නිම්රොද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Nimrod). බයිබල් ග්‍රන්ථවල සඳහන් වන මහා බලසම්පන්නයකු යැයි සැලකුණ පුද්ගලයෙකි. කුෂ්ගේ පුත්‍රයකු වූ හේ හැමිගේ මුණුබුරෙක් ද විය. ජෙනයිස් ග්‍රන්ථයේ මොහු දක්ෂ දඩයම්කරුවකු, පාලකයකු හා නිර්මාතෘවරයකු සේ විස්තර කොට ඇත. මහා අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු විසින් බැබිලෝනියාවේ හා ඇසිරියාවේ නගර රාශියක් ගොඩනැඟූ බව ද බයිබල් ග්‍රන්ථවල සඳහන් වේ. නිනෙවා නගරය ගොඩනැඟූ අය වශයෙන් ද නිම්රොද් ප්‍රසිද්ධියට පත් වී ඇත.

නිම්රොද්ගේ ශූරවීරකම් නිසා හේ ජනප්‍රවාද රාශියක කථානායක වී ඇත. දේවත්වයක් ද ලැබ ඇතැයි සලකන හෙයින් බොහෝ ශාස්ත්‍ර විශාරදයන් පැරණි රජ, දෙවි, වීර පුරුෂයන් අතරින් මොහු හඳුනාගැනීමට තැත්කොට ඇත. තව ද හෙතෙම බැබිලෝනියාවේ නිනි-මරාද් නම් දෙවියාගේ නමින් හඳුන්වනු ලබන බව ද කියනු ලැබේ.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: )

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිම්රොද්&oldid=4787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි