ධාතුසේන
(ක්‍රි.ව. 455-479). සෙල්ලිපි සාහිත්‍ය මූලාශ්‍රයන් හි “දාසෙන් කැලි” නමින් හැඳින්වෙන ධාතුසේන රජතුමා මෞර්ය වංශිකයෙකු ලෙස වංශ කථාවල පැහැදිළි ලෙස ම සඳහන් කොට ඇත. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කරවීමත් සමඟ ම මෙහි පැමිණි ශාක්‍ය කුමරුන්ගෙන් පැවත ආ මෞර්යයෝ නන්දිවාපිගාම ප්‍රදේශයේ පදිංචි ව සිටියහ. ධාතුසේන කුමරුගේ මුත්තා පදිංචි ව සිටියේ ද නන්දිවාපිගාමයෙහි ය. ඔහුගේ පියා වූයේ අම්බිලියාශූගාමයෙහි විසූ දාඨානාම නමැති ප්‍රධානියා ය. සිලාතිස්සබෝධි නමින් සොහොයුරෙකු ද ධාතුසේන කුමරුට සිටි බව කියැවෙතත් ඔහු පිළිබඳ තොරතුරු නොදැක්වේ.
මෙම යුගයේ අනුරාධපුරයෙහි ද්‍රවිඩ ආක්‍රමණිකයන් වරින්වර හිස එස වූ හෙයින් ධාතුසේන කුමරාට ආරක්ෂාව සැලසීමේ අදහසින් ඔහු කුඩා වියේ දී ම පැවිදි කරවන ලදි. ඔහුගේ මයිලනුවන් වන මහ තෙරුන් වහන්සේ නමක විසින් කලා ඔයෙන් දකුණු පැත්තේ පිහිටා හුදෙකලා විහාරස්ථානයකට ධාතුසේන කුමරා රැගෙන යනු ලැබී ය. මෙම විහාරය 'ගෝණිස විහාරය' ලෙස ගයිගර් පඬිතුමා දක්වතත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියනුනේ 'ගෝණිස විහාර' යනු එක්තරා විහාරාරාම විශේෂයක් බව ය. කෙසේ වෙතත් මෙම කුමාරයා පිළිබඳ ව දකුණු ඉන්දීය පාලකයෙකු වූ පණ්ඩු රජුට සැල වී ඔහු ඇල්ලීමට කටයුතු සංවිධානය කරන අතරතුරේ දී මයිලනුවන් සමඟ ඔහු එතැනින් පලාගියේ ය.
නිසි කල් වයස් එළඹි ධාතුසේන කුමරා දෙමළ ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් සංවිධානය කිරීමට පටන් ගත්තේ ය. රජරට සිංහලයින් ඔහු නායකයා හැටියට පිළිගත් අතර ද්‍රවිඩ පාලනයට නතුව සිටීමට අකැමැත්තෙන් රෝහණයට පලා ගොස් සිටි සියල්ලෝ ම ඔහුට එකතු වූහ. විසි වසරක් පමණ පැවැති දීර්ඝ යුද්ධයකින් පසුව තම සහෝදරයාගේ ද ආධාරය ඇති ව දෙමළුවන් පරාජය කොට පලවා හැරි ධාතුසේන කුමාරයා ක්‍රි.ව. 455 දී රජකමට පත් විය. ද්‍රවිඩයන්ට පක්ෂව සිටි සිංහල කුලීනයන්ගේ ඉඩකඩම් රාජ සන්තක කළ ධාතුසේන රජතුමා යුද්ධ කාලයේ දී අනේකවිධ පීඩාවන්ට ලක්වෙමින් තමන්ට පක්ෂපාතව සිටි අයට උදව් උපකාර හා සංග්‍රහ කළ බව කියැ වේ.
රටේ දේශපාලන ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමෙන් පසුව බුදු සසුනේ දියුණුව සඳහා බොහෝ වෙහෙර විහාර කර වූ ධාතුසේන රජතුමා විනාශයට බඳුන් ව පැවති විහාරාරාම ද පිළිසකර කරවී ය. ඔහුගේ ආගමික මෙහෙවර වංශකථාවන්හි මැනවින් වර්ණිත ය. කෘෂිකාර්මික දියුණුව සඳහා වැව් රාශියක් කර වූ ධාතුසේන රජතුමා රටේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කෙළේ ය. ඔහුගේ විශිෂ්ටතම වාරි කර්මාන්තය වූ කලී කලා වැවයි. කලා වැවට යට වී තිබෙන බිම් ප්‍රමාණය අක්කර 6,380කි. එයින් කුඹුරු අක්කර 7,000ක වපසරිය සඳහා ජලය ලැබේ. කලා වැවත් සමග ම ධාතුසේන රජතුමාගේ නාමය සඳහට ම බැඳී පවතී. ධාතුසේන රජතුමා කර වූ වැව් 18ක් ගැන චූලවංශයේ සඳහන් ය. ඉන් වැව් 15ක නම් පූජාවලියේ සඳහන් වෙයි. “...... එකල දාසෙන්කැලි නම් රජ කුමර සසුන් වැද මහණව වෙස් වලා වැඩි, සිවුරු හැර මායා රට බලසෙන් ගෙන, නුවරට ගොස් පසුව රජ කරන දෙමළා මරා රජව, කලා, බළලු, කෙලවසාබදුලු, කළුව්නරු, චනා, වැල්ලා, උදන්මිටි, පනාගමු, මානා, මතුකිත්විනි, මහඩබරා, සංගමු, සුරුළු, මහමිදලා, මහඑළි ආදී අටළොස් මහ වැව් බඳවා" (පූජාවලිය - 34 පරිච්ඡේදය 779 පිටුව - අසරමොලි සංස්කරණය)
මෙසේ ලෝක සාසන දියුණුවට අනගි මෙහෙවරක් ඉටුකළ ධාතුසේන රජතුමා ඛේදජනක මරණයකට ගොදුරු වූයේ පවුලේ අර්බුදයක ප්‍රතිඵලයක් වශයෙනි. එම සිදු වීම “ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය” ග්‍රන්ථයේ මෙසේ දැක්වෙයි. “...ඔහුට (ධාතුසේන රජුට) පුතුන් දෙදෙනෙක් ද දුවක් ද වූහ. ඔවුනතුරින් කස්සප කුමාරයා අඩු තත්ත්වයේ බිසවක කුසින් උපන්නෙකි (භින්නමාතුක). මොග්ගල්ලාන කුමාරයා සම තත්ත්වයේ බිසවකගේ කුසින් උපන්නෙකි (සම මාතුක). ඔහුගේ දූ කුමරිය ඔහුගේ සොහොයුරියගේ පුතා වූ සේනාපතිවරයාට සරණපාවා දෙන ලද්දේ ය. ලේලිය හා නැන්දා අතර ඇති වූ හබයක දී සේනාපතියා තම භාර්යාවට දඬුවම් කළ බව පෙනෙයි. මෙයින් කුපිත වූ ධාතුසේන රජ තෙමේ සේනාපතියාගේ මව එනම්, තම සොහොයුරිය ගින්නෙන් දවා මැරවී ය. මෙහි පලිය ගැනීම සඳහා කස්සප කුමාරයාට එකතු වූ සේනාපති තෙමේ අග මෙහෙසියගේ පුත්‍රයකු නොවූ හෙයින් සිහසුනට උරුමයක් නැතිව සිටි ඒ කුමාරයා බලහත්කාරයෙන් සිහසුන පැහැර ගන්නට පෙළඹවී ය. කස්සප තෙමේ මහලු රජතුමා සිරකර තබා පසුව මරා දැමී ය.” (285, 286 පිටු)
ආශ්‍රිත ග්‍රන්ථ
1. මහා වංශය
2. චූල වංශය
3. පූජාවලිය
4. රාජාවලිය
5. ධාතු වංශය
6. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය
(කර්තෘ: දයාපාල ජයනෙත්ති:)
(සංස්කරණය නොකළ)