නානුමුර මංගල්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විශේෂයෙන් මහනුවර දළදා මන්දිරයෙහි සතියකට වරක් බදාදා දිනයන්හි සිදු කරනු ලබන චාරිත්‍ර විශේෂයක් නානුමුර මංගල්‍යය නමින් හඳුන්වනු ලැබේ. ගොඩනැගිල්ලේ සියලු කොටස්වල අහුමුලු පවා ඇමැද පිරිසිදු කරති. එහි රාජ කාර්‍ය්‍යයෙහි නියුක්ත වූ සියලු සේවකයෝ නා වස්ත්‍ර පිරිසිදු කරගනිත්. නව වස්ත්‍ර හඳිත්. තේවයෙහි නියුක්ත භික්ෂූන් වහන්සේ ද දිය නෑම ආදී වශයෙන් පිරිසිදු වී අලුත් සිවුරු පවා හැඳ පොරවති. කිසියම් ක්‍රමයකින් දළදා වහන්සේ ද ස්නානය කරවති. මේ සිරිතයි නානුමුර මංගල්‍යය නමින් හඳුන්වන්නේ.

වර්‍ෂයකට වරක් හෝ පැරණි විහාරස්ථානයන්හි හා දේවාලයන්හි ද නානුමුර මංලග්‍යය සිදු කරයි. දළදා මැදුරේ නානුමුර මංගල්‍යය පැවැත්වෙන දිනයේ ඒ පිළිබඳ කටයුතු රාශියක් කරන්නට ඇත්තේ හඳුන් කපුරාළ නම් වූ නිලකරුවාට ය. ඉස් සේදීම, නෙල්ලි ආදිය තම්බා දීම, ඇ‍ඟේ ඉලීමට ගන්නා කල මුරුවට පිළියෙළ කිරීම, සුවඳ පැන්, උණු පැන් සහ සිහිල් පැන් පිළියෙළ කරදීම මොහු විසින් කළ යුතු කාර්‍ය්‍යයෝ ය.

පැරණි සිරිතට අනුව නානුමුර දිනයේ තේවා කාරක භික්ෂූන් වහන්සේ හැඳ පෙරවිය යුතු සිවුරු සපයනු ලැබුයේ මහ වාසලිනි.

නානුමුර මංගල්‍යය පිණිස අවශ්‍ය වියහියදම් ලබා ගැනීම සඳහා කලුගමුව, බුවැලිකඩ සහ පිටිගොඩ යන ගම්වර වෙන් කර තිබුණේ ය.

දළදා මන්දිරයේ නානුමුර මංගල්‍යය පැවැත්වෙන දිනය වෙනත් විශේෂ උත්සව දිනයන් මෙන් සලකන ලදි. කවිකාර මඩුව සහ නාගසින්නම් තම්බෝරුව ද මෙදින පැවැත්විය යුතු ය. ආලත්ති බෑම ද කරනු ලැබේ.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නානුමුර_මංගල්‍යය&oldid=4861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි