නිකාය - පස්මහ සඟි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුද්ධ ධර්මය ප්‍රථම සංගීතියෙහි දී ධම්ම-විනය යනුවෙන් සංගායනා කරන ලදි. පැවිදි ශ්‍රාවක පිරිසේ හික්මීම සඳහා පනවන ලද ශික්ෂා පද ඇතුලු විනය නීති සියල්ල විනය නමින් හැඳින්වුණු අතර සියලු ධර්මය ධර්ම යන කොටසට ඇතුළත් කැරිණි. මේ ධර්මය පිටක නාමයෙන් වෙන් කිරීමේ දී සූත්‍ර පිටකය යටතට පත් විය. සුක්ත (සු+උක්ත) මැනැවින් දේශනා කරන ලද්දේ ය යන අරුතින් (=ස්වාක්ඛාත) එනම ලැබී. සූත්‍ර නම් නූලයි. නූල්පටක් මෙන් එකට ඇමිණී ඇති නිසා ද සූත්‍ර නාමයට සුදුසු වේ මැයි.

සුත්තන්ත පිටකය සංගීති නාමයෙන් ද හැඳින්වේ. දීඝ සංගීති ලෙසිනි. සංගීති ශබ්දය එක්ව ගැයීම යන අරුත් ඇත්තේ ය. මෙසේ දික් සඟිය, මැදුම් සඟිය, සංයුත් සඟිය, අංගෝත්තර (=කුදුගොත්) සඟිය ලෙසින් සිංහලෙන් හැඳින්වේ.

සර්වාස්තිවාදීහු 'ආගම' යන වචනය යොදා ගනිති. දීර්‍ඝාගම, මදධ්‍යමාගම, සංයුක්තාගම, එකොත්තරාගම හා ක්‍ෂුද්‍රකාගම යනුවෙනි.

සඟි, ආගම යනුවෙන් හැඳින්වෙන සූත්‍ර පිටකය කොටස් පහකට බෙදා ඇත. ඒ කොටස් නිකාය ලෙසින් ගැනේ. එවිට දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හ ඛුද්දක නිකාය නම් ලබයි.

ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර දේශනා පනස් හතරක් දීඝනිකායට ඇතුළත් වේ. බණවර හැට හතරක් (64) ඇති එය සීලක්ඛන්ධ, මහා, පාථික යනුවෙන් වර්ග තුනකට බෙදේ. (බණවරක් අකුරු 8,000ක් බව පිළිගැනේ.)

මධ්‍ය ප්‍රමාණයේ සූත්‍ර එකසිය පනස් දෙකක් මජ්ඣිම නිකායට ඇතුළත් වේ. මෙහි සූත්‍ර පණ්ණසක තුනකට බෙදා සඛගෘනිකාය, මූලපණ්ණසකයෙහි සූත්‍ර 50කි. මජ්ඣිමපණ්ණසකයේ ද සූත්‍ර පනමක් ඇති අතර උපරිපණ්ණසකයේ සූත්‍ර 52ක් වේ. මෙහි බණවර අසූවකි.

සංයුක්ත වශයෙන් බෙදා වර්ග කරන ලද සූත්‍ර 7,762ක් ඇති සංයුක්ත නිකාය බණවර සියයකින් යුක්තය. මෙහි සගාථ, නිදාන, ඛන්ධක, සළායතන, මහා යනුවෙන් වූ වර්ග පහක් තුළ සංයුක්ත පනස් හතරක් අන්තර්ගත වේ.

එක, දෙක, තුන ආදී වශයෙන් එකොළහ දක්වා සංඛ්‍යා අනුව වෙන් කොට ක්‍රමයෙන් එසේ සිට වැඩි වන අයුරු දේශනා ඇතුළත්ව ඇති නිසා අංගුත්තර නිකාය යන නම ලැබේ. එහි සූත්‍ර 9,557කි, බණවර එකසිය විස්සකි.

මේ නිකාය හතරට ඇතුළත් නොවූ සියලු දේශනා ඛුද්දක නිකායට ගැනේ. එහි පොත් පහළොවක් වේ. ඒවා නම්, 1. කුඩා පාඨ ඇතුළත් පොත යන අරුතින් ඛුද්දක පාඨ නම් වූ කෘතිය, 2. වර්ග විසි හයකට බෙදා දැක්වෙන ගාථා 423කින් යුත් ධම්මපදය, 3. වර්ග අටකට බෙදන ලද ප්‍රීති වාක්‍ය හෙවත් උදාන ඇතුළත් උදානය, 4. නිපාත හතරක සංගෘහිත කුඩා සූත්‍රධර්ම 112ක් ඇති ඉතිවුත්තකය, 5. වර්ග පහක් තුළ ඇතුළත් සූත්‍ර හැත්තෑ එකකින් සමන්විත 'සූත්‍ර එකතුව' යන අරුත් ඇති සුත්ත නිපාතය, 6. දෙව් ලොව විසිතුරු කියැවෙන කථා 85ක් ඇතුළත් වර්ග හතරක් ඇති ගාථා ප්‍රබන්ධයක් වූ විමානවත්‍ථුව, 7. වර්ග හතරකට ඇතුළත් කථා පුවත් පනස් එකක් ඇති පෙතවත්‍ථුව, 8. තෙරවරුනගේ ප්‍රකාශ 107ක් ගාථා 1,279කින් ඉදිරිපත් කෙරෙන ථෙරගාථාව, 9. තෙරණියන් 73කගේ ප්‍රකාශයන් වන ගාථා 522කින් සමන්විත ථෙරීගාථාව, 10. බෝසත් සිරිත 547ක් රැගත් ජාතික පෙළ, 11. මහා, චූළ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇති නිදෙදසය, 12. මහා, යුගනද්ධ, පඤ්ඤ යනුවෙන් වර්ග තුනකට බෙදන ලද අභිධර්ම මාතෘකා විෂය කොටගත් පටිසම්භිදාමග්ගය, 13. ශ්‍රාවක භික්‍ෂූන් පන්සිය පනස් නමකගේ ද භික්‍ෂුණීන් හතළිස් නමකගේ ද පූර්‍ව භවයන් විස්තර කෙරෙන අපදානය, 14. පෙර බුදුවරුන්ගේ ප්‍රවෘත්ති රැගත් බුද්ධවංසය සහ දස පාරමිතාවන්ගෙන් හතක් පිළිබඳ ජාතික කථා 35ක් ගාථාවෙන් කියැවෙන චරියාපිටකය 2 වේ.

ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදි. අනතුරුව ධර්මය සංගායනාවට ගෙන මහා කාශ්‍යප මහා ස්ථවිරපාදයෝ ඒ ඒ සූත්‍රයෙහි නිදානය ද, පුද්ගලාදිය ද ආනන්ද මහතෙරුන්ගෙන් විචාළහ. මේ අයුරින් නිකාය පහම විමසූ බව 'එතෙනෙව උපායෙන පඤචපි නිකායෙ පුචජි' යන සංගීතිපාළියෙන් හෙළි වේ. "එවං මෙසුතං" - මා විසින් මෙසේ අසන ලදී - යි ආනන්ද තෙරණුවෝ ඒ ඒ ධර්ම දේශනය යළි ප්‍රකාශ කළහ. එහෙයින් සූත්‍රදේශනා ආරම්භයේ දී එම පාඨය දක්නට ලැබේ.

සංගායනාවෙන් පසු, කට පාඩමෙන්, හොඳින් ආරක්ෂා කරගෙන පවත්වා ගන්නා ලෙස ඒ ඒ නිකාය මහතෙරවර පරම්පරාවනට භාර දෙන ලදි. ඒ මේ අයුරිනි: දීඝ නිකාය ආනන්ද මහතෙරුණගේ ද, මජ්ඣිම නිකාය සැරියුත් මහතෙරුණගේ ද, සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහ තෙරුණගේ ද, අංගුත්තර නිකාය අනුරුද්ධ මහා තෙරුණගේ ද, පරම්පරාවනට ය.

මෙහි දී ඉතර නිකාය හතරම භාර දී ඇති නමුත් ඛුද්දක නිකාය රැක ගැනීමට මහතෙර නමකගේ ශිෂ්‍ය පරම්පරාවකට භාරදීමක් නොකියැවෙන නිසා අනෙක් නිකාය මෙන් මෙය ප්‍රථම සංගීතියෙහි දී සංගායනා කරන ලද්දක් නොවේ යැයි කිසියම් විචාරකයෙක් පෙන්වා දෙති. අට්ඨකථාවන්හි 'චතුරාගමා' යන්නක් පෙනෙන නිසා ද ඛුද්දක නිකාය ආගමක් ලෙසින් පිළිනොගත් බවට ඔවුහු තර්ක කරති. එහෙත් එය හේතු විරහිත දැකයක් බවට සාධක සැපයෙයි. “පඤච නිකායො පඤච ආගමො නාම .....”යි අංගුත්තනිකායන් කථා පාඨයෙක පැනෙයි. පර්යාප්ති වශයෙන් ප්‍රගුණ කළ ධර්ම ගැන කියැවෙන දේසනා පාළි පාඨයෙහි නවංගුසත්‍ථු සායනය වන සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබභුතධම්ම, වෙදල්ල යන කොටස් වචනයෙන් ම කියැවෙයි. ඛුද්දකනිකායාගත ධර්ම කොට්ඨාශ ගණනාවක් එහි ඇතුළත් වේ. එසේම මිලින්‍දපඤහ කෘතිය ද, ශිලාලේඛන සාධක ද පඤචනිකායක් ගැන කරුණු හෙළි කරයි. මේ සියලු කරුණු අනුව ඛුද්දක නිකාය ද එක් නිකායක් ලෙස මුල සිට ම පිළිගැනුණු බව නිසැක ය.

(කර්තෘ: ධර්මසේන හෙට්ටිආරච්චි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිකාය_-_පස්මහ_සඟි&oldid=4883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි