නුයර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු සුඩානයේ නයිල් ගං ඉවුර දෙපස වාසය කරන නිලොටික් ජන කොට්ඨාසයකි. සත්ත්ව පාලනය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයයි. වතු වගාව හා ධීවර කර්මාන්තය ඔවුන් අතර දක්නට ලැබුණ ද සමාජයේ වැඩි ගරුත්වයක් හිමි වන රැකියාව වනුයේ සත්ව පාලනයයි. නයිල් ගඟ අසබඩ ප්‍රදේශය අවුරුද්දේ එක් කාලයක දී ගං වතුරෙන් යටවී පවතින අතර කාලයක් වියළී පවතී. එහෙයින් නුයර්වරු වර්ෂා කාලයේ දී උස් බිම්වල ඉදිකර ඇති ස්ථිර ගම්මානවල වාසය කරන අතර වියළි කාලයේ දී ගං ඉවුරේ වාසය කරති. 1960 ගණන් වන විට නුයර්වරුන්ගේ සංඛ්‍යාව 300,000ක් පමණ විය.

දේශපාලන වශයෙන් නුයර්වරුන් ගෝත්‍ර කිහිපයකට බෙදේ. එක් ගෝත්‍රයක් පිය පේරුවේ වංශ (clansin) කිහිපයකට බෙදී තිබීම නිසා ඒවායේ සාමාජිකයින් අතර නිරතුරුව ම ආරාවුල් හටගනී. බහුල වශයෙන් ඇති වන මිනීමැරුම් සඳහා වන්දි ගෙවනු ලබන්නේ ගවයන්ගෙනි.

හැම ගෝත්‍රයක ම මිනිසුන් වයස් අනුව කොටස් 6කට බෙදේ. පිරිමි ළමයකු වැඩිවියට පැමිණීමත් සමඟ ම නියමිත සිර්ත් අනුව එක් වයස් සමූහයකට ඇතුළු කරනු ලැබේ. ඔහුගේ එක් කනක සිට නළල හරහා අනෙක් කන දක්වා පැතිරෙන ලකුණු හයක් ඇතිකිරීම මෙහි දී කෙරෙන එක් චාරිත්‍රයකි. අවුරුදු හයක පමණ කාලයක් තුළ උපනයනය (itiation) සිදු කෙරෙන සියලු ම පිරිමි ළමයි එක් වයස් සමූහයකට ඇතුළු වෙති. අනතුරුව අවුරුදු 4ක් පමණ උපනයනය සිදුකිරීම නතරකොට නැවතත් වරක් නව වයස් සමූහයක් සඳහා උපනයනය සිදුකිරීම ඇරඹේ.

නුයර්වරුන් අතර ද පවතින්නේ බහුභාර්යා විවාහ ක්‍රමයයි. මෙම විවාහයන්හි විශේෂ ලක්ෂණයක් වනුයේ මනාලයාගේ පිරිස විසින් මනාලියගේ ඥාතීන්ට තෑගි වශයෙන් ගවයන් දෙනු ලැබීමයි. සෑම මිනිසකු ම තමාගේ උරුමක්කාරයා වශයෙන් පුතකු ලැබිය යුතු ය යන්න නුයර්වරුන් අතර පවතින විශ්වාසයකි. එහෙයින්, අවිවාහක ව මියයන පුරුෂයකු වෙනුවෙන්, ඔහුගේ නමින් භාර්යාවක් කැඳවාගෙන ඒමත් ඇයට පුතකු ලබාදීමත් නුයර්වරුන් අතර පවතින සිරිතකි. මෙම විවාහ ‘හොල්මන් විවාහ’ (ghost marrage) නමින් හඳුන්වනු ලැබේ.

නුයර්වරු අහස හා සම්බන්ධ යැයි සැලකෙන ක්වොත් (Kwoth) නම් දෙවි කෙනකුට වැඳුම් පිදුම් හා බිලි පූජා කරති. සෑම තැනක ම සිටින මෙම භූතයා අදෘශ්‍යමාන ය. එහෙත් ඔහු කිහිප ආකාරයකින් තම ස්වරූපය ප්‍රකට කරයි. ඒ එක් එක් ආකාරය වෙන් වෙන් නම්වලින් හැඳින්වේ.

ලෙඩරෝගවලින් හෝ අවාසනාවන්ත හෝ භයානක සිද්ධීන්ගෙන් මිදීමට මොවුහු බිලිපූජා පවත්වති. දේව පූජාවලින් ඔවුන් බලාපොරොත්තු වනුයේ දෙවියන් ඔවුන් වෙතින් ඈත් කර තැබීමයි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නුයර්&oldid=4821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි