලෙස දක්වා ඇත.
1. යාවජීවක ලුණු යාවකාලීක ආහාර හා මිශ්‍ර කර වැළදීම කැප ය.
2. අතිරික්ත නොවු ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැප ය.
3. යොදුනක් හෝ අව යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැප ය.
4. කිරි ද්‍රෝණයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැප ය.
5. ලෙඩකුට කූඩැල්ලන් සේ උරා සුරා පානය කැප ය.
6. පැරණි නිසීදනයෙන් සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅලලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැප ය.
7. සුවඳවත් කළ පාත්‍රයක් මහජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන්, රිදීවලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැප ය.
8. සියතින් පොළව කැපීම කැප ය.
9. ආගමික කාර්‍ය්‍යක් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ ව සතුටුවන ලෙස පෙළඹවීම කැප ය.
10. ආගමික කාර්‍ය්‍යන්ගෙන් පසු “අහෝ” යැයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැප ය.
ථේරවාදී, මහා සාංඝික හා මුල්‍යර්වාස්තිවාදී යන සම්ප්‍රදායවල වෙන්සකම් සහිතව පූර්වෝක්ති දශ වස්තුව ද්විතීය සංගායනාවට පාදක වූ බව සඳහන් වෙතත් වශුමිත්‍ර විසින් ලියන ලද 'නිකාය වලම්බන' ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි එයට හේතු වූයේ විනය ප්‍රශ්නයක් නොව මහාදේව ස්ථවිරයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පසකි.
1. රහත් භික්ෂුවක විසින් නොදැන පවක් කළ හැකි ය.
2. රහත් භික්ෂුවක තමන්ගේ රහත් බව නොදැන සිටිය හැකි ය.
3. රහත් භික්ෂුවකට ධර්‍මය පිළිබඳව සැක ඇති විය හැකි ය.
4. ගුරු උපදේශයෙන් තොරව රහත්බව ලැබිය හැකි ය.
5. භාවනාවෙහි යෙදී සිටිනා අතර “අහෝ දුකකි” යනාදිය කීමෙන් අභිමතාර්ථ සිද්ධිය ලැබිය හැකි ය.
චුල්ල වග්ගයේ සඳහන් වන ආකාරයට යස තෙරණුවෝ දශ වස්තුව පිළිබඳව අවන්ති හා පාවා වැසි භික්ෂූන් දන්වා යැවූහ. අනතුරුව අහෝ ගං තීරයේ සන්‍යවාසී සම්භූත හිමියන් හමු වූ යස තෙරණුවෝ දශ වස්තුව පිළිබඳ ව උන්වහන්සේට දන්වා සිටි විට සංගායනාවක අවශ්‍යතාව පිළිගැනුණි. ඒ අනුව බටහිරින් රහතන් වහන්සේලා සැට නමක් ද අවන්තියෙන් හා දකුණු ප්‍රදේශවලින් අසූ අට නමක් ද එකතුව සොරෙය්‍යවාසී රේවත හිමියන් හමු වූහ. සන්‍යාවාසී සම්භූත හිමියන්ගේ උපදෙස් අනුව යස හිමියෝ දශ වස්තුව එකින් එක පැහැදිලි කරමින් රේවත හිමියන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ සියල්ල වැරදි බව උන්වහන්සේගේ විනිශ්චය විය. ඒ අනුව යස හිමියෝ සංගායනා යෝජනාව ඉදිරිපත් කළහ. ඉන් අනතුරුව මේ පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා භික්ෂූහු විශාලවට රැස් වූහ. එහි දී රේවත හිමියෝ මෙම ප්‍රශ්නය කාරක සභාවක් මඟින් විසඳා ගැනීමට යෝජනා කළහ. බටහිර ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේ සිව් නමක් ද නැගෙනහිර ප්‍රදේශවලින් භික්ෂූන් සිව් නමක් ද මීට අයත් වූහ. අජිත භික්ෂුව ආසන පැනවීමටත් සබ්බකාමි හිමි සභාපති ලෙසත් පත් වූහ. මෙම කාරක සභාව දශ වස්තුව එකිනෙක ගෙන ඒවා විනය විරෝධි බව තීරණය කොට වජ්ජි භික්ෂූන් වහන්සේලා පාපීන් ලෙස නෙරපා දැමූ බව වාර්තා වෙයි.
දීප වංශයට හා සමන්තපාසාදිකාවට අනුව මෙම සංගායනාව පැවැත්වූයේ කාලාශෝක රජු සමයේ ය. මුල දී වජ්ජිපුත්තක භික්ෂූන්ගේ බසට අවනත ව සිටි රජු පසුව ඔහුගේ සෞවුරියක වූ නන්ද නැමති භික්ෂුණියගේ අනුශාසනා පරිදි ධර්‍මවාදී භික්ෂුන්ට සහයෝගය දැක්වූහ. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ දශ වස්තුව විග්‍රහ කිරීම සංගීතියේ ප්‍රධාන කාර්‍ය්‍ය වූ බව ස්ථවිරවාදී වාර්තාවලින් පැහැදිලි වෙයි. විශේෂයෙන් ම සංගීති නිදාන සූත්‍රයේ මුල් තැන ගත්තේ ජාඟ, රූප, රජත, කප්පයයි. ඉතිරි කරුණු මතුවන්නේ සංගීති සභා අවස්ථාවේ දී ය. මෙහි දී මේ ප්‍රශ්න දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවසානයේ විනය සංයෝග කළ විට ස්ථවිරවාදීන්ගේ වාර්තා පවසයි.
බුද්ධ ශාසනයේ ප්‍රථම නිකාය භේදය මෙම සංගීතිය සමඟ සිදු වූ බව පෙනෙයි. දීපවංශයට අනුව මෙම සංගායනාවට විරුද්ධ වූ පිරිස් කොසබෑ නුවර මහා සම්මේලනයක් පවත්වා වෙනම ආචාර්‍ය්‍යවාදයක් ඇති කර ගත්හ. මෙම ආචාර්‍ය්‍යවාදය මහා සාංඝික ලෙස හැඳින්වෙයි. එහෙත් මහාසාංඝික නිකායේ විනය ග්‍රන්ථයෙහි ඔවුන් ද දශ වස්තුවෙහි විනය විරෝධී බව පිළිගෙන වජ්ජි භික්ෂූන්ට ගර්හා කළ බවට එන සඳහන ද සැලකිල්ලට ගත යුතු වෙයි.
තෙවැනි ධර්ම සංගායනාව සහ එහි ඓතිහාසික පසුබිම
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයක් (236) ඉක්මගිය අසෝක රජ දවස මොග්ගලී පුත්ත තිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහස් නමකගේ (1000) සහභාගීත්වයෙන් පැලලුප් නුවර අසෝඛාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්විණි.
අසෝක අධිරාජයා බුදුදහම වැළඳගත් පසු පුරා සත් වසරකින් භික්ෂූන් පොහොය කිරීම කර නොමැති බව දැන ගෙන එය සෙවීමට ඇමතියකු යෙදවී ය. ඔහු අසෝකාරාමයට ගොස් එහි සිටි භික්ෂූන්ට පොහොය කරන ලෙස අණ කළේ ය. එවිට සිල්වත් භික්ෂූන් දුස්සීල මහණුන් සමඟ විනය කර්ම කිරීම ප්‍රතික්ෂේප කළේ ය. එයින් කෝප වූ ඇමතියා භික්ෂූන් කිහිප නමකගේ හිස ගසා දැමී ය. මෙම සිද්ධිය දැනගත් අසෝක රජු බෙහෙවින් කම්පාවට පත් ව මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවන් මුණ ගැසී එම අපරාධයට තමන් වරදකරු නොවන බව දැනගෙන භික්ෂූන් අතර සිටි තීර්ථක ආදී අන්‍ය ලබ්ධික ශ්‍රමණ වේශධාරීන් සසුනෙන් බැහැර කරලීමට විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේ ය. එක් එක් භික්ෂුව සම්මුඛ පරීක්ෂණයකට ලක්කළ රජතුමා ඔවුන්ගෙන් “බුදුහු කිනම්වාදී වන සේක් දැයි” විචාළේ ය. බුදුහු “විභජ්ජවාදීය” යනුවෙන් පිළිතුරු දුන් භික්ෂූන් හැර අනෙක් සියල්ලෝ ම සිවුරු හරවා සුදුවත් අන්දවා ගිහිබවට පත්කොට ජීවත්වීමට මාර්ග ද සලසා දුන්නේ ය. මෙසේ සසුනෙන් බැහැර කළ පිරිස සැට දහසකි. (60,000)
ඉන්පසු මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවන්ගේ ප්‍රධානත්වයෙන් සංගායනාව ආරම්භ කරන ලදි. එහි දී කතාවත්තු ප්‍රකරණය සකස් වූ අතර ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය ද සම්පූර්ණ විය. තෙවැනි සංගීතියේ වැදගත් ම ප්‍රතිඵලය වන්නේ බුදුසමය භාරතය තුළත් ඉන් පිටත විදේශ කරාත් පැතිර වීමයි. වංශකතාවලට අනුව මෙම කාර්‍ය්‍යයෙහි අනුශාසකත්වය හා ප්‍රධානත්වය මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවන් උසුලන ලදි. මෙම ධර්‍ම ප්‍රචාරයෙහි ලා රටවල් නවයකට ධර්‍ම දූතයෝ යවන ලදි. එහි දී ධර්ම ධර-විනය ධර ප්‍රබල ථෙරනමක් එම පිරිසෙහි නායකත්වය දරන ලදි.
රට ප්‍රධානත්වය
1. කාශ්මීර ගන්ධාර මජ්ඣන්තික ථෙරණුවෝ
2. මහිස මණ්ඩල මහාදේව ථෙරණුවෝ
3. වනවාස දේශය රක්ඛිත ථෙරණූවෝ
4. අපරන්ත දේශය යෝනක ධම්මරක්ඛිත ථෙරණුවෝ
5. මහාරට්ඨය මහා ධම්මරක්ඛිත ථෙරණුවෝ
6. යෝනක මහා රක්ඛිත ථෙරණුවෝ
7. සුවන්න භූමිය සෝණ හා උත්තර ථෙරණුවෝ
8. හිමවන්තය මජ්ක්‍ධිම ථෙරණුවෝ
9. තම්බපණ්ණි දීපය මහා මහින්ද ථෙරණුවෝ
මෙම ධර්ම ප්‍රචාරක කටයුත්ත ඓතිහාසික තොරතුරුවලින් මෙන් ම පුරාවිද්‍යා තොරතුරු හා කැණීම්වලින් ද තහවුරු වී තිබෙයි. කනිංහැම්ගේ වාර්තාවන්හි සාංචියේ අංක 02 දරන ස්තූපයේ කරඬුවක සටහන් ව තිබූ නම් කිහිපයක් දක්වා ඇත. “සපුරිස මජ්ජිස”, “සපුරිස කාසප ගොතස හෙමවතචරියස” වංශකතාවල එන විස්තර අනුව, හිමවන්ත ප්‍රදේශයට මජික්‍ධිම තෙරණුවන් සමඟ කස්සප ගොත්ත හිමියන් ද වැඩම කළේ ය යන ප්‍රකාශය මෙමඟින් තහවුරු වෙයි. ශ්‍රී ලංකාවෙන් හමු වූ ක්‍රි.ව. 01 වන සියවසට අයත් ශිලා ලිපියක “ඉදිතතෙරභ”, “මහිද තෙරභ” යනුවෙන් සඳහන් ව ඇත. මෙහි ඉදිකතෙරභ යනු ඉත්තිය හිමියන් ය. මොවුන් ලංකාවේ ප්‍රථම භික්ෂූන් බව ද එහි ම සඳහන් වෙයි. ඒ අනුව මිහිඳු හිමිපාණන් ඇතුළු දූත පිරිසගේ නම් මෙහි සටහන් ව ඇති බව පිළිගත හැකි ය. මෙයට අමතරව ක්‍රි.පූ. 02 වන සියවසට අයත් සාංචි කැටයමකින් ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමේ සිද්ධිය නිරූපණය වන බව බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.
ත්‍රිපිටක ධර්මයේ සංශෝධනයන් ද ථේරවාදයට පටහැනි මත බිඳදැමීමට කථාවත්තුප්‍රකරණය වැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් බිහිවීම ද දේශීය හා විදේශීය වශයෙන් ඉතා පුළුල් ධර්‍ම දූත ව්‍යාපාරයක් ආරම්භ වීම ද තෙවැනි සංගීතියේ වැදගත් ප්‍රතිඵල ලෙස සැලකිය හැකි ය.
සිව් වැනි සංගායනාව හා එහි ඓතිහාසික පසුබිම
කනිෂ්ක රජ දවස කාශ්මීරයේ කුණ්ඩලාවන නම් විහාරයේ පවත්වන්නට යෙදුණ මෙම සංගීතිය පිළිබඳ ව ථේරවාදයට අයත් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් නොවෙයි. කනිෂ්ක රජුට දහම් දෙසූ භික්ෂූන් ධර්‍මය විවිධ ආකාරයෙන් අර්ථ දැක්වීම නිසා පාර්ශව හිමියන්ගෙන් ඒ පිළිබඳ ව විමසූ විට විනය නිකායවල භික්ෂූන් බුද්ධධර්‍මය පිළිබඳ ව ප්‍රතිවිරුද්ධ මත දරන නිසා එසේ වන බව පැවසී ය. එම තත්වය සමනය කරනු පිණිස මෙම සංගායනාව පැවැත්විණි. මෙම සංගායනාවේ ප්‍රධානත්වය වශුමිත නම් භික්ෂුවක් ඉසිලූ බව සඳහන් වුව ද කාත්‍යායන පුත්‍ර නම් භික්ෂුවක් මෙහි ප්‍රධානත්වය ගත් බව පරමාර්ථ නම් පඬිවරයා සඳහන් කරයි.
අශ්වඝෝෂ, නාගාර්ජුන ආදී ආචාර්‍ය්‍යවරුන් ඇතුළු පන්සියයක් (500) භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් පුරා හය මසක් තිස්සේ පැවති මෙම සංගායනාවේ දී සියලු ම නිකායන්ගේ අදහස් එකතු කොට සූත්‍ර පිටකය 'උපදේශ ශාස්ත්‍ර' නමිනුත් විනය පිටකය 'විනය විභාෂා ශාස්ත්‍ර' නමිනුත් අභිධර්‍ම පිටකය 'අභිධර්‍ම විභාෂා ශාස්ත්‍ර' නමිනුත් කොටස් තුනකට බෙදා වෙන් කොට සංග්‍රහ කරන ලදි. මෙම සංගායනාවේ දී ත්‍රිපිටකයට අළලා මහා විභාෂා නමින් අටුවා ග්‍රන්ථයන් ද සකස් කරන ලදි.
මෙම සංගීතිය පිළිබඳ ව ථෙරවාදයට අයත් බෞද්ධ පොත්පත්වල සඳහන් නොවුව ද තිබ්බතය, චීනය සහ ජපානය වැනි උතුරුදිග බෞද්ධ රටවල ඉතා ප්‍රසිද්ධ ය. අන්‍ය නිකායික භික්ෂූන්ට වඩා සර්වාස්තිවාදීන් සංඛ්‍යාවෙන් වැඩි වූ නිසා මෙම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට වෙන ම සාහිත්‍යයක් ඇති විය. මේ නිසා ඔවුන්ගේ අදහස් උතුරු හා වයඹදිග ඉන්දියානු ප්‍රදේශවලින් අග්නිදිග ආසියාවේ හා මධ්‍ය ආසියාවේ ප්‍රදේශවලත් ඉතා සීග්‍රාකාරයෙන් පැතිරෙන්නට විය. කනිෂ්ක රජුගේ මැදිහත්වීමෙන් කාශ්මීරය කේන්ද්‍ර කොට ගෙන මධ්‍ය ආසියාවේ ක්ෂේම භූමි නගරයක් වූ ඛෝටාන්, යාර්බාන්ඩ්, රාවක්, එන්ඩරේ සහ නීයා ආදී ප්‍රදේශ කරා ධර්‍මදූතයන් යවා බුදුදහම ප්‍රචාරය කරවී ය.
(කර්තෘ: ජේ. පතිරණගේ ජයවර්ධන)
(සංස්කරණය නොකළ)