නිලෝටෙස්-නිලෝටයෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Nilotes). ඇන්ගෝලා ඊජිප්තු සුඩානයේ වසන නිලොටික් භාෂාව කතා කරන ගෝත්‍ර සමූහයක් ම මෙනමින් හැඳින්වේ. අකොලි, අනවුක්, සින්කා, කිජසිගි, ලන්ගෝ, මසයි, නන්දි, න්දොරෝබෝ, නුවර්, ෂිලුක්, සුක් හා තුර්කානා යන ගෝත්‍ර ය. ශාරීරික ලක්ෂණ අතින්, මෙම ගෝත්‍රික ජනයා උස් ය, දිගු හිස් හා වෙනත් අවයව ඇත්තෝ ය, ලොම් වන් හිසකේ ඇත්තෝ ය, කළු සම් ඇත්තෝ ය. මානසික වශයෙන් ඔවුහු චිරාගත මත ගරුකරන්නෝ ය. සෙලිග්මන් නමැති මානව විද්‍යාඥයා කියන අන්දමට ඔවුහු අවශ්‍යයෙන් ම උඩඟු, පැරණි මතයෙහි එල්බගත්, අතිශයින් ම ආගම් භක්තික මනුෂ්‍යයෝ ය. මේ හැම ගෝත්‍රයක ම දක්නා ලැබෙන පොදු රක්ෂාවක් නම් ගවයන් ඇති කිරීම ය. එය ඔවුන්ගේ ‘සංස්කෘතික අංගයක්’ බව ඉවන්ස්-ප්‍රිචාඩ් පවසයි. මෑතක් වනතුරුත් පුරුෂ පක්ෂය ඇඳුම් ඇන්දේ නැත. ස්ත්‍රීහු ඉනේ සිට දනහිස පමණ තෙක් සම් ඇඳුමක් අඳිති.

නිලෝටික් ගෝත්‍ර අතුරින් මානව විද්‍යාත්මක සාහිත්‍යයේ සවිස්තර ව පිළිබිඹු වී ඇත්තේ ෂිලුක් හා නුවර් යන දෙක ය. නාත් යන නමින් තමන් හඳුන්වාගන්නා නුවර්වරු 200,000ක් පමණ විය. නයිල් ගඟ අද්දර ඇන්ගොලා, ඊජිප්තු සුඩානයේ සැවනා ප්‍රදේශවල ඔවුහු වාසය කරති. සංස්කෘතික වශයෙන් ඔවුහු ඉතාමත් සම්බන්ධ සින්කාවරුන් සමඟ ය. ඔවුහු ප්‍රධාන වශයෙන් ගවයන් ඇතිකරන්නෝ ය. එහෙත් කෘෂිකර්මයෙහි හා මසුන් මැරීමෙහි ද යෙදෙති. දේශපාලන වශයෙන් ඔවුහු ප්‍රධානීන් නොමැති කොට්ඨාසවලට බෙදී සිටිති. 1840 පමණ මුල් ම යුරෝපීන් මෙම ප්‍රදේශයට ආ නමුත් 1928 පමණ තෙක් ඔවුන්ගේ පාලනයට යටත් නොවී ය.

කොලෝ නමින් තමන් හඳුන්වාගන්නා ෂිලුක්වරු 100,000ක් පමණ වෙති.

(කර්තෘ: එච්.ඇල්. සෙනෙවිරත්න: 1961)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිලෝටෙස්-නිලෝටයෝ&oldid=4785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි